WFTW Body: 

පීඩා හිරිහැරයන්හි පරමාර්ථය වන්නේ “ගින්නෙන් පරික්ෂා කරන ලද රත්‍රන්” මෙන් ඔබගේ ඇදහිල්ලේ අව්‍යාජභාවය ඔප්පුකිරීමයි. පොළොවේ ගැඹුරෙන් රත්‍රන් හාරන විට එය පිරිසිදු නොවේ. එය පිරිසිදු කිරීමට ඇති එකම ක්‍රමය නම්, ගින්නට දැමීමය. සබන් හා වතුරෙන් අතුල්ලා රත්‍රන් පිරිසිදු කළ නොහැක. එයින් කුණු පමණක් ඉවත් කරයි. නමුත් රත්‍රන් සමඟ මිශ්‍ර කර ඇති ලෝහ ඉවත් කිරීමට නම්, එය ගින්නට දැමිය යුතුමය. එවිට එහි ඇති සියලුම මිශ්‍ර ලෝහ දිය වී පිරිසිදු රත්‍රන් ඉතුරුවේ. ඔබ අත්විඳිනා පීඩා ගිනිමය විය හැකිය. එය වේදනාකාරි වන අතර, ඔබ ගින්නෙහි සිටින්නාක් මෙන් ඔබට දැනේ. ඔබේ ජීවිතය තුළ තිබෙන අපිරිසිදු දේවල් ඉවත් කිරීම එහි එකම අරමුණ වන්නේ ය. නිදසුනක් වශයෙන් කිතුණුවන්ට වද හිංසා (පීඩා) කරණු ලැබූ සහ ඔවුන්ගේ දේපළ පැහැරගත් රටවල, එහි ප්‍රතිඵළය වූවේ කුමක් ද? ඔවුන් වඩාත් හොඳ වන්දණාකරුවන් බවට පත් වුනි. දැන් ඔවුන්ට කිසිවක් නොමැති බැවින්, ඔවුන්ගේ දේපළට තිබූ බැඳීම අඩුවීමක් සිදුවුණි. නමුත් වද හිංසා (පීඩා) නොමැති තැන, හොඳම ඇදහිළිවන්තයින් පවා ඔවුන්ගේ දේපළ හා උරුමයන් ට මහත්සේ බැඳී සිටින්නට පුළුවන. ඒවාට අප බැඳී නැති බව අප සිතන්න ට පුළුවන, නමුත් අප අපවම මුළාකර ගන්නෙමු. එමනිසා, දෙවියන් වහන්සේ යම් දිනක පීඩාව අප දේශයට පැමිණීමට ඉඩ දිය හැකිය - එවිට අප පවිත්‍ර වනු ඇත.

කොමිනිස්ට්වාදීන් රුසියාව පාලනය කරන විට, කිතුණුවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් හෝ හොඳ රැකියාවක් ලබා ගත නොහැකි වූ බව මම අසා ඇත්තෙමි. ඔවුන්ට ලබා ගත හැකි වූයේ වීදී පිරිසිදු කිරීම් වැනි පහත් රැකියා පමණි. එවැනි අවස්ථාවන්හි දී, උසස් තණතුරු හා විශාල රැකියා ලැබීම නිසා ඇතිවන ගෞරවය සහ වැදගත්කම පිළිබඳ ඇති බැඳීමෙන් අප පහසුවෙන්ම නිදහස් වන්නෙමු. රත්‍රන්වල ඇති සියළුම කුණුකන්දල් ගිනිබත් වන අතර අපි සැබවින් ම පවිත්‍ර වන්නෙමු. අද ලෝකයේ හිංසා පීඩා ඇති ස්ථානවල ලෝකයේ සිටින හොඳම කිතුනුවන්ගෙන් සමහරෙකු සිටීම ඔබ දකින්නේ එබැවිනි. කිතුණුවන්ට හිංසා පීඩා නොවිය යුතු යැයි මම කිසිවිටෙකත් යාච්ඤා නොකරන්නේ එබැවිනි, මන්ද එවිට මම සභාව පවිත්‍රකිරීමට එරෙහිම යාච්ඤා කරමි. මම හිංසා පීඩා සඳහා යාච්ඤා නොකරනමුත්, එයට විරුද්ධව ද යාච්ඤා නොකරමි. ඕනෑම වේලාවක දී අපට වඩාත් ම යෝග්‍ය දේ කුමක් ද කියා ස්වාමින් වහන්සේ දන්නා සේක. එබැවින් ස්වාමින් වහන්සේට එය තීරණය කිරීමට මම ඉඩ හරිමි. කුමණ හෝ දෙයක් වුවද මට එය එක සමානව යහපත්ය. දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය අපිට ලැබුණු කළ, මෙය අපගේ ආකල්පය වනු ඇත.

පේතෘස් තවදුරටත් කියා සිටින්නේ මේ සියල්ලෙන් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට උන්වහන්සේට බොහෝ ප්‍රශංසාව හා මහිමය හා ගෞරවය ලැබෙනු ඇති බවයි. මෙම පීඩා මාධ්‍යයේ අපි යේසුස් වහන්සේ නොදුටුව ද අපි තවමත් උන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේව විශ්වාස කරමින් මහත් සතුටින් ප්‍රීතිවෙමු. පේතෘස්තුමා යේසුස් වහන්සේව ශාරීරිකව දැක තිබුණද, යේසුස් වහන්සේ පැවසුවේ “මා නුදුටු නුමුත්, මාව විශ්වාස කරන්නන් (අදහන්නන්) භාග්‍යවන්තයෝ ය” කියා ය. (යොහාන් 20: 29). එම පදය ඔබ කීදෙනෙක් විශ්වාස කරන්නේ දැයි මා නොදනිමි - එනම්, යේසුස් වහන්සේව භෞතිකව දැක නැති අපි, පේතෘස්තුමා වැනි උන්වහන්සේව ශාරීරිකව දැක ඇති අයට වඩා භාග්‍යවන්තයෝය කියා ය. යේසුස් වහන්සේ එසේ පැවසූ නිසා මම එය මාගේ මුළු හදවතින් ම විශ්වාස කරමි. පේතෘස් තුමා තවදුරටත් පවසන්නේ පීඩා හිරිහැර තුළින් විශ්වාසවන්තව යෑමෙන්, අප “අපගේ ප්‍රාණයේ ගැළවීම” ලබාගන්නෙ මු කියා ය (1 පේතෘස් 1: 9). අපෝතුළුවරුන් නිරයෙන් (අපායෙන්) ගැළවීමට වඩා අපගේ ප්‍රාණයේ ගැළවීම ගැන කථා කළහ.

අපගේ ප්‍රාණය, ආදම්ගෙන් ආත්මාර්ථකාමිත්වය, උඬඟුකම, හා වෙනත් බොහෝ දුෂ්ඨකම් උරුමකර ගෙන ඇත. ආදම්ගෙන් උරුමකරගත් සියළුම දුෂ්ඨකම්වලින් - ද්‍රව්‍යමය දේවලට ඇති ආශාව, ගෞරවයට අපහට ඇති ආශාව, සහ අපගේ අපවම-කේන්ද්‍ර කරගත් ජීවන රටාව වැනි බැඳීම්වලින්, අප ගැළවීම ලැබිය යුතු වන්නෙමු. බොහෝ දුෂ්ඨකම්වලින් අපව මුදවාගැනීමට, ගිනිමය පරික්ෂා හා හිංසා පීඩා බොහෝ සෙයින් උපකාරී වේ.

මානසික ආබාධිත දරුවෙකු ලැබීමේ පරික්ෂාව ගැන සිතන්න. සමහර අය එය මහා අවාසනාවක් ලෙස සිතති. එවැනි දරුවකු ලැබීමට අප කිසිවකු යාච්ඤා නොකරනමුත්, දෙවියන් වහන්සේ, උන්වහන්සේ ට ප්‍රේම කරන පවුළකට එවැනි දරුවකු ලැබීමට ඉඩ හැරියොත්, දෙවියන් වහන්සේ එය ඔවුන්ගේ යහපත උදෙසා ක්‍රියා කරණු ඇති බවට අපට සහතික විය හැකි ය. එවැනි දරුවන් සිටින පවුල්වල වෙනත් පවුල්වලට වඩා අනෙක් දරුවන් තුළ මුදු මොළොක් බවක් සහ කැපවීමේ ආත්මයක් හා එකිනෙකා අතර උදව් කරගැනීමක් ඇති බව මා දැක ඇත්තෙ මි. බොහෝ විට, බුද්ධිමත් හා දක්ෂථා ඇති දරුවන්ගේ දෙමව්පියන්ගේ හදවත් නොදැනුවත්වම උඩඟු වනු ඇත. උඬඟුකම ස්වර්ගයට අයිති නැත; එය නිරයට අයිති දෙයකි. අවාසනාවකට මෙන් උඬඟුකම බොහෝ ඇදහිළිවන්තයින් තුළ දැක ගන්නට පුළුවන.

දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සියළු දරුවන්ට පීඩා හිරිහැරවලට මුහුණදීමට ඉඩ හරී. උන්වහන්සේගේ ඉමහත් ප්‍රඥානාව තුළ, ඒවා කොයි මොහොතේ දී එවන්නේ දැයි උන්වහන්සේ දන්නා සේක. අප ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙනී සිටින විට, දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුළ ඉඩදී ඇති කිසිම පරීක්‍ෂාවකදී එක වැරැද්දක්වත් කර නැති බව අපට වැටහෙනු ඇත. උන්වහන්සේ අපේ ජීවිතවලට ඉඩ දුන් සෑම පරීක්‍ෂණයක්ම, අපව රත්තරන් ලෙස පවිත්‍ර කිරීමට බව ඒ දවසේදී අපි සොයාගනු ඇත. ඔබ එය එසේ විශ්වාස කරන්නේ නම්, සැමවිට ම ඔබ ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරණු ඇත.