WFTW Body: 

1. ඔබේ ශක්තිය දිව්‍ය ශක්තියට හුවමාරු කරගන්න:

යෙසායා 40: 29-31: උගන්වන්නේ අප නමස්කාර කරන හා සේවය කරන සර්වබලධාරි දෙවියන් වහන්සේ අප දුර්වල වන විට දී අපට ශක්තිය දෙන බවයි. අපට ශක්තිය නොමැති විට, උන්වහන්සේ අපට බලය ලබා දෙන සේක. උන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අපට සුවය හා ශක්තිය ලබා දෙනු ඇත. තරුණයෝ පවා ක්ලාන්තව වෙහෙසවන්නෝය. යෞවනයෝද ස්වාමින්වහන්සේට සේවය කිරීමේදී මුළුමනින්ම වැටෙන්නෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ, ඔවුන්ගේ වයස කුමක් වුවද, තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති. ඔබගේ සියලු අවශ්‍යතා සඳහා සරල විශ්වාසයකින් ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටීමට ඉගෙන ගැනීමට සෑම කෙනෙකුම දිරිමත් කිරීමට මට අවශ්‍යය. මෙම පදය පවසන පරිදි ඔබට නව ශක්තියක් ලැබෙනු ඇත. නැතහොත් වෙනත් පරිවර්තනයක සඳහන් වන පරිදි: “ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටින අය ඔවුන්ගේ ශක්තිය හුවමාරු කර ගනී”. එයින් අදහස් කරන්නේ අප අපගේ මිනිස් ශක්තිය ස්වාමින් වහන්සේට ලබා දෙන අතර උන් වහන්සේ අපට දිව්‍ය ශක්තිය ලබා දෙන බවයි. හලෙලූයා !! අප සතුව ඇති සියල්ල ස්වාමින් වහන්සේ සමඟ හුවමාරු කර ගැනීම පුදුම සහගතය. යේසුස් වහන්සේ පියාණන්ට කතා කොට, '' පියාණෙනි, මා සතු සියල්ල ඔබේ ය. ඔබට ඇති සියල්ල මාගේ ය ” (යොහාන් 17: 10, 11). ස්වාමින්වහන්සේගේ සේවයේදී ඔබට අවශ්‍ය විට පිහිටවන පිණිස ස්වාමින්වහන්සේගේ ශක්තිය ඔබව දරාගත යුතුය. ස්වාමින් වහන්සේට සේවය කරන සියලු දෙනාම සැබවින්ම ස්වාමින් වහන්සේගේ උත්ථාන බලය, ඉහළින් එන ස්වභාවෝත්තර ශක්තිය - අපගේ ආත්මය තුළ පමණක් නොව අපගේ ශරීර තුළද ලබා ගැනීමට ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එවිට අපි මහලු වියේදී පවා උන් වහන්සේට ඵල දරන්නෙමු (ගීතා. 92:14).

2. ශුද්ධාත්මයාණන්ගේ අභිෂේක කිරීම අගය කරන්න:

අපි එසකියෙල් 3: 23 හි මෙසේ කියවමු "එකල මම නැගිට සමභූමියට ගියෙමි. එවිට කෙබාර් ගඟ ළඟදී මා දුටු තේජස මෙන් ස්වාමීන්වහන්සේගේ තේජස එහි තිබෙනවා දුටිමි. මම මුහුණින් වැටුණෙමි". මෙන්න දේවසේවයේ වැදගත් මූලධර්මයක් :ඔබේ මුහුණ නිතරම දූවිල්ලේ තබන්න. සමහරවිට එය ඇත්ත වශයෙන්ම කිරීම හොඳය - භෞතිකව. දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔබේ කාමරයේ බිම වැතිර, “ස්වාමීනි, මට අයිති තැන මෙයයි කියා පවසන්න. "මේ මම වෙමි ස්වාමීනි ඔබගේ ඇස් හමුවේ මම කිසිවෙක් නොවෙමි". අන් අය ඉදිරියෙහි සිටගෙන දේශනා කරන අප විශාල අනතුරකට ලක්ව ඇත්තේ බොහෝ අය අපව අගය කොට අපව උසස් කරන බැවිනි. අන් සියල්ලන්ට වඩා, අප නිතරම ස්වාමින් වහන්සේ ඉදිරියෙහි තනිවම සිටිය යුතු අතර උන් වහන්සේ ඉදිරියෙහි සමතලාව මුහුණින් වැටී අප උන් වහන්සේගේ ඇස් හමුවේ කිසිවක් නොමැති බව හඳුනාගත යුතුය. දෙවියන් වහන්සේට අපගේ හුස්ම මොහොතකින් ඉවත් කළ හැකිය. දෙවියන් වහන්සේට අපගේ ආලේපය මොහොතකින් ඉවත් කළ හැකිය. මගේ ජීවිතයේ අන් සියල්ලටම වඩා ආලේපය නැති වීමට මම බිය වෙමි. මගේ ජීවිතයේ ආලේපය නැති වනවාට වඩා මගේ මුළු මුදල් හා මගේ සුවය නැති වුණාට කමක් නැත. මුදල් ගැන හෝ අපේ දිවෙන් හෝ වෙනත් කුඩා කාරණයකින් මඳක් නොසැලකිලිමත් වීමෙන් ආලේපය නැති කර ගැනීම පහසුය.

එසකියෙල්ගේ මුහුණ දූවිල්ලෙහි තිබෙද්දී, ආත්මයාණන් වහන්සේ ඔහු තුළට පැමිණ ඔහුට ඔහුගේ පාද වලින් සිට ගන්ට සැලැසූ සේක. දෙවියන් වහන්සේ ඉදිරියෙහි දූවිල්ලෙහි - ආත්මයාණන් වහන්සේ අප පිට වැටෙනු ඇත. එහෙනම් උන් වහන්සේ අපව ඔසවා උසස් කරන්න ඉඩහරින්න. කිසි විටෙකත් ඔබ ඔබවම උසස් කර නොගන්න.

3. අතීත අසාර්ථකත්වයන් නොතකා දෙවියන් වහන්සේ නිතරම ඔබව ධෛර්‍යමත් කරයි:

යෙසායා 42: 2, 3: හි මෙසේ ලියා තිබේ "ඔහු මොර නොගසන්නේය. ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය". මෙය උපුටා දක්වනුයේ මතෙව් 12:19, 20 හි යේසුස් වහන්සේ ගැන සඳහන් කරමිනි. එහි තවදුරටත් පවසනුයේ "ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය. තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත”. එයින් අදහස් කරන්නේ තම ජීවිතය අවුල් කරගත් කිසිවෙකු ස්වාමින් වහන්සේ විසින් අධෛර්‍යමත් නොකරන අතර ඔහුව ධෛර්‍යමත් කර සුව කරන බවයි. ස්වාමීන්වහන්සේ නිවෙමින් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත. නමුත් ඒ වෙනුවට උන්වහන්සේ එයට පිඹීමෙන් දැල්වෙන්නට සලස්වන සේක. අසමත් වූ දුර්වල ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට දෙවියන් වහන්සේ කැමති වන සේක. අධෛර්‍යයට පත්ව සිටින සහ මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කිරීමට සහ ඔවුන්ගේ ආත්මයන් ඔසවා තැබීමට උන්වහන්සේ උනන්දු වන සේක. ස්වාමින්වහන්සේගේ සැබෑ සේවකයෙකුට සැමවිටම මෙය හා සමාන සේවයක් ඇත්තේය. එනම් මානසික අවපීඩනයෙන් හා අධෛර්‍යයට පත්ව සිටින සහ බලාපොරොත්තු රහිත යැයි හැඟෙන එමෙන්ම ජීවිතය ගැන කලකිරුන අයගේ ආත්මයන් ඔසවා තැබීමේ දිරිගැන්වීමේ සේවාවක්. සෑම තැනකම මිනිසුන්ට එය අවශ්‍ය නිසා අපි සියලු දෙනාම එවැනි සේවයක් සොයමු.