WFTW Body: 

එළිදරව් 2 සහ 3 තුළ දෙවියන්වහන්සේ තරවටු කළ සභාවන් සහ දූතයන් පහ දෙස අප බැලීමේදී අපට ඔවුන් තුළ නිශ්චිත පහතට නැඹුරුවීමක් (වැටීයාමක්) දක්නට පුළුවන:

(1) එපීස තුළ, ස්වාමින්වහන්සේටවූ පළමු ප්‍රේමය නැතිවීම අප දකින්නෙමු. ක්‍රිස්තුස්වහන්සේටවූ අපගේ භක්තිය අප නැතිකර ගන්නාවිට, අප වැටීයාමේ පළමු පියවර ගෙන ඇත. මඳ කාලයකට පසු මෙය අපව සහෝදර ඇදහිලිවන්තයන්ට ඇති ප්‍රේමය නැතිකර ගැණීම දක්වා ගෙනයනු ඇත.

(2) පර්‍ගමම් තුළ, බාලාම්ගේ ඉගැන්වීමෙන් ලෞකිකත්‍වය ප්‍රයෝගකාරීව රහසින් ඇතුල්වීම අප දකින්නෙමු. නිකොලයිතයින් (එපීස සභාවෙන් ඉවත්කර තැබූ) දැන් මෙහි බලය ගෙන ඇත. ක්‍රිස්තුස්වහන්සේට වන භක්තිය නැතිවන විට, ලෞකිකත්‍වය රහසේ ඇතුළුවී ආගමික බලාධිකාරිය සභාවේ පාලනය ගනු ඇත. ආගමික බලාධිකාරියක් සභාවේ නායකත්‍වය අතට ගත් විට, පහසුවෙන් බබිලෝනිය ගොඩනැඟෙනු ඇත.

(3) තියාතිරාව තුළ, සභාව මුලුමනින්ම ලෞකිකවී ඇත, එහි ප්‍රතිඵලයක් ලෙස ආගමික වෛශ්‍යාකම මැඬපැවැත්වීම දුෂ්කරය. සභාවකට බලපෑම් කිරීමට ස්ත්‍රියකට දැන් හැකිවී ඇත, එසේම ව්‍යාජ අනුග්‍රහයක් ප්‍රකාශ කරමින් ආත්මික දීමනාද ව්‍යාජ ලෙස දැක්වීමද සිදුවේ (විශේෂයෙන්ම අනාගත වාක්‍ය).

(4) සාර්දීස් තුළ, කුහකත්‍වය අප දකින්නෙමු. පාපය ආවරණය කර ඇත සහ දෙවියන්වහන්සේට වඩා මනුශ්‍යයාගේ අදහස් අගය කර ඇත. සභාවේ දූතයා ආත්මිකව නින්දේය(ආත්මික යතාර්ථයන් ගැන නොසැලකිලිමත්ය). කෙසේ වෙතත් දේවභක්තියේ වේශය මනුශ්‍ය ඇස්වලින් සැඟවී ඇත ස්වාමින්වහන්සේ ඔවුන් තුළ ආත්මික මරණය දකිනසේක.

(5) ලවෝදිකය තුළ, ඉතා අධික ලෙස තත්වයන් ගුණාත්මක භවින් පිරිහී ශරීරය මරණයට පත්වීම පමණක් නොව කුනුවී දුර්‍ගන්දයට පත්ව ඇත. මරණයට හේතුව ආත්මික උඬඟුව සහ ඇල්මැරුණු ස්වභාවයයි. ඉහතවූ සභාවන් හතර තුළ ඔවුන් එක්එක් අය තුළ දෙවියන්වහන්සේට තවදුරටත් යම් හොඳදේ දක්නට ලැබිණි. නමුත් මෙහි ලවෝදිකය තුළ උන්වහන්සේට කිසිවක් දක්නට නොතිබිණි.

ඉහත සභාවන්හි එකදු දූතයෙකුවත් ඔවුන්ගේම ජීවිත තුළ හෝ ඔවුන්ගේ සභාවන් තුළ සැබෑ ආත්මික තත්‍වය ගැන දැන නොසිටියහ. තමන් ගැනවූ උසස් මතය නිසා ඔවුන් සියළු දෙනාම ස්වකීය ක්‍රියාවන් ගැන සතුටුව සිටියහ. දෙවියන්වහන්සේ ඔවුනට පෞද්ගලිකව පවසන දෙය ඇසීමට ඔවුනට නොහැකිවිය, මක්නිසාද ඔවුන්සියල්ලෝම අන් අයට දේශනා කිරීම පිණිස දේශනයන් සූදානම් කිරීමේ කාර්‍යබහුලව සිටියෝය. ඔවුන්ගේම අවශ්‍යථාවයන් ගැන බලනවාට වඩා ඔවුන් දේශනා කිරීමට ආශාවුනි. යම් පුද්ගලයෙකු සභාවේ දූතයෙකු(නායකයෙකු) බවට පත්වන විට තමන්වම නිවැරදි කරගැණීමේ අවශ්‍යථාවයට ඔබ්බෙන් තමන් සිටින බව සිතීම ඉතා පහසුය. බයිබලය"දැනමුතුකම් ලබන්නට නොදන්නාවූ අඥාන මහලු රජෙකු" (දේශනාකාරයා 4:13 ) ගැන කථා කරයි. මෙම සභා පහේම දූතයින් සියළු දෙනා ඒ මහලු රජු වැනිය. ඔවුන්ගේ වචන බොහෝ කාලයකට නීතියක්ව පැවතීම නිසා ඕනෑම කරුණකදී තමන් වැරදිව සිටින්නට පුළුවන් බව ඔවුනට සිතාගන්නටවත් බැරිවුණි!! ඔවුන්ගේ මුළාවීමේ තරම ඒ ආකාරවිය. දෙවියන්වහන්සේගේ ආලේපය ඔවුන්ගේ ජීවිත වලින් කිසිවිට නැතිවිය නොහැකි බවට ඔවුන් සිතුවෝය. ඔවුන්ව ආත්මික බිහිරන් බවට පත් කලේ ඔවුන්ගේ ආඩම්බර විලාසයයි. සාවුල් රජු හොඳින් ආරම්භ කර ඉතා ඉක්මනින් පාරට වැටුනු තවත් අඥාන රජෙකු විය. ස්වාමින්වහන්සේ ප්‍රතමයෙන් ඔහුව රජු ලෙස ආලේප කරනවිට ඔහු "තමන්ගේ ඇස් හමුවේ කුඩාව" සිටියේය ( 1සාමුවෙල් 15:17 ). නමුත් ඔහු තමන්ගේ පහත්(යටහත්) සිතුවිලි මත තමන්වම නොතැබුවේය. එලෙස ඔහු ස්වාමින්වහන්සේගේ ආලේපය නැති කර ගත්තේය. ආලේපය ඉන්පසු තරුණ දාවිත් වෙතට ඉවත්වුණි. සාවුල් එය වටහගත්තේය, නමුත් එයට මුහුණ දීම ඔහු ප්‍රතික්‍ෂේප කළේය. ඔහු මුරණ්ඩු ලෙස දිගටම තම සිංහාසනයේ හිඳගත් අතර දාවිත්ව මරන්නට සෙවීවේය. අවසානයේදී දෙවියන්වහන්සේ සාවුල්ගේ ප්‍රාණය ගත් අතර දාවිත්ව සිහසුන මත තැබූ සේක. අද දවසේ බොහෝ සභාවන් තුළ අප සමාන තත්වයන් දකින්නෙමු. වරක් දෙවියන්වහන්සේගේ දූතයන්වූ බොහෝ දෙනා වෙතින් ආත්මයාණන්ගේ ආලේපය නික්ම ගොස් දැන් ඔවුන්ගේ සභාවල සමහර තරුණ සහෝදරයන් මත බලවත් ලෙස ඒ ආලේපය රැඳී ඇත්තේය. නමුත් "මහලු සහ අඥාන රජවරුන්ට" මෙය දැකීම දරාගන්නට බැරිය. එනිසා ඔවුන් මොනවාද කරන්නේ? ඔවුන්ගේ රාජධානිය ආරක්‍ෂා කිරීම පිණිසවූ ඔවුන්ගේ ඊර්‍ශ්‍යාව සහ ඔවුන්ගේ ආත්මාර්තකාමී අභිලාශය එම තරුණ සහෝදරයින් එක් ආකාරයකට හෝ වෙනත් ආකාරයකට මැඬපැවැත්වීමට පොළොඹවයි. යම් සමානවූ තත්‍වයක් සුළු ආසියාවේ පසුබටවූ සභා පහේද සිදුවෙමින් තිබුණා වියහැකියි. එනිසා ස්වාමින්වහන්සේ එක් අවසාන අනතුරු ඇඟවීමක් ඒ දූතයන්ට දුන්සේක.

දෙවියන්වහන්සේ සමඟ පක්‍ෂවාදිකම් නැති අතර උන්වහන්සේට විශේෂවූ ඉතා ප්‍රිය කරන්නන්ද නොමැත. විනයගරුක ජීවිතයක් ගත කිරීමට සැලකිලිමත් නොවුනහොත් ඔහුද වැටීයාමෙන් අසර්‍මත වියහැකි බවට පාවුළුතුමාද අවබෝධ කරගත්තේය ( 1 කොරි. 9: 27 ).

පාවුළුතුමා තිමෝතිට පවසන්නේ " නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම් ගැනත් ප්‍රවේසම් වෙයන්න, ඒවායේ පැවතියන්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද, නුඹේ වචන අසන්නන්ද ගලවා ගන්නෙහිය" ( 1 තිමෝති.4:16 ). තිමෝතිට පළමුව ඔහුගේම ජීවිතය බලා ගැණීමට තිබුණි. එවිට ඔහුට තමන්ගේම ජීවිතයේ ක්‍රිස්තුස්වහන්සේ මෙන් නොවන දේවලින් ගැලවීම අත්දැක මෙලෙස අන් අයව එවැනි ගැලවීමක් කරා මෙහෙයවීමට ශක්තිමත් වීමට හැකිවිය. ස්වාමින්වහන්සේ සෑම සභාවකටම තම දූතයින් පත්කළේ මේ අයුරිනි.

පාවුළු තුමා එපීසයේ වැඩිමහල්ලන්ටද පළමුව තමන්ගේම ජීවිත බලාගෙන ඉන්පසු තම රැලේ ජීවිත ආරක්‍ෂා කරන ලෙස පැවසුවේය( ක්‍රියා 20: 28 ). ස්වාමින්වහන්සේගේ සෑම දූතයෙකුගේම වගකීම මෙයයි - පළමුකොට තම ජීවිතය පවිත්‍රව ආරක්‍ෂා කරගෙන සහ නිත්‍ය ශුද්ධාත්ම ආලේපය යටතේ සිටීමයි "නුඹේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; නුඹේ ඉස තෙල් නැතුව නොතිබේවා" ( දේශනා.9:8 ).

දෙවියන්වහන්සේට මෙම දූතයන්ට ඍජුව කතා කිරීමට අවශ්‍යව තිබුණි. නමුත් ඔවුනට ඇහුම්කම් දීමේ කන් නොතිබුණි. අවසානයේ උන්වහන්සේට අපොස්තුළුවරයෙකු මගින් ඔවුනට කතා කිරීමට සිදුවුණි. දෙවියන්වහන්සේට ස්තූති වේවා ස්වාමින්වහන්සේගේ හඬ පැහැදිලිව ඇසීමට අඩුතරමින් යොහාන් කෙනෙකු එහි සිටියේය.

කොහොම නමුත් ඔවුන්ගේ අසමත්කම නොසලකා දූතයන් පස්දෙනා කෙරෙහිම ස්වාමින්වහන්සේට බලාපොරොත්තුවක් තිබුණි - මන්ද තවදුරටත් උන්වහන්සේගේ දකුණු හස්තයේ ඔවුන් සියළු දෙනාවම රඳවාගෙන සිටිසේක( එළි. 2:1 ). ඔවුන් පසුතැවිලි වූවානම් නැවත වරක් ඔවුනට අනර්‍ග සහෝදරයින් වන්නට හැකිවුණි. එමෙන්ම ඔවුන්ගේ සභාවන් යලිත් වතාවක් ස්වාමින්වහන්සේගේ මහිමාන්විත රැස් විහිදුවන්නට තිබුණි. ඔවුන් මෙම අවසන් අනතුරු ඇඟවීම සැලකීමට අසමත් වූවේ නම් එවිට ස්වාමින්වහන්සේ ඔවුන් ඉවතලන්නට තිබුණි.

මෙම පසුගිය විසිවන සියවස තුළ ලෝකයේ සෑම කොටසක් තුළම මෙම ක්‍රියාවලිය නැවත නැවතත් සිදුවෙමින් තිබූ බව ක්‍රිස්තියානි සභා ඉතිහාසය පෙන්වා දෙයි. දැන් අපි සෑම තැනකම බොහෝ බබිලෝනීය " සභා" දකින්නේ එනිසාය. නගරය තුළ කිසි පහන් රුකක් ඉතිරිව නොතිබීමෙන් එක් අවස්ථාවක එය ඉතා නරක තත්වයකට පත්වන්නට තිබුණි. සභා යැයි පවසා ගන්නා සෑම එකක්ම බබිලෝනීයානු එකක් වීමට පුළුවන. ස්වාමින්වහන්සේ සභාවක් තුළ බලන්නේ කුමක්ද. සභාවක්

(i) ක්‍රිස්තුස්වහන්සේටවූ භක්තිය සහ එකිනෙකාට ප්‍රේම කිරීම සමඟ දැවෙන්නාවූ ;

(ii) දෙවියන්වහන්සේ තුළ ජීවමාන ඇදහිල්ල දේශනා කරන්නාවූ ;

(iii) දෙවියන්වහන්සේගේ සියළුම ආඥාවන්ට මුළුවනින්ම කීකරුවීම අවධාරනය කරන්නාවූ ;

(iv) යේසුස්වහන්සේගේ සාක්‍ෂිය ලජ්ජාවෙන් තොරව ප්‍රකාශ කරන්නාවූ ;

(v) ලෞකිකත්‍වයට සහ කුහකත්වයට ආත්මික උඬඟුවට එරෙහිව සිටින ;

(vi) ව්‍යාජ අපෝස්තුළුවරු, ව්‍යාජ ගුරුවරු සහ ව්‍යාජ දීමණා සැමට නිරාවරණය කරන්නාවූ ;

(vii) මාංශයට කුරුසපත්වීම නිත්‍ය ලෙස දේශනා කරන්නාවූ ;

(viii) සියළුම ඇදහිලිවන්තයින්ව තමන්වම නිත්‍ය ලෙස විනිෂ්‍චය කරගැනීමට ධෛර්‍යමත් කරන්නාවූ ;

(ix) යේසුස්වහන්සේම වූවාක් මෙන් ඇදහිලිවන්තයින්ට ජයගන්නන් වීමට අභියෝග කරන්නාවූ ;

ස්වාමින්වහන්සේ සෑම තැනකම උන්වහන්සේගේ නාමයටවූ එවැනි සාක්‍ෂියක් අපේක්‍ෂා කරණ සේක.