WFTW Body: 

පරණ ගිවිසුම මෙන්ම අලුත් ගිවිසුම තුළද වසර තිහක් වන විට එය ජනතාවගේ ජීවිතයේ ඉතා සුවිශේෂ කාලයක් බව පෙනේ.

යෝසෙප් ඊජිප්තුවේ පාලකයා වන විට ඔහු වයස අවුරුදු තිහක් ව සිටියේය. යෝසෙප් වයස අවුරුදු 17 වනවිට, දෙවියන් වහන්සේ හට යෝසෙප්ගේ ජීවිතය පිළිබඳව අරමුණක් ඇති බව, ස්වප්න තුළින් ඔහු හට ඒ වනවිටත් දෙවියන් වහන්සේ එළිදරව් කර තිබුණේය. බොහෝ ගැටවරයන් අසභ්‍ය සිහින දකින වයසේදී යෝසෙප් දෙවියන් වහන්සේගෙන් සිහින දැකීමට තරම් උන්වහන්සේට සංවේදීව සිටීම දැකීම ඉතාමත් පුදුමාකාරය. යෝසෙප්ගේ දුක් විඳීම් දෙස බලන්න - ඔහුගේ සහෝදරයන් ඔහු කෙරෙහි ඊර්‍ෂ්‍යා කිරීම, නපුරු ස්ත්‍රියකගෙන් වැරදි ලෙස චෝදනා ලැබ සිරගත වීම. ඒ දවස්වල සිරගෙවල්, මීයන්, පණුවන් සහ කැරපොත්තන් ගෙන් පිරුණු අප්‍රසන්න කුටීරයන් වේ. එසේ වුවද උත්පත්ති 39:21 හි සඳහන් වන්නේ "යෝසෙප් සමග දෙවියන් වහන්සේ සිටිය බවය".

දාවිත් රජ කමට පත් වන විට ඔහුට වයස අවුරුදු තිහක් විය. 1 සාමුවෙල් 16 හි, පූජාවක් පවත්වන පිණිස තම පුතුන් කැඳවන්නැයි යෙස්සේ හට සාමුවෙල් කී විටදී ඔහු කැඳෙව්වේ පළමු හත්දෙනාව පමණි. ඔහු, පවුලේ අන්තිමයා වූ දාවිත්ව කැඳවීමට සිතුවේවත් නැත. මෙයින් පෙනී යන්නේ කිසිවෙක් දාවිත් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවය. ඔහු පවුලේ ළදරුවා ය. සමහරවිට වයස අවුරුදු පහළොවක්ව ඉන්නට ඇති. දාවිත්ව කැඳවූ විට එහි සිදු වන්නේ කුමක්ද කියාවත් ඔහු නොදැන සිටියේය. නමුත් දෙවියන් වහන්සේ ඔහු දෙස බලමින් සිට තිබුණ අතර ඔහු තුළ තිබූ භක්තිය සහ ස්වාමීන් වහන්සේ කෙරෙහි වූ ප්‍රේමය උන්වහන්සේ දැක තිබිණි. දාවිත් එනවාත් සමගම දෙවියන් වහන්සේ සැමුවෙල්ට කතා කොට "මෙයා තමයි තැනැත්තා" කියා පැවසූ සේක. එවිට සාමුවෙල් දාවිත්ව ආලේප කලේය. ඒ සමඟම ස්වාමින්වහන්සේගේ ආත්මය බලවත් ලෙස මේ ගැටවර තරුණයා මත පැමිණියේය.

අනාගත වාක්‍ය පවසන පිණිස දෙවියන් වහන්සේ යෙරෙමියාව කැඳවන විට ඔහු තරුණව සිටියේය. දෙවියන්වහන්සේ යෙරෙමියා ට මෙසේ පැවසූ සේක "මම ඔබ ගර්භයෙහි සාදන්ට පළමුවෙන් ඔබ හඳුනාගෙන සිටියෙමි, ඔබ කුසෙන් නික්මෙන්ට පළමුවෙන් මම ඔබ කැපකොට, ජාතීන්ට අනාගතවක්තෘ කෙනෙකු කොට ඔබ නියමකෙළෙමි" (යෙරෙමියා 1:5 ). අපේ මවු ගැබ තුළ පිළිසිඳ වුන විගස කුඩා අන්වීක්‍ෂිය ජීවයක්ව සිටියදීම අප කෙරෙහි දෙවියන් වහන්සේගේ දෙනෙත් යොමු වී තිබුණි. යෙරෙමියා ගේ ජීවිතය ගැන උන්වහන්සේට සැලැස්මක් තිබුණා සේම අපේ ජීවිත ගැන ද දෙවියන්වහන්සේට සැලැස්මක් තිබේ. තරුණ සියලු දෙනා හට මෙය මහත් දිරි ගැන්වීමකි. “මම බාලයෙක්මියි නොකියා, මා විසින් ඔබ යවන සියල්ලන් ළඟට ගොස්, මා ඔබට අණකරන සියල්ල කියන්න” (යෙරෙමියා 1:7 ) කියා ස්වාමීන් වහන්සේ යෙරෙමියා හට පැවසූ සේක. ඉන්පසුව ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ අනාගත වක්තෘන් වරුන්ට නිතරම පවසන්නා වූ එක් වචනයක් යෙරෙමියාටද පැවසූ සේක; "ඔවුන්ට භය නොවන්න; මක්නිසාද ඔබ ගළවන්ට මම ඔබ සමඟ සිටිමි" (යෙරෙමියා 1:8 ).

එසකියෙල් තම සේවය ආරම්භ කරන විට ඔහු අවුරුදු 30 ක්ව සිටියේය. එසකියෙල් පූජකයකු වීමට හදාරමින් සිටිය අතර ඔහුගේ පියා ද පූජකයෙකි (එසකියෙල් 1:3 ). නමුත් ඔහුට අවුරුදු තිහක් වූ විට දෙවියන්වහන්සේ ක්‍ෂණිකවම, අනාගතවක්තෘ වරයෙකු වන පිණිස ඔහුව කැඳවූ සේක (එසකියෙල් 1:1 ). එසකියෙල් ඔහුගේ බාල කාලයේ දී යෙරමියාට යටහත් ව සිටින්නට ඇත. ඔහු තරුණයකු ලෙස යෙරමියාගේ අනාගත වාක්‍ය වලට ඇහුම්කන් දී ඒවා හදාරන්නට ඇත. මේ තරුණයාගේ විශ්වාසවන්ත කම දුටු දෙවියන් වහන්සේ මොහු පූජකයකු නොව අනාගතවක්තෘ වරයෙකු විය යුතු යැයි තීරණය කළ සේක. දිනක් දෙවියන් වහන්සේ එසේ වුවත් අහස විවර කර උන්වහන්සේ ගැන දේව දර්ශන පෙන්වා උන්වහන්සේගේ සෙනඟට පණිවිඩයක් දුන් සේක.

මධ්‍යස්ථ ප්‍රතිපදාවට එරෙහිව විශ්වාසවන්ත තරුණයෙක් ලෙස වැඩීම ආරම්භ කරන විට ඔහුට ලැබෙන්ට යන්නා වූ අති විශේෂ සේවාව ගැන දානියෙල් කිසිවිටෙකත් දැන නොසිටියේය. කුඩා දේ වලදී මෙන්ම මහා කාරණාවලදී ද ඔහු විශ්වාසවන්ත ව සිටියා පමණි එවිට දෙවියන් වහන්සේ ඔහු තුළින් මහත්‍ වූ සේවාවක් ඉෂ්ට කර ගත් සේක. දානියෙල් ගේ පොත ආරම්භය වන විට පෙනෙන හැටියට ඔහුට වයස අවුරුදු දාහතක් පමණ වූ අතර ඔහු හට වයස අවුරුදු 90ක් පමණ වන විට එම පොත අවසන් වන්නේය. ඔහු වහල් භාවයේ සම්පූර්ණ අවුරුදු 70 පුරාම ජීවත් වූ අතර ඒ මුළු කාලයේදීම විශ්වාසවන්තව සිටියේය. බබිලෝනියේ සිට යෙරුසලමට සංක්‍රමණය වීම ආරම්භ කිරීමට මොහුව පාවිච්චි කිරීමට දෙවියන් වහන්සේ හට හැකිවූයේ මේ හේතුව නිසාමය. අද දවසේ දී ද වයස අවුරුදු දාහතක තරුණයෙකු තෝරා ඔහුව අනාගත වක්තෘ කෙනෙකු කර උන්වහන්සේ උදෙසා ස්ථාවරයක සිටින පිණිස බලවත් කරන්නට දෙවියන් වහන්සේ හට පුළුවන.

හග්ගයි සමඟ සමකාලීනව අනාගත වාක්‍ය පැවසූ සෙකරියා තරුණයකුව සිටියේය. සෙකරියා, හග්ගයිට වඩා බාලව සිටිය ද, දෙවියන් වහන්සේ ඔහු හට වැඩියෙන් අනාගත වාක්‍ය පවසන්න ඉඩ දුන් සේක. දෙවියන්වහන්සේ වයස ගැන සැලකිල්ල දක්වන්නකු නොවන සේක. සෙකරියා ඉතා තරුණ ව සිටියදී ම දෙවියන් වහන්සේ ඔහු හට දර්ශනද අනාගත වාක්‍යමය පණිවිඩ ද දෙන්නට පටන් ගත් සේක ( සෙකරියා 2:4 ). ඔබ තරුණ ව සිටියදී ම දෙවියන් වහන්සේ හට ඔබව තෝරාගෙන, උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් ආලේපකර, හග්‍ගයි වැනි වයසින් වැඩි දේව භක්තික සහෝදරයෙකු සමග එක කණ්ඩායමක තබා අවසානයේදී ඔහුට වඩා පුළුල් සේවයක් ඔබට දීමට පුළුවන. අධෛර්‍යයට පත් වූවන් ධෛර්‍යමත් කිරීමේ ආශිර්වාදමත් සේවාවක් සෙකරියා හට තිබුණේය.

යේසුස් වහන්සේ තම පොළොව මතුපිට සේවාව ආරම්භ කිරීමේදී වයස අවුරුදු තිහක් ව සිටි සේක. යේසුස් වහන්සේට පවා තම සේවාව ආරම්භ කිරීමට පෙර යෝසෙප්ට සහ මරියාට යටහත් ව සිටීමේ පුහුණුව අවුරුදු තිහක් තිස්සේ ලැබීමට අවශ්‍ය වූයේ නම් අප හට එය කොතරම් වැඩියෙන් අවශ්‍ය වන්නේ ද?

අපෝස්තුළුවරුන්ගෙන් බොහොමයක්ම ඔවුන්ගේ සේවාව ආරම්භ කිරීමේදී ඔවුන් වයස අවුරුදු 30 සීමාවේ සිටියෝය. අද දවසේ දී ද දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ එම වයස සීමාවේදී ම වාගේ ඔවුන්හට උන්වහන්සේ දුන් සේවාව තුළ උන්වහන්සේගේ දරුවන්ව මග පෙන්වීම උදෙසා නායකත්වය දැරීම ආරම්භ කරනවාටය. නමුත් ඒ විශේෂිත සේවාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් අපව ලැහැස්ති කිරීමට උන් වහන්සේට අවශ්‍ය වන්නේය. ඔබගේ ගැටවර වයසේදී සහ අවුරුදු විසි ගණන්වලදී උඹ සම්පූර්ණයෙන් ම දෙවියන් වහන්සේට යටහත් වී ඔබව පිළියෙල කිරීමට උන්වහන්සේට ඉඩ හරින්නේ නම් එවිට ඔබ අවුරුදු තිහක්(හෝ 35) වනවිට දෙවියන් වහන්සේ විසින් ඔබ හට පිළියෙල කරන ලද විශේෂිත සේවාවට ඔබ සෑදී සිටින්නේය.