WFTW Body: 

යේසුස් වහන්සේ තම පියාණන් වහන්සේ සැමවිටම උන් වහන්සේ ඉදිරියෙහි තබා සිටි බව ලියා ඇත. එබැවින් උන්වහන්සේගේ සිත නිතරම සතුටු විය. උන්වහන්සේට “ප්‍රීතියේ පූර්ණත්වය” තිබූ අතර පියාණන් වහන්සේ සැමවිටම උන්වහන්සේට සහයෝගය දැක්වීමට යේසුස් වහන්සේගේ දකුණු පැත්තේ සිටිසේක (ක්‍රියා 2:25, 26, ගීතාවලිය 16: 10,11 උපුටා දක්වමින්). එමනිසා සෑම විටම ස්වාමින්වහන්සේ ඔබ ඉදිරියෙහි තබාගන්න. එවිට ප්‍රීතියේ පූර්ණත්වය ඔබේ නිරන්තර කොටස වන අතර සැමවිටම ඔබට සහයෝගය දැක්වීමට ස්වාමින් වහන්සේ ඔබගේ දකුණු පැත්තේ සිටිනු ඇත. එබැවින් ඔබ සහ ස්වාමින් වහන්සේ අතරට, මිනිසුන්ට හෝ ඔබ මුහුණපාන සිද්ධීන් වලට, පැමිණීමට ඉඩ නොදෙන්න.

සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝය (මතෙව් 5:8)- සෙනග සහ සිද්ධීන් නොව සෑම වාතාවරණයක් තුළදීම ඔවුන් දෙවියන් වහන්සේව පමණක් දකින්නෝය. යේසුස් වහන්සේගේ අලංකාරය ඔබව දැඩිව ග්‍රහණය කරන විට පරීක්‍ෂාවේ ඇදීම දුර්වල වනු ඇත. ස්වාමීන් වහන්සේ කරණකොටගෙන මිනිසුන් හා සිද්ධීන් ඔබ දකින විට, දෙවියන් වහන්සේ ඒ සියලු තත්වයන් තුළ සහ ඒ සියලු මිනිසුන් තුළින් සියල්ල ඔබගේ හොඳම දෙය උදෙසා ක්‍රියා කරන බවට සහතික වීමෙන් ඔබ “විවේකයෙන්” සිටිනු ඇත (රෝම 8:28). එදිනෙදා ජීවිතයේ දැන් ඔබට පැමිණෙන කුඩා පරික්‍ෂාවන් වලදී, සෑම තත්වයකදීම විවේකයෙන් සිටීමේ පුරුද්ද ඔබ වර්ධනය කර ගත යුතුය, එවිට ඔබට අනාගතයේදී පැමිණෙන වඩා විශාල ඒවා ජය ගත හැකිය.

කිසිම මිනිසෙකුව හෝ කිසිම මිනිසෙකුගේ රචිත ලියවිල්ලක් නමස්කාර නොකරන්න. සැබවින්ම දේවභක්තික මිනිසුන් සහ සැබවින්ම අධ්‍යාත්මික ග්‍රන්ථ ඔබව සැමවිටම යේසුස් වහන්සේ(ජීවමාන වචනය) සහ බයිබලය වෙත යොමු කරනු ඇත. එවැනි මිනිසුන් පමණක් අනුගමනය කර එවැනි පොත් පමණක් කියවන්න.

දෙවියන් වහන්සේගේ බලයේ උතුම්ම ප්‍රකාශය වූයේ මැවීම තුළ නොව, ස්වාමීන් වන යේසුස් වහන්සේගේ මරණය හා නැවත නැඟිටීම කරණකොටගෙන සාතන් පරාජය වූ විටදීය (එපී 1: 19, 20). යේසුස් වහන්සේගේ කුරුසියේ ඇණ ගැසීම මිනිස් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම නපුරයි. එලෙසම එය මේ පොළොවේ මෙතෙක් සිදු වූ හොඳම දේ ද විය. ඉතිහාසයේ නරකම සිදුවීම හොඳම දේ බවට පරිවර්තනය කිරීමට දෙවියන් වහන්සේ බලවත් නම්, ඔබගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම උන් වහන්සේ මහිමාන්විත දෙයක් බවට පත් කරන බව ඔබට සහතික විය හැකිය (රෝම 8: 28).

කැපී පෙනෙන ලෙස හෝ ප්‍රදර්ශනකාරීව හෝ හොරණෑ පිඹීමකින් තොරව, නොපෙනෙන ආකාරයෙන් වැඩ කිරීමට දෙවියන් වහන්සේ කැමැතිවන සේක. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමහර දේවල් අහම්බෙන් හෝ වාසනාවකට මෙන් සිදු වූවක් යැයි ඔබ සිතනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම ඒවා යාච්ඤාවට නිශ්චිත පිළිතුරු විය - ඔබේම යාච්ඤාවට සහ ඔබ වෙනුවෙන් අන් අය කළ යාච්ඤා වලට. උන්වහන්සේ ක්‍රියා කරන ආකාරයට “උන්වහන්සේ සැඟවී සිටින දෙවි කෙනෙකි” (යෙසායා 45:15). “උන්වහන්සේගේ ක්‍රම තේරුම් ගැනීම අපට කොතරම් අපහසුද” (රෝම 11: 33).

ඔබට හැකි උපරිමය කරන්න - ඉතිරිය දෙවියන් වහන්සේට භාර දෙන්න. ඔබ ගැන සැලකිලිමත් වන සෑම කාරණයකදීම උන්වහන්සේ පරමාධිපත්‍යය අභිබවා යවන සේක. ඔබගේ වැරදි සහ අසාර්ථකත්වයන් පවා ස්වාමින් වහන්සේ විසින් ආත්මික ලාභය පිණිස යොමු කරනු ඇත. මේ අපි නමස්කාර කරන දෙවියන් වහන්සේය - මේ පොළොවේ සියලු කාරණා පාලනය කරන තැනැන්වහන්සේය. එබැවින් ඔබ විසින් සිදු කරන ලද යම් වැරදි ගැන ඔබ කනගාටු විය යුතු නැත. එවැනි කණගාටුවකින් ඔබේ ප්‍රීතිය කොල්ලකෑමට සාතන්ට ඉඩ නොදෙන්න. දෙවියන් වහන්සේ සර්වබලධාරී වන අතර උන්වහන්සේ අපගේ වැරදි පවා උන් වහන්සේගේ මහිමය උදෙසා හා අපගේ යහපත උදෙසා ක්‍රියා කරවන සේක. ඔබට ශෝක වීමට අවශ්‍ය එකම දෙය නම් උඩඟුකම සහ සමාව ඉල්ලා නොසිටි පාපයන්‍ ය. කෙසේවෙතත්, ඔබව අධෛර්‍යමත් කිරීම පිණිස, ඔබගේ අතීත වැරදි ගැන සාතන් ඔබට නිතර මතක් කර දෙනු ඇත. නමුත් ඔබගේ අතීත අසාර්ථකත්වයන් පිළිබඳව ඔබ දිගින් දිගටම අධෛර්‍යයට පත්වුවහොත්, සාතන්ට ඔබව නැවත වට්ටවන්නට පහසු වනු ඇත.

රැළි වඩ වඩා සැර වන විට, ඔබේ දර්ශනය පේතෘස් කළාක් මෙන් යේසුස් වහන්සේ කෙරෙහි මිස ඔබ වටා ඇති රැළි මත නොතැබීම වැදගත් ය ( මතෙ. 14: 30). ඔබගේ සේවා ස්ථානයේ හෝ ඔබ අවට කැලඹීම් ඇති විය හැකිය. නමුත් ඔබ යේසුස් වහන්සේ දෙස පමණක් බැලුවහොත්, ඔබ කැළඹුන මුහුද මත ජයග්‍රාහීව ගමන් කරනු ඇත.