WFTW Body: 
Document

"ශෝකවන්නෝ ආශිර්වාදලද්දෝය, මක්නිසාද ඔවුහූ සණසනු ලබන්නෝය" (මතෙව් 5: 4). " COMFORT " යන වචනයේ ඉංග්‍රීසි තේරුම “strengthened” (ශක්තිමත් කරනු ලැබූ) යන්නයි. එහි මැද හරියේ " F – O – R – T" යන කුඩා වචනය ඇත. එහි තේරුම "කොටුව" යන්නයි. "කොටුව" යනු විශාල හමුදා ආරක්ෂිත ප්‍රදේශයක පින්තූරයකි - බල ගැන්වූ කොටුවක්, බලකොටුවක්. "ශෝකවන්නෝ ආශිර්වාදලද්දෝය ,මක්නිසාද ඔවුහූ සණසනු ලබන්නෝය."ලෝකයේ මිනිසුන් සියලු වර්ග දේවල් ගැන ශෝක වෙති. බොහෝ අය ශෝක වන්නේ යම් පෞද්ගලික පාඩුවක් නිසාය. එක්කෝ ඔවුන්ට මුදල් අහිමි වීම, නැතහොත් ඔවුන්ට ආදරය කරන කෙනෙකු අහිමි වීම, නැතහොත් ඔවුන්ට ඔවුන්ගේ කීර්ති නාමය අහිමි වීම නැතහොත් ඔවුන්ට, ඔවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ තනතුර, ඔවුන්ගේ රැකියාව හෝ එවැනි මේ පොළොවේ යමක් අහිමි වීම නිසාය. නමුත් යේසුස්වහන්සේ කථා කරන්නේ එවැනි වැළපීමක් ගැන නොවේ. එය යමෙකු මට රිදවූ නිසාවත්, මාගේම දුක ගැන හඬා වැළපීමවත් නොවේ‍ය.

යේසුස් වහන්සේ කිසිවිටෙකත් තමන්ගේම දුකට නොහැඬූ නමුත් අන් අය වෙනුවෙන් හැඬු සේක. උන්වහන්සේ යෙරුසලම ගැන හඬා වැටුණු බව (ලූක් 19: 41) සහ ලාසරුස්ගේ සොහොන් ගෙය අසල උන්වහන්සේ හැඬූ බව අපි කියවමු (යොහන් 11: 35) , නමුත් මිනිසුන් උන්වහන්සේව යක්ෂයා ලෙස හැඳින්වුවද, උන්වහන්සේට කෙළ ගැසුවද, මිනිසුන් උන්වහන්සේට සළකන ආකාරය ගැන උන්වහන්සේ කිසිවිටෙකත් නොහැඬූ සේක. උන්වහන්සේ කිසිවිටෙක තමන් වෙනුවෙන් නොහැඬූ සේක. එපමණක් නොව, උන්වහන්සේ කුරුසිය රැගෙන කුරුසිපත් වීමට යන මාර්ගයේ පැකිළෙන විට, ලූක් 23: 27 හි අප කියවන්නේ උන්වහන්සේ කුරුසිය උසුලාගෙන යන විට විශාල ජනකායක් උන්වහන්සේ පසුපස ගිය බවත්, උන්වහන්සේට කසයෙන් පහර දෙන බවත්, උන්වහන්සේගේ හිසෙන් හා පිටුපසෙන් ලේ ගලා යන බවත් සමහර කාන්තාවන් දැක ශෝකයෙන් හා ශබ්ද න ඟා හඬමින් සිටි බවත්ය. යේසුස් වහන්සේ ආපසු හැරී ඔවුන්ට පැවසූ දේ ඔබ දන්නවාද? "යෙරුසලමේ දූවරුනි මා වෙනුවෙන් හැඬීම නවතන්න! මා හොඳින් ය; ඔව්, මාගේ පිට ඉරී ඇත, මගේ හිස මත කටු ඔටුන්නක් ඇත, මම බර කුරුසයක් උසුලාගෙන සිටිමි. තව සුළු මොහොතකින් මා මරා දමනු ලැබේ, නමුත් මම දෙවියන් වහන්සේගේ කැමැත්තේ කේන්ද්‍රයේ සිටින බැවින් මම සම්පූර්ණයෙන්ම හොඳින් සිටිමි" (ලූක් 23: 28)!

ඔබ උපරිමයෙන්ම දුක් විඳින විට ඔබට එවැනි ආකල්පයක් තබාගත හැකිද? "මා වෙනුවෙන් අඬන්න එපා, මම හොඳින් ය, නමුත් ඔබට අඬන්නම අවශ්‍යය නම්, ඔබ සහ ඔබේ දරුවන් වෙනුවෙන් අඬන්න - ඔවුන්ගේ ආත්මික තත්ත්වය දෙස බලන්න." ඔවුන් පරිසිවරු, සිවුරු පොරවාගත් ඉතා උදාර පෙනුමක් ඇත්තන්‍ ය. නමුත් ඔවුන්ගේ ආත්මික තත්ත්වය බලන්න. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන දවසේදී, ඔවුන් කඳුවලට කථා කොට “අප පිට වැටී අපව වසන්න” (ලූක් 23: 30) යනුවෙන් පවසන කළ කුමක් සිදුවේද? යේසුස් වහන්සේගේ ආකල්පය එයයි. ඉංග්‍රීසි ගීතිකාවක පවසන්නාක් මෙන් උන්වහන්සේ, උන්වහන්සේ ගේම දුකට කඳුළු නොවැගුරූ නමුත් මාගේ දුකට දහදිය වෙනුවට ලේ බිංදු වැගුරූ සේක.

යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයා ඔහු ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන නිසා වැළපෙන්නේය. ඔහු පව් කළ විටත්, වැරදීමෙන් පාපයට වැටුන විටත් වැළපෙයි. මිනිසුන් ඔහුට සළකන ආකාරය ගැන ඔහු වැළපෙන්නේ නැත. ඔහු විශ්වාස කරන්නේ එය ක්‍රිස්තුස් වහන්සේ උදෙසා අගෞරවයට පත්වීමට මේ පොළොව මත ඔහුට නියම කර ඇති කොටස බවයි. නමුත් ඔහු පාපයෙන් හෝ අසාර්ථක වීමෙන් ස්වාමින් වහන්සේට අගෞරව කළ සෑම අවස්ථාවකම ඔහු වැළපෙන්නේය. ඔහු ආත්මික වශයෙන් ඉහළ මට්ටමකට යන විට, යේසුස් වහන්සේ යෙරුසලම ගැන හඬා වැටුණාක් මෙන්, අනුන්ගේ පව් ගැනත්, අනුන්ගේ අසාර්ථකත්වය ගැනත් වැළපෙන්නේය. යේසුස්ව හන්සේ පැවසූ වැළපීම මෙයයි. "ශෝකවන්නෝ ආශිර්වාදලද්දෝය,මක්නිසාද ඔව්හු ශක්තිමත් කරනු ලබන්නෝය . සමහර විට අපගෙන් සමහරෙකු ශක්තිමත් නොවීමට හේතුව අප අපගේ පාප උදෙසා වැළපෙන්නේ නැති නිසා විය හැක.

එතනින් ඔබ්බට ගොස් අනුන්ගේ පාපවලට ශෝකවන්නෝ ඊටත් වඩා ඉහළ මට්ටමක ය. ප්‍රේරිත පාවුලු තුමා එම ඉහළම මට්ටමට පැමිණ තිබුණි. ඉතා දරුණු ලෙස අසාර්ථක වූ කොරින්තිවරුන්ට ඔහු පවසන්නේ, "මා ඔබ වෙත පැමිණි විට, මාගේ දෙවියන් වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටහත් කරනු ඇතැයි කියා මම බිය වෙමි" (2 කොරින්ති 12: 21) කියාය. දෙවියන් වහන්සේ පාවුලු තුමාව යටහත් කළ යුත්තේ මන්ද? ඔහු එතරම් අවංක ජීවිතයක් ගත කර ඇති අතර තම හෘද-සාක්ෂියේ තමාට එරෙහිව කිසිදු පාපයක් ගැන දැන සිටියේ නැත. නමුත් ඔහු පවසන්නේ, “ මේ දක්වා පව්කොට තමුන් කළ අපිරිසුකමද වේශ්‍යාකමද සල්ලාලකමද ගැන පසුතැවිලි නුවූ බොහෝදෙනා උදෙසා මම වැලපෙන්නෙමි” කියාය.ඔහු ඔවුන්ගේ සභාවේ ඇති සමහර දේවල් ලැයිස්තුගත කරයි (20 පදය): ඊර්ෂ්‍යාව, කෝපය, කිපීම, ආරවුල්, අපහාස, ඕපාදූප, උඩඟුකම, කැළඹීම් යනාදිය. දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස තමන්ව හඳුන්වාගත් මිනිසුන් අතර ඇති සියලු පාප ගැන සිතූ විට, ඔහු ඔවුන්ගේ ආත්මික පියා බැවින්, හැඬුවේය. එය හරියට තම පුතා ඉතා අසනීප වූ විට භූමික පියෙකු අඬන්නේ කෙසේද යන්න මෙනි. පියා ආත්මික මණසක් ඇති අයෙකු නම්, තම පුතා මත්ද්‍රව්‍යවලට හෝ නරක පුරුදුවලට හසුව නොමඟ යමින් සිටින බවට ඔහු ඉතා දුක් වනු ඇත.

පාවුලු තුමා කොරින්තිවරුන්ට ආත්මික පියෙකු වූ අතර සෑම සැබෑ කිතුණු එඬේරෙකු හෝ දේවගැතිවරයෙකුම ඔහුගේ රැළට ආත්මික පියෙකු විය යුතුය. ආත්මික පියෙකුගේ එක් ළකුණක් නම්, ඔහු රැළ විවේචනය නොකරන නමුත් පාවුලු තුමා කොරින්තිවරුන් ගැන හැඬුවාක් මෙන් ඔහුද ඔවුන් ගැන හඬනු ඇත. අත්මික නායකයෙකු වීමට සුදුසු වන්නේ එවැනි මිනිසෙකු පමණි. යෙසායා 49: 10 හි පවසන්නේ, " ජනතාව කෙරෙහි අනුකම්පා කරන තැනැත්තා ඔවුන්ට මඟ පෙන්වයි" යනුවෙනි (යෙසායා 49 ආත්මික නායකත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පරිච්ඡේදයකි).

ආත්මික නායකයෙකු වීමට සුදුසු කවුද? මිනිසුන් කෙරෙහි අනුකම්පාව ඇති තැනැත්තා ය. එබැවින් මතෙව් 5: 4 හි “වැළපීම” යන්නෙන් අදහස් කරන්නේ තමා ගැන වැළපීම, තමාගේම පාපය ගැන, තමා ක්‍රිස්තුස් වහන්සේට සමාන නොවීම ගැන සහ අන් අය වෙනුවෙන් වැළපීමයි. අපි එසේ කළහොත් අපව ශක්තිමත් කරනු ලබනු ඇති අතර, මේ මාර්ගයේම යන්නෙමු නම් අනෙක් අයවද ශක්තිමත් කිරීමට අපට ශක්තිය ලැබෙනු ඇත.

සවන් දීමට: https://youtu.be/Po9mXGM7jH0