කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

කොලොස්සි 2:2 හි පාවුල්තුමා පවසන්නේ "මා යාච්ඥා කරන්නේ, ඔවුන් ප්‍රේමයෙහි සම්බන්ධ වී, තේරුම් ගැනීමේ සම්පූර්ණ සහතිකය නමැති සියලු සම්පත භුක්ති විඳිමින්, ඔවුන්ගේ සිත් සනසනු ලබන පිණිසත්, දෙවියන් වහන්සේගේ රහස වන ක්‍රිස්තුස් වහන්සේ දැන ගන්නා පිණිසත්‍ ය". මෙම ' රහස​' යන වචනය අලුත් ගිවිසුමේ කිහිප වතාවක්ම පැමිණ ඇති අතර , දෙවියන් වහන්සේ එය උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් වහන්සේ කරණකොට ගෙන ඔබට එළිදරව් කළහොත් පමණක් දැන ගත හැකි සත්‍යයක් ගැන සඳහන් කරයි. 1 කොරින්ති 2:8-10 දක්වා සඳහන් වන්නේ, "දෙවියන් වහන්සේ විසින් තමන් ප්‍රේම කරන්නන්ට සූදානම් කළ යම් දෙයක් ඇද්ද ඒ දේ ඇසට නොපෙනුණේය​; කනට නොඇසුණේය​, මනුෂ්‍යයාගේ සිතට නොපැමිණෙන්නේය​. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයාණන් වහන්සේ කරණකොට ගෙන අපට ඒ දේ එළිදරව් කළ සේක"​.

බයිබලයේ "මහත්" රහස් ලෙස හැඳින්වෙන රහස් ඇත්තේ දෙකක් පමණි. දෙවියන් වහන්සේ මාංශාකාරයෙන් පැමිණි රහස ඉන් එකකි (1 තිමෝති 3:16) : "දේව භක්තියේ රහසද නිසැකවම මහත්‍ ය​; උන්වහන්සේ මාංශයෙහි ප්‍රකාශ වූ සේක​". එය දේව භක්තියේ රහස හෝ දේව භක්තික ජීවිතයක් ගත කරන ආකාරය පිළිබඳ රහස ලෙස හැඳින්වේ. දෙවන රහස නම්, සභාව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා මනාලිය වීම ගැනයි. එපීස 5:32 පවසන්නේ, " ඔවුන් දෙදෙනා එකම මාංශය වන්නෝය​. මේ රහස මහත්‍ ය​. නමුත් මම ක්‍රිස්තුස් වහන්සේ ගැනත් සභාව ගැනත් කථා කරමි". සභාව ක්‍රිස්තුස් වහන්සේ සමඟ එකම මාංශයක් වීම දෙවන මහත් රහසයි.

යේසුස් වහනසේ මාංශාකාරයෙන් පැමිණි බවත්, අප මෙන් පරීක්‍ෂාවට ලක් වූ බවත්, සියලු පරීක්‍ෂාවන් අභිබවා ගිය බවත් සහ දැන් අපට උන්වහන්සේගේ අඩිපාරේ ගමන් කර, පාපය ජයගෙන, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එම මාර්ගයේම ගමන් කරන්නා වූ අනිත් අයත් සමඟ ගොඩනඟා ගත හැකි අයුරු තේරුම් ගැනීමට නම්, අපට දෙවියන් වහන්සේගෙන් එළිදරව්වක් අවශ්‍යය වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස සභාව ගොඩ නැඟීම මෙම පොළොව මතුපිට ඕනෑම කෙනෙකුට කළ හැකි ශ්‍රේෂ්ඨතම දේව සේවයයි. සැබැවින්ම ඊට වඩා උතුම් දෙයක් නැත​. පාවුල් තුමා තම ජීවිත කාලය ගත කළේ මෙම සභාව ගොඩනැඟීම සඳහාය​.

දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සේවකයන් වන්නේ, ක්‍රිස්තුස් වහන්සේ සමඟ උන්වහන්සේගේ සභාව ගොඩනඟන අයයි.දේව භක්‍තික ජීවිතයක් ගත කිරීම වැදගත්‍ ය​ ; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ. පාවුල් තුමා කළ දේ අප විසින් ද කළ යුතුය - සභාව ගොඩනැඟීම​. පාවුල් තුමා තම ජීවිතය ගත කළේ සමාජ සේවා කරමින් නොවේය​. භූමික කටයුතු වලදී දුප්පතුන්ට උපකාර කිරීම යහපත් නමුත් එය දෙවියන් වහන්සේගේ සදාකාලික අරමුණ ඉටු නොකරනු ඇත​. අධ්‍යාපනය සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පමණක් ඔබ මනුෂ්‍යයන්ගේ ජීවිත වඩාත් සුව පහසු කරන්නේ නම්, ඔබ ඔවුන්ට නිරයට යන මාර්ගය සුමට කරනවා පමණි! මුලදී ඔවුන් රළු මාවතක නිරයට යමින් සිටියදී ඔබ එම මාර්ගය ටිකක් සුමට කළේය. සෑම සේවයකම වැදගත්ම දෙය නම්, මනුෂ්‍යයන්ව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙනයාම, දේව භක්තික ජීවිතයක් කරා ගෙන යාම, සහ පසුව ඔවුන්ව එකම ශරීරයකට ගොඩනැඟීම බව පාවුල් තුමා වටහා ගත්තේය​. අප ඕනෑම කෙනෙකුට කළ හැකි උතුම්ම දේව සේවය එයයි.

සමාජසේවා වැඩ කරන සහ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දුප්පතුන්ට උපකාර කරන සියල්ලන්ටම අප ගරු කරන්නෙමු. එසේ කිරීමට කැඳවනු ලැබූ සියල්ලන්ටම දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. නමුත් පාවුල් තුමාගේ කාලයේ ලෝකයේ බොහෝ සමාජ අවශ්‍යතා තිබුණද ඔහු කිසිවිටෙකත් ඒ දේවල් සමඟ සම්බන්ධ නොවීය. දුප්පතුන්ට උදව් කරන අයට නොබෙල් සාම ත්‍යාග වැනි භූමික ගෞරව ලැබිය හැකිය​. නමුත් යේසුස් වහන්සේ සහ පාවුල් තුමා කිසිවිටෙකත් නොබෙල් සාම ත්‍යාගය දිනා නොගනු ඇත​. සභාව ගොඩනඟන අයට කිසිවෙකු නොබෙල් ත්‍යාග ලබා දෙන්නේ නැත​.

කොලොස්සි 4:17 හි, පාවුල්තුමා ආකිපස්ට දෙන ආශ්චර්‍යමත් අවවාද​යක් ගැන අපි කියවමු: "ස්වාමින් වහන්සේගෙන් ඔබට ලැබෙන දේව සේවයට අවනත වී, එය ඉටු කරන්න​". දෙවියන් වහන්සේ අන් අයට දී ඇති දේව සේවයන් ගැන කරදර නොවන්න​. දෙවියන් වහන්සේ ඔබට විශේෂ සේවයක් ලබා දී ඇත​. ඒ කෙරෙහි අවධානය යොමු කර ඕනෑම මිළයක් ගෙවා කෙසේ හෝ එය​ ඉටු කරන්න​. ඔබගේ නාමය ආකිපස්ගේ ස්ථානයෙහි තබා එම වචනය ඔබේ හදවතට ගන්න​. මම යෞවනයකු ලෙස මෙම පදය කියවන විට, ආකිපස් වෙනුවට මාගේ නාමය තබා කියවූ අතර, ස්වාමින් වහන්සේ මට මෙසේ කී සේක​: " මම ඔබට දුන් දේව සේවයට අවනත වී එය ඉටු කරන්න​. ඒ මාර්ගය වෙනස් කරගෙන වෙනත් දෙයක් නොකරන්න​". මට ඔබ සියල්ලන්ට කීමට අවශ්‍යය වන්නේ, " දෙවියන් වහන්සේ ඔබව කැඳවා ඇත්තේ සභාවක් ගොඩනැඟීමට නම්, සමාජ සේවා වැඩ කරමින්, එම මාර්ගයෙන් ඉවතට නොයන්න​. දෙවියන් වහන්සේ, ඔබව ධර්මවාක්‍ය පැවසීමේ දේව සේවයකට කැඳවා ඇතිනම්, යම්කිසි කිතුණු සංවිධානයක අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස මේසයක් පිටුපසට වී වාඩි වී නොසිටින්න​. දෙවියන් වහන්සේ ඔබට ලබා දී ඇති දේව සේවයට අවනත වී එය ඉටු කරන්න​".