WFTW Body: 

අළුත් ගිවිසුමෙහි උගන්වන්නේ මිනිසෙකු ගැළවීම ලැබීමට නම්, ඔහු පළමුවෙන්ම පසුතැවිලි විය යුතු බවයි. පසුතැවීම යනු අපගේ පරණ ජීවන රටාවෙන් හැරීමයි. එයින් අදහස් කරන්නේ මත්පැන් හා සූදුව වැනි නරක පුරුදු අතහැරීමට වඩා යමකි, අපගේ පැරණි ජීවන රටාව අප තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක්ය; පසුතැවීම යන්නෙන් අදහස් කරන්නේ, “ස්වාමීනි, මා තුළම කේන්ද්‍රගත වීමෙන් මා වෙහෙසවී ඇත්තෙමි. දැන් මට ඔබවහන්සේ වෙතට හැරී ඔබවහන්සේ තුළ කේන්ද්‍රගත වීමට අවශ්‍යය” ලෙස පැවසීමයි.

යේසුස් වහන්සේ පැමිණියේ අපව පාපයෙන් ගළවා ගැනීමටයි. වෙනත් වචනයෙන් කිවහොත් උන්වහන්සේ පැමිණියේ අප තුළම කේන්ද්‍ර වූ ජීවිතයකින් අපව ගළවා ගැනීමටයි. අළුත් ගිවිසුමේ “පාපය” යන වචනය වෙනුවට “තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක්” යන වචනය යොදන්න, එවිට බොහෝ පරිච්ඡේදවලින් ප්‍රකාශවන අර්ථය ඔබට පෙනෙණු ඇත. “පාපය ඔබ කෙරෙහි අධිපතිකම් නොකරනු ඇත” යන්න “තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක් ඔබ කෙරෙහි අධිපතිකම් නොකරනු ඇත” වන්නේය ( රෝම 6: 14 ). දෙවියන් වහන්සේගේ සෙනඟ කෙරෙහි උන්වහන්සේගේ අභිලාෂය එයයි. එහෙත් අප අපගේ ජීවිත සෝදිසි කළහොත් අතිශයින්ම පරිශුද්ධ ආශාවන් තුළ පවාද තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක් ඇති බව අපට පෙනී යනු ඇත. අපට උතුම් දේශකයෙකු හෝ උතුම් සුව කරන්නෙකු වීමට හෝ යනාදි දෙයට, ශුද්ධාත්මයේ බලයෙන් අපව පුරවන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීම ද මෙම ලෝකයේ උතුම් කෙනෙකු වීමට ආශාකිරීම හා සමාන තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක් වැනිය. පාපය අතිශුද්ධස්ථානයට පවා ඇතුළුවන ආකාරය ඔබට පෙනේද?

පළමුවෙන්ම අපව ශුද්ධාත්මයෙන් පූර්ණවන පිණිස වත් නොව, නමුත් දෙවියන් වහන්සේගේ නාමය ගෞරව වන පිණිස යේසුස් වහන්සේ අපට යාච්ඤා කිරීමට ඉගැන්වූයේ ඒ නිසාය. මෙම යාච්ඤාව අවංකවම යාච්ඤා කළ හැක්කේ සැබෑ ආත්මික මිනිසෙකුට පමණි. ඕනෑම කෙනෙකුට මෙම යාච්ඤාව නැවත නැවත කළ හැක, සැබැවින්ම, ගිරවෙකුට පවා එය කළ හැක. නමුත් අපගේ හදවත්වල ගැඹුරින්ම එහි අර්ථය සැබැවින්ම ප්‍රකාශ කිරීමට නම්, අප උන්වහන්සේ තුළ කේන්ද්‍ර වූ ජීවිතයක පැවත, උන්වහන්සේ අපගේ ජීවිතයේ ප්‍රමුඛත්වය වී, උන්වහන්සේවම සොයන තරම් උන්වහන්සේගේ ආශිර්වාදය නොසොයා, දෙවියන් වහන්සේට මුළු හදවතින්ම පූර්ණ භක්තියක් දැක්විය යුතුය. උන්වහන්සේ අපට උන්වහන්සේගේ දීමණා ලබා දෙන්නේ නම් එය ඉතා යහපත් ය; එලෙසම උන්වහන්සේ කිසිදු දීමණාවක් නොදුන්නත් එයද අපට කම් නැත, මක්නිසාද අපගේ අභිලාෂය දෙවියන් වහන්සේ මිස උන්වහන්සේගේ දීමණා නොවේ. දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල් ජනතාවට මුළු හදවතින්ම උන්වහන්සේට ප්‍රේම කිරීමට හා තම අසල්වැසියාට තමාට මෙන්ම ප්‍රේම කිරීමට ඉගැන්වූවේ මන්ද? ඔවුනගේ තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයෙන් ඔවුන්ව ගළවන පිණිස පමණකි.


“ප්‍රීතිය (JOY)” යන වචනයේ අක්ෂර වින්‍යාසයක් ඇත. “ජේ” (“J” - Jesus) - ජේසුස් වහන්සේට මුල් තැන දෙන්න, “ඕ” (“O” – Others)) - අනෙක් අය ඊළගට, “වයි” (“Y” - You) - ඔබ අන්තිමයා වන්න. එවිට ඔබට “ප්‍රීතිය” ලැබිය හැකිය. දෙවියන් වහන්සේ නිතරම ප්‍රීතියෙන් පිරී සිටින සේක. ස්වර්ගයෙහි සියල්ලම දෙවියන් වහන්සේ තුළ කේන්ද්‍රගත වී ඇති බැවින් එහි කිසිදු ශෝකයක්වත් කනස්සලක්වත් නොමැත. අපට ප්‍රීතිය, සාමය හා තවත් බොහෝ ආත්මික ගුණාංගවල හිඟකමට හේතුව, අප අපගේ නිසි කේන්ද්‍රස්ථානය සොයා නොගැනීමයි. අපි දෙවියන් වහන්සේව අපේම අරමුණු උදෙසා යොදා ගැනීමට නැඹුරු වෙමු. යාච්ඤාව පවා මෙයාකාර ස්වභාවයක් ගනී, “ස්වාමිනි, කරුණාකර මාගේ ව්‍යාපාරය සමෘද්ධිමත් වීමට ඉඩ හරින්න....මාගේ රැකියාවේ උසස්වීමක් ලබා ගැනීමට මට උපකාර කරන්න.... කරුණාකර මට වඩාත් හොඳ නිවසක් ලබා ගැනීමට ඉඩ දෙන්න...” යනාදිය., අපගේ පොළොවෙහි ජීවිතය වඩාත් සුවපහසු කිරීමට උපකාර කරන පිණිස දෙවියන් වහන්සේ අපගේ සේවකයා කිරීමට අපට අවශ්‍යය - ඇලඩින් සහ පුදුම පහනෙහි කථාන්දරයේ සිටින ජෙනී වැනිය.

බොහෝ ඇදහිළිවන්තයින් යාච්ඤා කරන දෙවියන් මෙයාකාරය - මේ ලෝකයේ තමන්ගේම දියුණුවට හා ලාභ ලැබීමට උපකාරී වන අයෙකි. නමුත් නව ගිවිසුමෙහි දෙවියන් වහන්සේ ඔලිම්පික් උළෙලේ මීටර් 100 ධාවන තරඟය ජයග්‍රහණය කිරීමට හෝ ව්‍යාපාරික ගණුදෙනුවකදී ඔබේ තරඟකරුවා අභිබවා යාමට උදව් කරන අයෙක් නොවන සේක. අපගේ යාච්ඤාවන් අප කෙතරම් තමා තුළම-කේන්ද්‍ර වූ ජීවිතයක නිරත වී දැයි හෙළි කරයි.

“ස්වාමින් වහන්සේ තුළම තෘප්තිමත් වන්න” එවිට “උන්වහන්සේ ඔබගේ හදවතෙහි ආශාවන් ලබා දෙන සේකැ” යි බයිබලය පවසයි ( ගීතාවලිය 37: 4 ). ස්වාමින් වහන්සේ තුළම තෘප්තිමත් වීම යනු දෙවියන් වහන්සේව අපගේ ජීවිතයේ කේන්ද්‍රය කරගැනීමය. එබැවින් තමන්ගේ හදවතෙහි සියළුම අභිලාෂයන් පිණවා ගත හැකි වන්නේ දෙවියන් වහන්සේව තම ජීවිතයේ කේන්ද්‍රගත කරගත් කෙනෙකුට පමණි. අවංකලෙස හැසිරෙන්නන්ගෙන් (එනම්, හිස ඔසවා ගමන් කරන සහ - දෙවියන් වහන්සේට තමන්ගේ ජීවිතය පාලනය කරන්න ඉඩ දෙන අයගෙන්) දෙවියන් වහන්සේ කිසිදු යහපතක් නොවළක්වන සේක ( ගීතාවලිය 84: 11 ). “ධර්මිෂ්ඨ මිනිසෙකුගේ උද්‍යෝගිමත් ඵලදායි යාච්ඤාව බොහෝ දේ ඉටු කරයි” - ධර්මිෂ්ඨ මිනිසා, දෙවියන් වහන්සේව තමාගේ ජීවිතයේ කේන්ද්‍ර කරගත් මිනිසාය ( යාකොබ් 5: 16 ). ඊට පටහැනිව, තමාව-කේන්ද්‍ර කරගත් මිනිසාගේ උද්‍යෝගිමත් යාච්ඤාව, ඔහු එළිවෙන කල් යාච්ඤා කළත් එයින් කිසිම ප්‍රයෝජයක් ගෙන දෙන්නේ නැත. අප ජීවත් වන ජීවන රටාව අනුව අපගේ යාච්ඤාවට වටිනාකමක් ගෙන දෙයි.

“පියාණනි, ඔබගේ නාමය ගෞරවය වේවා. ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත සිදු වේවා,” යන්න අපගේ ජීවිතයේ පළමු ආශාවන් තුන විය යුත්තේ එම නිසාය. මගේ කොන්දෙ කැක්කුම සුව කරන්න, ජීවත් වීමට වඩාත් හොද නිවසක් සොයා ගැනීමට මට උපකාර කරන්න, මගේ පුතාට රැකියාවක් ලබා ගැනීමට උපකාර කරන්න වැනි තවත් බොහෝ යහපත් ඉල්ලීම් අපට තිබිය හැකිය. නමුත් ඔබට මෙසේ කිව හැකි නම්, “පියාණනි මෙම ඉල්ලීම් ඔබවහන්සේ ලබා නොදුන්නත්, මාගේ ප්‍රාථමික අභිලාෂය වන්නේ ඔබවහන්සේගේ නාමය මහිමයට පත් වීම යි” - එවිට ඔබ ආත්මික මිනිසෙකි.