WFTW Body: 

යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී තම ගෝලයන්ට පැවසුවේ ස්ත්‍රියක් කෙරෙහි කාම ආශාවෙන් බලන්නාවූ ඕනෑම පුරුෂයෙක් ඇය සමඟ තම හදවතේ අනාචාරයේ යෙදෙන බවයි. උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ, තම දකුණු ඇස ස්ත්‍රියක් දෙස රාගයෙන් යුත්තව බලන්නේ නම්, එවැනි මිනිසෙකු ඇස් දෙකම ඇතුව අපායට යනවට වඩා තම දකුණු ඇස උගුළා දමන එක වඩාත් හොඳය කියාය. යමෙක් තම ඇස් වලින් නිරන්තරයෙන්ම ස්ත්‍රීන් දෙස ලිංගික තෘෂ්ණාවෙන් බැළීම, අවසානයේ පිරිමියෙකු අපායට යැවීමට තරම් ප්‍රමාණවත් බව උන්වහන්සේ එමගින් ඉගැන්වීය.

මෙම පාපය වහාම සහ ස්ථිරව අත්හැරීමට හැකි සෑම ආකාරයකින්ම දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන බව විශ්වාස කරන්න .

මිනිසාගේ හදවතේ අද ඇති කාම ගින්න ආදම්ගේ කාලයේ සිට සෑම මිනිසෙකුගේම හදවතේ ඇවිළුණු නිරාමය ගින්නය. එය විනාශ කළ හැක්කේ ශුද්ධාත්මයාණන්ගේ ගින්නට පමණි. ඔබේ හදවත පව් කිරීමට ආශාවෙන් දැවෙණු ඇත, නැතහොත් යේසුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන් දැවෙණු ඇත. ඔබේ තේරීම මේ දෙකෙන් එකක් විය යුතුය: එක්කෝ දැන් පිරිපහදු කරන්නාගේ ගින්න නැතහොත් අනාගතයේදී නිරයේ-ගින්න. තුන්වන විකල්පයක් නැත.

ස්වාමින් වහන්සේ කථා කළ, යුදෙව් ජනයාට ව්‍යවස්ථාව හරහා ඉතා උසස් සදාචාරාත්මක ප්‍රමිතියක් ඒ වනවිටත් තිබුණි. ඔවුන් ජීවත් වූයේ දැඩි සදාචාරමය ව්‍යවස්ථාවකට අනුව වන අතර, විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියාවන් සැමවිටම මරණ දඬුවමට ලක් විය. මිනිසුන් දුරාචාරයට පොළඹවන අසභ්‍ය පොත් හෝ සඟරා හෝ රූපවාහිණී වැඩසටහන් එදා තිබුණේ නැත. එම සමාජයේ සෑම කාන්තාවක්ම ශෝභනව ඇඳ පැළඳ සිටි අතර, පිරිමින් සහ කාන්තාවන් එකිනෙකා සමඟ කථා කළේ නැති තරම්ය. එහෙත්, එවැනි සමාජයක පවා, එහි සියළු සීමාවන් සමඟ, පිරිමින් කාන්තාවන් කෙරෙහි කාම තෘෂ්ණාවෙන් පෙළී සිටී බව ස්වාමින් වහන්සේ දැන සිටි අතර, ඊට එරෙහිව තම ගෝලයන්ට අනතුරු ඇඟවීමට උන්වහන්සේට සිදු විය. එවැනිවූ දැඩි සමාජයක එය එසේ වූවා නම් අද අප ජීවත් වන දුරාචාර සමාජයේ තරුණයින්ට උන්වහන්සේ කෙතරම් අනතුරු අඟවනු ඇත්ද.

අද සමාජය අපගේ ලිංගික තෘෂ්ණාවන් පෝෂණය කිරීම සඳහා හැකි සෑම ආකාරයකින්ම අපගේ මණසට ඉන්ධන විසි කරයි. අපගේ කාලයේදී අප සැවොම වඩාත් පරිස්සම් විය යුත්තේ මේ නිසා ය. ඔබ මෙම කාම ගින්න නිවා දැමීම ගැන ඉතා වැදගත් ලෙස සළකන්නේ නම්, එවිට ඉන්ධන සැපයුම කපා හැරීම ගැනද ඔබ ඉතා වැදගත් ලෙස සැළකිය විය යුතුය. තවද ඔබ එම ඉන්ධන ප්‍රභවය කිසිදු අනුකම්පාවකින් තොරව දරුණු හා රැඩිකල් ලෙස කපා දැමිය යුතුය. ඇස උගුළා දැමීම හා අත කපා දැමීම යනු මෙයයි. යේසුස් වහන්සේ අපට අණ කළේ අපව පාපය කිරීමට සලස්වන දේ විනාශ කරන ලෙසයි. පාපයේ අන්තරාය සහ නිරයේ-ගින්නේ යථාර්ථය ගැන අන් සියල්ලන්ට වඩා යේසුස් වහන්සේ දැන සිටි අතර පාපයෙන් ගැළවීම සඳහා එවැනි රැඩිකල් ආත්මික ශල්‍යකර්මයක් කිරීමට උන්වහන්සේ ඉල්ලා සිටියේ එබැවිනි.

ස්වාමින් වහන්සේගේ ආඥාව අද දින අපට ප්‍රායෝගිකව අදාළ වන්නේ "ඔබේ රූපවාහිණීය ඔබේ මණසෙහි පව් කිරීමට හේතු වේ නම්, වහාම එයින් මිදෙන්න." ඔබ තිරය මත නැරඹූ රූපවාහිණී තරු සමඟ අපායට යනවට වඩා රූපවාහිණීය මඟ හැර ස්වර්ගයට යාම හොඳය. එසේත් නැතිනම් එය යම් සඟරාවක් හෝ යම් එක්තරා සංගීත වර්ගයක් ඔබව උත්තේජනය කර ඔබට පාපය කිරීමට හේතු වේ නම්, එම සඟරා සහ කැසට් පටි වලටද ඒ දේම කරන්න. නිසැකවම ඔබ විසින් අත් නෑර අල්ලාගෙනම සිටින සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඔබ අවසානයේදී ස්වර්ගය අත්හැර ගනිමින් නිරයට යාමට හේතුවන කිසිම අනර්‍ග දෙයක් මෙලොවෙහි ඔබට තිබිය නොහැක.

ඔබ මෙය කියවන විට පවා, "ඒ තරම් කුඩා දෙයකට ඔබ නියත වශයෙන්ම මිය නොයනු (නිරයට නොයනු) ඇතැයි” සාතන් ඔබට රහසින් පවසනු ඇත. ඒවගේම සඟරාවක පින්තූරයකට හෝ රූපවාහිණියෙන් දකින කෙනෙකුට ආශාවෙන් සිටීම කාමමිථ්‍යාචාරයක් නොවන බව ඌ ඉතා සූක්‍ෂම ලෙස පවසනු ඇත. ඌට ඇහුම්කන් නොදෙන්න - මක්නිසාද සාතන් මුල සිටම බොරුකාරයෙකු බව යේසුස් වහන්සේ අපට අනතුරු ඇඟවූසේක.

නිකම්ම මේ පාපය ගැන "මම අනාගතයේදී එය වඩා හොඳින් කිරීමට උත්සාහ කරමි" හෝ "මම එය අත්හැරීමට උත්සාහ කරමි"යැයි නොකියන්න. දුෂ්ඨ දේ දැකීමෙන් පවා වැළකී සිටින ලෙස බයිබලය අපට අනතුරු අඟවයි. මෙම පාපය වහාම සහ ස්ථිරව අත්හැරීමට හැකි සෑම ආකාරයකින්ම දෙවියන් වහන්සේ ඔබට උපකාර කරන බව විශ්වාස කරන්න. අද සිට සටන අරඹන්න, ජීවමාන දෙවියන් වහන්සේගේ හමුදාවේ සොල්දාදුවෙකු වූ ඔබට අභියෝග කළ මේ ගොලියත්ගේ හිස කපා දමන තුරු අත් නොහරින්න.

1 කොරින්ති 7: 1 අපට අනතුරු අඟවන්නේ ගැහැණු ළමයින්ව ශාරීරිකව ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි. ශුද්ධාත්මයාණන් වහන්සේ යමක් "හොඳ නැත" (උන්වහන්සේ එහි පවසන පරිදි) පවසන විට, එය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට ඕනෑම ගෝලයෙකුට ප්‍රමාණවත් විය යුතුය. නීතිවේදීන්, නීතියේ අකුරෙන් (ව්‍යවස්ථාවේ වචනයේ පරමාර්ථය නොසළකා වචනාර්ථය මත) පමණක් ජීවත්වන්නන් වන අතර ගෝලයින් ජීවත් වන්නේ ආඥාවේ ආත්මය (වචනයේ පරමාර්ථය) තුළයි. නිදසුනක් වශයෙන්: හත්වන ආඥාවෙහි ආත්මය (වචනාර්ථය නොව, නමුත් එහි පරමාර්ථය) තේරුම් ගැනීමට උත්සාහ කළ නිසා, කෙනෙකුගේ හදවතේ ස්ත්‍රියකට ආශා කිරීම කාමමිථ්‍යාචාරයක් බව යේසුස් වහන්සේ දැන සිටියේය. එලෙසම, ඔබ මුළු හදවතින්ම සිටින්නේ නම්, දෙවියන් වහන්සේගේ සියළු ආඥාවල පරමාර්ථයේ මුල කුමක්දැයි ඔබට පෙනෙණු ඇත. පාවුල්තුමා තිමෝතිට පවසන දේ බලන්න: "යෞවනයින්ට නිතර ඇති වන පරීක්ෂාවන්, ඔබටද ලබා දෙන ඕනෑම දෙයකින් පලා යන්න" (2තිමෝති2: 22 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය). එවැනි පරික්ෂා ගෙනෙන සියළු හැකියාවන්ගෙන් ඔබ පලා යා යුතුය.

ස්වාමින් වහන්සේ නැවත වරක් උන්වහන්සේගේ මාලිගාව (සභාව) පිරිසිදු කරයි. උන්වහන්සේගේ මාලිගාව, දැන් ඔබේ භෞතික ශරීරයයි. එක වරම එහි විශිෂ්ඨ කාර‍්‍යයක් කිරීමට උන්වහන්සේට ඉඩ හරින්න.

© -Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතුය.