WFTW Body: 

1. සහභාගිත්වය
සලමොන්ගේ ගීතිකාව 2: 4 හි මනාලිය මෙසේ පවසයි. “ඔහු මට කොතෙක් ප්‍රේම කරන්නේ ද කියා සැවොම දකිනා පිණිස, මාව ඔහුගේ භෝජන සංග්‍රහ ශාලාවට ගෙනැවිත් තිබෙනවා”. අකීකරු පුත්‍රයාගේ පියා තම පුත්‍රයාව මේසය වෙත ගෙන ආවේය. යේසුස් වහන්සේ තම ගෝලයන් සමඟ මේසයක් වටා වාඩි වූසේක. මේසය, සහභාගිකම ගැන කථා කරයි. මේසයකදී, අප අපගේ ස්වාමින් වහන්සේ සමඟ සහභාගිකමේ යෙදී සිටින නමුදු උන්වහන්සේ උදෙසා දේව සේවයේ යෙදී නොසිටින්නෙමු. අප උන්වහන්සේ සමඟ කෑම කන්නෙමු ( එළිදරව් 3: 20 ). සේවය කිසි විටෙකත් අපගේ ජීවිතයේ මූලික අවධානය නොවිය යුතුය. ස්වාමින් වහන්සේට ප්‍රේම කිරීම සැමවිටම ප්‍රධාන දේ විය යුතුය. වසර 50 කට වැඩි කාලයක් ස්වාමින් වහන්සේට පූර්ණ කාලීනව සේවය කිරීමෙන් පසු මට කීමට අවශ්‍යව වන්නේ, මාගේ සියලු දේව සේවාවේ පදනම වන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි ඇති මාගේ භක්තිය (ආත්ම පරිත්‍යාගය) බවය. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ආත්ම පරිත්‍යාගය (භක්තිය) අඩු වුවහොත් අප කරන්නාවූ දේව සේවයට දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි කිසිඳු වටිනාකමක් නැත. ස්වාමින් වහන්සේ උදෙසා සියලු සැබෑ සේවය ගලා එන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමඟ පුද්ගලික, ප්‍රේමණීය, කැපවූ සම්බන්ධථාවයේ උල්පතෙනි.

2. ඇගයීම
මනාලයා, මනාලියට “ඔබ කෙතරම් ලස්සනද” කියා පවසමින් අගය කරයි ( සලමොන්ගේ ගීතිකාව 4:1 ). ස්වාමින් වහන්සේ අප කෙරෙහි සැබැවින් ම අතිශ්‍යයින් ප්‍රීති වන බව සහතික වන මෙවැනි වඳන් ස්වාමින් වහන්සේගෙන් අප ඇසිය යුතුය. ස්වාමිපුරුෂයා සහ භා ර්යාව ද එකිනෙකාගෙන් එවැනි ඇගයීමේ ප්‍රකාශණ ඇසිය යුතුය. සලමොන්ගේ ගීතිකාවෙහි, 4 වන පරිච්ඡේදයේ මනාලයාගෙන් මනාලිය පිළිබඳ දිගු ඇගයීමක් අපට අසන්නට ලැබේ. ආත්මික වර්ධනයේ එක් සලකුණක් නම්, අපම කථා කරනවාට වඩා ස්වාමින් වහන්සේට ඇහුම්කන් දීමට ඉගෙන ගැනීමයි. මනාලිය සවන් දෙන විට, මනාලයා ඇය කෙරෙහි ඇති අගය ප්‍රකාශ කරන බව ඇය දකී. ඔහු ඇයගේ සෑම කොටසක්ම අගය කරන අතර, “මාගේ සොඳුරිය, ඔබ මුළුමනින්ම ලස්සනයි” කියමින් අවසන් කරයි ( සලමොන්ගේ ගීතිකාව 4: 7 ). මනාලයා මනාලිය කෙරෙහි ඔහුගේ ඇගයීම තවදුරටත් ප්‍රකාශ කරයි ( සලමොන්ගේ ගීතිකාව 6: 4-10 ). ඔහු පවසන්නේ සියලුම ස්ත්‍රීන් අතරින් කිසිවෙකු තමාගේ මනාලිය වන උන්වහන්සේගේ පරිපූර්ණ තැනැත්තිය හා සමාන නොවන බවයි. “මම ඇයව අන් සියල්ලන්ට වඩා ඉහළින් තෝරා ගතිමි”. සෑම ස්වාමිපුරුෂයෙක්ම තම බිරිඳ දෙස මේ ආකාරයෙන් බැලිය යුතුය: ලෝකයේ ආකර්ශනීය ස්ත්‍රීන් බොහෝය, නමුත් මාගේ බිරිඳ මෙන් කිසිවෙකු නැත. ඇය මාගේ ඇස් හමුවේ අංක එකවේ. ස්වාමින් වහන්සේ අප ගැන පවසන්නේ මෙයයි. සියලු බුද්ධිමත් දක්ෂ මිනිසුන්ට, ධනවතුන්ට සහ ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට වඩා උන්වහන්සේ අපව අගය කරයි. සලමොන්ගේ ගීතිකාව 7: 1–9 හි මනාලයා තම මනාලිය අගය කරන ආකාරය කියවමු. අපගේ සියලු දුර්වලථා තිබියදීත්, අපගේ ස්වාමින් වහන්සේ සැබැවින් ම අපව අගය කර අපව වටහාගන්නා බව අප පැහැදිළිව දැකගත යුතුය. ස්වාමින් වහන්සේ ඔවුන්ව අගය කරන බව විශ්වාස කළ නොහැකි නිසා බොහෝ ඇදහිළිවන්තයන් ජීවත් වන්නේ නිරන්තර ස්වයං-හෙළා දැකීමෙනි.

3. මිත්‍රත්වය
සලමොන්ගේ ගීතිකාව 5:16 හි මනාලිය මනාලයාව අගය කරයි, “ඔහු මුළුමනින්ම අලංකාරයි. ඔහු මාගේ ප්‍රේමණීය පෙම්වතා සහ මාගේ මිතුරා ය”. යේසුස් වහන්සේ ඔබේ ගැළවුම්කරුවා පමණක් නොව ඔබේ මිතුරාද කියා ඔබට පැවසිය හැකිද? ඔබේ භූමික ස්වාමිපුරුෂයා / බිරිඳ ගැන කුමක් කිව හැකිද? ඔහු/ඇය මිහිපිට සිටින ඔබේ හොඳම මිතුරාද? එය එසේ විය යුතුය. බොහෝ ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් පවසන්නේ ඔවුන් එකිනෙකාට ප්‍රේම කරන නමුත් ඔවුන් එකිනෙකා සම හොඳම මිතුරන් නොවන බවයි. ඔවුන්ගේ හොඳම මිතුරන් දක්නට ලැබෙන්නේ අන් අය අතරේය. එය අවාසනාවකි. යේසුස් වහන්සේ මාගේ සමීපතම සහ ආදරණීය මිතුරාය - මාගේ බිරිඳට වඩා සමීපය. නමුත් මිහිපිට සිටින අය අතර, මාගේ බිරිඳ මාගේ සමීපතම සහ හොඳම මිතුරියයි - ඇය මගේ ජීවිත කාලය පුරාම එසේ වනු ඇත. මෙය මගේ කිතුණු ජීවිතය මෙන්ම මාගේ විවාහ ජීවිතයද අතිශයින්ම සතුටට පත් කර තිබේ.