දෙවියන් වහන්සේට නමස්කාර කිරීම යනු අපගේ ස්වර්ගික පියාණන් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයකට අපව ගෙන එන දෙයක් වන අතර නමස්කාරය යනු වචන කථා කිරීම හෝ දෙවියන් වහන්සේට වචන පැවසීමට වඩා වැඩි දෙයකි. ඇදහිලිවන්තයන්ගෙන් සියයට 90 කට වඩා ඇති වැරදි වැටහීමක් ගැන මට ඔබට පැහැදිලි කිරීමට අවසර දෙන්න. අද බොහෝ සභාවල ඉරිදා උදෑසන රැස්වීම සඳහා භාවිතා කරන ඉතා පොදු ප්‍රකාශනයක් තිබේ, එය "නමස්කාර මෙහෙය" ලෙස හැඳින්වේ. කැරිස්මැටික් හෝ වෙනත් පෙන්තකොස්ත සභාවල, ඔවුන් එය "ප්‍රශංසා කිරීමේ සහ නමස්කාර කිරීමේ" කාලයක් ලෙස හඳුන්වයි. ඔබට සම්පූර්ණයෙන්ම ශුද්ධ ලියවිලිමය සහ බයිබලානුකුල වීමට අවශ්‍ය නම්, එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශනයකි; ඉරිදා උදෑසන ඔවුන් එහි කරන්නේ නමස්කාරය නොවේ. ඔවුන් ගායනා කරන ගීතවල වචනවලට ඔබ සවන් දෙන්නේ නම්, එය ප්‍රශංසාව සහ ස්තුති දීමයි. එය කිසිසේත්ම නමස්කාරය නොවේ. ඔබ මාව විශ්වාස නොකරන්නේ නම්, ඔබට පද සුචියක් (concordance එකක්) ගෙන නව ගිවිසුම පුරා දක්නට ලැබෙන පරිදි නමස්කාරය යන වචනය දෙස බැලිය හැකිය. පැරණි ගිවිසුමේ, ඔවුන්ට දෙවියන් වහන්සේට තම නමස්කාරය ප්‍රකාශ කළ හැකි එකම ක්‍රමය වූයේ එයයි: අත්පුඩි ගැසීම සහ ගායනා කිරීම සහ දෙවියන් වහන්සේට ගීත ගායනා කිරීම සඳහා සංගීත භාණ්ඩ භාවිතා කිරීම. නමුත් නව ගිවිසුමේදී, යොහන් 4:23-24 පරිච්ඡේදයේ යේසුස් වහන්සේ සමරිතානු කාන්තාවට මෙසේ පැවසූසේක, "සැබෑ නමස්කාර කරන්නන් ආත්මයෙන්ද සැබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, එය දැනටමත් පැමිණ තිබේ. පියාණන් වහන්සේ සොයන්නේ එවැනි අයව උන්වහන්සේගේ නමස්කාරකරන්නන් වීමටයි. දෙවියන් වහන්සේ ආත්මයයි, උන්වහන්සේට නමස්කාර කරන්නන් උන්වහන්සේට ආත්මයෙන් හා සත්‍යයෙන් නමස්කාර කළ යුතුය."
“මේ පොළොවේ දෙවියන් වහන්සේ හැර අන් කිසිවක් මා ආශා නොකිරීම" මගේ හදවතේ ආකල්පය වීම, සැබෑ නමස්කාරයයි"
යේසුස් වහන්සේ "පැමිණෙන" පැයක් ගැන කතා කළ සේක. උන්වහන්සේ තවමත් පැමිණ නොතිබූ පෙන්තකොස්ත දිනයට අදාලව එය සඳහන් කළ සේක. උන්වහන්සේ යොහන් 4:23 හි "දැන් පැමිණ ඇත" යනුවෙන්ද පැවසූසේක, එයින් අදහස් කරන්නේ එය උන්වහන්සේ තුළ දැනටමත් ඉටු වී ඇති බවයි, මන්ද යේසුස් වහන්සේ නව ගිවිසුමේ බොහෝ සහෝදරයන්ගේ කුලුඳුලාය. උන්වහන්සේ අප වෙනුවෙන් නව ගිවිසුම විවෘත කළ තැනැන්වහන්සේ වූ අතර, එබැවින් එක් අර්ථයකින්, උන්වහන්සේ පළමුවැන්නා සහ අපගේ නායකයා වූ සේක. ඉතින්, අවසානයේ, ආත්මයෙන් හා සත්‍යයෙන් පියාණන් වහන්සේට නමස්කාර කරමින් පොළොව මත ඇවිද ගිය එක් මිනිසෙකු සිටි පැය පැමිණ තිබුණි, ඒ යේසුස් වහන්සේම ය. මීට පෙර කිසිවෙකු එය කර නොතිබුණි.
1 තෙසලෝනික 5:23 අපට පවසන්නේ මිනිසා ආත්මය, ප්‍රාණය සහ ශරීරයෙන් සමන්විත බවයි, මෙයින් ඇඟවෙන්නේ යේසුස් වහන්සේ මෙහි ආත්මය යන වචනය භාවිතා කරන විට, ඒ මොහොත දක්වා පැරණි ගිවිසුමේ සියලුම නමස්කාරය ශරීරය හා ප්‍රාණය තුළ පමණක් පැවති බවයි. එයින් අදහස් වන්නේ ඔවුන් තම දෑතින්, අත් ඔසවමින්, අත්පොළසන් දෙමින් දෙවියන් වහන්සේට නමස්කාර කරමින්; ඔවුන්ගේ ප්‍රාණයෙන් ඔවුන් තම මනස, බුද්ධිය, හැඟීම් භාවිතා කර දෙවියන් වහන්සේට නමස්කාර කළ අතර රැස්වීමේදී ඔබ ප්‍රශංසා හා ස්තුති ගීත ගායනා කරන විට ඔබට දැනෙනාක් මෙන් ඔවුන්ටද ප්‍රීතිය හා හැඟීම්, චිත්තවේගීය හැඟීම් දැනුණ බවය. ප්‍රාණය හා ශරීරය තුළ නමස්කාර කිරීමේ ප්‍රමාණය එපමණි. නමුත් "ශුද්ධාත්මයාණන් වහන්සේ මා තුළ වාසය කරනවාක් මෙන් මෙතැන් පටන් උන්වහන්සේ ඔබ තුළද වාසය කරන විට, දැන් ඔබ ගැඹුරු නමස්කාර මට්ටමකට පැමිණ ඇතැයි උන්වහන්සේ පැවසූ සේක. යේසුස් වහන්සේ පවසමින් සිටියේ, "ඔබටද ශරීරය හා ප්‍රාණය තුළ පමණක් නොව ආත්මයෙන් හා සත්‍යතාවයෙන් නමස්කාර කිරීමටද හැකි වනු ඇති බවය."
අද අපි කුමක් කළ යුතුද? අපි තවමත් අත්පොළසන් දෙනවා අත් ඔසවනවා, අපි තවමත් චිත්තවේගීය බවක් දැනෙන අතර දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට අපගේ බුද්ධිය භාවිතා කරනවා, නමුත් ඒ සියල්ලටම වඩා, අපි ආත්මයෙන් නමස්කාර කළ යුතුයි, එයින් අදහස් කරන්නේ අපි ප්‍රාණය සහ ආත්මය අතර ඇති එම වැස්ම විනිවිද ගොස් දෙවියන් වහන්සේ සමඟ තනිව සිටින එම තලයට ඇතුළු වීමයි. පැරණි ගිවිසුමේ මණ්ඩපයේ, ශරීරය, ප්‍රාණය සහ ආත්මයට අනුරූප වන කොටස් තුනක් ඇත. එහි අවසාන කොටස, තිරයකින් වැසී තිබූ මෙම සංවෘත කොටස, දෙවියන් වහන්සේ පමණක් වාසය කළ අති ශුද්ධ ස්ථානයයි. පිටත මළුවේදී, පූජා ඔප්පු කිරීමත් සමඟ ඔවුන්ට මහත් උද්‍යෝගයක් ඇති විය. ශුද්ධස්ථානයේදී, පූජකයන් ගණනාවක් එකිනෙකා වටා එක්රොක් වී සුවඳ දුම් පූජා කරමින් සහ පහන් දල්වමින් සිටියහ. නමුත් අති ශුද්ධස්ථානයේදී, එය දෙවියන් වහන්සේ පමණි. එබැවින් පුද්ගලයෙකු අති ශුද්ධස්ථානයට ඇතුළු වූ විට, ඔහු දෙවියන් වහන්සේ සමඟ පමණක් සිටියේය. ඔහු සහ දෙවියන් වහන්සේ හැර වෙන කිසිවෙකු එහි සිටියේ නැත. ඒ ආත්මයෙන් කරන නමස්කාරයයි, එහිදී ඔබ සහ දෙවියන් වහන්සේ පමණක් සිටින අතර, එය ඔබට ඔබේ කාමරය තුළ කළ හැකි දෙයක් වන අතර, එය ඔබ හුදෙක් වචන වලින් කරන දෙයක් නොවේ.
සැබෑ ලෙස නමස්කාර කරන්නෙකු දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳ හොඳම උදාහරණවලින් එකක් ගීතාවලිය 73:25 හි දක්නට ලැබේ. මෙය ඔබේ හදවතේ ඇතුලාන්තයෙන්ම දෙවියන් වහන්සේට අවංකව පැවසිය හැකි නම්, ඔබ නමස්කාරකරන්නෙකි. එසේ නොවේ නම්, ඔබ ආත්මයෙන් නමස්කාර කරන්නේ නැත. එහි මෙසේ සඳහන් වේ, "අනේ දෙවියනි, ස්වර්ගයෙහි ඔබ හැර මට ඇත්තේ කවුද?" වෙනත් වචන වලින් කිවහොත්, "මම ස්වර්ගයට ගිය පසු, මම රන් වීදි හෝ මන්දිරයක් හෝ ඔටුන්නක් නොසොයන්නෙමි. නැත. මම දෙවියන් වහන්සේ සමඟ පමණක් තෘප්තිමත්ව සතුටුවන්නෙමි. මට දෙවියන් වහන්සේ හැර වෙන කිසිවෙකු හෝ කිසිවක් අවශ්‍ය නැත." එනම්, "මට ස්වර්ගයේ සිටිය හැකි අපූරු සහෝදර සහෝදරියන් සහ පවුලේ සාමාජිකයන් සිටී, නමුත් ඔබ මට සියල්ල වනු ඇත." එනම්, "ඔබ හැර, මම පොළොවේ කිසිවක් බලාපොරොත්තු නොවෙමි." එනම්, "ස්වර්ගයේ පමණක් නොව, මම ස්වර්ගයට යාමට පෙර, මේ පොළොවේ, මම ඔබ හැර වෙන කිසිවක් ආශා නොකරමි. ඔබ මට දුන් දෙයට වඩා ද්‍රව්‍යමය භාණ්ඩ කිසිවක් මම ආශා නොකරමි." "මම සම්පූර්ණයෙන්ම සෑහීමකට පත්වෙනවා." සෑහීමට පත්වීම(ලද පමණින් සතුටු වීම) සමඟ දේවභක්තිය යනු විශාල ලාභයකි. නමස්කාරකරන්නෙකු මේ පොළොවේ කිසිවක් ගැන කිසිදා පැමිණිලි කරන්නේ නැත - දෙවියන් වහන්සේ ඔහුට සකස් කර ඇති සියලු තත්වයන් ගැන ඔහු පරිපූර්ණ ලෙස සෑහීමකට පත්වේ. දෙවියන් වහන්සේ ඔහුව ගෙනා පවුල, ඔහු සතුව ඇති රැකියාව, ඔහු සතුව ඇති සියල්ල ගැන ඔහු සෑහීමකට පත්වේ. ඔහු පරිපූර්ණ ලෙස සෑහීමකට පත්වේ. ඔහු දෙවියන් වහන්සේ හැර අන් කිසිවක් අපේක්‍ෂා නොකරයි. පැරණි කියමනක් පවසන පරිදි, ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ හැර අන් කිසිවක් නොමැති අතර අනෙක් සියල්ල අහිමි වන කාලයක් පැමිණියහොත්, දෙවියන් වහන්සේ ඕනෑවටත් වඩා සෑහෙන බව ඔබට පෙනී යනු ඇත.
ඉතින්, සැබෑ නමස්කාරය මෙය වේ, මගේ හදවතේ ආකල්පය මේ පොළොවේ දෙවියන් වහන්සේ හැර වෙන කිසිවක් මට අවශ්‍ය නැති වීමය. ඔබට එවන් ආකල්පයක් ඇති හදවතක් නොමැති නම්, ඉරිදා උදෑසන ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන විට සහ ස්තූති කරන විට ඔබට කොතරම් හැඟුම්බර බවක් දැනුනත්, ඔබ නමස්කාර කරන්නෙකු නොවේ. ඔබට එය නමස්කාරය සහ ප්‍රශංසාව ලෙස හැඳින්විය හැකිය, නමුත් ඔබ ඔබවම රවටා ගනී, ඔබ එසේ නොකරන විට ඔබ දෙවියන් වහන්සේට නමස්කාර කරන බව ඔබ සිතන නිසා සාතන් ඔබ එසේ කිරීම ගැන සතුටු වේ. නමුත් යේසුස් වහන්සේ යොහන් 4:23 හි පැවසුවේ පියාණන් වහන්සේ ආත්මයෙන් නමස්කාර කරන අයව සොයන බවයි. පියාණන්ට මොනතරම් අධික ආශාවක් තිබේද?
ඔබේ පියාණන්ගේ හදවත තෘප්තිමත් කිරීමට, ආත්මයෙන් නමස්කාර කරන්නෙකු වීමට ඔබට එතරම් අධික ආශාවක් තිබේද? එසේ නම් ගීතාවලිය 73:25 ට ගොස් එම වචන ඔබේ හදවතේ ප්‍රකාශනය එනම්, ඔබ පොළොවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර අන් කිසිවක්, දේවසේවයක්වත් ආශා නොකිරීම වනතුරු විවේක නොගන්න. ඔබේ එවැන්ජලිස්ත සේවයෙන් හෝ ඔබේ ඉගැන්වීමෙන් හෝ ඔබේ සභාවේ ගොඩනැගිල්ලෙන් හෝ ඕනෑම දේවසේවයකින් හෝ ඔබේ මුදල් හෝ දේපළෙන් හෝ ඕනෑම දෙයකින් ඔබේ තෘප්තිය සොයා නොගන්න. "ස්වාමීනි, මට ඔබ සිටිනවා, මට අවශ්‍ය වන්නේ ඔබ පමණි."