WFTW Body: 

මතෙව් 13: 1–52 හී යේසුස් වහන්සේ පැවසූ උපමා හතක් අපට කියවීමට තිබේ. ඒවා ස්වර්ග රාජ්‍යයේ උපමා ලෙස හැඳින්වේ. පළමුවැන්න වපුරන්නාගේ උපමාවයි. මෙම පරිච්ඡේදය පුරාම ස්වර්ග රාජ්‍යයේ පිටස්තර පෙනීම ගැන යේසුස් වහන්සේ පැවසූ බව සැලකිල්ලට ගන්න - එනම් මේ ලෝකයේ මිනිසුන් “සභාව” දකින ආකාරය. ස්වර්ග රාජ්‍යය තුළ, හදවත් තුළ යහපත් හා අයහපත් භූමියක් ඇති මනුෂ්‍යයන්, සිටිය බව උන්වහන්සේ පැවසූයේ එබැවිනි.

ස්වර්ග රාජ්‍යය තිරිඟු සහ කිරිඳි යන දෙවර්ගයම සොයාගතහැකි කෙතක් හා සමාන බව යේසුස් වහන්සේ පැවසුසේක. කෙත නම් ලෝකය මිස සභාව නොවන බව උන්වහන්සේ පසුව පැහැදිලි කළසේක ( මතෙව් 13:38). සමහර කිතුනුවන් මෙම උපමාව වැරදි ලෙස උපුටා දක්වමින්, “තිරිඟු සහ කිරිඳි යන දෙකම සභාවේ එකට වැඩීමට ඉඩ දිය යුතු යැයි යේසුස් වහන්සේ පැවසූ බැවින්, අපි ඒවා වෙන් නොකළ යුතුය කියා පවසති. ඒ නිසා අපි නැවත උත්පාදනය ලබා නො හැරුන අයට සහ නැවත උත්පාදනය ලබා හැරුනාවූ අයට සභාවේ සිටීමට ඉඩ දිය යුතුයයි පවසති. ඔවුන් එසේ පවසන්නේ ඔවුන් ශුද්ධ ලියවිලි නිසි ලෙස කියවා නැති නිසාය. කෙත යනු ලෝකයය - එහි තමයි දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ට හා නොඇදහිලිවන්තයන්ට එකට වැඩීමට ඉඩ දෙන්නේ - සභාවේ නොවේ. තම ප්‍රදේශයේ සභාව තුළ, මනුෂ්‍යආකාරයෙන් ආත්ම විමසීම තුළින් හඳුනාගත හැකි තාක් දුරට, ඔවුන්ගේ පව් ගැන පසුතැවිලි වී ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරනකොටගෙන නැවත ඉපදුණු අයට පමණක් සාමාජිකයන් වීමට අවසර ඇති බව අප විසින් සහතික කළ යුතුය. අනෙක් අයව සහභාගී වීමට සහ පණිවිඩවලට සවන් දීමට සාදරයෙන් පිළිගනිමු. නමුත් ඔවුන් නැවත ඉපදෙන තුරු එම ප්‍රදේශයේ සභාවේ - ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටසක් බවට පත්විය නොහැකි බව ඔවුන්ට පැහැදිලි කළ යුතුය.

මතෙව් 13: 31-32 හි සඳහන් වන්නේ අබ ඇටයක් පිළිබඳ උපමාවකි. එය සාමාන්‍යයෙන් කුඩා පැළෑටියක් බවට පත්වේ. නමුත් මේ අවස්ථාවේ දී එය අස්වාභාවික ලෙස වැඩී විශාල ගසක් බවට පත්විය. මෙය යම් ප්‍රදේශයක සභාවක් වර්ධනය වීමට දෙවියන් වහන්සේ අදහස් නොකරන ආකාරය පිළිබඳ උපමාවකි. දෙවියන් වහන්සේ අදහස් කරන්නේ යම් ප්‍රදේශයක එක් එක් සභාවක්ම එකිනෙකා ගැන දන්නාවු, එකිනෙකාට ප්‍රේම කරන්නාවූ, තම ප්‍රදේශයේ සිටින අන් අයට උන්වහන්සේගේ ජීවිතය පිළිබිඹු කරන, සහෝදර සහෝදරියන් කුඩා කණ්ඩායමක් (කුඩා අබ පැලෑටිය වැනි) විය යුතු බවයි. නමුත් දක්‍ෂ දේශකයෝ දෙවියන් වහන්සේගේ සැලැස්මට පටහැනිව විශාල සභාවන් (විශාල ගස මෙන්) ඉදිකර ඇත - එහිදී මිනිසුන් පැමිණෙන්නේ, ඔවුන් පාපන්දු තරඟ සහ චිත්‍රපට නැරඹීමට යනවා සේම, දේශනවලට සවන් දීමට පමණි. යේසුස් වහන්සේ පැවසුවේ ජීවනයට මාර්ගය සොයාගන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවය ( මතෙව් 7:13, 14 ). එහෙත් දක්‍ෂ දේශනාකරුවන්ට ශුද්ධකමේ ප්‍රමිතීන් පහත හෙලීමෙන්, පසුතැවීම ගැන, තම ස්වකැමැත්ත ප්‍රතික්‍ෂේප කිරීම ගැන සහ කුරුසිය උසුලාගෙන යාම ගැන දේශනා කිරීමෙන් වැළකී, විශාල ජනකායක් පහසුවෙන් රැස් කර ගත හැකිය. මෙලෙස, යමෙකුට ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් වීමට කිසිසේත් උනන්දුවක් නොදක්වන, නමුත් ඉරිදා දිනවල හොඳ දේශනවලට සවන් දීමට කැමති සමූහයක් රැස්කරගත හැකිය. ඔබ මේ ආකාරයෙන් ඔබේ සභාවේ ප්‍රමාණය වැඩි කර ගන්නා විට, ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න ගැන යේසුස් වහන්සේ මෙම උපමාවෙන් පැවසූසේක : ආකාසයේ පක්‍ෂීන් (යේසුස් වහන්සේ කලින් උපමාවක සඳහන් කර ඇත්තේ නපුරු තැනැත්තාගේ නියෝජිතයන්‍ ලෙසය - මතෙව් 13: 4, 19) පැමිණ ගසේ අතු මත හිඳගනිති. කෙසේවෙතත්, ඔබ ගෝලයන් පමණක්ම ගොඩනැගීමට උත්සාහ කළා නම්, ඔබේ සභාව ප්‍රමාණයෙන් කුඩා වනු ඇත, නමුත් සාතන්ගේ බලපෑම්වලින් හා එවැනි බලපෑම්වලින් ඇති වන ගැටළු වලින් නිදහස්වූ පවිත්‍ර සභාවක් වනු ඇත!

මතෙව් 13: 33 හි යේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යය, මුහුන් මෙන් වීම ගැන කතා කළ සේක. මෙය යම් ප්‍රදේශයක සභාව තුළ දූෂණය පැතිරෙන්නේ කෙසේද යන්න පිළිබඳ අනාවැකියකි. සභාවට මුහුණ දීමට සිදුවන අන්තරායන් ගැන යේසුස් වහන්සේ නැවත නැවතත් අනතුරු අඟවයි - අයහපත් භූමිය, කිරිඳි, සභාව තුළ වාඩි වී සිටින සාතන්ගේ දූතයන් සහ මුහුන්. ක්‍රිස්තියානි නායකයන් මෙම උපමා කෙරෙහි අවධානය යොමු කළේ නම්, ඔවුන්ගේ සභාවන් ආත්මික මරණයෙන් ගලවා ගත හැකිව තිබුණි - තවද ඔවුන් ගෝලයන් බිහි කිරීම කෙරෙහි වඩා අවධාරණය කරනු ඇත.

මතෙව් 13: 44 හි යේසුස් වහන්සේ පැවසුවේ ස්වර්ග රාජ්‍යය, නිධානයක් සඟවා තිබූ කෙතක් සොයාගත් මිනිසෙකුට සමාන බවයි. ඒ මිනිසා තමා සතුව තිබූ සියල්ල විකුණා එම කෙත මිලදී ගත්තේය. මෙය යේසුස් වහන්සේගේ ගෝලයෙකු වීම සඳහා තමාට වටිනා සෑම දෙයක්ම අත්හැරීමට කැමති පුද්ගලයෙකුගේ පින්තූරයක් වන අතර එමඟින් ඔහු දෙවියන් වහන්සේගේ රාජ්‍යය හිමිකර ගන්නේය.

තමා සතුව තිබූ සියල්ල විකුණා ඉතා මිල අධික මුතු ඇටයක් මිල දී ගත් මිනිසෙකු ගැනද, එම සත්‍යයම අවධාරණය කරමින් යේසුස් වහන්සේ කතා කළ සේක (මතෙව් 13:45 ). අවස්ථා දෙකේදීම, ‘තමා සතුව තිබූ සියල්ල’ යන ප්‍රකාශය සැලකිල්ලට ගන්න. යේසුස් වහන්සේ පැවසුවේ, “ තමා සතුව ඇති සියල්ල අත්හැරියොත් මිස කිසිවෙකුට මාගේ ගෝලයෙකු විය නොහැක” යන්නය( ලූක් 14:33). ගෝලයෙකු වීමට හා දේවරාජ්‍යය හිමි කරගැනීමට ඇත්තාවූ එකම මාර්ගය එය වේ.

මතෙව් 13: 47-50 හී, යේසුස් වහන්සේ පොළොව මතුපිට දේවරාජ්‍යයේ බාහිර පෙනීම ගැන කතා කළේ, හොඳ සහ නරක මාළු වර්ග දෙකක් තිබෙන ආකාරයටය. නමුත් යුගය අවසානයේදී දේවදූතයන් පැමිණ ධර්මිෂ්ඨයන්, දුෂ්ටයන්ගෙන් වෙන් කරනු ඇත.