බයිබලයට අනුව යටත් පහත්වීම (හෝ කීකරුවීම) යනු උතුම් ගුණාංගයකි. එහෙත් වර්තමාන සමාජයෙහි එය එතරම් අගය කරනු නොලබන අතර, ඇතැම්විට එය ගුණාංගයක් ලෙසවත් නොසැළකේ. කිසිදු අධ්‍යක්ෂ මණ්ඩලයක් තම සමාගමේ මූලික වටිනාකම්වලින් එකක් ලෙස 'යටත් පහත්වීම' ප්‍රකාශ කරනු ඔබට අසන්නට නොලැබෙනු ඇත. ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් අද පවතී. එවැනි අදහසක් හාස්‍යජනක ලෙස පෙනීයාමෙන්ම පැහැදිළි වන්නේ, යටත් පහත් වීමේ සැබෑ වැදගත්කම දැකීමෙන් අප කොතරම් දුරස් වී ඇත්ද යන්නයි.
එහෙත්, සමාජයේ ඒ පිළිබඳ පවතින මතය කෙසේ වුවද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් අතිශය වටිනා ගුණාංගයක් ලෙස යටත් පහත්වීම හැඳින්විය හැකිය. පරිපූර්ණ එකමුතුකම පවතින සෑම තැනකම යටත් පහත්වීමද දක්නට ලැබේ; නිවසෙහි, සභාවෙහි මෙන්ම ත්‍රිත්වයේ දෙවියන් වහන්සේ තුළද එය එසේමය.
පරිපූර්ණ එකමුතුකම සඳහා නිශ්චිත උදාහරණයක් ලෙස දේවත්වය සළකා බලන්න; එම එකමුතුකම පරිපූර්ණත්වයට පත්වූයේ යටත් පහත්කමින් යුතුව යටත්වීම තුළිණි. අතීතයේ පටන්ම පියාණන් වහන්සේ සහ ශුද්ධාත්මයාණන් වහන්සේ සමඟ සම-සදාකාලිකව හා සමාන පැවැත්මකින් යුතුව සිටි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, වසර 33 හමාරක කාලයක් පුරා ස්වර්ගයේ වැඩ සිටින තම පියාණන් වහන්සේට (යොහන් 5: 19), (30); (6: 38); (8: 28); (14: 31) පමණක් නොව, ශුද්ධාත්මයාණන් වහන්සේගේ මෙහෙයවීමටද (මතෙව් 4: 1); (ලූක් 4:1); (මාර්ක් 1: 12) කැමැත්තෙන්ම යටත් වී ක්‍රියා කළසේක.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය තුළින් විද්‍යමාන වූ යටත් පහත්කමේ හෝ කීකරුකමේ අගනා වටිනාකම අපි දැක ඇත්තේද? එය අප විසින්ම අනුගමනය කළයුතු ගුණාංගයක් ලෙස අපි දකිමින්, යටත් පහත් හදවතක් වර්ධනය කරගැනීමට උත්සාහ දරන්නෙමුද?
ලෝකයේ විවිධ ආකල්ප හා සාරධර්ම අප මත බලපෑම් කරන වර්තමාන යුගයේදී, මෙම අගනා ගුණාංගයේ සැබෑ වටිනාකම පිළිගැනීමට අපි අකමැතිවීම හෝ අවම වශයෙන් එය නොසළකා හැරීම ගැන මා කණස්සල්ලට පත්වෙමි.
කීකරුවීම නිසා අපගේ ජීවිතයේ සතුට යම් ආකාරයකින් අඩුවේයැයි බියක් ඇති වුවහොත්, එය සත්‍යයක්දැයි දැනගැනීමට අපට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය දෙස බැලීම පමණක් ප්‍රමාණවත්ය. ලෝක ඉතිහාසයේ මීට වඩා ආශිර්වාද ලත් ජීවිතයක් තිබුණේද? වඩාත් පරිපූර්ණ ජීවිතයක්? වඩාත් බලගතු ජීවිතයක්? වඩාත් ප්‍රීතිමත් ජීවිතයක්? වඩාත් ප්‍රතිඵළදායක ජීවිතයක්?
ලෝක ඉතිහාසයේ යේසුස් වහන්සේගේ ජීවිතයට වඩා උද්යෝගිමත් ජීවිතයක් ගැන මට සිතාගත නොහැකිය. අපගේ ජීවිතයට අවශ්‍ය ජීවනය, විවේකය, ප්‍රීතිය, සාමය, ශක්තිය සහ අනෙකුත් සියලු දේ සඳහා ස්වර්ගික පියාණන් දෙස බලා සිටීම තරම් ප්‍රබෝධමත් දෙයක් තවත් නැත. යටත් පහත් වී කීකරුවීමේ මාවත ආශිර්වාද ලත් මාවත බවත්, අපට සැබවින්ම අවශ්‍ය සහ අත්‍යාවශ්‍ය (හිමිවිය යුතු) සියල්ල ලබාගැනීමේ යතුර එම කීකරුකම බවත් අපට වටහා ගත හැකිය.
කීකරුකමේ වටිනාකම අප වටහාගත් පසු, සියුම් රැවටිල්ලක් අප වෙත රිංගා ආ හැකිය; එනම් "මා කීකරුවිය යුත්තේ දෙවියන් වහන්සේට පමණි" යන විශ්වාසයයි. "සියලු ඇදහිළිවන්තයින්ගේ පූජකත්වය" පිළිබඳව මම විශ්වාස කරන අතර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර වෙනත් කිසිදු මැදිහත්කරුවෙකුගේ අවශ්‍යථාවයක් කිසිවෙකුට නොමැති බව පිළිගන්නෙමි (හෙබ්‍රෙව් 7: 25). එසේ වුවද, නව ගිවිසුම් යුගයේදී පවා "කෝරාගේ කැරැල්ල" (යූද් 1: 11) වැනි දේවලින් අපගේ හදවත් ආරක්ෂා කරගන්නා ලෙස අපට ආඥාකර ඇති බව සැළකිල්ලට ගැනීම වැදගත්ය.
කෝරාගේ කැරැල්ල වූයේ දෙවියන් වහන්සේ ඔහුට ඉහළින් පිහිටුවා තිබූ ආධිපත්‍යයට එරෙහි වීමකි. මන්ද (ඔහුගේ තර්කයට අනුව) ඔහු ලෙවීවරුන්ගෙන් කෙනෙකු වූ අතර, දෙවියන් වහන්සේගෙන් එබඳු විශේෂ තත්ත්වයක් හිමි කරගත් අයෙකු ලෙස, වෙනත් කිසිදු මිනිසෙකුට තමා යටත්කර ගැනීමට ඉඩදීම අවශ්‍ය නොවන බව ඔහු සිතුවේය. අපගේ සිත් තුළ ද එවැනිම සිතුවිල්ලක් ඇතිවිය හැකිය: "මා සතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිටින බැවින්, සභාවේ හෝ වෙනත් ඕනෑම තැනක සිටින කිසිදු නායකයෙකුට යටත්වීමට මට අවශ්‍යථාවක් හෝ ආඥාවක් නොමැත." නමුත් මෙම ආකල්පය නිසා කෝරාව පණපිටින්ම පාතාලයට ගිලගනු ලැබූ අතර, එබැවින් එවැනිම ඉරණමකට මුහුණදීමෙන් වළකින ලෙස යූද් අපට අනතුරු අඟවයි. දෙවියන් වහන්සේ සභාවෙහි නායකත්වය පිහිටුවා ඇත්තේ ඇදහිළිවන්තයින්ගේ රැළ ආරක්ෂා කිරීම සඳහා වන අතර, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැර වෙනත් කිසිවෙකුට යටත්වීමේ අදහස ප්‍රතික්ෂේප කිරීම යනු උන්වහන්සේගේ ශරීරය (සභාව) සඳහා දෙවියන් වහන්සේ ලබා දී ඇති සැළැස්ම ප්‍රතික්ෂේප කිරීමකි.
මේ නිසාම පේතෘස්තුමා, ආධිපත්‍යයට අවමන් කරන අයුතුකම් කරන්නන්ව විනිශ්චය දවස දක්වා දඬුවම් යටතේ තබා ගැනීමට ස්වාමීන් වහන්සේ දන්නාසේක" යනුවෙන් 2 පේතෘස් 2: 10 හි අනතුරු අඟවයි. ඇත්ත වශයෙන්ම, ඔහු "ආධිපත්‍යයට අවමන් කිරීම" යන්න "අපවිත්‍ර ආශාවන්ගේ කාමාශාවන්ට වහල්වීම" හා සමානම මට්ටමක තබයි. ආධිපත්‍යයට යටත්වීමට විරුද්ධවීම, "කාමුක ආශාවන්ට වහල්වීම" තරම්ම අපගේ ආත්මයන්ට විනාශකාරී බව අප වටහාගෙන තිබේද?
අවසාන කාලයේදී සභාව තුළ පවා රැවටීම් පවතින බව බයිබලය පවසයි (මතෙව් 24: 24), (ලූක් 21: 7-9), එසේම "මට ආධිපත්‍යයට යටත්වීමට අවශ්‍ය නැත" යන අදහස අප විශේෂයෙන්ම ප්‍රවේශම් විය යුතු භයානක රැවටීමකි. යටත්වීම යනු අපගේ ජීවිත තුළ සහ අපගේ අගය කිරීම් තුළ වර්ධනය වන ගුණාංගයක් බවට පත්කර ගැනීමට අපි උත්සාහ කළ යුත්තෙමු.
එබැවින්, යටත්වීම පිළිබඳ මාතෘකාව මතු වූ විට, ඒ වචනය ඇසූ සැණින් අමනාපවීම හෝ කෝපයට පත්වීම වැනි ක්ෂණික ප්‍රතිචාරය ගැන විමසිලිමත් වෙමු. යටත්වීමේ ගුණාංගය අගය කරන (හෝ පැහැදිළිවම යටත්වීමට ආඥා කරන) ශුද්ධ ලියවිලි පාඨ සාකච්ඡා කෙරෙන විට, ඒවා ප්‍රීතියෙන් හා විවේකයෙන් පිරි ආශීර්වාද ලත් ජීවිතයකට මඟ පෙන්වන පොරොන්දු ලෙස ද දැකීමට අපි උත්සාහ කරමු. එම ආඥාවට මැලි නොවී, ඒ වෙනුවට, පූර්ණ යටත්වීමේ ආකල්පයකින් නිසැකවම ලැබෙන සියල්ල ලබා ගැනීමේ අවස්ථාව ලැබීම ගැන අපවම භාග්‍යවන්තයින් ලෙස සළකමු.