කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

“මා ස්වර්ගයෙන් පැමිණියේ මාගේ ම කැමැත්ත නොකොට මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරණ පිණිස ය" ( යොහන් 6: 38 ). යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ කුමක් කරන්නට දැයි, උන්වහන්සේගේ ම වචනවලින් මෙහි අපට පවසන සේක. මේ එක් වාක්‍යයෙහි, පොළොවෙහි යේසුස් වහන්සේගේ මුළු ජීවිතයේ සෑම දිනයක් ම ජීවත් වූ ආකාරය පිළිබඳ විස්තර කිරීමක් අපට තිබේ. නාසරෙත්හි ගත කළ යේසුස් වහන්සේගේ ජීවිතයේ තිස් අවුරුද්ද සැඟවුණු අවුරුදු ලෙස හැඳින්වේ. නමුත් එම අවුරුදු 30 හ තුළ සෑම දිනක ම කළ දේ යේසුස් වහන්සේ මෙහි හෙළි කරන සේක : උන්වහන්සේගේ සිය-කැමැත්ත ප්‍රතික්ෂේප කොට උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්ත කළසේක. සදාකාලික අතීතයේ සිට පියාණන් වහන්සේ සමඟ යේසුස් වහන්සේ ස්වර්ගයේ සිටින විට උන්වහන්සේගේ සිය කැමැත්ත කිසිවිට ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය වූවේ නැත, මන්ද උන්වහන්සේගේ සිය කැමැත්ත උන්වහන්සේගේ පියාණන්ගේ මෙන්ම වූවේ ය. නමුත් උන්වහන්සේ අපගේම මාංශයෙන් පොළොවට පැමිණි විට, එම මාංශය තුළ පියාණන්ගේ කැමැත්තට සම්පූර්ණයෙන්ම වෙනස් සහ විරුද්ධ වූ සිය කැමැත්තක් තිබුණි. එසේනම් තම පියාගේ කැමැත්ත කිරීමට යේසුස්වහන්සේට හැකි වූ එකම මාර්ගය වූවේ, උන්වහන්සේගේ සිය-කැමැත්ත නිතරම ප්‍රතික්ෂේප කිරීමෙණි. යේසුස් වහන්සේගේ පොළොවේ ජීවිතය පුරාම දැරූ කුරුසිය මෙයයි - උන්වහන්සේගේ සිය-කැමැත්ත කුරුසිපත් කිරීමයි - උන්වහන්සේ ව අනුගමනය කරන්න අපට අවශ්‍ය නම්, අපට ද සෑමදාම අපගේ කුරුසිය දරණ මෙන්, දැන් උන්වහන්සේ අප හට පවසන සේක ( ලූක් 9: 23). යේසුස් වහන්සේ ආත්මික මිනිසෙකු වූවේ, උන්වහන්සේගේ සිය-කැමැත්ත නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කිරීමෙනි. එසේම අප ද ආත්මික මනුෂ්‍යයෙකු බවට පත් වන්නේ අපගේ ස්වකැමැත්ත ප්‍රතික්ෂේප කිරීමෙන් පමණි.

ආත්මිකත්වය දෙවියන් වහන්සේ සමඟ එක් වතාවක් හමුවීමකින් පැමිණෙන දෙයක් නොවේ. එය දිනෙන් දින, සතියෙන් සතිය, සහ වසරින් වසර තමන්ගේ සිය-කැමැත්ත ප්‍රතික්ෂේප කර ස්ථිරව (සැමවිටම) දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමේ මාර්ගය තෝරාගැනීමේ ප්‍රතිඵළයකි. සහෝදරයන් දෙදෙනෙකු ඔවුන්ගේ හැරීමෙන් වසර දහයකට පසුව අත්මික තත්වය සලකන්න (ඔවුන් දෙදෙනාම එකම දිනයක ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරුණු අය වේ). එක් කෙනෙකු දැන් ආත්ම විමසීමේ දීමනාවෙන් මුහුකුරා ගියා වූ දෙවියන් වහන්සේ හට සභාවෙහි විශාල වගකීමක් පැවරිය හැකි මේරූ සහෝදරයෙකි. අනික් සහෝදරයා තවමත් ආත්ම විමසිය නොහැකි, නිරන්තරයෙන්ම අනිත් අය විසින් පෝෂණය කර, ධෛර‍්‍යයමත් කිරීමට අවශ්‍යයව සිටින ළදරුවෙකි. දෙදෙනා අතර එවැනි වෙනසක් ඇති වීමට හේතුව කුමක් ද? පිළිතුර: ඔවුන්ගේ කිතුණු ජීවිතයේ අවුරුදු දහය තුළ සෑම දිනකම ඔවුන් ගත්තා වූ සුළු (කුඩා) තීරණ ය. ඔවුන් දිගටම ඒ ආකාරයෙන් ම පැවතුණොත්, තවත් වසර 10කින් ඔවුන් අතර වෙනස ඊටත් වඩා පැහැදිළිව පෙනෙනු ඇත. තවද සදාකාලයේ දී ඔවුන්ගේ මහිමයේ වෙනසේ ප්‍රමාණය වොට් 2000 ක බල්බයකින් නිකුත්කරන ආලෝකයේ සහ වොට් 5 ක බල්බයකින් නිකුත් කරනු ලබන ආලෝකය මෙන් වේ. "එක තාරකාවක් තවත් තාරකාවකින් මහිමයෙන් වෙනස් වේ" ( 1 කොරින්ති 15: 41). ඔබ නිවසකට ගොඩ වී, එහි නොමැති යම් සහෝදරයකු ගැන (ඔබ අකමැති) යම් සෘණාත්මක දෙයක් කීමට පෙළඹෙන අවස්ථාවක් ගැන සළකන්න. ඔබ කුමක් කරන්නේ ද? ඔබ ඒ පරික්ෂාවට ඉඩදී කේලාම් කියනවා ද, නැතහොත් ඔබගේ සිය-කැමැත්තට විරුද්ධ වී ඔබගේ කට වහගෙන සිටිනවා ද? තව කෙනෙකු ගැන දුෂ්ඨ දේ කථා කළ පළියට කිසි කෙනෙකු ට දෙවියන් වහන්සේගෙන් ළාදුරු හෝ පිළිකාවකින් පහරක් නොලැබේ. නැත. එබැවින් එවැනි පාපයක් ඔවුන්ගේ ජීවිත විනාශ නොකරනු ඇතැයි බොහෝ දෙනා සිතති. අවාසනාවකට මෙන්, තමන් සතුටු කරගත්තා වූ සෑම අවස්ථාවකදී ම, තමන්, තම ජීවිත මඳක් නාස්ති කරගත් බව බොහෝ සහෝදර සහෝදරියන් තේරුම් ගනු ලබන්නේ සදාකාලයේ දීය. එවිට ඔවුන් තම පොළොවෙහි ජීවිත නාස්ති කරගත් ආකාරය ගැන පසුතැවිලි වනු ඇත.

යේසුස් වහන්සේ ද නාසරෙත්හි අවුරුදු 30 ක් පුරා මෙවැනිම තත්වයන් තුළ පරීක්ෂාවන්ට ලක් විය. එම සැඟවුණු වසරවල් පිළිබඳව ලියා ඇත්තේ "උන්වහන්සේ කිසි විටක උන්වහන්සේ ව සතුටු කර නොගත් සේක" කියා ය ( රෝම 15: 3 ). උන්වහන්සේ සැමවිටම උන්වහන්සේගේ සිය-කැමැත්ත ප්‍රතික්ෂේප කළ සේක. එම නිසා සෑම අවස්ථාවකදීම උන්වහන්සේ පියාණන්ව ප්‍රසන්න කළ සේක. තමන්ව ම සතුටු කිරීම නොයෙක් පැතිවලින් කෙනෙකුගේ ජීවිතයේ කළ හැක - නිදසුනකට කෑමෙහි දී, ඔබට බඩගින්නක් නැතිවිට දී පවා යම් රසවත් ආහාරයක් මිළදී ගෙන කෑමට යම් මුදලක් වැය කිරීමට ඔබ තීරණය කරයි. එය කිසිසේත්ම පව්කාර හෝ වැරදි නැත නමුත් එය යම් ආකාරයක ජීවිතයක් ගැන කථා කරයි. ඔබට ඒ දේ අවශ්‍ය වූවත් නැතත් ඔබට මුදල් තිබෙන නිසා ඔබ කැමති දේ මිළ දී ගෙන, ඔබව ම සණසන දෙය ඔබ කරන්නේය. ඔබට යම් දෙයක් ගන්නට අවශ්‍ය නම්, ඔබ එය ගන්නවා, ඔබට යම් තැනකට යන්නට හිතුනොත් ඔබ එහි යනවා, ඔබට එළි වෙනකල් නිදන්න හිතුනොත්, ඔබ එළිවෙනකල් නිදනවා, ඔබ නිරන්තරයෙන්ම රැස්වීමවලට ගියත්, ඔබගේ බයිබලය සෑමදාම කියෙව්වත් මෙසේ ජීවත්වීමේ අවසාන ප්‍රතිඵළය කුමක් ද? ඔබගේ ගැළවීම නැති නොවන්නට පුළුවන, එහෙත් දෙවියන් වහන්සේ, උන්වහන්සේ වෙනුවෙන් ජීවත්වන්නට ඔබට දුන් එකම එක් ජීවිතය ඔබ අනිවාර්යෙන්ම විනාශ කර ගන්නේ ය ( හෙබ්‍රෙව් 9: 27). කෙසේ වෙතත්, තවත් සහෝදරයෙක් වෙනත් ආකාරයකින් ක්‍රියා කරයි. ඔහුගේ ශරීරය හික්මවීමට ඔහු තීරණය කරයි. ඔහුට බඩගින්නක් නැති විට ඔහු අනවශ්‍යය ලෙස කිසි දෙයක් නොකන්නට තීරණය කරයි, ඔහුට ම කියලා කිසිම අනවශ්‍යය දෙයක් කිසිදා නොගන්න ඔහු තීරණය කරයි. දෙවියන් වහන්සේ සමඟ කාලය ගත කිරීම සඳහා සෑම දිනකම මිනිත්තු 15 කට පෙර අවදි වීමට තීරණය කරයි. යමෙකු කෝපයෙන් කථා කරන විට ඔහු මෘදු ලෙස පිළිතුරු දීමට තීරණය කරයි. සැමවිටම ප්‍රේමය හා යහපත්කම දිගටම පවත්වා ගැනීමට ඔහු තීරණය කරයි. ඔහුගේ මාංශික තෘෂ්ණා උත්තේජනය කරන සමහර පුවත්පත්වල ඇතැම් ප්‍රවෘත්ති නොකියවීම ට ඔහු තීරණය කරයි. සෑම තත්වයකදීම, ඔහු යටහත් වී (නිහතමානීව) තමන්වම යුක්ති සහගත නොකිරීමට තීරණය කරයි. ඔහුව ලෝකයට යොමුකිරීමට බලපෑම් කරන සමහර මිත්‍රත්වයන් අතහැර දැමීමට ඔහු තීරණය කරයි. තමන්ගේම කැමැත්ත (ඔහුව සතුටු කළ දේ) නිතරම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කිරීම තුළින්, ඔහු දෙවියන් වහන්සේ ව පමණක් සතුටු කරන පිණිස ඔහුගේ සිය-කැමැත්ත තුළ ශක්තිමත් වේ. ඒ අනවශ්‍යය දෙය මිළ දී නොගැනීමෙන් හෝ විනාඩි 15 කට කලින් අවදිවීමෙන් හෝ ඔහුගේ මානව හැඟීමෙහි ආත්ම ගරුත්වය අත්හැර (ප්‍රතික්ෂේප කොට) සමාව ඉල්ලා සිටීමෙන් ඔහුට නැති වූ දේ කුමක් ද? කිසිවක් නැත. නමුත් ඔහු ලබා ඇති දෙය ගැන සිතා බලන්න!

එවැනි නිරන්තරයෙන් ම සුළු දේවල්වලදී විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු, අවුරුදු කීපයකින් දෙවියන් වහන්සේට විශ්වාසවන්ත මනුෂ්‍යයෙකු බවට පත්වන්නේ ය - ඒ ඔහු සතු බයිබල් දැණුම නිසා නොව, නමුත් ඔහුගේ ජීවිතයේ ඔහුව ම සතුටු කර නොගෙන දෙවියන් වහන්සේ ව සතුටු කරවන තීරණ ගැනීමේදී ඔහු විශ්වාසවන්ත වූ නිසා ය. එබැවින් දුර්වල සිතැති නොවන්න. සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේ ව සතුටු කිරීමට ඔබේ කැමැත්ත පුරුදු පුහුණු කර ගන්න. පරිනත කිතුණුවන් වන්නේ, “පුරුදු පුහුණුවීම කරණකොටගෙන (ඔවුන්ගේ සිය-කැමැත්ත නිවැරදි දිශාවේ වසර ගණනාවක් පුරා පුරුදු පුහුණු කිරීමෙන්) යහපත හා නපුර විමසාබලන්ට ව්‍යවහාරයෙන් පුරුදු පුහුණු වූ ඉන්ද්‍රියන් ඇත්තන් ය ( හෙබ්‍රෙව් 5: 14 ). ඔබ දෙවියන් වහන්සේගේ සැබෑ මිනිසෙකු / ස්ත්‍රියක් බවට පත් වන වගට අධිෂ්ඨාන කරගන්න.