WFTW Body: 

පිලිප්පිවරුන්ට පාවුල් තුමාගේ ලිපියේ ප්‍රීතිය ගැන වැඩි අවධානයක් තිබේ. “හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී ඔබ සැම සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්” (පිලිප්පි 1: 4), “ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි” (පිලිප්පි 4 : 4).

පාවුල් තුමා සිරගෙදර සිටියදී පිලිප්පි පොත​ ලියන ලද්දේය (පිලිප් 1:13). පාවුල් තුමා සිරගෙදර සිටියදී ප‍්‍රීතිය ගැන ඔහු මෙතරම් ලියූ බව දැකීම​ අභියෝගයකි. අපගේ සියලු තත්වයන් පහසුව තිබියදී ප‍්‍රීතිය ගැන දේශනා කිරීම එක් දෙයකි. අපගේ තත්වයන් අසීරුව තිබියදී ඒ ගැන ලිවීම හාත්පසින්ම තවත් දෙයකි. කිතුණුවකු හට සෑම අවස්ථාවකදීම ප‍්‍රීතිය භුක්ති විඳිය හැකි බව මෙහිදී පාවුල් තුමා ගේ වචන අපට උගන්වයි. ක්‍රිස්තුස් වහන්සේගේ සිත,​ ක්‍රිස්තුස් වහන්සේගේ ​ආකල්පය එයයි.

යේසුස් වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ රාත්‍රියේදී උන් වහන්සේ බොහෝ සෙයින් ප්‍රීතිය ගැන කථා කළ සේක​ (යොහන් 15 සහ 16). අවසන් රාත්‍රිභෝජනයේදී උන් වහන්සේ සිය ගෝල​යන්ට පැවසුවේ, “මාගේ ප්‍රීතිය ඔබ සැම තුළෙහි පවතින පිණිසද ඔබ සැමගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් ඔබ සැමට කීවෙමි”, “ඔබ සැමගේ ප්‍රීතිය කිසිවෙක් ඔබ සැමගෙන් පැහැර නොගන්නේය”, “ඔබ හට මගේ ප්‍රීතිය දෙන්න ඕනෑ​”. එතැන් පටන් තව පැය කිහිපයකින් උන්වහන්සේ හට බොරු චෝදනා එල්ල කර සාපරාධි පුද්ගලයකු ලෙස ප්‍රසිද්ධියේ කුරුසිපත්කරන්ට යෙදී තිබුණි. එහෙත් උන් වහන්සේ අන් අය සමඟ උන්වහන්සේගේ ප්‍රීතිය බෙදාගනිමින් ඔවුන් දිරිගන්වමින් සිටිසේක.

පාවුල්තුමා තුළ තිබුණු ක්‍රිස්තුස් වහන්සේගේ සිත සහ ආකල්පය මෙයමය. සිරගෙදර තුළ ඔහු ඉතාමත් ප්‍රීතියෙන් සිටියේය. පාවුල්තුමා මේ ලිපිය ලිවූ අවස්ථාවේදී ( ක්‍රියා 28:16, 30,31) සිරකරුවෙකු ලෙස නිවාස අඩස්සියේ සිටියේද නැතහොත් ඔහු සැබෑ රෝමානු බන්ධනාගාරයේ සිටියේද යන්න අප නොදනිමු. ඒ කාලයේ රෝමානු බන්ධනාගාර තිබුනේ මීයන්, මදුරුවෝ සහ බඩගා යන කෘමීන්ගෙන් පිරී තිබුණු අඳුරු කුටීර විළසිනි. සිරකරුවන්ට බිම වැතිරී නිදා ගැනීමට සිදුවූ අතර කෑමට ඉතා කුඩා ආහාර ප්‍රමාණයක් ලබා දුන්නේය. මෙම ස්ථාන දෙකෙන් කොතැනක පාවුල්තුමා සිටියද ඔහු සිටියා වූ තත්ත්වයන් අනිවාර්‍යෙන්ම ප්‍රසන්න නැත. එනමුත් එයාකාර තත්ත්වයන්හිදී පවා පවුල් තුමා ප්‍රීතියෙන් පිරී සිටියේ ය.‍ ශුභාරංචිය දේශනා කිරීම නිසා ඔහුව බන්ධනාගාර ගත කර තිබුණි. එහෙත්, ඔහු තමාගේම ශෝකය උදෙසා කඳුළු නොසැලූවේය. කිසිවෙකුගෙන් කිසිදු අනුකම්පාවක් පවා ඔහුට අවශ්‍ය නොවීය. ඔහු ප්‍රීතියෙන් පිරී සිටියේ ය.

සැප පහසුවේ ජීවත් වෙමින් කුඩා අපහසුතාවයන් ගැන පවා පැමිණිලි කරන්නාවූ කිතුනුවන් හට පාවුල්තුමා කදිම නිදසුනකි. සුළු පීඩාවක් තුලින් යන විටදී හෝ කුඩා අපහසුතාවයකට මුහුණ දෙන විටදී ඇදහිලිවන්තයන් කෙතරම් අවස්ථාවලදී වෙන අයගෙන් උපකාරයක් ලබා ගැනීමට උත්සාහ දැරීම අප දකින්නෙමු ද. පාවුල්තුමා මෙහිදී ඔහුගේ පීඩාවන් ගැන වචනයක්වත් කතා නොකරන්නේය. ඔහු පැවසුවේ, “ඔබ සැම මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී ඔබ සැම සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමි” කියාය (පිලිප් 1:3,4). මුළු රාත්‍රිය පුරාම මදුරුවො කෑමෙන් හා ගුහාවේ පොළොව දිගේ තමා වටා ඇදී එන මීයන් වැළැක්වීමෙන් පසුව පහන් වූ කල මේ ලිපිය ලියූ ආකාරය ගැන මට සිතෙහි මවා ගත හැක. බොහෝ විට ඔහු මේ ලිපිය ලියන්ට ඇත්තේ මදුරු උවදුරෙන් පෙළුණා වූ මුළු රාත්‍රියකට පසුව විය හැක. එමෙන්ම සමහරවිට ඔහුට උණුසුම් වීමට තරම්වත් සෑහෙන ඇඳුම් නොතිබෙන්නට ඇති. ඔහුගේ ප්‍රීතිය පැමිණුනේ ඔහු වටා මුහුණ දුන්නා වූ එකිනෙක තත්ත්වයන් තුළින් නොව නමුත් පිලිප්පියෙහි විසූ ඇදහිලිවන්තයන් මත තිබූ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය දැකීම තුළින් ය.

වර්‍ෂ ගණනාවකට පෙර දර්ශනයක් තුලින් ස්වාමීන් වහන්සේ ඔහු හට පිලිප්පියට යන ලෙස මග පෙන්වනු ලැබුවේය (ක්‍රියා 16 : 9-12 ). ඔහු එම දර්ශනය අනුගමනය කර එහි ගිය අතර, මිනිසුන්ව දෙවියන් වහන්සේ වෙතට යොමු කලා මෙන්ම පිලිප්පි හි සිරගතද විය. එහිදී ගැලවීම ලැබූ ජේලර්වරයා සමහරවිට දැන් පිලිප්පි සභාවේ වැඩි මහල්ලෙක් වී එහි සිටි සෙනගට මෙසේ කියන්නට ඇති " මම මේ මනුස්සයා සිරගෙය තුළ ප්‍රීතියෙන් සිටිනවා දුටිමි". පාවුල් තුමාගේ ප්‍රීතිය හටගත්තේ ස්වාමීන් වහන්සේ උදෙසා ප්‍රයෝජනවත්ව වැය කළ ජීවිතය තුළිනි. ඔබ ඔබේ ජීවිතයේ අවසානයට පැමිණෙන විට, ඔබ හට සතුට ගෙන එන කාරණය නම් ඇත්තෙන්ම දෙවියන් වහන්සේ ඔබ හට සුවය සහ ශක්තිය දුන් කාලයන්හිදී ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේට සේවය කරමින් ගත කරමින්, උන් වහන්සේගේ රාජ්‍යයට සෙනග එකතු කරමින් උන්වහන්සේගේ සභාව ගොඩනැගීමය. දැන් ඔබ ඒ ගැන සිතා බලන්න. පාවුල් මෙන් ඔබේ ජීවිතයේ අවසානය දක්වාම ඔබ ඔබේ ජීවිතයේ කළ දේ වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කළ හැකිය.