WFTW Body: 

එසකියෙල් 36: 25 සිට 37 දක්වා සඳහන් වන්නේ නව-ගිවිසුම් ජීවිතයෙහි අලංකාර අනාගත වාක්‍යයකි. දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නා වූ ක්‍රිස්තියානි ජීවිතය කුමක්ද යන්න මෙහිදී පැහැදිළි කරන්නේ ය. අපේ හදවතින් සියලුම දේවතා රූප ඉවත් කිරීමෙන් අපව සම්පූර්ණයෙන්ම පවිත්‍ර කිරීමට උන්වහන්සේ ප්‍රථමයෙන් ම පොරොන්දු වී, ඉන්පසු උන්වහන්සේ අපේ ගල් (දැඩි) හදවත (සිත) පහ කොට ඒ වෙනුවට මෘදු හදවතක් අපට දී උන්වහන්සේගේ ආත්මය අප තුළ තබන්ට ද එමගින් උන්වහන්සේගේ පනත් ප්‍රකාර හැසිර, උන්වහන්සේගේ ආඥාවලට කීකරුවන්ට සලස්වා එලෙස සියලු අපවිත්‍ර කමෙන් අප ගලවන්නට පොරොන්දු වන සේක ( එසකියෙල් 36: 25-29). නමුත් මේ සියල්ල සිදුවිය හැකි වන්නේ, අප උන්වහන්සේට යාච්ඤා කර අපහට මේ සියල්ල කරන්නැයි කියා සිටියොත් පමණි (එසකියෙල් 36: 37). අප මෙවැනි ජීවිතයක් ඉල්ලා නොසිටියොත්, අපට එය​ ලැබෙන්නේ නැත. අප මේ මහිමවත් ජීවිතයට ඇතුළුවන විට අපගේ පසුගිය ජීවිතය ගැන සිතමින් අප අපවම පිළිකුල් කර ගනිමු (එසකියෙල් 36: 31). මෙය ආත්මයෙන් පිරුණා වූ මනුෂ්‍යයෙකුගේ ප්‍රාථමික ලක්ෂණවලින් එකකි, එනම්, තමාගේ ම මාංශය තුළ දකින්නා වූ සෑම පාපයක් නිසා තමාවම ද්වේශ කරගනිමින් පවසනුයේ ''අනේ මම කාලකණ්ණි මනුෂ්‍යයෙක්ය! පව්කාරයන් අතරෙන් මම ප්‍රධාන පව්කාරයාය (රෝම 7: 24, 1 තිමෝති 1: 15). ආත්මයෙන් පිරුණු මනුෂ්‍යයෙකු තමාගේ මාංශය තුළ තිබෙන පාපය දැක ඒ ගැන තමාව​ම පිළිකුල් කර ගැනීමට ප්‍රථමයෙන්, ඔහු තව කෙනෙකු තුළ එම පාපයම තිබීම දකින්නේ නැත. අප දෙවියන් වහන්සේ වෙතට ලඟා වෙන තරමට, අප තුළ ම තිබෙන පාපය ගැන වටහා ගනිමුව.

“ස්වාමින් වහන්සේට, එසකියෙල් වැනි සම්පූර්ණයෙන් කීකරු වන්නාවූ මිනිසුන් අවශ්‍යය”

එසකියෙල් 37 හි සඳහන් වන්නේ නැවත උත්ථානය වූ ජීවිතයක උපමාවකි. දෙවියන් වහන්සේ එසකියෙල්ව වියළි ඇටකටුවලින් පිරුණාවූ මිටියාවතකට පමුණුවා ප්‍රථමයෙන් ඒ ඇටවලට අනාගතවාක්‍ය පවසන්නැයි කීසේක. දේව වචනය පිටත්ව ගිය කළ, එක් එක් ඇටය ස්වකීය ඇටවලට එකතු වී, ඒවා වටා මාංශය​ වැඩී, සමෙන් වැසුණේය. නමුත් ඒවාට දේව වචනය පමණක්ම ලැබෙනවාට වඩා දෙයක් අවශ්‍යව තිබුණි - ඒවාට ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය ද අවශ්‍යව තිබුණි. මෙම මළසිරුරු කරා ශුද්ධාත්මයාණන් පැමිණි කළ, ඒවා නැගී සිට, ක්ෂණයකින් ස්වාමින් හට බලවත් වූ සෙබළුන් සේනාවක් බවට පත් විය. මෙය අද දවසේ දී සභාවෙහි ස්වාමීන් වහන්සේ කිරීමට අපේක්ෂා කරන දෙය ගැන රූපාදර්ශයකි. බොහෝ කිතුණුවන් ඔවුන්ගේ සියලු ධාර්මික ඉගැන්වීම්වල නිවැරදිභාවය තිබුණද, ඔවුන් මුලින්ම දරදඬුව අප්‍රාණිකව හරියටම මේ ඇටකටු හා සමාන වේ. ඔවුන් දේව වචනයට ප්‍රතිචාර දක්වන විට, කිතුණුවන් ලෙස එකට එක් වන්නට පටන්ගෙන​ (එක එක ඇටයට ඇටය එකතුවේ) විනීත ජීවිත ගත කරන්නට පටන් ගන්නෝය (මස්වලින් කටු වැසී ඇති විට යම් ප්‍රමාණයක අලංකාරයක් ඇත). නමුත් දෙවියන් වහන්සේ හට බලවත් වූ සෙබළ සේනාවක් වීමට නම්, මේ කිතුණුවන් හට තව එක් දෙයක් අවශ්‍ය වන්නේ ය. එනම් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ ආශ්චර්ය්‍යවත් බලයෙන් ඔවුන් පැළඳ විය යුතුය. මෙම 37 වන පරිච්ඡේදයේ පණිවිඩය මෙය වේ.

එසකියෙල් 43 වන පරිච්ඡේදයේ කියවෙන්නේ දේව මාලිගාවෙන් ඉවත්ව ගියා වූ දෙවියන් වහන්සේගේ මහිමය නැවතත් පෙන්තකොස්ත දිනයේ සිට ස්ථාපිත වුණාවූ නව ගිවිසුම් සභාවට එනම්, අලුත් මාලිගාවට හැරී ඒම ගැන ය. ස්වාමීන් වහන්සේ මේ සභාව "මාගේ සිංහාසනයේ ස්ථානය" ලෙස නම් කරන්නේ ය (එසකියෙල් 43: 7). මෙම නව ගිවිසුම් සභාව උදෙසා දුන්නාවූ ආඥාව වනුයේ: "එහි මුළු සීමාව අතිශුද්ධ ය" (එසකියෙල් 43: 12). පැරණි ගිවිසුම් දේවමාලිගාවෙහි බටහිරින් පිහිටි ඉතා කුඩා කාමරයක් පමණක් දෙවියන් වහන්සේ විසූ "අතිශුද්ධ ස්ථානය" ලෙස නම් කෙරිණි. නමුත් නව ගිවිසුම් සභාවේ මුළු සභාවම (මාලිගාවම) අතිශුද්ධ ය. අද දවසේ දී සභාව, දෙවියන් වහන්සේගේ මාළිගාව ලෙස ගොඩනැගීමට නම්, මෙම එකම මූලික ආඥාව අපි අනුගමනය කළ යුතු වෙමු. එනම් එහි සිටින සෑම සාමාජිකයෙකුගේ ම නිරපේක්ෂ ශුද්ධ කමය. කිසිවකු තුළ කිසිම ආකාරයකින් පාපය පැවතීමට ඉඩ නොදිය යුතුය.

මෙවැනි ශුද්ධ වූ මාළිගාවකින් (ආත්මයෙන්-පිරුණාවූ සභාව හෝ ආත්මයෙන්-පිරුණාවූ ඇඳහිළිවන්තයෙක් ) වතුර ඉතා සුළු ප්‍රමාණයක් ඉතා සෙමින් ගලා යෑමට පටන් ගෙන ක්‍රමයෙන් එය ගඟක් බවට පත්වී අවසානයේදී බොහෝ ගංගාවන් බවට පත් වේ (එසකියෙල් 47). යොහාන් 7: 37-39 හි යේසුස් වහන්සේ ගෙන හැර පෑවේ මෙම පරිච්ඡේදය මය. එහිදී උන්වහන්සේ කියා සිටියේ ශුද්ධාත්මයෙන් පිරුණාවූ මනුෂ්‍යයකු තුළින් “ජීවනදායක වතුර ගංගා ගලා යන” බවය. පෙන්තකොස්ත දිනයේ දී ආරම්භ වූ මෙම ගැලීම දේව භක්තික මනුෂ්‍යයන් හා ස්ත්‍රීන් තුළින් එදා පටන් දිගටම ගලමින් පවතී. මෙම ජීවනය ගැලීම මහා ගංගාවක් වී එමෙන්ම බොහෝ ගංගාවන් වීමට ප්‍රථමයෙන් ආරම්භයේ දී ඉතා සුළු ප්‍රමාණයෙන් ගලන්නේය.

එසකියෙල් 47: 3-6 හි ස්වාමීන් වහන්සේ එසකියෙල් හට ආත්මයෙන් පිරුණු ජීවිතයක්, ජීවත්වනු යනු කුමක්ද යන්න ගැන පොඩි රසක් දුන් සේක. උන්වහන්සේ එසකියෙල්ව පියවරෙන් පියවර මේ ගඟ කරා යොමු කළ සේක. මීටර් 500ක් පමණ දුර ගඟේ ඇවිද්ද කළ වතුර එසකියෙල්ගේ වළලූකර කරා පැමිණියේය. තව මීටර 500ක් පමණ ගමන් කළ පසු වතුර ඔහුගේ දණහිස මට්ටමට පැමිණියේය. තවත් මීටර 500ක් පමණ ගිය කළ වතුර ඔහුගේ ඉඟටිය කරා පැමිණියේය. තවත් මීටර 500ක් ගිය කළ එය ඉතා ගැඹුරු වූ බැවින්, එසකියෙල්ට ඔහුගේ පාද පොළොවෙන් ඔස වන්නට සිදුවීමෙන් (පාවී), ගඟේ වතුර ධාරාවෙන් ඔහු ගසාගෙන ගියේය. දෙවියන් වහන්සේ සමඟ අපගේ ගමනේදී, එසකියෙල් මෙන් අපට ද අඛණ්ඩව (නොකඩවා) ඉදිරියටම ගමන් කළ හැක. එසේ නැතිනම් අපට ඕනෑම ස්ථානයක දී නතර විය හැක. එවිට අපි කැමති දුර යනවට වඩා දුරක් යන පිණිස දෙවියන් වහන්සේ අපට බල නොකරන සේක. එලීෂා, එලියා පසුපස ආ විටදී (2 රාජාවලිය 2), එලීෂා තව වඩවඩාත් ලබාගැනීමට පිපාසාවෙන් සිටිනවා ද නැතිනම් දැනටමත් ඔහු ලබාගත් ප්‍රමාණයෙන් තෘප්තිමත් වී සිටින්නේ ද යන්න එලියා නිරන්තරයෙන් පරීක්ෂා කර බැලුවේය. දෙවියන් වහන්සේගේ යහපත් (උතුම්) ම දේ ලබා ගන්නා තෙක් එලීෂා තෘප්තිමත් නොවූ බැවින්, එලියාගේ ආලේපය මෙන් දෙගුණයක්, ඔහුගේ ජීවිතය ට එලීෂා ලබාගත්තේය. මෙහිදී එසකියෙල්ව ද එලෙසම පරික්ෂා කරනු ලැබීම අපි දකිමු ව. “පිහිනන තරමට වතුර ඇති දුර” ගඟ තුළට යෑමට ඔහුට ද අවශ්‍ය විය. ශුද්ධාත්මයාණන් වහන්සේගේ ක්‍රියාකාරිත්වයේ යම් ප්‍රමාණයක් ඔබගේ ජීවිතයේ අත්දැකත්, දෙවියන් වහන්සේගේ උපරිමයට අඩු යම් ස්ථානයක ඔබට නතර විය හැක.

මෙය කෙරෙහිද අවධානය යොමු කරන්න : එසකියෙල්ගේ වළලූකර ළඟට වතුර තිබිය විටදී හෝ ඔහුගේ දණහිස ළඟට වතුර තිබිය විටදී හෝ ඔහුගේ ඉන ළඟට වතුර තිබිය විටදී හෝ තවමත් ඔහුගේ පාද පොළොව මතුපිට තිබුණේය. අප සැබැවින්ම, ආත්මයෙන් පිරී ද යන වග දැනගත හැකි වන්නේ, අපේ දෙපා පොළොවෙන් එසවුණු විටදී පමණකි. එම මොහොතේදී (අවස්ථාවේදී), අප “භූමියෙන් සහ භූමික ඇලුම් (ආශාවන්) සහ භෞතික දේවලට ඇති බැඳීම්වලින් වෙන් වී”, අප අපගේ ම කැමැත්තට අණුව නොව, දෙවියන් වහන්සේගේ කැමැත්තට අණුව ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන (විසින්) ගෙන යනු ලැබීම ආරම්භකරමුව.

මෙම පොතේ අන්තිම වගන්තියෙහි (එසකියෙල් 48: 35), මෙම නව ගිවිසුම් සභාවේ නාමය"ස්වාමීන්හන්සේ එහිය" - යෙහෝවා-ෂාමා ලෙස සඳහන් කරන්නේය. ඔබව සහ මාව කැඳවා තිබෙන්නේ මෙම සභාව ගොඩනැගීමටය. එය නම්, උන්වහන්සේගේ සියලු මහිමයෙන් ස්වාමීන් වහන්සේ එහි අප මධ්‍යයේ ය කියා සෙනඟ​ හඳුනා ගන්නා වූ සභාවවේ. නමුත් එය ගොඩනන්වාලීමට (ගොඩනැඟීමට) ස්වාමින් වහන්සේට, එසකියෙල් වැනි සම්පූර්ණයෙන් ම කීකරු වන්නා වූ මිනිසුන් අවශ්‍යය.