කර්තෘ :   සැක් පූනන්
WFTW Body: 

ශුද්ධාත්මයාණන් නව ගිවිසුමේ ප්‍රධාන තේමාවන්ගෙන් එකක් වන අතර, යෙසායා 40 සිට 66 දක්වාද ශුද්ධාත්මයාණන් ප්‍රධාන තේමාවන්ගෙන් එකකි.

"මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය..." (යෙසා. 42:1). දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයා යනු මුදලින් හෝ සංවිධානයකින් හෝ මිනිස් ආයතනයකින් නොව දෙවියන් වහන්සේ විසින් රකිනු ලබන අයෙකි. ස්වාමින් වහන්සේ සෑම විටම අපව ආරක්‍ෂා කළ යුතු තැනැන් වහන්සේය. මිනිසුන් අපිට තෑගි දෙන්නට පුළුවන. නමුත් අපි කිසිවිටෙක මිනිසුන් හෝ මුදල් මත නොයැපිය යුතුය. "උසුලන" යන වචනයෙන් අදහස් කරන්නේ අප යැපෙන දෙයයි. අප රඳා සිටිය යුත්තේ ස්වාමින් වහන්සේ මත පමණි. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය අප මත තබන්නේ අප අසරන තත්වයට පැමිණිවිට පමණි.

යෙසායා 42:2, 3 හි ලියා ඇත්තේ: "ඔහු මොරගසන්නේවත් වීදිවල හඬ නඟන්නේවත් නැත". මෙය මතෙව් 12:18 හි යේසුස් වහන්සේට යොමු දැක්වීමක් ලෙස උපුටා දක්වා ඇත, එහි තවදුරටත් සඳහන් වන්නේ, "...ඔහු ස්වකීය හඬ නොනගන්නේය, වීථියෙහි එය ඇසෙන්ට නොදෙන්නේය. ඔහු තැළුණු බටලීයක් නොබිඳින්නේය...." ලෙසටය.

එයින් අදහස් කරන්නේ තම ජීවිතය අවුල් කර ගත් කිසිවකු ස්වාමින්වහන්සේ කිසි විටෙකත් අධෛර්‍යමත් නොකරන නමුත් ඔහුව දිරිමත් කර ඔහුව සුව කරන බවයි. ස්වාමින්වහන්සේ නිවීයාමට ආසන්න ඉටිපන්දමක තිරය නිවා දමන්නේ නැත. අනික් අතට, උන්වහන්සේ එයට පිඹ එය දැල්වෙන්නට සලස්වන සේක. අසාර්ථක වූ දුර්වල ඇදහිලිවන්තයන්ට උපකාර කිරීමට දෙවියන් වහන්සේ උනන්දු වනසේක. අධෛර්‍යයට පත් වූ සහ මානසික අවපීඩනයෙන් පෙළෙන අයට උපකාර කිරීමට සහ ඔවුන්ගේ මනෝභාවය ඉහළ නැංවීමට උන්වහන්සේ උනන්දු වනසේක.

ස්වාමින්වහන්සේගේ සැබෑ සේවකයෙකුට සෑම විටම මේ හා සමාන දිරිගැන්වීමේ දේවසේවයක් ඇත, මානසික අවපීඩනයට හා අධෛර්‍යයට පත් වූ සහ බලාපොරොත්තු සුන් වූ සහ ජීවිතයෙන් වෙහෙසට පත් වූවන්ගේ මනෝභාවය ඉහළ නැංවීම වේ.. අප සැමදෙනාම එවැනි සේවයක් සොයමු මන්ද සෑම තැනකම මිනිසුන්ට එය අවශ්‍යව තිබේ.

යෙසායා 42:6-8 හි ස්වාමින්වහන්සේ අපට මෙසේ පවසයි: "...මම ඔබව ධර්මිෂ්ඨකමින් කැඳෙව්වෙමි. අන්ධ ඇස් ඇරීමට , සිරකරුවන් සිරගෙයින් පිටතට ගෙන ඒමට මම ඔබව කැඳෙව්වෙමි." මෙය විශාල සේවයකි. නමුත් සෑම විටම එක් දෙයක් මතක තබා ගන්න: "ස්වාමීන් වහන්සේ පවසන්නේ , ' මම කිසිදාක මගේ ගෞරවය තවත් කෙනෙකුට නොදෙන්නෙමි ' ( යෙසා. 42:8).

අපි අපේ දේවසේවයේදී කිසිවිටකත් අපට ගෞරවයක් නොගත යුතුයි. මහිමය හෝ ගෞරවය අප වෙත ලබා ගැනීම ඉතා බරපතල අපරාධයකි. එය මුදල් සොරකම් කිරීමට වඩා නරකය. දෙවියන් වහන්සේ ඔබට සහ ඔබගේ සේවයට ආශීර්වාද කර ඔබව බලවත් ලෙස භාවිතා කරන්නට පුළුවන. නමුත් උන්වහන්සේ කිසිවිටෙකත් කිසිවකුට තම මහිමය දෙන්නේ නැත. ඔබ දෙවියන් වහන්සේගේ මහිමය ස්පර්ශ කිරීමට පටන් ගත් පසු, ස්වාමින් වහන්සේගේ බොහෝ සේවකයන් විනාශ වූවාක් මෙන් ඔබ ඔබවම විනාශ කරගනු ඇත. ඔබ මිනිසුන් ඉදිරියේ ඔබව ප්‍රවර්ධනය කිරීමට පටන් ගත් පසු, මිනිසුන්ව ස්වාමින් වහන්සේ වෙතට ගෙන ඒම වෙනුවට ඔබ වෙතට ආකර්‍ෂණය කර ගැනීම සහ දෙවියන් වහන්සේ කළ දේ සඳහා ගෞරවය ලබා ගැනීමේදී, ඔබ සිටින්නේ ඉතා භයානක ස්ථානයකය. දහස් ගණනකගේ ජීවිතයන්ට දෙවියන්වහන්සේගේ ආලේපය අහිමි වී ඇත්තේ එලෙසය.

යෙසායා 42:19 : "මාගේ මෙහෙකරුවා මිස අන්ධ කවුද? මගේ දූතයා වැනි බිහිරි කවුද? මා සමඟ සම්පූර්ණයෙන්ම සමාදානයෙන් සිටින තැනැත්තා මෙන් අන්ධ වන්නේ කවුද? ස්වාමින් වහන්සේගේ සේවකයා තරම් අන්ධ වන්නේ කවුද?" මෙය ව්‍යාකූල කරවන පදයක් මෙන් පෙනේ, විශේෂයෙන් එය පැහැදිලිවම යේසුස් වහන්සේට යොමු වන බැවිනි (අපට 1 වන පදයෙන් දැකිය හැකි ලෙසට).

එයින් අදහස් කරන්නේ කුමක් ද? එයින් අදහස් කරන්නේ සැබෑ දෙවියන්වහන්සේගේ දාසයෙකු තමා අවට දකින සහ අසන බොහෝ දේවලට අන්ධව හා බිහිරිව සිටිනු ඇති බවයි. ඔහු බොහෝ දේ දකින නමුත් ඔහු ඒවා නිරීක්‍ෂණය නොකරයි (යෙසා. 42:20). ඔහු අන්අයගේ පාප සොයමින් නොයයි. ඔහු මිනිසුන්ට ඇහුම්කන් දී ඔවුන් කියන යම් දෙයකින් ඔවුන්ව හසු කර ගැනීමට යන්නේ නැත. පරිසිවරු මෙයාකාරයෙන් - හැම වෙලාවෙම බලාගෙන හිටියා පැවසූ යම් දෙයක් අල්ලාගෙන යේසුස් වහන්සේට චෝදනා කරන්නට. බොහෝ කිතුනුවන් ද අවාසනාවන්ත ලෙස එවැනිය - සෑම විටම යමෙකු පැවසූ දෙයකට චෝදනා කිරීමට බලා සිටී - බොහෝ විට ඔවුන් ඔහුගේ දේවසේවයට ඊර්‍ෂ්‍යා කරන බැවිනි. ඔවුන් වගේ වෙන්න එපා.

ඔබ අවට ඔබට ඇසෙන සහ දකින බොහෝ දේවලට බිහිරි සහ අන්ධ වන්න. කවුරුහරි ඔබට බොරු චෝදනාවක් කළා කියලා ඔබට ආරංචි වුණාද? ඔබ බිහිරි නම්, ඔබට එය ඇසෙන්නේ නැත. එසේ නම් "බිහිරි" වන්න! ස්වාමින් වහන්සේගේ සේවකයෙකු ආකර්‍ෂණීය කාන්තාවන්ට "අන්ධ" වීම හොඳ නොවේ ද? ඔබට ඇස් ඇත, නමුත් ඔබට නොපෙනේ. ඔබ "අන්ධයි"! ඔබට කන් ඇත, නමුත් ඔබට ඇසෙන්නේ නැත! මක්නිසාද යත් ඔබේ ඇස් දකින දේ හෝ ඔබේ කනට ඇසෙන දේ අනුව ඔබ විනිශ්චය නොකරන බැවිනි. යේසුස් වහන්සේ ජීවත් වූයේ එලෙසය, අප ද ජීවත් විය යුත්තේ එලෙසමය (යෙසා. 11:3).

හිමිකම් -Zac Poonen – [email protected]