WFTW Body: 

"ඉශ්‍රායෙල් පුත්‍රයන් ඊජිප්තුවේ ජීවත් වූ කාලය වසර 430 ක් ලෙස” නික්මයාම 12: 40 ලියා තිබේ. කොහොම නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට, ඔහුගෙන් පැවතෙන්නන් වෙනත් දේශයක වසර 400 ක් ගතකරන බව ඔහුට කථා කළ මොහොතේ පවසා තිබුණේ ය ( උත්පත්ති 15: 13 ). නමුත් ඔවුන් සැබැවින්ම අවුරුදු 430 ක් එහි සිටි බව මෙහිදී අප කියවන්නෙමු. දෙවියන් වහන්සේ ට අත්වැරැද්දක් වූවා ද? නැත. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කාලසටහනේදී ඉතාමත් නිවැරදිය. දෙවියන් වහන්සේ ට කිසිදු අත්වැරැද්දක් නොවන්නේ ය. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කථා කළ මොහොතේ ඉශ්‍රායෙල්වරුන් උදෙසා උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත වූවේ ඔවුන් අවුරුදු 400 ක් ඊජිප්තුවේ සිටිය යුතු බවයි. එසේ නම් ඔවුන් අමතර අවුරුදු 30 ක් එහි සිටියේ මන්ද? එයට පිළිතුර සොයා ගැනීම පිණිස අප තවත් උදාහරණයක් බලමු. දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන විට ඔවුන් කෙරෙහි උන්වහන්සේගේ සැළසුම වූවේ, ඔවුන් වනාන්තරයේ අවුරුදු 2 ක් පමණක් සිටිය යුතු බවයි. නමුත් සැබැවින්ම කොපමණ අවුරුදු කාලයක් ඔවුන් වනාන්තරයෙහි ගත කළේද? අවුරුදු 40 කි ( ද්විතීය කථාව 2: 14 බලන්න). අවුරුදු 2 කදී ඔබව කැඩීමට දෙවියන් වහන්සේ සැළසුම් කර ඇතත් එයට සැබැවින්ම වසර 40 ක් ගතවිමට පුළුවන. ඔබගේ හැරීමෙන් පසු වසර 2 ක් තුළ දෙවියන් වහන්සේට ඔබව පාවිච්චි කිරීම ආරම්භ කිරීමට අවශ්‍යව තිබෙන්නට ඇතත් උන්වහන්සේට ඔබව පාවිච්චි කිරීමට නොහැකි ලෙස වසර 40ක් යන්නට හැකිය. ඔබ කොපමණ ඉක්මණින් කැඩෙන්නේ ද යන්න මත ඒ සියල්ල රඳා පවති. ඒ ආකාරයටම ඉශ්‍රායෙල් කෙරෙහි දෙවියන් වහන්සේගේ සැළසුම වූවේ ඔවුන් අවුරුදු 400 ක් ඊජිප්තුවේ සිටිය යුතු බවයි. නමුත් ඔවුනට අවුරුදු 430 ක් ඉන්නට සිදුවිය.

ඔවුන්ගේ නායකයා වූ මෝසෙස් ඒවනතුරුත් සූදානම්ව නොසිටීම එයට හේතුවූ බවයි මාගේ විශ්වාස ය. මෝසෙස්ට වයස අවුරුදු 50 ලබද්දි ඉශ්‍රායෙල්හී නායකයා වීමට සූදානම් වන පිණිස, ඔහු වයස අවුරුදු 40 දී ඊජිප්තුවෙන් පිටවන විට ඔහුගේ මාමා සමඟ වනාන්තරයේදී අවුරුදු 10 ක පුහුණු කාලයක දී ඔහුව කැඩීමට දෙවියන් වහන්සේට අවශ්‍ය වූ බවයි මාගේ විශ්වාස ය. නමුත් මෝසෙස් අවුරුදු 10 ක කාලයේදී ඔහුගේ පාඩම ඉගෙන නොගත්තේය. ප්‍රමාණවත් ලෙස මෝසෙස් කැඩෙන තුරු ඔහුගේ මාමාට තව ටිකක් ඔහුව යටහත් කිරීමට සිදුවිය. මෝසෙස්ට එම අවුරුදු 10 පුහුණු කාලය සම්පූර්ණ කිරීමට අවුරුදු 40 ක් ගතවිය! එනිසා ඉශ්‍රායෙල්වරුන්ට තවත් අවුරුදු 30 ක් බලාසිටීමට සිදුවිය. පොළොවේ උන්වහන්සේගේ වැඩ උදෙසා කැඩුණා වූ මනුෂ්‍යයන් කෙරෙහි දෙවියන් වහන්සේ බලාපොරොත්තුව සිටිනසේක. මෙහි අපට පණිවිඩයක් සහ අනතුරු ඇඟවීමක් ඇත. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ සැළසුමක් තිබෙන්නට පුළුවන. නමුත් ඔබව කඩණ තුරු එය කිසිවිට ඉටු (සම්පූර්ණ) නොවන්නේ ය. උන්වහන්සේ ඔබ තුළ අවුරුදු 10 කදී කිරීමට සැළසුම් කරන දෙයට අවුරුදු 40 ක් ගතවිය හැක. එනිසා දෙවියන් වහන්සේගේ බලවත් හස්තය යටතේ සෑමවිටම උන්වහන්සේ අපගේ මාවත හරහා එවන්නා වූ සිදුවීම් තුළින් අපව යටහත් කරගැනීමට සැමවිටම ඉක්මන්වීම යහපත්ය.


"තමාගේ බාල වියේදී වියගහ දැරීම (තමන්ව යටහත් කරගෙන කැඩීමට පත්වීම) මනුෂ්‍යයෙකුට යහපත්" යැයි විලාප ගී 3: 27 පවසන්නේ ය. ඔබගේ යෞවන වයසේදී ම, ඔබව කැඩීමට දෙවියන් වහන්සේට ඉඩ හරින්න. ඔබගේ ජීවිතයෙහි දෙවියන් වහන්සේ ඉඩහරින සිදුවීම් වලට එරෙහිව සටන් නොකරන්න මන්ද එය දෙවියන් වහන්සේගේ සැළැස්ම පමා කරගැනීමක් පමණි. ඔබගේ සියළු බයිබල් දැණුම, සංගීතමය හැකියාවන් සහ මුදල් වලට දෙවියන් වහන්සේගේ සේවාව සඳහා ඔබව සන්නද්ධ කිරීමට නොහැක. කැඩුණු (බිඳුණු) භාවය අත්‍යාවශ්‍යවේ. යාකොබ්ට ඉශ්‍රායෙල් කෙනෙකු වීමට හැකිවූවේ ඔහු කැඩුණු විටදී පමණි. මෝසෙස්ට නායකයෙකු හා අනාගතවකතෘ කෙනෙකු වීමට හැකිවූවේ ඔහු කැඩුණුවිටදී පමණි. නික්මයාම 2 හි මෝසෙස් ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවරුන්ගෙන් මුදා ගැනීමට යන අවස්ථාව ගැන අප කියවන්නෙමු. ඊජිප්තුවරයෙකු හෙබ්‍රෙව්වෙකුට පහර දීම දකින ඔහු ( නික්මයාම 2: 11 ) එවිට ඊජිප්තුවරයාට මැරෙන්නට පහර දෙයි. හිස් දෑතින් පහරදී මනුෂ්‍යයෙකු මරණයට පත්කිරීමට තරම් මෝසෙස් කෙතරම් ශක්තිමත්ව සිටියේද යන්න ඔබට සිතාගත හැකිද? ඔහු මෙයාකාරයෙන් එක් එක්කෙනා බැගින් ඊජිප්තුවරුන් මර මරා ගියේ නම් - මිළියන ගණන් වූ ඊජිප්තුවරුන් මැරීමට ඔහුට වසර කීයක් ගතවේ දැයි ඔබ සිතන්නේද? සියළුම ඊජිප්තුවරුන් මැරීමට පෙර මෝසෙස් මියයාමට තිබුණි. නමුත් අවුරුදු 80 ක වයසේදී දෙවියන් වහන්සේ ඔහුව කඩා තිබුණු බැවින් ඔහුට කළ යුතුව තිබූ එකම දෙය වූයේ ඔහුගේ සැරයටිය රතු මුහුදට ඉහළින් එසවීම පමණි එවිට මොහොතකින් මුළු ඊජිප්තු හමුදාවම රතු මුහුදේ වැළලුණි. මනුෂ්‍යයෙකු තමාගේම ශක්තියෙන් යමක් ඉටුකිරීම සහ කැඩුණා වූ මනුෂ්‍යයෙකු දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන යමක් ඉටුකිරීම අතර වෙනස එයයි.

ආරම්භයේ සිට ශුද්ධ ලියවිල්ල තුළ පණිවිඩය වන්නේ මෙයයි : ඔබට සැබෑ සභාව වන යෙරුසලම ගොඬ නැඟීමට අවශ්‍ය නම්, ඔබ කැඩීමට පත්විය යුතුය. මනුශ්‍යයන් සහ සිදුවීම් තුළින් දෙවියන්වහන්සේ ඔබව යටත් කළ යුතු වන්නේය. එම සිදුවීම් තුලදී ඔබ කැරලි නොගසන්නේ නම් දෙවියන්වහන්සේට ඔබ තුල ඉක්මන් ක්‍රියාවක් කළ හැකිවේ. ඔළුවේ බයිබලීය දැනුම ඇති පිටතට ගොස් තමන්ට සේවය කළ හැකියයි සිතන මහත් උනන්දුවෙන් යුත් බොහෝ තරුණ අය මා දැක තිබේ. එසේ ඔවුන් පිටතට ගොස් ඔවුන්ගේ ශක්තිය තුළ දෙවියනවහන්සේට සේවය කරයි. වසර විස්සකට හෝ තිහකට පසු ඔවුන් බලාපොරොත්තු සුන්වූවෝව, අධෛර්‍යමත්ව, විවේචනාත්මකව, එමෙන්ම අර මනුශ්‍යයාටත් මේ මනුශ්‍යයාටත් ඔවුන්ගේ අසමත්වීම ගැන දොස් නගති. ඔවුන් කිසිවක් සම්පූර්ණ කර නැත එමෙන්ම ඔවුන්ගේ ජීවිත නාස්ති කරගත්තෝවෙති. ඇයි? එකම හේතුවක් පමණයි - ඔවුන් තමන්ව කැඩීමට දෙවියන්වහන්සේට කිසිසේත් ඉඩහැර නැත.

"දේවභක්තික මනුෂ්‍යයාගේ දිවිය ප්‍රබෝධවත්" යැයි බයිබලය පවසයි ( හිතෝප 14: 14 – The Living Bible). මට දැන් වයස අවුරුදු 79 ක් වන අතර අවුරුදු 59 කට වඩා දේවදරුවෙකු ලෙස සිටිමි - මාගේ කිතුණු දිවිය ප්‍රබෝධවත් වී ඇති බව මට අවංකව සාක්ෂි දැරිය හැකියි. මා බොහෝ පරීක්ෂා තුළින් ගියෙමි නමුත් ඒ සියල්ල තුළ මම පුදුමාකාර ප්‍රබෝධවත් ක්‍රම තුළින් දෙවියන් වහන්සේ අත් දැක්කෙමි. මට දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත්වී උන්වහන්සේට සේවය කිරීමට හැකිවීම ගැන මා උද්වේගයට පත්වෙමි. මේ ලෝකයෙහි ඕනෑම අයෙකුට කළ හැකි උතුම් ම දෙය නම්, ස්වාමින් වහන්සේට සේවය කිරීමයි. මුළු ලොවෙහිම කිසිම කෙනෙකුට එරෙහිව චෝදනාවක් මට නැත. මේවනතුරු මට අනතුරක් කිරීමට කිසිවෙකු සමත් වී නැත. බොහෝ අය මට හානි කිරීමට උත්සහ කර ඇති අතර මගේ සමහර සෙසු-සහෝදරයෝ මාව පාවාදුන්නෝය. නමුත් ඔවුන් කළ සියළු දේ රෝම 8: 28 හි පවසන පරිදි මාගේ යහපතට ක්‍රියා කළෝය. එනිසා ඇත්ත වශයෙන්ම ඔවුන් උදෙසා මම දෙවියන් වහන්සේට ස්තූති කරමි, මක්නිසාද මා ක්‍රිස්තුස් වහන්සේ මෙන් තව ටිකක් වන්නට ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා දෙවියන් වහන්සේ පාවිච්චි කළ සේක - ඔවුන්ගේ දුෂ්ඨ ක්‍රියා වලින් නික්මුණු යහපත එයයි. මාගේ යෞවන කාලයේදී දෙවියන් වහන්සේ මාව කැඩූ අතර උන්වහන්සේ තවමත් අද දවසේ මාව කඩමින් සිටී. මෙයයි ඵළදායි මාර්ගය. අප කොතෙක් කැඩීමට පත්වන්නේද එතරම් අන් අයට ආශිර්වාදයක් වීමට දෙවියන් වහන්සේට අපව පාවිච්චි කළ හැක.

ජලය ගැලීම ආරම්භ වූවේ පර්වතය ට ගැසූ සැනින් පමණි යැයි නික්මයාම 17 හි අප කියවන්නෙමු. පර්වතය ට නොගසන්නේ නම්, ජලය නොගලන්නේ ය. කාන්තාව ගෙන ආ සුවඳ විළවුන් බඳුන යේසුස් වහන්සේගේ පාමුල කැඩූ විට දී පමණි මිහිරි සුගන්ඳය නිවස පිරවූවේ. බඳුන බිදින තුරු කිසිවෙකුට එම සුගන්ඳයෙහි සුවඳ නොදැනෙනු ඇත. යේසුස් වහන්සේ රොටිය ගෙන ආශිර්වාද කළ මොහොතේ කිසිවක් සිදු නොවුනි, නමුත් උන්වහන්සේ එය කැඩූ විට පන්දහසක් කා තෘප්තියට පැමිණුනි. මේ සියළු උදාහරණ තුළ පණිවිඩය කුමක්ද? කැඩුණු භාවය ආශිර්වාදයෙහි මාර්ගය යන බව යි. පරමාණුවක් විභේදනය (දෙපළු) කරන මොහොතේ මොන තරම් බලයක් මුදා හැරෙන්නේද! එයට මුළු නගරයකට විදුලි බලය දිය හැකිය! කුඩා පරමාණුවක් - ඔබට අන්වීක්ෂයකින්වත් බලන්න බැරි තරම් ඉතාමත් කුඩා වූ පරමාණුවක් කැඩීමේදී ඉන් නික්මෙන බලය ඔබට සිතාගත හැකිද. ‘කැඩුණුභාවය තුළින් දෙවියන් වහන්සේගේ බලය මුදාහැරේ’ යන වග ස්වභාව ධර්මයේ හා බයිබලයෙහි ද පණිවිඩය වන්නේ ය. මාගේ සේවාවේ, ශුද්ධාත්මයේ බෞතිස්මය සහ බලය උදෙසා දෙවියන් වහන්සේව සොයනවිට මෙම පණිවිඩය තුළින් දෙවියන් වහන්සේ 1963 දී මාව ග්‍රහණය කළේ ය. කැඩීමට පත්වීමේ මාර්ගය, බලයේ මාර්ගය බව දෙවියන් වහන්සේ ඉන්පසු මට පෙන්නුම් කළේ ය. මාගේ ජීවිතය පුරාවට එය අමතක කිරීමට මට කිසිසේත් ම අවශ්‍ය නැත. ඔබ තාමත් යෞවනයේ පසුවන විට ම එම පාඩම ඉගෙන ගන්නා ලෙස ඔබව ධෛර්යමත් කිරීමට මට අවශ්‍යය.