WFTW Body: 

සභාව ලෞකිකත්වයට සහ පාපය කෙරෙහි ලිහිල් ආකල්පයකට මඟ පෙන්වන මූලධර්ම ඉගැන්වීමට මිනිසුන්ට ඉඩ දීම සම්බන්ධයෙන් පර්ගමම්හි වැඩිමහල්ලාට තරවටු කරන ලදී (එළිදරව් 2:14, 15). ඔහුම හොඳ මිනිසෙක් වන්නට ඇත. නමුත් ඔහු බාලාම්ගේ ඉගැන්වීම්, ඉගැන්වීමට අන් අයට අවසර දුන්නේය. එබැවින් ඔහු වරදකරු විය.

ස්වාමින් වහන්සේ, මිනිසුන් පාපය සැහැල්ලුවට ගැනීමට මඟ පෙන්වන කිසිම දේශනාවකට සභාවෙහි ඉඩ නොතබන ලෙසට සහතික කිරීමේ වගකීම වැඩිහිටියන් මත පවරා ඇත. "දේවභක්තියට මඟ පෙන්වන ධර්මයක්" ඇත (දේවභක්තික, ක්‍රිස්තුස් වහන්සේ මෙන් ජීවත් වීමට මඟ පෙන්වන). එය පමණක් "පිරිසිඳු ඉගැන්වීම" වේ (1 තිමෝති 6:3). අනෙක් සෑම ඉගැන්වීමක්ම අඩු හෝ වැඩි වශයෙන් අපවිත්‍රය.

මේ වැඩිමහල්ලා ඔහුගේ සභාවේ එවැනි ලිහිල් ඉගැන්වීම් වලට ඉඩ දුන්නේ ඇයි? සමහරවිට ඔහුට යටහත් සහ මෘදු සහෝදරයෙකු ලෙස කීර්තියක් අවශ්‍ය වූ බැවින් ඔහු කිසි විටෙකත් සහෝදර සහෝදරියන්ව කිසිම දෙයකට නිවැරදි නොකළේ විය හැකිය. එසේ නම්, ඔහු සභාවේ යහපතට වඩා තමාගේම ගෞරවය සෙව්වේය.

" යටහත්කම" සහ "මෘදුකම" යනු යේසුස් වහන්සේම අපට පැවසූ පරිදි, උන්වහන්සේගේ ආදර්ශයෙන් අප ඉගෙන ගත යුතු ගුණාංග වේ (මතෙව් 11:29). එසේ නොමැතිනම් අපට ඒවායේ තේරුම පිළිබඳ වැරදි අවබෝධයක් ලබා ගත හැකිය.

යේසුස් වහන්සේගේ යටහත්කම සහ මෘදුකම, මුදල් මාරු කරන්නන් දේවමාළිගාවෙන් එළවා දැමීමෙන් හෝ, යේසුස් වහන්සේ කුරුසියට යෑමෙන් වැළකී සිටිය යුතු බවට පේතෘස් බොරු ධර්මයක් දේශනා කළ විට, "සාතන් මා පස්සට යව" වැනි දැඩි වචන වලින් පේතෘස්ට තරවටු කිරීමෙන් උන්වහන්සේව වළක්වා ගත්තේ නැත (මතෙව් 16:22, 23).

පේතෘස් වැනි හොඳ සහෝදරයෙකු පවා යොදාගෙන සාතන්ට සභාව නොමඟ යැවිය හැකිය. මන්ද එම සහෝදරයාට රැස්වීම්වලදී කුරුසියේ වචනය සැහැල්ලු වන ආකාරයෙන් කතා කළ හැකිය. එවැනි දේශනා කිරීම සැමවිටම සාතන්ගේ හඬ ලෙස හඳුනාගත යුතුය - මන්ද මෙසේ සාතන්ට දෙවියන් වහන්සේට අවශ්‍ය දිශාවෙන් සභාව ඉවතට හැරවිය හැකිය.

සභාවල වැඩිමහල්ලන් වශයෙන් අපට ඇති ශ්‍රේෂ්ඨතම වගකීමක් නම්, අපගේ සභාව යා යුතු දිශාව අධිෂ්ඨානය කර ගැනීමයි. එය ලෞකිකත්වයේ සහ සම්මුතියේ දිශාව නොවිය යුතුය. එය ඵරිසිවාදයේ සහ නීතිවාදයේ දිශාවද නොවිය යුතුය. නමුත් එය දෙවියන් වහන්සේගේ කැමැත්තේ දිශාව වන කුරුසියේ මාර්ගය විය යුතුය.

බාලාම් වැනි දේශකයන්ට සාමාන්‍යයෙන් විශාල ප්‍රාණීක බලයක් ඇති අතර සභාවක සිටින පුද්ගලයින්ට අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. බලවත් මිනිස් පෞරුෂයක් ඇති දේශකයන් නිරන්තරයෙන් අන් අයව යටපත් කර, ඔවුන්ගේ ප්‍රධානියා ලෙස ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ වීමෙන් ඔවුන්ව වළක්වයි. ඔවුන් අන් අයව සැබෑ ආත්මිකත්වයෙන් ඈත් කර, මතුපිටින් පෙනෙන, ලෞකික ආගමිකත්වයකට යොමු කරන ආකාරයෙන් ඔවුන්ට බලපෑම් කරයි.

දේශකයෙකු තම ප්‍රාණීක බලය මරණයට පත් කිරීම යනු කුමක්දැයි තේරුම් ගෙන නොමැති විට, ඔහු ඇදහිලිවන්තයන්ව හිස වන ක්‍රිස්තුස් වහන්සේට නොව තමාටම සම්බන්ධ කරයි. ඇදහිලිවන්තයන් දේශකයා අගය කර අනුගමනය කරනු ඇත, නමුත් ඔවුන් කිසි විටෙකත් ඔවුන්ගේ ජීවිත තුළ පාපය හෝ ලෝකය ජය නොගනු ඇත.

ආත්මික බලය සහ ප්‍රාණීක බලය අතර විශාල වෙනසක් ඇති අතර, අපට ඒ දෙක අතර වෙනස හඳුනා ගැනීමට හැකි විය යුතුය. පුද්ගලයෙකුට බයිබල් දැනුම සහ කතා කිරීමේ දීමනාවක් තිබිය හැකිය. ඔහු සහෝදර සහෝදරියන්ට ඉතා ආගන්තුක සත්කාර කිරීමට පවා ඉඩ ඇති අතර, බොහෝ ප්‍රායෝගික ආකාරවලින් ඔවුන්ට උපකාර කළ හැකිය. නමුත් ඔහු මිනිසුන් ක්‍රිස්තුස් වහන්සේට නොව තමාටම සම්බන්ධ කරන්නේ නම්, ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැගීමට බාධාවක් වනු ඇත.

බාලාම් වැනි දේශකයන් අන් අයගෙන් තෑගි ලැබීමට සතුටු වෙති (ගණන් කථාව 22:15-17). තෑග්ගකට අපගේ ඇස් අන්ධ කළ හැකිය (හිතෝපදේශ 17:8), එමෙන්ම අපව මිනිසුන්ට බැඳී සිටින තත්ත්වයකට පත් කළ හැකි අතර, එවිට අපි ඔවුන්ගේ වහලුන් බවට පත්වෙමු. එය දෙවියන් වහන්සේගේ සත්‍යය කථා කිරීමට සහ අපගේ ප්‍රතිලාභීන් නිවැරදි කිරීමට අපට බාධාවක් විය හැකිය.

දෙවියන් වහන්සේගේ සේවකයෙකු සැමවිටම නිදහස්ව සිටිය යුතුය. "නුඹලා මිලේට ගන්නාලද්දහුය; මනුෂ්‍යයන්ගේ වහල්ලු නොවෙන්න" (1 කොරින්ති 7:23).

සවන් දීමට.