WFTW Body: 

උත්පත්ති 32: 29 හි “දෙවියන් වහන්සේ යාකොබ්ට ආශීර්වාද කළ සේක” යනුවෙන් අපි කියවන්නෙමු. පෙනියෙල්හිදී, දෙවියන් වහන්සේ යාකොබ්ට ආශීර්වාද කිරීමට හේතු හතරක් ඇත.

1 දෙවියන් වහන්සේ සමඟ තනිවීම

යාකොබ් දෙවියන් වහන්සේ සමඟ තනිව සිටි ස්ථානයේදී ඔහුව ආශීර්වාද කරනු ලැබීය. ඔහු අනෙක් සියල්ලන්ම පිටත් කර හැරියේය. ( උත්. 32:24 ). විසිවන සියවසේ ඇදහිලිවන්තයන්ට දෙවිඳුන් සමඟ තනිවම කාලය ගත කිරීම දුෂ්කර කාර්‍යයක් බවට පත්වී ඇත. ජෙට් යුගයේ (වේගයෙන් දිවීමේ) ආත්මය අපගෙන් බොහෝ දෙනෙකුට ලැබී ඇති අතර, අපි නිරන්තර කාර්‍යබහුල තත්වයක සිටිමු. ප්‍රශ්නය වන්නේ අපගේ ස්වභාවය හෝ අපේ සංස්කෘතිය සමඟ නොවේ. අපට අපගේ ප්‍රමුඛතා වැරදී තිබීමයි - එපමණයි. ඇදහිලිවන්තයෙකුට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ පාමුල ඉඳගෙන උන්වහන්සේට ඇහුම්කන් දීම බව යේසුස් වහන්සේ වරක් පැවසුසේක( ලූක් 10:42 ). නමුත් අප එය තවදුරටත් විශ්වාස නොකරන බැවින් යේසුස් වහන්සේගේ වචන නොසලකා හැරීමේ විනාශකාරී ප්‍රතිවිපාක විඳින්නෙමු. අප සැමවිටම අපගේ විවිධ ක්‍රියාකාරකම්වල කාර්‍යබහුල නම් සහ නිරාහාරව හා යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ සමඟ තනිවම සිටීම යනු කුමක්දැයි නොදන්නේ නම්, අපි නිසැකවම දෙවියන් වහන්සේගේ බලය හෝ ආශීර්වාදය නොදැන සිටින්නෙමු - මම අදහස් කළේ, උන්වහන්සේගේ සැබෑ බලයයි (බොහෝ දෙනා පුරසාරම් දොඩවන ලාභ ව්‍යාජය දේ නොවේ).

2 දෙවියන් වහන්සේ විසින් කැඩීම

ඔහු මුළුමනින්ම කැඩී බිඳී ගිය ස්ථානයේදී යාකොබ්ව ආශීර්වාද කරනු ලැබීය. පෙනියෙල්හිදී, මිනිසෙක් යාකොබ් සමඟ පොරබැදුවේය. දෙවියන් වහන්සේ අවුරුදු විස්සක් තිස්සේ යාකොබ් සමඟ පොරබදමින් සිටියත් යාකොබ් ඊට එකඟ වුණේ නැත. ඔහුගේ දක්‍ෂතාවය සහ සැලසුම් තිබියදීත්, ඔහු අත තැබූ සියල්ල වැරදී ඇති ආකාරය පෙන්වීමට දෙවියන් වහන්සේ උත්සාහ කර තිබුණි. එහෙත් යාකොබ් තවදුරටත් මුරණ්ඩුව සිටියේය. අවසානයේදී දෙවියන් වහන්සේ යාකොබ්ගේ උකුලේ ඇටයට පහර දුන් අතර ඔහුගේ කළවා සන්ධිය ඇදී ගියේය ( උත්පත්ති 32:25 ). කලවය යනු ශරීරයේ ශක්තිමත්ම කොටස වන අතර දෙවියන් වහන්සේ ඒ කොටසටම පහර දුන්සේක.

3 දෙවිඳුන් කෙරෙහි සාපිපාසාව

දෙවියන් වහන්සේ කෙරෙහි උනන්දුවෙන් හා සාපිපාසාවෙන් සිටි ස්ථානයේ යාකොබ් ආශීර්වාද ලැබීය. “ඔබ මට ආශීර්වාද කරන තුරු මම ඔබව අත් නොහරින්නෙමි” ( උත්පත්ති 32: 26 ). යාකොබ්ගෙන් ඒ වචන ඇසීමට දෙවියන් වහන්සේ අවුරුදු විස්සක් වැනි දීර්ඝ කාලයක් බලා සිටි ආකාරය! ජන්ම අයිතිය, ස්ත්‍රීන්, මුදල් සහ දේපළ උදුරා ගනිමින් සිය ජීවිතය ගත කළ ඔහු දැන් ඒ සියල්ල අතහැර දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටී. යාකොබ්ගේ ජීවිතය පුරාම දෙවියන් වහන්සේ ක්‍රියා කරමින් සිටියේ මේ කාරණය උදෙසාමය. යාකොබ්ට පොළොවේ තාවකාලික දේවල් නොපෙනී ගොස් දෙවියන් වහන්සේ උදෙසා සහ උන්වහන්සේගේ ආශිර්වාදය උදෙසා මහත් ආශාවෙන් හා පිපාසයෙන් සිටින විට එය දෙවියන් වහන්සේගේ හදවත මහත්සේ සතුටු කළා විය යුතුය. හොෂෙයා 12: 4 හි අපට පවසා ඇත්තේ යාකොබ් හඬා වැලපී ආශීර්වාදයක් ඉල්ලා එදින රාත්‍රියේ පෙනියෙල්හිදී ආයාචනා කළ බවයි. මෙලොව දේවල් පමණක් අපේක්‍ෂා කරමින් ගතකළ ඔහුගේ පෙර වසරවල් හා සසඳන විට එදින රාත්‍රියේ ඔහු කෙතරම් වෙනස් මිනිසෙක්ද? දෙවියන් වහන්සේ ඔහු සමඟ කළ ක්‍රියාකාරකම් අවසානයේදී ඵල දැරුවේය!

4 දෙවියන් වහන්සේ සමඟ අවංකවීම

දෙවියන් වහන්සේ සමඟ අවංකව කටයුතු කළ විට යාකොබ්ට ආශීර්වාද ලැබුණි. දෙවියන් වහන්සේ ඔහුගෙන් අසා සිටියි, “ඔබේ නම කුමක්ද? අවුරුදු විස්සකට පෙර, ඔහුගේ පියා ඔහුගෙන් එම ප්‍රශ්නයම ඇසූ විට, ඔහු බොරු කියමින්, “මම ඒසව්” යැයි පැවසීය ( උත්. 27:19 ). නමුත් දැන් ඔහු අවංකය. ඔහු කියනවා, “ස්වාමීනි, මම යාකොබ්” - නැතහොත් වෙනත් වචනවලින් කිවහොත්, “ස්වාමීනි, මම පැහැරගන්නෙක්, රැවටිලිකාරයෙක් සහ කේවල් කරන්නෙක් වෙමි” යාකොබ් තුළ දැන් කිසිදු වංචාවක් නොවීය. ඉතින් දෙවියන් වහන්සේට ඔහුව ආශීර්වාද කළ හැකි විය. එහිදී දෙවියන් වහන්සේ යාකොබ්ට ආශීර්වාද කළේ - ඔහු අවංකවූ විටදී, තවදුරටත් මවාපෑමට අකමැති වූ විට, “ස්වාමීනි, මම මූනිච්චාකරුවෙක්" යැයි කී විටදීය. මගේ ජීවිතයේ ලැජ්ජාව සහ මවාපෑමක් තිබේ. මම ඔබට කියමි, මිනිසෙකුගේ හදවතේ ගැඹුරින් එය පිළිගැනීමට සැබෑ බිඳීමක් අවශ්‍ය වේ. බොහෝ කිතුනු නායකයන් බොරු නිහතමානීත්වයකින් එවැනි වචන පවසති - නිහතමානී බවට කීර්තියක් ලබා ගැනීමට. මම ඒ ආකාරයේ පිළිකුලක් ගැන සඳහන් නොකරමි. මා අදහස් කළේ සැබවින්ම තැලුනාවු හා බිඳුණාවූ හදවතකින් ඉස්මතු වන අවංකකමකි. එය මිළ අධිකය. අප සියලු දෙනා තුළ වංචාව බොහෝය. අප එසේ නොසිටින විට මෙතරම් විශුද්ධ වූ බවක් මවාපෑම ගැන දෙවියන් වහන්සේ අපට අනුකම්පා කරනසේක්වා. අපි නිහතමානී භාවයට, අවංකකමට හා විවෘතභාවයට අපගේ මුළු හදවතින්ම ආශා කරමු, එවිට අපගේ ජීවිත වලට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය පැමිණීමේ සීමාවක් නැත.