WFTW Body: 

හෙබ්‍රෙව් 5: 8 හි අපට කියවීමට තිබෙන්නේ “ඔහු පුත්‍රයෙකු වුවද ඔහු වින්ඳ දුක් පීඩා තුළින් කීකරුකම ඉගෙන ගත් බවයි.” යේසුස් වහන්සේට ද කීකරුකම ඉගෙන ගන්නට සිදුවිය. ‘ඉගෙන ගැනීම’ යනු අධ්‍යාපනය සම්බන්ධ වචනයකි. යේසුස් වහන්සේගේ මාංසයේ (පොළොවෙහි ජීවිත) කාලයේදී කීකරුකම පිළිබඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට සිදුවිය. දෙවියන් වහන්සේ ලෙස ස්වර්ගයේ සිටින විට, කිසිවෙකුට කීකරු වීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය. ඔබ ඔබේ මුළු ජීවිත කාලය පුරාම කිසිවක් කර නොමැති නම්, ඔබ එය පළමු වරට කරන විට, ඔබ යමක් ඉගෙන ගනී. යේසුස් වහන්සේ මිනිසෙකු ලෙස පොළොවට පැමිණි විට කීකරුවීමට ඉගෙන ගත් සේක. එවිට ඔහුට තම පියාට කීකරුවීමට පමණක් නොව, ජෝසෙප්ට හා මරියාට ද කීකරුවීමට සිදුවිය. ජෝසෙප් සහ මරියා පව්කාර අසම්පූර්ණ මිනිසුන් ය. සියලුම දෙමව්පියන් මෙන් ඔවුන් ද වැරදි කර තිබෙන්නට ඇති. එහෙත් යේසුස් වහන්සේ ඔවුන් ට කීකරු වූසේක. එය අසීරු වන්නට ඇති. උන්වහන්සේගේ කීකරුකමෙහි දුක් වේදනා විදිතත්, උන්වහන්සේ කීකරු වූ සේක. එයින් අදහස් කරන්නේ උන්වහන්සේගේ කැමැත්ත ප්‍රතික්ෂේප කර, පියාණන්ට කීකරුවීමේ වේදනාව උන්වහන්සේගේ ජීවිත කාලය පුරාවට විඳ දැරෑ බව ය. උන්වහන්සේ කීකරුකම ඉගෙන ගත්තේ මෙසේ වේදනාව දැරීමට මිළයක් ගෙවීමෙනි.

“යේසුස් වහන්සේ කීකරුකම ඉගෙන ගත්තේ තමාවම ප්‍රතික්ෂේප කරමිනි.”

කීකරුකමේ සමහර අංශ ප්‍රියජනකයි. ඔබේ දරුවාට ඔහුගේ අයිස්ක්‍රීම් එක කන්න කියා කිවහොත්, ඔහු ඔබට කීකරුවීමෙන් සතුටක් ලබයි. එහි ඔහුට කිසිදු වේදනාවක් නැත. නමුත් ඔහු තම මිතුරන් සමඟ සෙල්ලම් කරමින් සිටින විට ඔබ ඔහුට එය නවතා ගෙතුළට පැමිණ ඔහුගේ ගෙදර වැඩ කරන මෙන් කියූ විට, එවිට කීකරුකම වේදනාකාරි වේ. එසේ වුවද අපේ ජීවිතයේ කීකරුකම පහසු සහ විනෝදජනක විය හැකි ඇතැම් ක්ෂේත්‍ර තිබේ. අපට එය යහපත් යැයි දැන අප කීකරු වෙන්නෙමු. නමුත් අපේ කීකරුකමේ සැබෑ පරීක්ෂණය වන්නේ අප කිරීමට අකමැති දෙයක් කරන්න වූ විට ය, අපගේ සිය-කැමැත්ත ප්‍රතික්ෂේප කිරීම හා අපට වේදනාව ගෙනෙන දෙයක් කරන්න සිදුවූ විට ය. අපගේ කීකරුකම පරික්ෂා කරණු ලබන්නේ එතැණිනි.

යේසුස් වහන්සේ කීකරුකම ඉගෙන ගත්තේ තමාවම ප්‍රතික්ෂේප කරමිනි. “නැත” යනුවෙන් පියා පැවසූ ඕනෑම දෙයක ට “නැත” යනුවෙන් උන්වහන්සේ ද කීවේ ය. උන්වහන්සේ වේදනාත්මක දේවලින් කීකරුකම ඉගෙන ගත් අතර මෙම අධ්‍යාපනය අවසානයේ “උන්වහන්සේව පරිපූර්ණ කරන ලදී.” (හෙබ්‍රෙව් 5: 9). මෙහි “පරිපූර්ණ” යන්නෙහි තේරුම නම්, “සම්පූර්ණ” යන්න ය. යේසුස් වහන්සේ උපාධියට සුදුසුකම් ලබා උපාධිය ලැබූ සේක. අපද ලබා ගතයුතු උපාධිය නම් එයම වේ. උන්වහන්සේ ජයගත් ලෙසම අප ද බොහෝ පරීක්ෂා ජයගත යුතු ය. අප පරික්ෂණයක දී අසමත් වුවහොත් කුමක් ද සිදුවන්නේ? එවිට අපට එම පරීක්ෂණයට නැවත පෙනී සිටින්න අවශ්‍ය වන්නේ ය ! අපගේ පරීක්ෂණ සියල්ලම අවසාන වශයෙන් සමත් වූවිට අපගේ උපාධිය අපට ලැබෙන්නේ ය. එවිට අප ජයගත්තෝ වන්නෙමු. අපගේ ජීවිතයේ ලබාගත හැකි වැදගත් ම උපාධිය මෙය ය. අනෙක් සෑම උපාධියක් ම සාපේක්ෂව කිවහොත් කුණු ය. මා අනුගමනය කරන්න යැයි යේසුස් වහන්සේ කියන කළ අපගේ ගැළවීමේ කපිතාන්වරයා ලෙස උන්වහන්සේ කළ දේ කරන මෙන් අපෙන් ඉල්ලා සිටී. උන්වහන්සේ කිසි විටෙකත් මුහුණ නොදුන් පරික්ෂාවකට මුහුණ දෙන ලෙස උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ නැත. අප නිර්භීතව අනුග්‍රහයේ සිංහාසනය වෙත ගොස් අපගේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට අනුග්‍රහය ලබා ගනිමු. අපට දුක් විඳීමට සිදු වුවහොත් අපි දුක් විඳිමු. නමුත් අපි අධිෂ්ඨාන කරගෙන සිටින්නේ කීකරුකම ඉගෙන ගෙන අපගේ අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට යි.

හෙබ්‍රෙව් 5: 9 හි අප කියවන්නේ “පරිපූර්ණත්වය ට රැගෙන ආ පසු, උන්වහන්සේට කීකරු වන සියල්ලන් ට සදාකාල ගැළවීමේ උල්පත උන්වහන්සේ බවට, පත් වූ බවයි” යේසුස් වහන්සේ දැන් මෙම කීකරුකමේ විද්‍යාලයේ මහාචාර්යවරයා බවට පත්ව ඇත. උන්වහන්සේ එකම විද්‍යාලයෙහි පහළ ම්ට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා - සෑම දෙයකට ම කීකරු විය. දේව සේවකයන් වන අප ව දැන් එම කීකරුකමේ විද්‍යාලයේම කණිෂ්ඨ කථිකාචාරවරුන් වීමට කැඳවා තිබේ. දුක් විඳීමෙන් ඔබ කීකරුකම ඉගෙන ගන්නා තරමට, ඔබ අන් අයව කීකරුකමට යොමු කරන ස්වාමින් වහන්සේගේ සැබෑ සේවකයෙකු විය හැකිය. සැබෑ කිතුණු සේවාව එයම ය.