WFTW Body: 

සැබෑ සභාව ගොඩනැඟිය හැක්කේ යේසුස් වහන්සේ මෙන් ඒ සඳහා සියල්ල අත්හැරීමට කැමති අයට පමණි. "ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ අතර ඒ සඳහා තමන්වම පරිත්‍යාග කළසේක" (එපීස 5: 25). අද සභාව ගොඩනැඟීමට කැමති සෑම කෙනෙකුම එම මිළයම ගෙවිය යුතුය - සෑම දිනකම තම ස්වකැමැත්තම කිරීම සම්පූර්ණයෙන් පූජා කිරීම. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැඟීමට වඩාත් පහසු ක්‍රමයක් නැත. මෙම මූලධර්මය මිනිසාගේ ඉතිහාසයේ ආරම්භයේ සිටම අපි දකින්නෙමු.

කායින් දෙවියන් වහන්සේට "යම් පූජාවක්" ගෙන ආවේය - දෙවියන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළසේක. කෙසේ වෙතත් ආබෙල් "ඔහුගේ රැළෙන් හොඳම" සත්වයා ගෙන ආවේය - දෙවියන් වහන්සේ එය පිළිගත්සේක (උත්පත්ති 4: 3-5). කායින් සංකේතවත් කරන්නේ ආගමික කිතුණුවන් දෙවියන් වහන්සේට කිසිදු වැයවීමක් නැති හෝ ඉතා ස්වල්ප වැයවීමකින් යුත් පඬුරු ගෙන ඒමය. කෙසේ වෙතත්, ආබෙල් සංකේතවත් කරන්නේ ආත්මික ඇදහිළිවන්තයින් තම සියළු දේ වැයකොට දෙවියන් වහන්සේට පූජා ගෙන ඒමය.

දෙවියන් වහන්සේගේ කීම මත මෝරියා කන්ඳේ පූජාසනය මත ආබ්‍රහම් ඊසාක්ව පූජා කළ විට, එය ඔහුට කළ හැකිව තිබූ මිළ අධිකම පූජාව විය. ඔහු ආබෙල්ගේ අඩිපාරේ යමින් සිටියේය (උත්පත්ති 22). වසර දහසකට පසු, දාවිත් මෝරියා කන්ඳේදී (අරව්නාගේ කමතෙහි) එම ස්ථානයේම පූජා<වක් ඔප්පු කර, සම්පූර්ණ කැපවීමෙන් මෙම වචන කීවේය "මට මිළ නොවන කිසිම දෙයක් මම කිසිදින දෙවියන් වහන්සේට පූජා නොකරමි("2 සාමුවෙල් 24: 24).

දෙවියන් වහන්සේ ආබ්‍රහම් සහ දාවිත් විසින් ඔප්පු කරන ලද මිළ අධික පූජාවන් දුටු අතර, මෙම මිනිසුන් දෙදෙනා තම මිළ අධික පූජා ඔප්පු කළ එම ස්ථානයේම - මොරියා කන්දේ අරව්නාගේ කමතෙහි උන්වහන්සේගේ දේවමාළිගාව ගොඩනඟන ලෙස සාලමොන්ට කීසේක (2 ලේකම් 3: 1 බලන්න).

දෙවියන් වහන්සේ එමගින් පෙන්නුම් කළේ තම ගෘහය ගොඩනැඟිය හැක්කේ මෙම සම්පූර්ණ පරිත්‍යාගශීලී ආත්මය ඇති මිනිසුන්ට පමණක් බවයි. ඔවුන් පමණක් ක්‍රිස්තුස් වහන්සේගේ මනාලිය - යෙරුසලම, ගොඩනඟනු ඇත (එළිදරව් 21: 2). අනෙකුත් සියලුම කිතුණුවන් බබිලෝනීය වේශ්‍යාව ගොඩනඟනු ඇත (එළිදරව් 17 සහ 18).

කායින් සහ ආබෙල් මෙම ආගමට ලැදි සෙනග සහ ආත්මික සෙනග යන ප්‍රවාහයන් දෙක ආරම්භ කළහ. මෙම ප්‍රවාහ දෙක පසුව ඉශ්‍රායෙල් ඉතිහාසයේ ව්‍යාජ අනාගතවක්තෘවරුන් සහ සැබෑ අනාගතවක්තෘවරුන් තුළ දක්නට ලැබුණි; එමෙන්ම පරිසිවරුන් සහ යේසුස් වහන්සේ තුළත්; සහ අවසානයේ බබිලෝනිය සහ යෙරුසලමෙන් අවසන් වනු ඇත (එළිදරව් 17, 18 සහ 21).

බොහෝ ඇදහිළිවන්තයින් දේවදූතයන්ගේ සහ යේසුස් වහන්සේගේ භෞතික පුද්ගලයාගේ දර්ශන දැකීමට ඉතා ආශා වෙති. කෙසේ වෙතත්, අපගේ ආශාව විය යුත්තේ යේසුස් වහන්සේගේ දිවියේ මහිමය - උන්වහන්සේ මිහිපිට ජීවත් වූ ආකාරය තුළින් දැකීමටයි. අපට අනුගමනය කළ යුතු ආදර්ශය වන්නේ මෙයයි.

පාවුල්තුමා පැවසුවේ: "මාගේ මාංසයේ කිසිදු යහපත් දෙයක් වාසය නොකරයි........ අහෝ කාළකණ්ණි මිනිසා මම වෙමි "(රෝම 7: 18, 24). තමාව තරයේම පවිත්‍ර කර ගැනීමට ඔහුට දැවෙන ආශාවක් ඇති කළේ මෙයයි. අපද දැකිය යුත්තේ අපගේ මාංසයේ මෙම දූෂිතභාවයේ හෙළිදරව්වයි. අපි අපගේ"මාංසයේ සියලු අපවිත්‍රකමින් අපවම පවිත්‍ර කර දේව බියෙන් ශුද්ධකමේ පරිපූර්ණත්වයට පැමිණීමට" උත්සාහ කරන්නේ එවිට පමණි - එමගින් සභාවේ පවිත්‍රත්වය ආරක්ෂාවේ (2 කොරින්ති 7: 1).

අප විශ්වාස කරන සහ දේශනා කරන නිර්මල ධර්මයන් හුදෙක්ම ධර්මයන් ලෙස සිතුවහොත් බලය නොමැති දේව භක්තියයේ වේෂයක් කරා පහසුවෙන්ම පිරිහී යා හැකිය. ඒවා අපට හුදු ධාර්මික ඉගැන්වීම් වලට වඩා බෙහෙවින් වැඩි විය යුතුය. ඒවා අපට හෙළිදරව් බවට පත්විය යුතුය - අපගේ ජීවිතයේ වැඩිවෙමින් පවතින්නාවූ හෙළිදරව්වක්‍ ලෙසටය. අපගේ ජීවිතයේ විවිධ ක්ෂේත්‍රවල පරීක්ෂාවන්ට අප වඩාත් විශ්වාසවන්තව මුහුණ දී ඒවාට එරෙහිව සටන් කරන තරමට, අපගේ අභ්‍යන්තර ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේට සමාන නොවන බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ආත්මයේ එළිදරව්ව අපට ලැබෙනු ඇත - අප අපවම පවිත්‍ර කරගත යුතු වන්නාවූ ඒවා.

එවැනි අඛණ්ඩ හෙළිදරව්වකින් තොරව, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන සභාව ගොඩනැඟීමට කිසිසේත්ම නොහැකි වනු ඇත -. මෙම හෙළිදරව්වෙන් තොරව අපගේ මාංසයේ දූෂණය පිළිබඳ අප ලබා ගන්නා 'ශුද්ධත්වය', පැරණි ගිවිසුමේ ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨකම මෙන් (පැමිණිය හැකි ඉහළම අවස්ථාව) - ව්‍යවස්ථාවේ බාහිර ධර්මිෂ්ඨකම පමණකි. මෙයින් අපගේ සෙසු ඇදහිළිවන්තයින් සමඟ කීර්තියක් ලබා ගත හැකි නමුත්, එය "දෙවියන් වහන්සේ ඉදිරියෙහි පරිපූර්ණ" නොවනු ඇත (එළිදරව් 3: 1, 2).

පරීක්ෂාවට ලක්වන අවස්ථාවන්හිදී අපගේ ආදර්ශය ලෙස අප යේසුස් වහන්සේව 'නොදැක' සිටින්නේ නම්, අප පසුබෑමකට ලක් වූවන් බව අප ගණන් ගත යුතුය.

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.