කර්තෘ :   සැක් පූනන් වර්ග :   ගෝලයෙක්
WFTW Body: 

1 කොරින්ති 4: 2 හි ලියා ඇත්තේ "සේවකයෙකු ගැන වඩාත් ම වැදගත් දෙය නම්, ඔහු තම ස්වාමියා ඔහුට පවසන දෙයම කිරීමය” කියාය. විශ්වාසවන්ත සේවකයෙකු ලෙස අර්ථවත් වන්නේ එයයි. ඔබ කොපමණ දේ කරන්නේ ද යන්න නොවේ, නමුත් ඔබ කරන්නේ, ස්වාමින් වහන්සේ ඔබට කරන්නට කී දේ පමණක් ද - සහ උන්වහන්සේට අවශ්‍ය ආකාරයට එය කරන්නේද යන්නය. ඒ සඳහා, ඔබ දෙවියන් වහන්සේ මත බලා සිටිමින් "ස්වාමීනි, මා ඔබට කුමක් කළයුතු ද? ඒ දේ පමණක් කිරීමට මට අවශ්‍යය” කියා උන්වහන්සේගෙන් අසා සිටිය යුතුය. නිදසුනකට, ඔබ සේවකයෙකුව සේවයට බඳවා ගත් විට ඔහු ඔබ වෙනුවෙන් එහේ මෙහේ දුවමින් ඔබට අවශ්‍යයයි කියා ඔහුට හිතෙන ඕනෑම දෙයක් කිරීම ඔබට අවශ්‍ය නොවන්නේය. නැත. ඔබට අවශ්‍ය වන්නේ, ඔහු ඔබට සවන් දී, ඔබ කරන්නට පැවසූ දේ කිරීමය. නමුත් බොහෝ කිතුණු සේවකයන් දේව වචනයෙහි දෙවියන් වහන්සේ පැවසූ දේවලට ඇහුම්කන් නොදෙන අතර එම දිව්‍යමය ප්‍රතිපත්ති අනුගමනය නොකරයි. ඒ වෙනුවට ඔවුන් දෙවියන් වහන්සේගේ සේවය කරන්නේ වඩාත්ම යෝග්‍යයයි ඔවුන්ට හැඟෙන ආකාරයටය - ඔවුන්ගේම දක්ෂ අදහස් ඇතුව, සාමාන්‍යයෙන් ලෞකික ආකාරයටය. ඔවුන් ස්වාමීන් වහන්සේට සේවය කරන පිණිස ඔවුන්ගේම වැඩපිළිවෙත් සටහන් පිළියෙළ කරන අතර, ඔවුන් උදෙසා ස්වාමින් වහන්සේගේ කැමැත්ත වන්නේ කුමක් දැයි සොයා බැලීමට ස්වාමින්වහන්සේ මත බලා සිටීමට ඔවුන්ට ඉවසීමක් නොමැත.

ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ සේවකයන්ට (කුරුසියේ මාර්ගයෙහි ගමන් කරන) ලෝකයෙන් (එයට ලෞකික ඇදහිළිවන්තයින්ද ඇතුළත් වන්නේය) ගෞරවයක් නොලැබෙන බව 1 කොරින්ති 4 වන පරිච්ජේදයෙහි පාවුලුතුමා පවසන්නේ ය. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ, දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම සේවකයෝ වන්නේ ප්‍රේරිතයන්ය. ඔවුන් සභාවල වැඩිමහල්ලන්ට වැඩිමහල්ලන් ය. අපොස්තුළුවරුන් සභාවන් රෝපණය කරති, වැඩිමහල්ලන්ව පත් කර එම වැඩිමහල්ලන්ට මඟ පෙන්වති. නමුත් මෙම ප්‍රේරිතයන් දෙස ලෝකය බලන්නේ කෙසේද? “දෙවියන් වහන්සේ අපෝස්තුළුවරුන් වන අපිව අන්තිමයන් කොට ප්‍රදර්ශනය කර ඇත” (1 කොරින්ති. 4: 9). ලෝකයේ ඇස් හමුවේ ප්‍රේරිතයන් සිටින්නේ සමාජ ඉණිමඟේ පතුලේය. ඔවුන් “වහා මරණයට පත්කිරීමට නියම කරන ළද සිරකරුවන් හා සමාන ය… මිනිසුන් ගෙන් රැවීමට ලක්වන්නන්ය… අණුවනයන් ය....... සිනාවට ලක්වන්නන් ය…පහර ලබන්නන්” යනාදිය (1 කොරි. 4: 9–11). පාවුලුතුමා, ඔහුව සමඟ අනෙක් ප්‍රේරිතයින් අතරෙහි සංසන්දනයක් කරමින් ලෞකික කොරින්ති කිතුණුවන්ට මෙසේ පවසයි. “නුඹලා පූර්ණව හා ධනවත්ව සිටින්නහුය, ප්‍රඥාවන්තයින් ලෙස සළකණු ලබන්නහුය, ශක්තිමත් හා ලෝකයෙන් කීර්තිය ලබන්නහු ය. අනෙක් අතට, අපි ලෝකය විසින් අවමන් ලබන්නෝය.” යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ප්‍රේරිතයෙකු මේ ලෝකයෙන් ගෞරවයට පත් නොවනු ඇත. ලෞකික කිතුණුවන්ට පමණක් ලෝකයේ ගෞරවය හිමි වේ. ඔබ ලෝකයේ ගෞරවය සොයන්නේ නම්, ඔබ නිසැකවම ලෞකික කිතුණුවකු ලෙස අවසන් වනු ඇත.

ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ප්‍රේරිතයෙක් සුභ-ආරංචිය දේශනා කිරීමෙන් කිසි විටෙකත් ධනවත් වන්නේ නැත. සුභ-ආරංචිය දේශනා කිරීමෙන් ධනවත් වූ මිනිසෙකු ඔබ කොතැනක දුටුවත් ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙකු නොවන බව ඔබට සහතික කරගත හැකිය. සුභ-ආරංචිය දේශනා කිරීම තුළින් තමාටත් තම පවුලේ අයටත් නිවාස හා ඉඩම් මිළදී ගත් පුද්ගලයෙකු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙකු නොවේ. සුභ-ආරංචිය දේශනා කිරීමෙන් ලැබෙන මුදලින් මිළ අධික මෝටර් රථ මිළදී ගැනීමට හැකි මිනිසෙක් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයෙකු නොවේ. ඔහු නියම මාංශික කිතුණුවෙක් පමණි. පාවුලුතුමාගේ දේශනා කිරීමේ දීමණාව තුළින් විශාල මුදලක් ඔහුට හම්බ කරන්නට හැකි වූවත් ; ඔහු එසේ කළේ නැත. දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයා සුභ-ආරංචිය දේශනා කිරීමෙන් මුදල් උපයන්නේ නැත. යේසුස් වහන්සේ හා ඔහුගේ ප්‍රේරිතයන් මෙන් ඔහුගේ භූමික අවශ්‍යථාවන් සපුරාලීම පිණිස ඔහු තෑගි භාරගනු ලැබුවත් - මෙලෙස ඔහු කෝටිපතියෙකු බවට පත් නොවනු ඇත. නමුත් කිතුණු සමූහය තුළ අද අප දකින්නේ සත්‍ය වශයෙන්ම එයට ප්‍රතිවිරුද්ධ දෙයයි. මේ සියලු ප්‍රේරිතයන් සහ දේශකයන් යයි පවසන්නන් (රෝගීන් සුව කිරීමට හැකි වුවද) කෙරෙහි මගේ ගෞරවය බිංදුව වන්නේ එබැවිනි. සුභ-ආරංචිය දේශනා කිරීම තුළින් දුප්පත් මිනිසුන්ගෙන් දසයෙන් කොටස ලබාගෙන ධනවත් වන මෙම එවැන්ජලිස්ත දේශකයන්ට වඩා, උතුරු ඉන්දියාවට ගොස් දිළිඳුන්ට උපකාර කරමින් සරළ ලෙස ජීවත්වන රෝමාණු කතෝලික පූජකයන්ට මගේ වැඩි ගෞරවයක් හිමිවේ. ඔබ අනුගමනය කරන්න යන්නේ කාවද? පාවුලු සහ පේදුරු ද? නැතහොත් වර්තමාන ව්‍යාජ දේ කරන්නන්ද? "අපට කර්කශ (රළු) ලෙස සළකනු ලබයි ... අපි වෙහෙස වී අපේම දෑතින් වැඩ කරන්නෙමු යි" (1 කොරින්ති. 4: 11, 12) හි පාවුලුතුමා තවදුරටත් මෙලෙස පවසයි.

පාවුලුතුමාගේ මූල්‍යමය අවශ්‍යථාවයන් ඔහුම සපුරාගත් නමුදු ඔහුව නින්දා අපහාසවලට ලක්කෙරුණි. මිනිස්සු ඔහු ගැන අසත්‍ය කථා කීවත් ඔහු ඔවුන්ට ආශීර්වාද කළේය. ඔහු ගිය සෑම තැනකම වාගේ ඔහු පීඩා විඳිමින්, “ලෝකයේ කුණු මෙන් වී සියලු දේ තුල කසළ මෙන් වන්නෙමු” යැයි පැවසීය (1 කොරින්ති 4: 13). එයින් පැවසෙන්නේ ලෝකයා ඔහුව සැළකුවේ මල අපවහනය ගලා යන නළයකින් එන ජරාවට වඩා දෙයක් නැති ගනණට බවයි. එවකට සිටි උතුම්ම ප්‍රේරිතයාට ලෝකය සැළකූ ආකාරය එයයි. ඊට හාත්පසින් ම වෙනස් වූ, කොරින්ති කිතුණුවෝ ලෝකයෙන් ගෞරවය හා උපහාරය ලැබූ අතර - ඔවුහු ඒ ගැන සතුටුද විය. දෙවියන් වහන්සේගේ මෙහෙකරුවෙකු වීමේ අර්ථය පිළිබඳ අවබෝධය කිතුණු සමූහය නැතිකර ඇති බව මා කණගාටුවෙන් කියමි. අපගේ කර්තව්‍ය වන්නේ, සැබෑ දෙවියන් වහන්සේගේ සේවකයෙකු වීමේ අර්ථය කුමක්ද යන වග අපගේ දේශයට ප්‍රකාශකිරීමයි - මධ්‍යම ප්‍රතිපදාවක් නොදක්වන හෝ ලෝකයේ කිසිදු ගෞරවයක් නොසොයන කෙනෙකු වීමය. කිසිවෙකුගේ දේවධර්ම උපාධි හෝ වෙනත් ලෞකික සුදුසුකම් ගැන දෙවියන්වහන්සේ මවිතයට පත් වන්නේ නැත. එවැනි සුදුසුකම් යක්ෂයාව බිය ගන්වන්නේ ද නැත!

බොහෝ කිතුණු සේවකයන් සිංහාසන මත වාඩි වී ගෞරවය ලබා ගැනීමට ආශා වෙති. එම මාර්ගයේ නොයන්න. ඔබගේ මුළු ජීවිතයේම දෙවියන්ගේ නිහතමානී (යටහත්) සේවකයෙක් වන්න. ලෝකය හා බබිලෝනීය ක්‍රිස්තු සමූහය විසින් ඔබව ප්‍රතික්ෂේප කරනු ලැබුව ද, සාමාන්‍ය සහෝදරයෙක් හා සාමන්‍ය සහෝදරියක් වන්න.

කීර්තිය ලැබ හා පහසුවෙන් දිවිගෙවූ කොරින්තිවරුන් කෙරෙහි පාවුලුතුමා ඊර්ෂ්‍යා කළේද ? නැත. ඔවුන් කෙරෙහි කණගාටු වූවා පමණි, මන්ද ඔහු ඔවුන්ට වඩා ආශිර්වාද ළත් තැනක සිටියේ ය. ඔහු පියෙකු මෙන් ඔවුන්ට කථා කළ නමුදු - ඔවුන්ව ලජ්ජාවට පත් නොකලේය (1 කොරින්ති 4: 14). දෙවියන් වහන්සේගේ සැබෑ මෙහෙකරුවා පියෙකු වන්නේය. ඔහු මිනිසුන්ව ලජ්ජාවට පත් නොකරයි<. ශිෂ්‍යයන් වරදක් කළ විට ගුරුවරයෙකු ඔහුගේ ශිෂ්‍යයන් ලජ්ජාවට පත් කළ හැක. කෙසේ වෙතත්, යහපත් පියෙකු කිසිවිට ඔහුගේ දරුවකු යම් මෝඩ දෙයක් කළත් ලජ්ජාවට පත් නොකරයි. නමුත් කිතුණු සමූහය තුළ පියවරුන්ගේ හා ගුරුවරුන්ගේ අනුපාතය 1: 10,000 (1 කොරින්ති 4: 15) පමණ වේ.