ප්‍රේරිත පාවුල් තුමාගේ ජීවිතයෙන් ආත්මයෙන් පිරුණු ජීවිතයේ චරිතගුණාංග හතරක් දෙස බලමු.
1. පරිපූර්ණ තෘප්තිය:ආත්මයෙන් පිරුණු ජීවිතය, පළමුව, පරිපූර්ණ තෘප්තියෙන් යුත් ජීවිතයකි. පිලිප්පි 4: 11 හි පාවුල් තුමා මෙසේ පවසයි. “මම කුමන තත්වයක සිටියත්, මම සෑහීමකට පත්වෙමි”. එවැනි තෘප්තියකින් ප්‍රීතිය හා සාමය පිරී යයි. අපට දෙවියන් වහන්සේට ප්‍රශංසා කළ හැක්කේ උන්වහන්සේ අප සමඟ කළ සියලු ගනුදෙනු වලින් පරිපූර්ණ ලෙස සෑහීමකට පත්වන විට පමණි. අප විශ්වාස කරන දෙවියන් වහන්සේ සර්වබලධාරී නම්, උන්වහන්සේ හට, අපට සිදුවෙන සියලු දේම අපගේ යහපත පිණිස එකට ක්‍රියා කරවිය හැකි නිසා (රෝම 8: 28) එවිට අපට සෑම තත්වයකදීම සැබවින්ම තෘප්තිමත් විය හැකිය. එවිට අපට, අපේ ගෙවත්තේ ගස් වල ඵල නොදරන විටදී පවා, අපේ ගව රැළ මිය ගිය විටදී සහ අපට විශාල මූල්‍ය අලාභයක් සිදු වූ විටදී හෝ ඕනෑම තත්වයකදී හබක්කුක් මෙන් ස්වාමින් වහන්සේට ප්‍රශංසා කළ හැකිය ( හබක්කුක් 3: 17,18 ). එපීස 5: 18-20 හඟවන්නේ ශුද්ධාත්මයාණන් අපව ඇතුළාන්තයෙන් පිරවීමෙහි ප්‍රතිඵලය වනුයේ දෙවියන් වහන්සේ හට අප තුළින් ගලා යන්නාවූ ප්‍රශංසා කිරීමකි. අපොස්තුළු පවුල් තුමන් සිරගෙදර සිරකර ඔහුගේ පාද දඬුකඳේ බැඳ තැබූ විටදී පවා ඔහුට ප්‍රීති විය හැකි විය ( ක්‍රියා 16:25). එහි පවා ඔහු සෑහීමකට පත්වූ අතර පැමිණිලි කිරීමට කිසිවක් සෙව්වේ නැත. මෙය ආත්මයෙන් පිරුණු ජීවිතයේ පළමු සලකුණු වලින් එකකි. කිතුනුවකු තුළ මැසිවිලි නැඟීමේ පුරුද්ද තිබේ නම් ඒ දෙවියන් වහන්සේට එරෙහිව පාළුකරයේ මැසිවිලි නැඟූ ඉශ්රායෙල්වරුන් මෙන් ඔහු තවමත් පොරොන්දු වූ ජයග්‍රාහී දේශයට ඇතුළු වී නැති බවට ඇඟවීමකි.
2. ශුද්ධකම තුළ වර්ධනය:දෙවනුව, ආත්මයෙන් පිරුණු ජීවිතය ශුද්ධකමේ වර්ධනයේ ජීවිතයකි. මිනිසෙකුගේ ජීවිතයේ ශුද්ධකම වැඩි වන විට දෙවියන් වහන්සේගේ පරම ශුද්ධකම පිළිබඳ ඔහුගේ හැඟීමද වැඩි වේ. මේ දෙකම එකට යන්නේය. ඇත්ත වශයෙන්ම, දෙවැන්න, පුද්ගලයෙකුට සැබවින්ම පළමුවැන්න තිබේද යන්න ගැන පරීක්ෂා කිරීමකි. ඔහුගේ හැරීමෙන් අවුරුදු විසිපහකට පසු පාවුල් තුමා පවසන්නේ “මම ප්‍රේරිතයන්ගෙන් සුළුම තැනැත්තා” කියාය( 1 කොරි. 15: 9). අවුරුදු පහකට පසුව, ඔහු පවසන්නේ, “මම සියලු සාන්තුවරයන්ගෙන් අවම තැනැත්තාට වඩා අඩුම තැනැත්තා කියාය” ( එපී. 3: 8). තවත් වසරකට පසුව ඔහු පවසන්නේ, “මම පව්කාරයන්ගේ ප්‍රධානියාව සිටිමි” (සැලකිලිමත්ව බලන්න, එය“ මම.... සිටියෙමි ” නොව “ මම... සිටිමි ”) ( 1 තිමෝ. 1:15). එම ප්රකාශයන්හි ඔහුගේ ශුද්ධකමේ දියුණුව ඔබ දකින්නෙහිද? පාවුල් දෙවියන් වහන්සේ සමඟ වඩාත් කිට්ටු වූ විට, ඔහුගේ මාංසයේ දූෂිතභාවය හා දුෂ්ටකම ගැන වඩා වැඩියෙන් ඔහුට හැඟුනේය. තම මාංශය තුළ කිසිම යහපත් දෙයක් සොයාගත නොහැකි බව ඔහු තේරුම්ගත්තේය ( රෝම 7:18). ආත්මයෙන් පිරුණු මිනිසා හුදෙක් තමා ශුද්ධකමින් වැඩෙන බවට අන් අයට හැඟීමක් ලබා දීමට උත්සාහ නොකරයි, නමුත් ඇත්ත වශයෙන්ම එසේ කරනු ඇත. ඔහු ශුද්ධ යැයි සිතූ අත්දැකීම් ගැන ඔහු සාක්ෂි නොදක්වයි, නැතහොත් පවිත්‍ර කිරීමේ දේවධර්මය ගැන අන් අයට ඒත්තු ගැන්වීමට උත්සාහ නොකරයි. ඔහුගේ ජීවිතයේ එපමන ශුද්ධකමක් ඔහු තුළ ඇති අතර අනෙක් අය තමන්ගේ කැමැත්තෙන්ම ඔහු වෙතට පැමිණ ඔහුගේ ජීවිතයේ රහස ඔහුගෙන් අසනු ඇත. ඔහු තුළ ජේ. බී. ෆිලිප්ස් පරිවර්තනයේ සඳහන් " මුලාවෙන් තොර සැබෑවේ ශුද්ධකම" ( එපපීස 4: 24) තිබෙනු ඇත.
3. කුරුසිපත් ජීවිතයක්:තෙවනුව, ආත්මයෙන් පිරුණු ජීවිතය කුරුසිපත්වූ ජීවිතයකි. පාවුල් පැවසුවේ “මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසියේ ඇණ ගසනු ලැබ සිටිමි” ( ගලා. 2:20). කුරුසියේ මාර්ගය ආත්මයේ පූර්ණත්වයේ මාර්ගයයි. ආත්මයාණන් වහන්සේ නිතරම අපව, උන්වහන්සේ යේසුස් වහන්සේව කුරුසියට මග පෙන්වා ගෙන ගිය ආකාරයටම ගෙන යන සේක. ආත්මය හා කුරුසය වෙන් කළ නොහැකිය. කුරුසිය දුර්වලකම, ලැජ්ජාව සහ මරණය සංකේතවත් කරයි. ප්‍රේරිත පාවුල්ට ඔහුගේ ජීවිතයේ භීතීන්, ව්‍යාකූලතා, දුක සහ කඳුළු තිබුණි ( 2 කොරි. 1: 8; 4: 8; 6:10; 7: 5 බලන්න). ඔහුව මෝඩයෙකු හා අන්ධ භක්තිකයෙකු ලෙස සලකනු ලැබීය. ඔහුව බොහෝ විට අන් අය විසින් කුණු හා කසළ මෙන් සලකනු ලැබීය ( 1 කොරි. 4:13). මේ සියල්ල ආත්මයේ පූර්ණත්වයට නොගැලපේ. ඊට පටහැනිව, ආත්මයෙන් පිරුණු මිනිසා, දෙවියන් වහන්සේ තමාව වඩ වඩා නින්දාවට හා තම ස්ව කැමැත්ත මරණයට පත්කරගැනීමට මඟ පෙන්වන බව දකිනු ඇත.
4. අඛණ්ඩව විශාල වීම:සිව්වනුව, ආත්මයෙන් පිරුණු ජීවිතය යනු අඛණ්ඩව, තිබුණට වඩා වැඩි මට්ටමක පූර්ණත්වය, අපේක්ෂා කරන ජීවිතයකි. මුල් හැරීමෙන් අවුරුදු තිහකට පමණ පසු පාවුල් තම ජීවිතයේ අවසානය කරා ළඟා වෙමින් සිටියදී පවා මෙසේ පැවසුවේය “මම ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගෙන ඉදිරියටම යමි” ( පිලිප්පි 3:13). ඔහු තවමත් සම්පූර්ණ වී හෝ ලබාගෙන හෝ නොමැත. ඔහු තම ජීවිතයේ දෙවියන් වහන්සේගේ ආත්මයේ පූර්ණත්වයේ ඊටත් වඩා විශාල ප්‍රමාණයක් සොයමින් සිටින අතර එම නිසා සෑම අධ්‍යාත්මික මාංශ පේශියක්ම මෙම ඉලක්කය කරා වෙහෙසීමට යොමු කරයි. පිලිප්පි 3: 12 හි ඔහු මෙසේ පවසයි. “මම දැනටම සම්පූර්ණව සිටිනවා නොවේ. නමුත් 15 වන පදයේ ඔහු හරියටම ප්‍රතිවිරුද්ධ දේ පවසන බව පෙනේ: “අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිත්ද, ඔවුන් එසේ කල්පනා කරත්වා”, ආත්මයෙන් පිරුණු ජීවිතයේ එකිනෙකට පටහැනිභාවය මෙයයි - සම්පූර්ණයි, නමුත් සම්පූර්ණ නැත; වෙනත් වචන වලින් කිවහොත්, පූර්ණ නමුත් ඊටත් වඩා පූර්ණත්වයකට ආශාවීම. ආත්මයෙන් පිරුණු තත්වය ස්ථිතික (වෙනස් නොවන ස්ථාවරයක්) නොවේ. පූර්ණත්වයේ අධික සහ වඩා අධික මට්ටම් ඇත්තේය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපව එක්තරා තේජසක සිට තවත් තේජසේ මට්ටමකට ගෙන යන බව බයිබලය පවසයි ( 2 කොරි. 3:18) - හෝ, වෙනත් වචන වලින් කිවහොත්, එක්තරා මට්ටමක පූර්ණත්වයේ සිට තවත් වැඩි පූර්ණත්වයේ මට්ටමකට. කෝප්පයක් වතුරෙන් පිරී තිබිය හැකිය; එලෙසම බාල්දියකට පුළුවනි; එලෙසම ටැංකියකටත් පුළුවනි; එලෙසම ගඟකටත් පුළුවනි. නමුත් කෝප්පයක පූර්ණත්වය සහ ගඟක පූර්ණත්වය අතර විශාල වෙනසක් ඇත.
ශුද්ධාත්මයාණන් වහන්සේ නිරන්තරයෙන්, අප හට අල්ලන ප්‍රමාණය, පුළුල් කිරීමට උත්සාහ කරනසේක, එවිට උන් වහන්සේට අපව තවත් වැඩි මට්ටමකට පුරවා ගත හැකිය. කුරුසිය පැමිණෙන්නේ මෙහිදීය. කුරුසියේ මාවත මග හැරියහොත් අපගේ ජීවිතවල විශාල වීමක් සිදුවිය නොහැකිය. අපගේ ජීවිතයේ කුරුසිය නොකඩවා පිළිගන්නේ නම්, අපගේ කුසලානය බාල්දියක් බවටත්, අපගේ බාල්දිය ටැංකියක් බවටත්, අපේ ටැංකිය ගඟක් බවටත්, ගඟ බොහෝ ගංගා බවටත් පත්වනු ඇත. සෑම අදියරකදීම, අපගේ ධාරිතාව විශාල වන විට, අප නැවත පිරවිය යුතුය. එලෙස ස්වාමීන් වන යේසුස් වහන්සේ දුන් පොරොන්දුව අප තුළ ඉෂ්ට වනු ඇත, “මා කෙරෙහි විශ්වාසය තබන ඕනෑම කෙනෙකු තුළින් ජීවමාන ජල ගංගා ගලා යනු ඇත” (ඔහු ශුද්ධාත්මයාණන් ගැන කථා කරමින් සිටිසේක) ( යොහන් 7:38, 39- ජීවමාන බයිබල් අනුවර්තනය) .