රැස්වූ පිරිස සමාජය සහ සභාව

    Download Formats:

පරිච්ජේදය 1
අලුත් මිදියුෂ සඳහා අලුත් සම්භාජනයක් අවශ්‍යවේ

"අලුත් මිදියුෂ අලුත් සම්භාජනවල දැමිය යුතුය" (ශු:ලූක් 5:38)

මෙම කුඩා පොත තුලින් වසර ගණනාවක් පුරාවට ස්වාමින්වහන්සේ විසින් මගේ ජීවිතයේ කරමින් සිටි දෙයක් මම ඔබ සමග බෙදාගන්නට කැමතියි. සදාකාලික වටිනාකමක් ඇති සෑම දෙයක්ම මෙන් එයද අත්විඳීමට පරිත්‍යාගශීලී වූ බැවින්, එය මට ඉතා වටිනා ජීවන මාර්ගයකි.

අප සැබැවින්ම ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීම් සහ ජීවිතය අවබෝධ කරගැණීමට සොයන්නේ නම්, එය අපව කුරුසියක් වෙත රැගෙන එයි - ඒ කුරුසිය නම් අපි අගය කරන සමහර ආදරණීය දේවල් අත්හැරීමට සිදු වන සහ අප විසින් බොහෝ දේවලදී කැපකිරීම් කල යුතු වන ස්ථානයයි. එවිට ස්වාමින්වහන්සේ හට අපට ඉගැන්වීමට අවශ්‍ය දේ අපගේ ජීවිතවල යථාර්තයක් වනු ඇත - එබැවින් අපගේ ජීවිත උදෙසාවූ දෙවියන්වහන්සේගේ පූර්ණ සැලැස්ම අප විසින් ඉෂ්ට කරන්නෙමු.

 

නව ගිවිසුම් සභාව ගොඩ නැඟීම  යන කාරණය දෙවියන් වහන්සේ මා හට ඉතා වටිනා ක්‍ෂේත්‍රයක් බවට පත් කළසේක. කෙසේ වෙතත් ඒ සඳහා මාර්ගය ඉතාමත්, ඉතාමත් පටු එකකි.

 

වැදගත් වන එකම දෙය

අලුත් මිදියුෂ අලුත් සම්භාජනවල දැමිය යුතුම බව යේසුස්වහන්සේ පැවසූසේක. අලුත් මිදියුෂ නම් ශුද්ධාත්මයාණන් කරණකොට ගෙන අපට දීමට උන්වහන්සේට අවශ්‍ය වන උන්වහන්සේගේ ජීවිතයයි. අලුත් සම්භාජනය නම්, මෙම ජීවිතය ප්‍රකාශවන ලෙස අප ලවා උන්වහන්සේට ගොඩනැඟීමට අවශ්‍යවන, නව ගිවිසුම් සභාවයි.

අප අවංකවම මෙම නව ගිවිසුම් ජීවිතය ජීවත්වීමට සොයන්නේ නම්, දෙවියන්වහන්සේ යම් අවස්ථාවල අපට පෙන්වන පරිදි අපට ආත්මාර්තකාමිත්‍වයේ පටල ගණනාවක් (ලූණු ගෙඩියේ පටල මෙන්)ඉවත් කිරීමට සිදුවන බව අපට දැනගැණීමට හැක. ඒ දෙයම අප නව ගිවිසුම් සභාවක් ගොඩනැඟීමට යාමේදීද සත්‍යවේ.

 

පැරණි සම්භාජනය නම් දේව වචනයට වඩා මිනිස් සම්ප්‍රදායන් අනුව ගොඩනැඟුනු සභාවයි. මෙයටද පටල ගණනාවක් ඇත. දෙවියන්වහන්සේ අපට මෙම පටල පෙන්වා දෙනවිට අප ඒවා සුද්ද කර දැමිය යුතුය. අවාසනාවට, නව ගිවිසුම් සභාවක් ගොඩනැඟීමට උත්සහ කරන බොහෝ කිතුනුවන් පරණ සම්භාජනයේ තව බොහෝ පටල තවදුරටත් සුද්ධ කිරීමට තිබියදි යම් තැනකින් නවතී. ඔවුන් පැහැදිලි ලෙස පෙනෙන ඔවුන්ද කලක් පැවැත්වූවාවූ සමහර මනුෂ්‍යාකාර සහ නිකායික සම්ප්‍රදායන් පටල ස්වල්පයක් ඉවත්කර තිබෙනවා පමණි. නමුත් ස්වාමින්වහන්සේට අවශ්‍ය වන්නේ අප විසින් සම්පූර්ණයෙන්ම පැරණි සම්භාජනය ඉවත් කර දැමීමයි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේගේ අලුත් මිදියුෂ සම්පූර්ණයෙන්ම නැවුම් සම්භාජනයක බහාලනු ලැබීමයි.  

වසර ගණනාවක්, මම අලුත් මිදියුෂ සහ අලුත් සම්භාජනය ගැන සහ සැබෑලෙස ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස සභාව ගොඩනැඟීම යනු කුමක්දැයි යන ඉගැන්වීම් න්‍යායාත්මකව දැන සිටියෙමි. නමුත් ඒ සියල්ල අන් අය අසා ඇති ප්‍රමාණයට වඩා ඒ ගැන වඩ වඩා දේශනාවලට සවන් දීමෙන් රැස් කරගත් හිසේ දැනුම පමණි. වර්ධනය වීමේදී, මගේ පියාගෙන් අලුත් ගිවිසුම ගැන දේශන සෑම ඉරුදිනකම ඇසීමි. මම සඳුදා සිට සෙනසුරාදා දක්වාද නිවසේදී ඔහුට ඇහුම්කන් දුන්නෙමි. ඒත් ඒ හැමදේම තවමත් තිබුනේ මගේ ඔළුවේ විතරයි. නමුත් මම අවසානයේදී මට දෙවියන්වහන්සේට සේවය කිරීමට පුළුවන් එකම මාර්ගය එය බවට අවබෝධ කරගන්නාවිට ඒ සත්‍යයන් මගේ ඔලුවෙන් හදවතට බැසයන්නට වසර ගණනාවක් ගතවුණි.

 

දැන් මගේ ජීවිතේ මට ඉන්න එකම කෙනා යේසුස්වහන්සේය. අනෙකුත් සෑම සම්බන්‍ධථාවයක්ම පැමිණෙන්නේ උන්වහන්සේ සමග මගේ ඇති සම්බන්‍ධථාවය තුලින් පමණි. ඉතින් එබැවින්, දැන් ස්වාමින්වහන්සේ උදෙසා මගේ සේවයේදී එකම දෙය සභාව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස ගොඩනැඟීමයි. 

 

අපගේ ස්වාමීන් වන යේසුස්වහන්සේ තම පොළොවේ දිවියේදී සෑම දිනක්ම කුරුසියේ මාර්ගය තෝරා ගත්තේ ඇයි? බයිබලය පවසන්නේ ඒ මක්නිසාද "උන්වහන්සේ ඉදිරියේ තබා තිබූ ප්‍රීතිය නිසා" බවයි(හෙබ්‍රෙව් 12:2).

 

උන්වහන්සේ ඉදිරියේ තබා තිබූ ඒ ප්‍රීතිය කුමක්ද?

ශු:යොහාන් 14, උන්වහන්සේ කුරුසිය වෙත යාමට ප්‍රථම තම ගෝලයන්ට පැවසූ යේසුස්වහන්සේගේ සමුගැනීමේ වචන අප කියවන්නෙමු. යොහාන් අපෝස්තුළුවරයා යේසුස්වහන්සේගේ අන්තිම රාත්‍රි භෝජනයේදී පැවසූ සමුගැනීමේ වචන අපට කීම සඳහා පරිච්ඡේද පහක් ගැණීම ගැන මම සැබවින්ම අගය කරමි. එතැනදී යේසුස්වහන්සේ පැවසූසේක් "නැගිටින්න අපි මෙතැනින් යමු"(ශු:යොහාන් 14:31). උන්වහන්සේ සිටියේ තම කුරුසිපත් වීම උදෙසා යමින්. නමුත් එය පවසන්නට ප්‍රථමයෙන්, උන්වහන්සේ පැවසූවේ,"ලෝකය දැනගන්නවා මම පියාණන්වහන්සේට ප්‍රේමකරන බව, සහ පියාණන්වහන්සේ මට අණ කළ ලෙසම මම කරන බව"(ශු:යොහාන් 14:30). එයයි උන්වහන්සේගේ ප්‍රීතියවුනේ - තම පියාණන්ට නිතරම කීකරු වීමේ ප්‍රීතිය සහ මෙසේ සදාකාලය පුරාවට උන්වහන්සේට තිබුණාක් මෙන් පියාණන් සමඟ සහභාගිකමේ පැවතීමයි. එබැවින් යේසුස්වහන්සේ කුරුසියට ගියේ පළමුව තම පියාණන් කෙරෙහිවූ ප්‍රේමය නිසා සහ උන්වහන්සේගේ ආඥා වලට කීකරුවීමට - සහ ඉන්පසු අප කෙරෙහිවූ ප්‍රේමය නිසාය.

   

මට මේ කරුණ අවධාරණය කරන්නට කැමතියි මක්නිසාද එය උන්වහන්සේගේ සභාව ගොඩනැඟීමටද ඇති එකම මාර්ගයයි. සියළුම පාප ජයගැණීම සහ ස්වාමින්වහන්සේට සේවය කිරීමේ ආශාව ආයුතුම වන්නේ පළමුව උන්වහන්සේගේ ආඥා වලට කීකරුවීම සඳහා මඟ පෙන්වන්නාවූ පියාණන් කෙරෙහි ඇති අධික ප්‍රේමය - සහ දෙවනුව ජනතාව කෙරෙහි ඇති ප්‍රේමයයි. අප සභාව ගොඩනැඟීමට නම්, ජනතාව කෙරෙහි දයානුකම්පාවක් තිබිය යුතුය. නමුත් එම දයානුකම්පාවට පෙර අපට ස්වර්ගීය පියාණන් කෙරෙහි ප්‍රේමය තිබිය යුතුය - උන්වහන්සේගේ ආඥා වලට කීකරු වීමට අපට අවශ්‍ය කරවන්නාවූ මහත්වූ ප්‍රේමයක්. අලුත් ගිවිසුම් සභාවක් ගොඩනැඟීමට ඉතා වැදගත් අවශ්‍යථා දෙකක් නම් මේවාය : පියාණන් කෙරෙහි ප්‍රේමය සහ අන් අය කෙරෙහි ප්‍රේමය. කුරුසියේ දෙපැත්ත ලෑලි දෙකට මේවා නියෝජනය කළ හැක - සිරස් ලෑල්ල සහ තිරස් ලෑල්ල. එම ලෑලි වලින් එකක් පමණක් ඇතිව - ඔබට කුරුසියක් නොමැත. කුරුසිය තුළ අප විසින් දිනපතා කුරුසිය රැගෙන යායුත්තේ කෙලෙසදැයි අර්ථ දක්වන්නාවූ දෙආකාර සම්බන්‍ධතාවයේ රූපාදර්ශය දකින්නෙමු.

ඊළඟ පරිච්ඡේදවලදී, අපගේ ජීවිත තුළ කුරුසියේ ලෑලි දෙකම තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද සහ මේ දෙක එක්ව නව ගිවිසුම්  සභාවන් ගොඩනඟා ගැනීමට අපට උපකාර කරන්නේ කෙසේද යන්න පෙන්වා දීමට මට අවශ්‍යය.

 

පරිච්ජේදය 2
කුරුසියේ සිරස් ලීය

කුරුසියේ සිරස් ලීය නියෝජනය කරන්නේ අප දෙවිපියාණන්ට ඇති ප්‍රේමයයි - එබැවින් එය පළමුව විය යුතුයි. යේසුස්වහන්සේ මැරුණාවූ කුරුසිය සෑදීමේදී, ඔවුන් පළමුව සිරස් ලීය සමඟින් ආරම්භ කරන්නට ඇති. එසේම එම ලීය තිරස් ලීය මෙන් දෙගුනයක් විය යුතුව තිබුණි.

එහි සංඛේතාත්මක අර්ථය නම් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණන්වහන්සේ සමඟ සම්බන්‍ධතාවය ඉතා වැදගත් බවයි. එය පළමුව විය යුතුයි, එයින් පසු පමණක් අන් අය සමඟ වන තිරස් සම්බන්‍ධතාවය ආයුතුය.

 

යේසුස්වහන්සේගේ ආදර්ශ අනුගමණය කිරීම

යේසුස්වහන්සේ කල්වාරි කන්ද මතට කුරුසිය රැගෙනයාමට පෙර, උන්වහන්සේගේ දිවිය පුරාවට උන්වහන්සේ ඇතුලාන්ත කුරුසියක් රැගෙන ගොස් තිබිණි. උන්වහන්සේ දිනපතා උන්වහන්සේගේ  පොලොවේ දිවියේ දින 12000 ට ත් වැඩියෙන් ඇතුලාන්ත කුරුසියක් රැගෙන ගොස් තිබිණි. එබැවින් උන්වහන්සේ අපට පවසන්නේ "ඔබට මාගේ අනුගාමිකයින් වන්නට ඕනෑනම්, ඔබද ඔබගේ කුරුසිය දිනපතා රැගෙන යායුතුයි" කියාය(ශු:ලූක් 9:23). යේසුස්වහන්සේ පොලොවේදී එම දින 12000 ට වැඩි කාලය තුළ ම සෑම දිනක් පාසා ජීවත්වූයේ මෙම ප්‍රතිපත්තිය මතයි "මාගේ ජීවිතය තීරණය වන්නේ පළමුව මාගේ පියාණන්ට ඇති ප්‍රේමය සහ උන්වහන්සේගේ ආඥා වලට කීකරු කම කරණකොටගෙනය ; ඉන්පසු අන් අයට ඇති මගේ ප්‍රේමයෙනි."


එනිසයි යේසුස්වහන්සේට උන්වහන්සේගේ භූමික මව්පියන්ට යටත්ව අවුරුදු 30 ක් ගත කිරීමට හැකි වූවේ. අසම්පූර්ණවූ යෝසෙප් සහ මරියාට කීරුවීම පිණිස වසර 30 ක් පුරාවට සෑම දිනකම කියාගත නොහැකි, අකීකරු විමට සහ කෝපයට පත්වීම පිණිස පැමිනි කෙතරම් පරීක්‍ෂා උන්වහන්සේට ජයගත යුතුව තිබෙන්නට ඇතිද. නමුත් උන්වහන්සේ එය ප්‍රීතියෙන් කළේ “උන්වහන්සේ ඉදිරියෙහි තබා තිබූ ප්‍රීතිය” නිසාය - එනම් “ඔබේ පියාට සහ මවට ගෞරව කරන්න” යන පියාණන්ගේ අණට කීකරු වීමෙන් තම පියාණන් සමඟ සහභාගිකමේ ප්‍රීතිය.

සෑම තැනකදීම උන්වහන්සේගේ කුරුසිය රැගෙන තම පියාණන්ට කීකරුවීමේ එම ආකල්පය, උන්වහන්සේගේ පොලොවේ දිවිය අවසන්වන තුරු නොනැවතී පැවතුණි. ක්‍රිස්තු ශරීරයේ පළමුවැනියා යේසුස්වහන්සේම වූසේක - එබැවින් උන්වහන්සේ අවුරුදු 33 ½ ක් පුරාවට කුරුසිය ඔසවාගෙන ගියසේක. අද දවසේ උන්වහන්සේගේ ආත්මික ශරීරයේ අවයවයන් වන අපි , එයම කළ යුතුය.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගෝලයින්ගේ සභාවක් විය යුතුය. නැතිව හැරුණාවූ අය පමණක්ම නොවේ. ගෝලයෙකු යනු තම ස්ව කැමැත්ත එපා කරමින් තම කුරුසිය දිනපතා ඔසවාගෙන යන්නෙකු වේ(ශු:ලූක් 9:23). එබැවින්, අපට අලුත් මිදියුෂ(යේසුස්වහන්සේගේ ජීවිතය)  අලුත් සම්භාජනයක් (අලුත් ගිවිසුම් සභාවක්) තුළ අවශ්‍ය නම්, අප සෑම දිනකම අපේ ස්ව කැමැත්ත එපාකොට කුරුසිය ඔසවාගෙන යේසුස්වහන්සේව අනුගමනය කළ යුතුය. එවිට පමණක් අපට සභාව ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස ගොඩනැඟිය හැක.   

ඇදහිලිවන්තයෙකුගේ සැඟවුනු දිවිය

සභාව ගොඩනැඟීමට, අප ස්වාමින්වහන්සේ සමග සිරස් සම්බන්‍ධතාවය ඉතාමත් වැදගත් වේ. එසේම ස්වාමින්වහන්සේ සමග මෙම සම්බන්‍ධතාවය අපගේ පෞද්ගලික ජීවිතය තුළ රහසිගත එකකි,. බොහෝ ක්‍රිස්තියානි අයව සාතන් මුලාකරමින් ඔවුන්ට සිතන්නට සලස්වන්නේ දෙවියන්වහන්සේට ඇති ඔවුන්ගේ කැපවීම යනු භාහිරව පෙනෙන දේ බවයි. නමුත් දෙවියන්වහන්සේට ඇති සැබෑ කැපවීම 100% ක් ඇතුලාන්තයෙන් වේ - රහසිගත ස්තානයේය. ඒ අපගේ සැඟවුනු ජීවිතය තුළය.

අලුත් ගිවිසුම යනු මූලිකවම ඇතුලාන්ත ආකල්පයන් සහ සිතිවිලි සහ අභිලාෂයන් වේ.

කන්ද උඩ දේශනාව තුළ, යේසුස්වහන්සේ සැඟවුනු දිවිය ගැන කතා කළසේක. අලුත් ගිවිසුම තුළ, එය තවදුරටත් පරදාර සේවනයෙන් වැළකී සිටීමේ ප්‍රශ්නයක් නොවේ (පරණ ගිවිසුමේ මෙන්). දැන්, අප කාමුක පාපකාරී සිතිවිලි වලටද ද්වේශ කළ යුතුය. පරණ ගිවිසුම තුළ, ගණන් ගැණුනේ ඔබ කොපමණ දුන්නද, කොතරම් ඔබ යාඤා කරමින් නිරාහාරව සිටියාද යන්නයි. නමුත් යේසුස්වහන්සේ පැමිණ අප විසින් දීම සහ යාඤා කිරීම සහ නිරාහාරව සිටීම අප එවැනි ක්‍රියාවන්වල යෙදෙන බව කිසිවෙකුට නොදැනෙන පරිදි රහසිගතව සිදුකල යුතුම බව පැවසූ සේක. මෙය තමයි අලුත් ගිවිසුමේ අලුත් මිදියුෂ. අප සැඟවුනු දිවියේ ක්‍රිස්තුස්වහන්සේට ඇති කැපවීම අවබෝධ කරගෙන නැත්නම්, එවිට අප අලුත් ගිවිසුමේ මූලික ප්‍රතිපත්තීන් අවබෝධ කරගෙන නොමැත. උන්වහන්සේ කෙරෙහි අපගේ ඇති කැපවීම සැමවිටම රහසිගත විය යුතුමය.  

අප දිවිය "ක්‍රිස්තුස්වහන්සේ සමග දෙවියන්වහන්සේ තුළ සැඟවිය යුතුය"(කොලොස්සි 3:3). මෙය ජීවත් වීමට පුදුමාකාර මාර්ගයකි. අප ක්‍රිස්තුස්වහන්සේට ඇති කැපවීම අන් අයගෙන් වැඩියෙන් සඟවන තරමට, අප ස්වාමින්වහන්සේගේ රහස් වැඩියෙන් ඉගෙන ගනු ඇත. අප අපගේ මණාලයා සමග අන් අයට නොදැනෙන ලෙස ඉතා කිට්ටුවෙන් ඇසුරු කිරීමට කාලයන් ගත යුතුමය. හොඳම විවාහය නම්, තමුන් සමග වෙන කව්රුත් නැතිවිට ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකා සමඟ එක්ව සිටීම තුළ ඇති සතුට ඉගෙන ගෙන තිබීමයි - ඔවුන් එකිනෙකා සමඟ කාලය ගත කරන බවවත් කිසිවෙකු නොදැනුවත්වම. යේසුස්වහන්සේ අද දවසේ උන්වහන්සේගේ සභාව සාදන්නේ එවැනි කැපවූ මනාලියකගේ ආත්මය ඇති සෙනඟක් සමගිනි.      

සිරස් ලීය(පියාණන්ට ඇති අපගේ ප්‍රේමය සහ ක්‍රිස්තුස්වහන්සේටවු මහත් ලැදි කැපවීම) තැබූ පසු, තිරස් ලීය(එකිනෙකාට ඇති අපගේ ප්‍රේමය) එය හරහා තැබිය හැකිය. එවිට අපට ප්‍රීතියෙන් වැතිර කුරුසිපත් වීම පිණිස - කුරුසිය සම්පූර්ණ වේ!!

 

පරිච්ජේදය 3
කුරුසියේ තිරස් ලීය

ඔබ තිරස් ලීයක් සුළඟේ එල්ලන්නට උත්සහ කලහොත් එය පහලට වැටේ. නමුත් ඔබ එය සිරස් ලීයකට තබා ඇණ ගැසුවොත් එය ස්ථිරව එල්ලෙයි - එසේම එය කුරුසියක් වේ. කෙසේ වෙතත් සිරස් ලීය පළමුව තිබිය යුතුය.

 

අප ගොඩ නඟන සභාවන් අලුත් ගිවිසුම් සභාවන් විය යුතුය. එවැනි සභාවන් ගොඩ නැඟිය හැක්කේ මෙම ප්‍රතිපත්තිය මත ජීවත් වෙන්නට කැමති අය විසින් පමණි. "මට කැමති දෙය කිරීමට මට අවශ්‍ය නැත. මට කිරීමට අවශ්‍ය එකම දෙය නම් මාගේ ස්වර්ගීය පියාණන්ට මා ලවා කරගැණීමට ඇති දෙය කිරීමයි.

කනගාටුවට කරුණක් නම්, කිතුනුවන්ගෙන් අතිමහත් බහුතරයකට මෙම ආකල්පය නොතිබීමයි මගේම ජිවිතය වරක් එලෙසම තිබිණි. මාව ඇදහිලිවන්තයෙකු යයි හඳුන්වාගන්න අතරම මම මගේම දේවල් සෙවූ අතර මට කැමති දේ කළෙමි! " සභාව" පිළිබඳ මගේම අදහස් සමඟ ගැලපෙන සභාවක කොටසක් වීමට මට අවශ්‍ය විය. සෑම දවසක් තුළම මා වගේම සිටින මිනිසුන් පිරිසක් සමඟ සහභාගිත්වයක් ගොඩනැඟීමට මට අවශ්‍ය වුණි. මම මට කැමතිවූ මිනිසුන් සමඟ කාලය ගත කලෙමි. යම් සහෝදරයෙකු මාව කෝප ගැන්වූ විට මම ඔහුව මඟ හැරියෙමි. එය කුරුසියේ මාර්ගයේ ගමන් කිරීම නොවේ. අප ඒ මානසිකත්වය තුළ සිටියොත් අපට ක්‍රිස්තු ශරීරය කිසිවිට ගොඩනැඟීමට නොහැක. අනර්‍ග ඉගැන්වීම් ලබමින්ම අපට තවදුරටත් කුරුසියේ මාර්ගයේ ගමන් නොකර සිටිය හැක.


යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයා කව්ද?

වසර ගණනාවක් තිස්සේ, අප යේසුස්වහන්සේගේ ගෝලයන් යන බවට ඇති සහතිකය ලෙස මම සිතාගෙන සිටියේ අප එකිනෙකාට ප්‍රේමකලා යන්නයි, මන්ද යේසුස්වහන්සේ පැවසුසේක් "එකිනෙකාට ප්‍රේම කරන්නෝ නම් එයින් නුඹලා මාගේ ගෝලයන් බව සියළු දෙනා දැන ගන්නවා ඇත " (ශු:යොහාන් 13:35). එහි අදහස නම් මම සහභාගී වන සභාවේ මගේ සහෝදරයන් සහ සහෝදරියන්ට ප්‍රේම කිරීම තුලින් මම ගෝලයෙකු බවට ඔප්පු කරනවා කියා මම සිතුවෙමි. නමුත් ඔබ එම පදය ප්‍රවේශමෙන් කියවන්නේ නම්, එය අප ගෝලයන් බවට වන සාක්‍ෂියට යොමු කරන්නේ - අනෙකුත් අය (ක්‍රිස්තියානි නොවන අය) අපව යේසුස් වහන්සේගේ ගෝලයන් ලෙස හඳුනා ගන්නා ආකාරයට බව ඔබට පෙනෙනු ඇත. එය කුරුසියේ තිරස් ලීයයි.

 

නමුත් යේසුස්වහන්සේ කලින් පවසා තිබුනා, ගෝලයෙකු වීමට ඇති කොන්දේසිය නම් අපවම  ප්‍රතික්‍ෂේප කොට සහ අපගේ ස්වකැමැත්ත කුරුසිපත් කිරීම බව(ශු:ලූක් 9:23). ඔබගේ ජීවිතයේ කිසිවෙකු ඔබව නොදකින ක්‍ෂේත්‍රවල ඔබ ගෝලයෙකු බව දෙවියන් වහන්සේ පළමුව දැකිය යුතුය - ඔබගේ හදවත තුළ, ඔබගේ ඇතුලාන්ත දිවිය තුළ. ඔබ දිනපතා ඔබව ප්‍රතික්‍ෂේප කරන බව දෙවියන් වහන්සේ දකින විට,  උන්වහන්සේ ඔබව “ශු.ලූක් 9:23 හි කිතුනුවකු” ලෙස සහතික කරනසේක - ඇත්තටම එහි සඳහන් එකම කිතුනු ආකාරය එයයි. " ගෝලයන් ක්‍රිස්තියානිකාරයන් ලෙස හඳුන්වන ලදී"(ක්‍රියා 11:26).

 

එයට පසු ඔබ යේසුස්වහන්සේගේ ගෝලයෙකු බවට අවට ලෝකයට ඇති සාක්‍ෂිය වන්නේ ඔබ යේසුස්වහන්සේගේ අනෙක් ගෝලයන්ට ප්‍රේම කිරීමයි.  

   නමුත් නැවතත් සැලකිල්ලට ගන්න, එනම් සිරස් ලීය පළමුව එන බව - උන්වහන්සේ කෙරෙහි ඔබගේ ඇති ප්‍රේමය ගැන දෙවියන්වහන්සේට සහතික කිරීමට හැකිවීම. එනිසා ඔබ ඔබගේ සභාවේ අනෙක් අයට ප්‍රේම කිරීම නිසා ඔබ යේසුස්වහන්සේගේ ගෝලයෙකු ලෙසට සිතීමෙන් රැවටීමට ලක් නොවන්න! අන් අය කෙරෙහි ඇති මානුෂවාදී ප්‍රේමයට ඔබව යේසුස්වහන්සේගේ ගෝලයෙකු බවට සිතන්නට සලස්වා රැවටිය හැක. ඔබ ඉරිදා දවසේ අනෙක් ඇදහිලිවන්තයින් සමග සිටීමට ආශා කරනවා නම්, එය ඔබ යේසුස්වහන්සේගේ ගෝලයෙකු බවට ඔප්පු කරන්නේ නැත. ඔබ ගෝලයෙකු බවට ඔප්පු කරන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා ඔබ අත්‍යාවශ්‍ය ලෙසට අන් අය හමු නොවන විට - ඔබවම එපා කරමින් යේසුස්වහන්සේට මහත් ලැදිව ප්‍රේම කිරීමෙනි. වෙනත් වචන වලින්, ඔබ දවසින් දවස උන්වහන්සේගේ මුහුණ හමුවේ ජීවත් වෙමිනි.

යේසුස්වහන්සේගේ සැබෑ ගෝලයෙකුට, සතියේ සෑම දවසක්ම එක හා සමානය, මක්නිසාද ඔහු මූලිකව තම මණාලයා සමග සහභාගී කම සොයන්නේය. අන් අය සමග ඔහුගේ සහභාගී කම නික්මෙන්නේ ඔහු තම ස්වාමින් වහන්සේ සමග ඇති සහභාගී කම තුලිනි. එවැනි ගෝලයෙකු සභාවට පැමිණෙන්නේ කව්ද හෝ එය අතහැර යන්නේ කව්ද යන්නෙන් කිසි විටෙකත් බලපෑමකට පත් නොවේ.  සැබෑ සභාව ගොඩනැඟිය හැකි වන්නේ යේසුස්වහන්සේ පමණක්ම තම ජීවිත තුළ වැදගත් වන්නාවූ ගෝලයන් සමගින් පමණි.

 

මා කලින් කීවාක් මෙන් සිරස් ලෑල්ල හෝ තිරස් ලෑල්ල හෝ වේවා ලෑල්ලක් පමණක්ම තනිවම කුරුසයක් නොවේ. අවාසනාවකට මෙන්, සිරස් ලීය පමණක් හෝ තිරස් ලීය පමණක් අවධාරනය කරමින් බොහෝ ඇදහිලිවන්තයන් සහ බොහෝ සභාවන් මෙම වර්ග දෙකෙන් එකකට වැටේ.

 

මා දැක ඇති කිතුනුවන්ගේ රැස්වීම් වර්ග තුනක් තිබේ.  ඒවා නම්:

  1. රැස්වූ පිරිස
  2. සමාජය
  1. යම් ප්‍රදේශයක සැබෑ සභාවේ ආකෘතිය

 

එබැවින් මෙම තුනෙන්ම අවසන් එක පමණයි අලුත් මිදියුෂ සඳහා අලුත් සම්භාජනය වන්නේ.

 

පරිච්ජේදය 4
රැස්වූ පිරිස

රැස්වූ පිරිස යනු සිරස් ලී සමූහයක එකමුතුවකි. මම සිටි බොහෝ සභාවන් මේ ආකාරය. හොඳ රැස්වීමක, සෙනඟ දෙවියන්වහන්සේ සමග ඇති ඔවුන්‍ගේ පෞද්ගලික සම්බන්‍ධථාවය, බයිබල් අධ්‍යනයන් සහ දේවධාර්මික ඉගැන්වීම් වල පවිත්‍රභාවය ගැන පමණක් සැලකිල්ලක් දක්වති. නමුත් ඔවුන් සියල්ලෝ වෙනස් ප්‍රමාණයෙන් යුතු තනි, තනි ලී දඬු සමූහයක් වෙති(වෙනස් මට්ටම් වලින් ස්වාමින්වහන්සේට කැපවුණාවූ අය). ඔවුන් එකිනෙකා සමග සහභාගිත්වයන් ගොඩ නගන්නේ නැති අතර ඔවුන් තමන්ව කෝප කරන ඕනෑ අයෙකුව මඟ හරී. මමම පවා වසර ගණනාවක් එවැනි රැස්වූ පිරිසක සමාජිකයෙක්ව සිටියෙමි. වසර ගණනාවක් පුදුමාකාර සත්‍යථාවයන් ඇසීමෙන් , දෙවියන්වහන්සේ සමග මගේ පෞද්ගලික සම්බන්‍ධථාවය ගැන සෑහීමට පත්වූයෙමි. නමුත් ශු:යොහාන් තුමා පවසන ලෙස " තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම් දෙවියන්වහන්සේට ප්‍රේමකරනවා යැයි පවසන්නේ කෙසේද? "(1 යොහාන්4:20). එය " රැස්වූ පිරිසක් මධ්‍යයේ " සිටින සෙනඟ වැඩි අවධානයක් නොදෙන පදයකි.

යොහාන් තුමා එහිදී පවසන්නේ, ඔබට සිරස් ලීයක් තිබූ පමණින් ඔබට කුරුසියක් ඇති බවට ඔබ සිතන්නට පුළුවන් බවයි. ඔබට යම් පමණකට භාහිර ශුද්ධකම තිබිය හැක, නමුත් ඔබගේ රැස්වූ පිරිස අතරෙ අය සමග ඔබගේ සහභාගී කමක් නොමැත.


රැස්වූ පිරිසක් " යන්න පරණ ගිවිසුමේ නිදර්‍ශනයකි

රැස්වූ පිරිසක නිදර්‍ශනය තුළ, මිනිසුන් ඔවුන් අතර මිත්‍රත්වය තිබුණත් එකිනෙකා සමඟ සහභාගිත්‍වය ගොඩනැඟීමට නොසොයන හුදකලාවූ සහෝදරයන් සහ සහෝදරියන් වෙති. ඔවුන් එකිනෙකා සමඟ ප්‍රේමයෙන් ගොඩනැඟෙන පිණිස එක්ව කාලය ගත නොකරති. මෙය ඊශ්‍රායලයේ පරණ ගිවිසුම යටතේ තිබූ ආකාරයයි.

එවැනි ක්‍රමයක් තුළ ස්වාමිපුරුෂයා සහ භාර්‍යාව අතර පවා එකිනෙකා සමඟ වැඩි සහභාගී කමක් නොපවතිනු ඇත, මන්ද ඔවුන්ගෙන් එක් අයෙකු "සුපිරි ආත්මික" අයෙකු වේ! උදාහාරණයක් ලෙස භාර්‍යාව දැඩි බරක් උසුලයි, දරුවන් බලා ගැණීම නිසා, මේ අතරතුර ස්වාමි පුරුෂයා තම නිදහස් වේලාවේදී ඇයට උදව් කරණවා වෙනුවට දේවවචනය මෙනෙහි කිරීම උදෙසා කාර්‍ය බහුල වේ! එවැනි මනුශ්‍යකුට ඇත්තේ " රැස්වූ පිරිසකගේ " මානසිකත්‍වයකි.

එවැනි මිනිසෙකු සැබෑ ලෙසම ක්‍රිස්තියානි අයෙකු ලෙස හැඳින්විය හැකිදැයි මම කල්පනා කරමි. ඔහු බයිබලය කියවන නිසා, යාඤා කරන නිසා සහ සභාවට මුදල් දෙන නිසා තමන් ආත්මික යැයිද යේසුස්වහන්සේගේ ගෝලයෙකු යැයිද සිතිය හැක. නමුත්, ඒ සියල්ල තමන්වම රවටා ගැණීමකි. හරියටම මගේ භාහිර "කිතුනු" ක්‍රියාකාරකම් නිසා මම ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වූ බවට සිතන්නට සලස්වා වසර ගණනාවක් මාව මුලා කළ ලෙස සාතන් බොහෝ කිතුනුවන්ව මේ ආකාරයටම මුලා කර ඇත. මේ පරණ ගිවිසුම් ආගමයි - එබැවින් "රැස්වූ පිරිසක්" යන්න පරණ ගිවිසුම් වචනයකි.

මෝසෙස් ඊශ්‍රායල් වරුන්ට ව්‍යවස්ථාව දෙන විට ඔවුන් රැස්වූ පිරිසක් ලෙස සිටියෝය. දෙවියන්වහන්සේ ඔවුන් එකට රැස්වෙන විට කෙසේ නමස්කාර කළයුතු දැයි විස්තරාත්මකව ව්‍යවස්ථාව ඔවුනට ලබා දෙනවිට ඔවුන් තනිතනිව වෙන්ව රැස්වූ පිරිසක් විය. ඔවුන් දෙවියන්වහන්සේ විසින් ශුද්ධව සිටීමට ආරාධනා කළාවූ තනිතනි අය වූහ.

ඊශ්‍රායල් ඉතිහාසයේ, මෝසෙස් වැනි "ඒක පුද්ගල නායකයින්" සහ එලියා වැනි "ඒක පුද්ගල ප්‍රොපේතවරු" සිටියෝය. නමුත් එකිනෙකා සමඟ සහභාගිත්‍වය ගොඩනඟන එක්ව වැඩකරන නායකයින් දෙදනෙක් හෝ ප්‍රොපේතවරු දෙදනෙක් ඊශ්‍රායලය තුළ දෙවියන්වහන්සේගේ වැඩ එක්ව කරන බව අප කිසිවිට නොදුටු වෙමු. අලුත් ගිවිසුම යටතේ පමණක් එවැනි සහභාගිත්‍වයකට හැකියාවක් ඇත. එය තමයි "අලුත් මිදියුෂ අලුත් සම්භාජන වල" දැමීමේ මූලධර්මය.

පරණ ගිවිසුම තුළ ඊශ්‍රායල් වරුන් තමන්ගේම සහ තම පවුල් වල ජීවිත ගැන පමණක් සැලකුවෝය. ඔවුන්ගෙන් සමහරෙකු ශුද්ධව සිටියත් ඔවුන් අන් අය සමඟ එක්ව සහභාගීකම් පැවැත්වූයේ නැත. පරණ ගිවිසුම යටතේ "සහභාගීකම" යන වචනය නොපැවතුනි. ඔවුන් "තනි ක්‍රියාකාරිකයින්" විය - සමහරුන් දෙවියන්වහන්සේ උදෙසා යමක් කරන්නට ආශා කළවුන් වන්නට ඇත. නමුත් ඔවුන් "ශරීරයක්" තුළ එකිනෙකා සමඟ "සහභාගීකම" ගොඩනැඟීමට, හෝ එක "ශරීරයක" අවයව ලෙස එකට වැඩ කිරීමට ආශා කලේ නැත - මක්නිසාද පරණ ගිවිසුම යටතේ ඔවුනට ශරීරයක් වීමට හැකියාවක් තිබුණේ නැත. ඔවුන් රැස්වූ පිරිසක් පමණක් වූහ.

අලුත් මිදියුෂ සහ අලුත් සම්භාජන

නමුත් දැන් අප ස්වාමින්වහන්සේ විසින් අලුත් ගිවිසුම පිහිටුවා තිබේ. අප නැවත උත්පාදනය ලබන විට අප ක්‍රිස්තුස්වහන්සේගේ ජීවනය ලබන්නෙමු - අලුත් මිදියුෂ. මෙම ජීවනයෙන් තනිතනිව ජීවත්වීමක්(පරණ සම්භාජනය තුල) අදහස් නොකෙරේ. අප මෙම ක්‍රිස්තු දිවිය අපගේ සභාවේ නැවත උත්පාදනයවූ අනෙක් ඇදහිලිවන්තයින් සමඟ සහභාගිත්‍වය ගොඩ නොනඟා අප ගැනම සහ අපගේ පවුල ගැන සිතන, ආත්මාර්තකාමී ජීවන රටාවකට යෙදවීමකට උත්සහ කලොත් - එවිට යේසුස්වහන්සේ අපට අනතුරු ඇගවූ ලෙස, අප දිවිය(පරණ සම්භාජනය) පුපුරා යනු ඇත. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මයෙන් (අලුත් මිදියුෂයෙන්)අපව පුරවනු ලබයි ඉන්පසු එය අලුත් සම්භාජනය(ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය) වෙතට ගලා යන්නට සැලැස්වීම බලාපොරොත්තු වේ.

මෙයට ඇතුළු වීමට අප හැම කෙනෙක්ටම බලාපොරොත්තුවක් තිබෙන බව මම දනිමි. මක්නිසාද දෙවියන්වහන්සේ මට කලදේ මට දකින්නට පුළුවන්. මම "රැස්වුනාවූ" කිතුනුවෙකුව සිටියදී දෙවියන්වහන්සේ මට කරුණාව දැක්වූවා, එබැවින් මගේ ජීවිතයේ සෑම දෙයක්ම පුපුරා ගොස් කොටස් වලට විසිරුනා. ඉන්පසු දෙවියන්වහන්සේ මට පැවසුවේ(එය පෙර තිබූ ලෙස), "මට මේ අලුත් මිදියුෂ අලුත් සම්බාජනයකට දමන්නට ඉඩ දෙනවාද" යනුවෙනි. "පිපිරීම" ගැන හොඳ දෙයනම් එය පරණ සම්භාජනය ඉවත් කලේය! දෙවියන්වහන්සේ මගේ පරණ මිදි පැස පිපිරෙන්නට ඉඩ හැරීම තුළින් හොද දෙයක් සිදුවුනි. එවිට මම මගේ ඇදහිල්ල ස්වර්ගීක දේ තුළ නොව භූමික දේ තුළ තබා තිබූ බව අවබෝධ කරගතිමි. සභාව ගොඬනැඟීම ගැන මම මගේ ඇදහිල්ල මිනිසුන්ගේ සම්ප්‍රදායන් තුළ සහ මගේම අදහස් තුළ තබා තිබුණා.

බොහෝ කිතුනුවන්ට දෙවියන්වහන්සේට කැපවීම බොහෝවිට හුදෙක් භාහිර දෙයක්ව තිබෙනවා. ඔවුන් සභාවේ සියළුම රැස්වීම් වලට සහභාගී වෙනවා, ඔවුන් යාඤා කරනවා, ඔවුන් විනීතව අසුන් ගන්නවා, එසේම ඔවුන් ආගමික භාෂාව කතා කරනවා. එවැනි භාහිර ක්‍රියාකාරකම් ඔවුන් ආත්මික භවට සිතන්නට ඔවුන්ව සලස්වන්නට පුළුවන්. නමුත් දිනපතා දිවිය ගැන ප්‍රායෝගික ආකාරය ගැන ඔබට ඔවුන් සමඟ කතා කරන්නට බැහැ, මක්නිසාද එවැනි සංවාදයක් "ආත්මික නොවන හෝ ලෝකාකාර" ලෙස සැලකෙනවා. ඔවුනට කතා කල හැක්කේ ආගමික කාරනා පමණයි. අපට දිනපතා සාමාන්‍ය කරුණු එකිනෙකා සමඟ කතා කරන්නට අවසර නොදීම ව්‍යාජ කිතුනු කමකි.

යේසුස්වහන්සේ තමන්වහන්සේගේ ගෝලයන්ට සහ තමන් අවට සිටි අයට කතා කරනවිට උන්වහන්සේ සැමවිටම පරණ ගිවිසුම් පද ඔවුනට උපුටා දැක්වූයේ නැත. උන්වහන්සේ එය අවශ්‍ය විටදී පමණක් කළ සේක - උදාහරණයක් ලෙස, උන්වහන්සේ සාතන්ට කතා කළ මොහොතේ හෝ පරිසිවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී. නමුත් වැඩිම කාලයක් උන්වහන්සේ තම ගෝලයන්ට කතා කලේ සාමාන්‍ය, එදිනෙදා කරුණු ගැනය. උන්වහන්සේ කිසිවිට ව්‍යාජ ආත්මිකත්‍වයකින් රඟපෑවේ හෝ කතා කලේ නැත. එලෙසින්, අලුත් මිදියුෂ යනු සැබවින්ම කුමක්ද යන වග උන්වහන්සේ අපට පෙන්වාදී ඇත.

ආගමික භාෂාව භාවිතය අප අවට එම ආගමික භාෂාවම කතා කරන අනෙක් අය සමඟ අප සභාව ගොඬ නඟනවා යැයි ව්‍යාජ හැඟීමක් අපට ලබාදිය හැක. රැස්වීම් තුලදී එකිනෙකාට පද උපුටා දක්වමින් එම පද වලින් අපට ලැබුනේ කුමක්ද කියා බෙදාගෙන - එය ආත්මිකත්‍වය ලෙස සිතන්නට අපට පුළුවන්. නමුත් එහි ප්‍රතිඵලය නම් ආත්මික නොවූ ප්‍රාණික දිවියකි.

ගෝධුම බීජය පොළොවෙ වැටී මිය යා යුතුය

අද දවසේ දහස් ගණන් සෙනඟ රැස්වෙන ඉතා විශාල පල්ලි ගැන හිතන්න, එහිදී ඔවුන් අතර අව්‍යාජව එකිනෙකා සමඟ දේවභක්තික සහභාගී කමක් ඇති දෙදෙනෙක් වත් නැතිව ඉන්න පුළුවන්. ඔවුන්ව බලවත් උද්වේගකාරී සංගීතයෙන් සහ උද්වේගකාරී ව්‍යක්ත දේශනා කිරීම් වලින් එකට අදිනු ලබයි. එය ක්‍රිස්තු ශරීරයේ ප්‍රකාශ වීමක් නොවේ. ඒවා තමන් දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්‍ධතාවය ගැන පමණක් සිතන සිරස් ලීයට අයත් තනි පුද්ගල රැස්වීම් වේ. නමුත් එය රැවටීමකි, මක්නිසාද එහි තිරස් ලීයක් නොමැත. එබැවින් එහි කුරුසියක් නොමැත.

යේසුස්වහන්සේ පැවසූ සේක්, "ගෝධුම භීජය පොලොවේ වැටී නොමලොත්, එය තනිව තිබෙයි"(ශු:යොහාන් 12:24). සදාකාලය දක්වා පවතින්නාවූ අව්‍යාජ ඵළය පැමිණිය හැක්කේ තමකැමැත්තට මැරෙන්නාවූ ගෝදුම බීජයෙන් පමණි. 10000 ක්වූ තනි තනි බීජ ප්‍රදර්ශනය සඳහා රත්‍රන් අල්මාරියක තැබිය හැක, එසේ එය ලෝකයා විස්මයට පත් කරනු ඇත. ඉතා විශාල දේවස්ථානවල(mega churches) ඇති ආසනවල එවැනි දහස් ගණන්වූ ගෝධුම බීජ එකිනෙකාට එහා පැත්තේ අසුන්ගෙන සිටිනු ඔබට දක්නට පුළුවන. එය දකිනවිට, මම සිතන්නේ,"ඒ බීජ අතරින් දෙකක්වත් තම කැමැත්තට මැරී එකිනෙකා අතර සහභාගීකම ගොඩනඟන්නට කැමතිවූවා නම්, දෙවියන්වහන්සේට එම ඉතිරි වූ පිරිස අතර ක්‍රිස්තුස්වහන්සෙගේ ශරීරය තමන් අවට ලෝකයට ප්‍රකාශ කළ හැකි වැඩක් ආරම්භ කළ හැකිව තිබූ බවයි. ".

අපගේ සභාවන් කිසිවිට, පොලොවට වැටී මැරෙන්නට අකමැති ගෝධුම බීජ වැනි විශාල මිනිසුන් ප්‍රමානයකින් යුක්තව රැස්වීමෙන් දෙවියන්වහන්සේ අප ආරක්‍ෂා කරනසේක්වා. දෙවියන්වහන්සේ, පොලොවට වැටී මැරෙන්නට කැමති, එක බීජයක් සමඟින් ආරම්භ කරයි. ඉන්පසු උන්වහන්සේ එයට තව එකක් එකතු කරයි, ඉන්පසු තව එකක්, ඉන්පසු තව එකක් දැඩි අවශ්‍යතාවයෙන් පෙළෙන ලොවක් පෝෂණය කලහැකි ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ලෙස සභාව ගොඬනැගෙන්නේ එලෙසය. නමුත්, නොමැරෙන බීජ වලට හැකි වන්නේ, සැබෑ පාන් ගෙඩියක් බවට පත් වෙනවා වෙනුවට, ඔවුන්ට විය හැකි ලෙස ව්‍යාජ පාන් ගෙඩියක පින්තූරයක් බවට පත්වී, බඩගිනිවී අවශ්‍යතාවයෙන් පෙළෙන ලෝකය රැවටීමට පමණි. ගෝධුම බීජය පොලොවට වැටී මැරෙන විට, එය(ඒකාන්තයෙන්ම) බොහෝ ළුල දරන බව යේසුස්වහන්සේ පැවසූසේක.

ගෝධුම බීජය කෙතරම් කුඩාදයත් එය ඔබගේ ඇඟිලි දෙකින් අල්ලා ගත් විට ඔබට එය නොපෙනෙන තරම්‍ ය. එලෙසින්ම, ඔබ අනෙක් ක්‍රිස්තියානි කණ්ඩායම් සහ පල්ලි විසින් සුළු කොට ප්‍රතික්‍ෂේප කරනලද, කොහේ හෝ රැස්වෙන හඳුනා නොගත් කුඩා කණ්ඩායමක් විය හැකියි. අධෛර්‍යට පත් නොවන්න. ඔබ වටා සිටින ඉතා විශාල පල්ලිවලට ඔවුන්ගේ සේවය ගැන සිත්ගන්නා වාර්තා සපයන විශාල වැටුප් ලබන අරුමෝසම් කාර් පදවන සුප්‍රසිද්ධ දේවදාසයින් සිටිය හැකියි. ඒ සියල්ල කරන්නට ඔවුන්ට ඉඩහරින්න. ඔවුනට ඊර්‍ෂ්‍යා නොකරන්න. අපගේ කැඳවීම පොලොවට වැටී මරණයට පත්වීමයි. ස්වාමින්වහන්සේ විසින් සදාකාලය දක්වා පවතින්නාවූ ඵල අප වෙතින් ගෙනෙනු ඇත. උන්වහන්සේගේ පොරොන්දුව එයයි. සැබෑ සභාව ගොඩනැගීමේ රහසද එයම වේ.

පරිච්ජේදය 5
සමාජය

" සමාජය" යනු " රැස්වූ පිරිස " යන්නෙහි විරුද්ධ පැත්තයි.

අපදුටු රැස්වූ පිරිස නම් එකිනෙකාට පැත්තකින් ගොඩගැසූ , විවිධ ප්‍රමාණයෙන් යුත් සිරස් ලෑලි වේ - ඔවුන්ගෙන් සමහරෙකුට ස්වාමින් වහන්සේ කෙරෙහි වැඩි කැපවීමක් ඇති අතර අනෙක් අය අතර එය අඩුය. නමුත් ඔවුන් එකිනෙකා සමඟ සහභාගී කමක් නැත.


කෙසේ වෙතත්, කිතුනු “සමාජය” සෑදී ඇත්තේ එකිනෙකා ගැන සැලකිලිමත් වන පුද්ගලයන්ගෙනි. මෙය සමහර අයට සමහර විට මහත් වූ අනතුරක් විය හැකිය, මන්දයත් පහසුවෙන්ම අප අවට ඉන්නවා වූ අනෙකුත් රැස්වූ පිරිස් සමග අපව සංසන්දනය කිරීමෙන් “හරි, අපි හැමෝම දැන් එකිනෙකා ගැන බලාගන්න යනවා” යැයි පැවසීම පහසුය. ඉතින් අපි එකිනෙකා සමඟ සුහදව කතා කරන අතර එකිනෙකා සමඟ හොඳ සහභාගිත්වයක් ඇති බව සිතමු. එවිට අපි හරිම ආත්මික අය කියා සිතීම පහසුය, මන්ද අප සියල්ලෝම දේවධාර්මික ඉගැන්වීම් ගැන එක හා සමාන ලෙස සිතන නිසා, අපි සියල්ලෝම එක හා සමානව අඳින පළඳින නිසා හා එවැනි තවත් බොහෝ දේ නිසාය. නමුත් අපි තවමත් සියල්ල එකම අච්චුවෙන් එකම ප්‍රමාණයට කපා ගත් ලෑලි පමණි!


අපි එකිනෙකා සමඟ ඇති තිරස් සම්බන්ධතා වල වැදගත්කම තේරුම් ගත් විට අපට ඇති ලොකුම අනතුර නම් අපි කිතුනු සමාජයක් බවට පත් වීමයි. අපි අනිත් අයට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වන ලෙස, නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ හැමෝම අපි වගේ වෙන්න, අපි වගේ කතා කරන්න, අපි වගේ ක්‍රියා කරන්න. මේ අනුව, අපි සියල්ලෝම හරියටම සමාන මිනිසුන්ගේ කිතුනු සමාජයක් බවට පත් වෙමු - නැතහොත්, සමහරු පවසන පරිදි, "කුකී කටර් කිතුනුවන්" - සියල්ලෝම එකම හැඩයෙන් හා ප්‍රමාණයෙන් කැපීමට ලක්වූ බිස්කට් වැනි කිතුනුවන්" වේ! ඉන්පසු අප එකිනෙකා සමඟ ඇති සම්බන්ධය පදනම් වන්නේ අප සියලු දෙනාම එකම ආගමික භාෂාව කතා කරනවා යන සිද්ධාන්තය මතය.

විවිධ ප්‍රජාවක සහ වෙනත් භාෂාවක පුද්ගලයින් සමඟ පවා අපට සුහදව සිටීමට හැකි වනු ඇත, මන්ද ඔවුන් තවමත් බුද්ධිමය වශයෙන් අප හා සමාන බැවිනි. නමුත් එතරම් උගත්කමක් නැති, අපේ ධර්මය ගැන එතරම් දැනුමක් නැති තවත් සහෝදරයෙක් අපේ සභාවට බැඳුනොත්, එවිට අපට ඔහු සමඟ කටයුතු කිරීම දුෂ්කර විය හැකිය. ඉතින්, අපි ඔහුව දුරින් තබා, අවසානයේ ඔහු වැටී අපගේ සමාජයෙන් පිටව යයි. ඔහු අපේ අච්චුවට ගැළපුණේ නැත. එවැනි සමාජයක මිදි පැස පරණ ගිවිසුම හෝ නව ගිවිසුම නොමැති එකකි. එහි, කිසිසේත්ම ගිවිසුමක් නැත.

රැස්වූ කිතුනු පිරිස පැරණි ගිවිසුම මත පදනම් විය - දෙවියන් වහන්සේට යම් භක්තියක් ඇතිව, නමුත් අන්‍යෝන්‍ය සහභාගිතාවයකින් තොරවය. කෙසේ වෙතත්, ඔබට එයට ප්‍රතිචාර දැක්විය හැකි අතර, කිසිඳු ගිවිසුමක් නොමැති ජීවිතයකින් අවසන් කළ හැකිය. බොහෝ කිතුනුවන් එසේය. දෙවියන් වහන්සේ ඔවුන්ව පැරණි ගිවිසුමෙන් සහ ව්‍යවස්ථාවෙන් නිදහස් කර ඇති බව ඔවුන්ට හැඟෙන අතර, අවසානයේදී ඔවුන් කිසිඳු ගිවිසුමක් නොමැතිව අවසන් කරයි. එවැනි අය පාවුල් ගලාතිවරුන්ට ලියූ ලිපියට ප්‍රිය කරන අතර, එහි ඉගැන්වීම "නීතියෙන් නිදහස්" වීම වරදවා වටහාගෙන ඇත. ඔවුන්ට කිසිම ගිවිසුමක් අවශ්‍ය නැත.

නමුත් ගිවිසුමක් නොමැතිව ක්‍රිස්තුස් වහන්සේ සමඟ විවාහ විය නොහැක.

මමයි මගේ බිරිඳයි විවාහ වුණ විට අපි ගිවිසුමකට ආවෙමු. විවාහයේ නීති පොතක් නැතත්, ආදරය මත පදනම් වූ නීති කිහිපයක් තිබේ. උදාහරණයක් ලෙස: දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මම කිසි විටෙකත් මගේ බිරිඳට වංචා නොකරමි. “ඔබ විවාහ වූ පසු ඔබ මෙය නොකළ යුතුය හෝ එසේ නොකළ යුතුය” යන විවාහය පිළිබඳ යම් නීති පොතක මා සොයා ගන්නා නීති නිසා නොවේ. මම මගේ බිරිඳට විශ්වාසවන්තව සිටින්නේ මම ඇයට ආදරය කරන බැවිනි. මම ඇයට ආදරය කරන නිසා ඇයට හානියක් වන කිසිවක් කිරීමට මම කිසි විටෙකත් කැමති නැත. ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ විවාහය තුළද, යම් නීතිරීති ඇත - එම පදනම මත - උන්වහන්සේ මුලින්ම මට ප්‍රේම කළ නිසාත්, මම උන්වහන්සේට මුළු හදවතින්ම ප්‍රේම කරන නිසාත් ය. උන්වහන්සේ සමඟ මගේ සම්බන්ධය පදනම් වී ඇත්තේ කිසිදු නීති පොතක් මත නොව, නමුත් ආදරයේ නීතිය මතය.

කෙසේ වෙතත් කිතුනු සමාජයට බොහෝ නීති තිබේ. ඔබට කිතුනු සමාජයේ කොටසක් වීමට අවශ්‍ය නම්, ඔබ යම් යම් අවශ්‍යතා සපුරාලිය යුතුය - දෙවියන් වහන්සේගේ නීති ඉක්මවා යන නීති - හුදෙක් මිනිසුන්ගේ සම්ප්‍රදායන් වේ.

ඔබ දෙවියන් වහන්සේ සමඟ කිසිදු ගිවිසුමක් යටතේ නොසිටින විට, ඔබ අන් අය සමඟ ඇති සම්බන්ධය තුළ ඔබේම ගිවිසුමක් ඇති කර ගත යුතුය. “ඔයා මගේ පිට කසන්න, එවිට මමත් ඔයාගේ පිට කසන්නම්. ඔබ මට හොඳින් සලකන්න, එවිට මමත් ඔබට හොඳින් සලකන්නෙමි. නමුත් ඔබ මට යහපත් ලෙස සැලකීම නැවැත්වූ මොහොතේම මම ඔබ සමඟ ඇති සම්බන්‍ධය අවසන් කරමි. බොහෝ ඇදහිලිවන්තයන් හට අන් අය සමඟ තිබෙන්නේ මේ ආකාරයේ සම්බන්ධයකි.

කෙසේ වෙතත්, කිතුනු සමාජය ඔබට භූමික වරප්‍රසාද කිහිපයක් ලබා දෙයි. ඔබට "පල්ලි සම්මන්ත්‍රණවලට" සහභාගී විය හැකිය, ඔබේ දරුවන්ට වෙනත් හොඳ දරුවන් සමඟ එහි හමුවීමට හැකිය, ඔබට එහි විවාහ විය හැකිය - සහ, ඒ සඳහා කාලය පැමිණි විට ඔබට හොඳ භූමදානයක් පවා ලබා ගත හැකිය !!

කිතුනු සමාජීය-ජීවිතය (Club-Life) ව්‍යසනයට මග පාදයි

ඇදහිලිවන්තයන් එකිනෙකා සමඟ මිත්‍රත්වය පමණක් ගොඩනඟා ගන්නා විට, ඔවුන් හුදෙක් තිරස් ලෑලි සමූහයකි. ඔවුන්ගෙන් සමහරෙකුට ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි සුළු භක්තියක් තිබිය හැකි නමුත් එම සිරස් ලෑල්ල ඉතා කුඩාය. බොහෝ අවස්ථාවලදී සිරස් ලෑල්ලක් නොපවතී.

ඔබ හොඳ ක්‍රිස්තියානි සමාජයක සාමාජිකයෙක් පමණක් බව දැනගන්න ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේදී අවදි නොවීමට වගබලා ගන්න,!

ඔබේ ස්වාමිපුරුෂයා හෝ භාර්‍යාව හෝ වෙනත් කෙනෙකු ඔබව එයට ඇද ගෙන ගිය නිසා ඔබ ඔබේ “පල්ලියට” බැඳුණාද? එහි ඇති “සමාජ වාතාවරනයට” කැමති නිසාත්, හොඳ දේශනා අහන්න පුළුවන් නිසාත්, ඔබට අවශ්‍ය වූ විට අන් අය ඔබට උපකාර කරන නිසාත් ඔබ එයට සම්බන්ධ වූයේද?

ඔබ හොඳ ඉගැන්වීමකට සවන් දෙන විට, ඔබ එය තේරුම් ගත් පමණින් ඔබ ආත්මීක යැයි සිතමින් ඔබට පහසුවෙන්ම ඔබව රවටා ගත හැකිය. ඔබේ "පල්ලියේ" ඉගැන්වීම අනෙකුත් "පල්ලිවලට" වඩා උසස් නිසා ඔබට ඔබටම සුබ පතන්න පුළුවන්. එහෙත් ක්‍රිස්තුස් වහන්සේට ඇති භක්තියේ සිරස් ලෑල්ල ඔබේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය හැකිය. එසේ නම් - ඔබ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙන් පිටත සිටින බව දැනගන්න විට, ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී ඔබට ඛේදනීය පුදුමයක් ඇති වනු ඇත !

ගුවන් තොටුපලවල ආරක්‍ෂක මුරපොලේ, මගීන් තම ගමන් මළු තබන වාහක පටියක් ඇත. ඒ ගමන් මළු ආරක්‍ෂක ස්කෑන් මැෂිම හරහා ගොස් අවසානයේ අනෙක් පැත්තෙන් එළියට පැමිණේ. ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය යම්තාක් දුරට මෙවන් එකක් බව මම සිතුවම් කර ඇත්තෙමි. නමුත්, ස්කෑන් යන්ත්‍රයක් වෙනුවට එය විශාල උදුනක් වනු ඇත! දෙවියන් වහන්සේ අපගේ මුළු ජීවිත කාලයේ ක්‍රියාවන් එකින් එක එම උදුන හරහා යවනු ඇත. අනෙක් පැත්තෙන් එළියට එන දේ රඳා පවතින්නේ අප මෙලොව ජීවත් වූ ආකාරය මතය. 1කොරින්ති 3:13-15 පවසන්නේ බොහෝ ඇදහිලිවන්තයන් සඳහා, ඔවුන් කළ සෑම දෙයක්ම ලී, තෘණ, සහ පිදුරු වැනි බැවින් ඔවුන් කළ සියල්ල පුළුස්සා දමනු ලබන බවයි. අනෙක් පැත්තෙන් කිසිවක් එළියට එන්නේ නැත. වසර ගණනාවක් හොඳ "පල්ලිවල" වාඩි වී සිටි බොහෝ දෙනෙක් තම මුළු භූමික ජීවිතයම නාස්ති කළ බව එදිනදී දැනගත් විට ඔවුන් කලකිරීමට පත් වනු ඇත.

වසර ගණනාවක් පුරා යහපත් “පල්ලිවලට” ගිය සහ අපූරු පණිවිඩ (ඔවුන්ගේ “පල්ලියේ” සහ අන්තර්ජාලය තුළින්) අසා සිටි බොහෝ දෙනෙක් සිටිනු ඇත, ඔවුන්ට “ඔබේ භූමික ජීවිතය නාස්ති කරගෙන ඇත, මන්ද ඔබට මා කෙරෙහි පෞද්ගලික භක්තියක් නොතිබූ නිසාවෙනි ” යනුවෙන් ස්වාමින් වහන්සේ පවසනු ඇත, මම ඔබව කවදාවත් දැනසිටියේ' නැහැ, ඔබ මාව 'දැන සිටියේ ' නැහැ. ඔබ කවදාවත් මා සමඟ ගමන් කලේ නැහැ. ඔබ කිසිවිටෙක කුරුසිය දරා ගත්තේ නැත" යනුවෙන් ස්වාමින් වහන්සේ පවසනු ඇත. (මතෙව් 7:22-23). එය ඇත්තෙන්ම කණගාටුදායක වනු ඇත.

සුරක්‍ෂිත වන්නේ ස්වාමින් වහන්සේ තුළද නැතහොත් සභාව තුළද?

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සභාව මට මිහිපිට වඩාත්ම ප්‍රියජනක ස්ථානයයි. මම එසේ පවසන්නේ මගේ හදවතේ පතුලෙන්මය. සාන්තුවරයන්ගේ ඇසුර ඉතා මිහිරිය. නමුත් එය කිසිදාක මාගේ ස්වර්ගීය පියාණන් හා ස්වාමීන් වන යේසුස් වහන්සේ සමඟ ඇති ඇසුරට වඩා උතුම් නොවනු ඇත. යේසුස් වහන්සේ සහ පියාණන් වහන්සේ සමඟ මා අත්විඳින මිත්‍රත්වය මගේ භූමික ජීවිතය පුරාවට කිසිදා නොකැඩෙන අතර සදාකාලයටම පවතිනු ඇත. ඒ සහභාගිත්වයේ පදනම මත තමයි මම දැන් පවා දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ සහභාගීකම් පවත්වන්නේ.

කෙසේ වෙතත්, කිතුනු සමාජයේ (ක්ලබ් එකේ) සිටින අය තම ආරක්‍ෂාව සොයා ගන්නේ එම කිතුනු සමාජය (ක්ලබ්) තුළ මිස ස්වාමීන් වහන්සේ තුළ නොවේ. දේවභක්තික මිනිසුන්ට ඇහුම්කන් දීමෙන් ඔවුන් තම ආරක්‍ෂාව සොයා ගනී. ඔබ මේ වසරේ දේශනා සිය ගණනක් අසා ඇති. නමුත් එය ඔබව යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකු බවට පත් කරන්නේ නැත.

කිතුනු සමාජ ශාලාවේ සිටින අය ද නිරන්තරයෙන් හුරතල් කිරීම හා නැලවීම අපේක්‍ෂා කරති; ඔවුන් "විශේෂ" කෙනෙකු ලෙස සැලකුම් ලබන්නේ නැත්නම් ඔවුන් පහසුවෙන් අමනාප වේ. ඔවුන් මිනිසුන්ගෙන් ගෞරවය සහ අනුමැතිය අපේක්‍ෂා කරයි. ඔවුන් ප්‍රසිද්ධියේ කැපී පෙනීමට උත්සාහ කරන අතර අන් අය විසින් හොඳින් සලකනු ලැබීම බලාපොරොත්තු වේ. යම් අවස්ථාවක වැඩිහිටියෙකු ඔවුන්ට නිවැරදි කිරීමේ වචනයක් ලබා දුන්නේ නම්, ඔවුන් වහාම අමනාප වී අවසානයේ කිතුනු සමාජයෙන් පිටව යනු ඇත!


ස්වාමීන් වහන්සේ මට පෙන්වා දී ඇත්තේ දේවභක්තික, වැඩිමහල් සහෝදරයෙකු මා නිවැරදි කරන විට මා අමනාප වුවහොත්, මම " කිතුනු සමාජ" ක්‍රිස්තියානියෙකු පමණක් බව එයින් ඔප්පු වන බවයි. මා වටා සිටින අනෙක් අය ක්‍රිස්තුස් වහන්සේගේ සැබෑ ජීවිතය අත්විඳිනවා විය හැකිය. නමුත් මට ඔවුන් අතර වසර ගණනාවක් වාඩි වී සිටිය හැකිවුවද ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී පමණක්, මම හොඳ කිතුනු සමාජ ශාලාවක සාමාජිකයෙකු පමණක් බව දැන ගැනීමට යන්නෙමි. කිසිවිටක නිවැරදි කිරීම් හෝ තරවටු කිරීම් වලින් අමනාප වීමෙන් දෙවියන් වහන්සේ අපව ගලවා ගන්නා සේක්වා.

දෙවියන් වහන්සේ අපට, ප්‍රේම කරන, දෙවියන් වහන්සේගේ වචනය ප්‍රේමයෙන් කථා කරන වැඩිමහල්ලන් සහ දේවභක්තික වැඩිමහල් සහෝදරයන් අපට දී ඇත. තම දරුවන්ට ආදරය කරන පියවරුන් කිසිදා වේවැල පාවිච්චි නොකර නොසිටින බව දන්නා නිසා ඔවුන් වේවැල පාවිච්චි නොකර නොසිටියි. අපේ ස්වර්ගික පියාණන් අපට ප්‍රේම කරන ආකාරයටම එවැනි වැඩිමහල්ලන් අපට ප්‍රේම කරයි. එසේ නම්, ඔබ එවැනි දේව භක්තික වැඩිමහල් සහෝදරයන් ඔබට පවසන දෙයින් කැරලි ගැසුවහොත් හෝ අමනාප වන්නේ නම්, එය ඔබට කිතුනු සමාජ (ක්ලබ්) මානසිකත්වයක් ඇති බවට සහතික ලකුණක් වනු ඇත.

අවසාන ප්‍රතිඵලය වනුයේ ආත්මික වර්ධනයක් නොමැතිවීමයි. ඔබේ ජීවිතයේ ආත්මික වර්ධනයක් නොමැති නම්, ඔබ පසුබටවී යනවා ඇත. කිතුනු ජීවිතය තුළ නිශ්චලව සිටීම වැනි දෙයක් නොමැත. දේවභක්තික වැඩිමහල් සහෝදරයෙකු අපට තරවටු කිරීමේ වචනයක් කථා කරන විට අප අමනාප වන්නේ නම්, අපි නිසැකවම පසුබෑමකට ලක්ව සිටිමු - සමහර විට නිරයට යන ගමනද වියහැකිය.

හෙබ්‍රෙව් 12:5-8 අපගේ ස්වර්ගික පියාණන්ගේ හික්මවීමට ප්‍රේම කිරීමට අපව දිරිමත් කරයි, මන්ද උන්වහන්සේ එය කරන්නේ අපට ඇති ප්‍රේමය නිසාය. ඒ හා සමානව, පියෙකුගේ හදවතක් ඇති සභාවේ වැඩිමහල්ලන්ද (පාවුල් මෙන්, 1 කොරින්ති 4:15 හි) අපව ප්‍රේමයෙන් නිවැරදි කරයි, එවිට අප පසුබැසීමට හා අතරමං නොවනු ඇත. මෙම නිවැරදි කිරීම ගැන අපි අමනාප වුවහොත්, අපට ක්ලබ් මානසිකත්වයක් ඇති බව අපි ඔප්පු කරමු. අවසානයේ අපි පරාජිතයෝ වන්නෙමු.

පරිච්ජේදය 6
සැබෑ සභාව

අලුත් ගිවිසුමේ, අලුත් වචන ගණනාවක් ඇත - ඒවා කිසිසේත් පැරණි ගිවිසුමේ දක්නට නොලැබේ. එවැනි එක් වචනයක් වන්නේ " සහභාගීකම" යන්නයි.

පෙන්තකොස්ත දවසේදී, තුන් දහසක් මිනිසුන් බලවත් පිබිදීමක් තුළ නැවත උත්පාදනය ලැබූ විට, ඔවුන් ඉදිරි දින දහය සඳහා කූඩාරම් - පිබිදීමේ-රැස්වීම් පැවැත්වීමට තීරණය කළේ නැත. ඒ වෙනුවට අද මිනිස්සු කරන්නේ එය තමයි! , දෙවියන් වහන්සේ එම ගෝලයන්ට පැවසුවේ "පිබිදීමේ රැස්වීම" වසා දමා ගොස් සභාව ගොඩනඟන ලෙසයි.

අපි ක්‍රියා 2:42 හි කියවන්නේ, "ඔවුන් සහභාගීකමට කැප වූ" බවයි. බයිබලයේ එම වචනය එන පළමු අවස්ථාව එයයි!* එය ග්‍රීක වචනය වන "කොයිනෝනියා" පරිවර්තනයයි, එහි තේරුම "එකට බෙදාගැනීම" යන්නයි.

(*සටහන: ගීතාවලිය 55:14 හි "සහභාගීකම" ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනයේ තේරුම "උපදේශ" මිස "සහභාගීකම" නොවේ)


කුරුසියෙන් ගලා එන ප්‍රේමය

මෙම සහභාගීකම එම ගෝලයන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීමේ ක්‍ෂණික ප්‍රතිඵලය විය. අද දින කිතුනුවන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරී ඇති බව පවසන විට, ඔවුන් පවසන්නේ, "මම අන්‍යභාෂාවෙන් කතා කළෙමි", නැතහොත් "මම අසනීප වූ පුද්ගලයෙකු වෙනුවෙන් යාච්ඤා කළ අතර ඔහු සුව විය (අවම වශයෙන්, ඔහු සුව වූ බව මම සිතමි!)" හෝ "මම දැන් චතුර ලෙස දේශනා කරන්නෙමි" යනාදී වශයෙන්ය.

නමුත් පෙන්තකොස්ත දවසේදී, ඔවුන් ශුද්ධාත්මයාණන්ගෙන් පිරුණු විට, එම ඇදහිලිවන්තයන් පිබිදීමේ රැස්වීමෙන් ඉවත්ව ගොස් එකිනෙකා සමඟ සහභාගීකම ගොඩනඟා ගත් බව අපි කියවන්නෙමු (ක්‍රියා 2:42). එය ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීමේ මූලික ප්‍රතිඵලය විය යුතුය.

1 කොරින්ති 12:13 හි, අපි කියවන්නේ, "එක ආත්මයකින් අපි සියල්ලෝම එකම ශරීරයකට බව්තීස්ම වී සිටිමු". සභාව එහි විස්තර කර ඇත්තේ රැස්වූ පිරිසක් හෝ සමාජයක් ලෙස නොව ශරීරයක් ලෙසය. "ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන අතර වෙන් වෙන්ව එහි සාමාජිකයන්ය" (1 කොරින්ති 12:27).

මෙම ශරීරය කුරුසියේ පදනම මත ගොඩනගා ඇත. මෙම මිදිපැස අලුත් ගිවිසුම් සභාවයි.

රැස්වූ පිරිස යනු පැරණි ගිවිසුම් සංකල්පයකි.

සමාජයට ගිවිසුමක් නැත.

නමුත් සැබෑ සභාව ගොඩනැගී ඇත්තේ අලුත් ගිවිසුමේ පදනම මතය.

ගිවිසුම කියන වචනය අපි අද බොහෝ සෙයින් භාවිතා නොකරන්නෙමු. එයින් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සභාව ගොඩනඟන අය අතර එකඟතාවය සහ කැපවීමකි. ඔවුන් මුලින්ම තම මනාලයා වන ස්වාමින් වහන්සේට කැපවී, පසුව එකිනෙකාට කැපවී සිටිති. එහිදී ඔබට කුරුසියේ ලෑලි දෙකක් තිබේ - සිරස් සහ තිරස්. ඔව්හු පළමුවෙන් ස්වාමින් වහන්සේට දැඩි ලෙස ප්‍රේම කරති, පසුව එකිනෙකාට ප්‍රේම කරති.

පලාතේ සභාව තුල "රොටි කැඩීම" යන්නෙන් සංකේතවත් කරන්නේ මෙයයි. අපි එයින් ප්‍රකාශ කරන්නේ අප ස්වාමින් වහන්සේ සමඟ සහභාගීකමේ සිටින බවත් උන් වහන්සේ කළාක් මෙන් තම කැමැත්තට මැරෙන්නට අවශ්‍ය බවත්‍ ය(1 කොරින්ති 11:26-28). එසේම අප උන්වහන්සේගේ ශරීරයේ අවයවයන් ලෙස අප එකිනෙකා සමඟ සහභාගීකමේ සිටින බවද මෙයින් ප්‍රකාශ කරන්නෙමු (1 කොරින්ති 10:16, 17). එක රොටියක් ඇත්තේ එබැවිනි, අපි බොහෝ දෙනෙක් එකට එහි සහභාගීකම් පවත්වන්නෙමු.

අපි එකිනෙකාට ඇති ආදරය අප කැමති අය කෙරෙහිවූ මිනිස් ආදරයක් නොවේ - "මම ඔබට කැමතියි, ඔබ මට කැමතියි, අපි සන්තෝෂමත් පවුලක්!" නැත. එය පැමිණෙන්නේ ස්වාමින් වහන්සේ කෙරෙහි අපගේ ප්‍රේමය නිසාය.

එලෙසම, එය නැතිවූ මිනිසුන් උදෙසා ඇති අපගේ ප්‍රේමයෙන් ඔවුනට ඉවැන්ජලිස්ථ සේවය කිරීම පිණිස මිෂනාරිවරයෙකු ලෙස යාමට අපව පොළඹවන්නාවූ දෙයක්ද නොවිය යුතුය. ඔවුන්ට ශුභාරංචිය දීමට අපව පොලඹවන ප්‍රේමය ගලා යා යුත්තේ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති අපගේ ප්‍රේමයෙනි.

ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් අපගේ හදවත් තුළ වගුරවන්නේ ස්වාමින් වහන්සේට සහ අන් අයට ඇති මෙම ප්‍රේමයයි (රෝම 5:5).

සැබෑ සභාව ගොඩනැගීම

ශුද්ධාත්මයාණන්ගේ පැරණි ගිවිසුමේ දේවසේවය සහ ශුද්ධාත්මයාණන්ගේ නව ගිවිසුමේ දේවසේවය අතර වෙනස පෙන්වීමට මගේ පියා (සැක් පූනන්) මෙම උපමාව භාවිතා කිරීම මම අසා ඇත්තෙමි: පැරණි ගිවිසුමේ මිනිසාගේ හදවත පියනක් සහිත කෝප්පයක් මෙන් විය. එය (යුදෙව් දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වසා දැමූ වැස්ම වූ තිරය වැනි). මෙම කෝප්පයේ වසා ඇති පියන මත ශුද්ධාත්මයාණන් වගුරුවන ලද අතර, උන්වහන්සේ මෝසෙස්, යොහන් බව්තීස්ත යනාදීන් හරහා කළාක් මෙන්, අවට සිටින විශාල පිරිසකට ආශීර්වාද ගංගාවල් ඉන් පිටතට ගලා ගියේය.

නමුත් නව ගිවිසුමේ පියන ඉවත් කරනු ලැබ ඇත (2 කොරින්ති 3:12-18). මෙය සංකේතවත් කළේ යේසුස්වහන්සේ මිය ගිය විට දේවමාළිගාවේ තිබූ වැස්ම වූ තිරය ඉරීයාම සහ අතිශුද්ධස්ථානයට යන මාර්ගය විවෘත කිරීමෙනි. දැන්, ආත්මය වගුරුවන විට, උන්වහන්සේ පළමුව කුසලානය පුරවයි - පළමුව ඇදහිලිවන්තයාගේ හදවත පවිත්‍ර කරයි - ඉන්පසු යොහන් 7:37-39 හි යේසුස්වහන්සේ පැහැදිලි කළ පරිදි, "ඔහුගේ අභ්‍යන්තරයෙන්" බොහෝ දෙනෙකු ආශිර්වාද කරමින් ගලා යයි. අලුත් ගිවිසුම් සභාව ගොඩනඟා ඇත්තේ එලෙසය.

අපි තවමත් අන් අයට දේශනා කිරීමට පමණක් ශුද්ධාත්මයාණන් භාවිතා කිරීමට උත්සාහ කරන්නේ නම්, අපි ගොඩනඟන්නේ රැස්වූ සෙනඟක් හෝ සමාජයක් පමණි. නමුත් අපි දෙවියන් වහන්සේට මුලින්ම අපව පිරවීමට සහ අපගේ හදවත් තුළ උන්වහන්සේගේ ප්‍රේමය වැගිරවීමට ඉඩ දුන්නොත්, එවිට උන්වහන්සේට අපගේ අභ්‍යන්තරයේ සිට අන් අය වෙත ගලා යා හැකිය. එවිට අපි එම සහභාගීකමේ ආත්මය ඇති අන් අය සමඟ සභාව ගොඩනඟන්නෙමු. අප එකිනෙකා කුරුසිය දැරීම තුළින් ආත්මයේ සැබෑ එකමුතුකම ගොඩ නැඟෙණ අතර දෙවියන් වහන්සේට සහ අන් අය කෙරෙහි ප්‍රේමය, අපගේ හදවත්වලින් පිටාර ගලනු ඇත.

ඇත්ත වශයෙන්ම, සැබෑ සභාව ගොඩනඟා ඇත්තේ මූලික වශයෙන් අප එකිනෙකාගෙන් ඈත්ව සිටින විටය. අපේ ඉරිදා රැස්වීම්වලට එකතුවූ විට පමණක් එය ගොඩනැගෙන්නේ නැත. ඔව්, එය ශුද්ධාත්මයාණන්ගේ දීමනා හරහා එහි ගොඩනගා ඇත. නමුත්, අපි එකිනෙකාගෙන් ඈත්ව සිටින විට එය ඊටත් වඩා ගොඩනැඟේ. අපව යම් ආකාරයකට පරීක්‍ෂාවට ලක් කරන විට - වංක වීමට, කෝපයට පත් වීමට හෝ අපගේ ඇස්වලින් තෘෂ්ණාවකට පත්වීම යනාදියේදී - ඔබ යේසුස් වහන්සේගේ සභාවේ කොටසක් දැයි ඔබ ඔප්පු කරන්නේ එහිදීය. මෙම පරීක්‍ෂාවන් වලදී, අපි අපගේ කුරුසය රැගෙන, අප කැමැත්තට මිය ගියහොත්, ස්වාමින් වහන්සේට ඇති අපගේ භක්තිය ආරක්‍ෂා කර, පාපයට විරුද්ධ වුවහොත්, අපි ආලෝකයේ ගමන් කර ස්වාමින් වහන්සේ සමඟ සහභාගීකම පවත්වන්නෙමු. එවිට, අපි එකිනෙකා සමඟ එකට මුණගැසෙන විට, අපි එකිනෙකා අතර සැබෑ සහභාගීකමක් තිබෙනු ඇත (1 යොහන් 1:7).

කොලොස්සි2:2 හි අපගේ හදවත් "ප්‍රේමයෙන් එකට බැඳී ඇති" බව කථා කරයි. මට ආදරයෙන් අන් අය සමඟ සම්බන්ධ වීමට නොහැක. අපගේ හදවත් එකට ගෙතීමේ මෙම කාර්‍යය කළ හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණි. කිසියම් ආකාරයකට, මම ඔබට තෑගි ලබා දීමෙන් හෝ ඔබ සමඟ කාලය ගත කිරීමෙන් යම් මනුශ්‍යාකාරයකින් මගේ හදවත ඔබේ හදවතට ගෙතීමට උත්සාහ කළහොත්, මම ගොඩනඟන්නේ සමාජයක් පමණි. නමුත් දෙවියන් වහන්සේ පවසන්නේ "ඔබ ඔබේ කැමැත්තට මැරෙන්න" කියා පමණි. මා එසේ කරන විට, මාගේ පලාතේ සභාවක් තුළ මා තබා ඇති ශුද්ධාත්මයාණන්වහන්සේ, තමකැමැත්තට මැරෙන අනෙක් අය සමඟ අදෘශ්‍යමාන, ආශ්චර්‍යමත් ආකාරයකින් මගේ හදවත ගෙතීමේ කාර්‍යය කරනු ඇත.

එවිට අපගේ සහභාගිකම මිහිරි වනු ඇත. ඒ අපි එකම දේව ධර්මය විශ්වාස කරන නිසා හෝ එකම ගීත ගායනා කරන නිසාවත් නොව, නමුත් අපි දෙදෙනාම බිම වැටී අපගේමවූ ස්වකැමැත්තේ ජීවිතයට මිය ගිය නිසාය. මෙලෙස ශුද්ධාත්මයාණන් තුලින් අප එකිනෙකා සමඟ සහභාගීකමට පැමිණෙන්නෙමු.

ස්වකැමැත්තට නොනැසී, අප තුළ ඇති ඕනෑම එකමුතුකමක ප්‍රතිඵළය වන්නේ මිත්‍රත්වයක් පමණක් මිස, සැබෑ ක්‍රිස්තියානි සහභාගිකමක්නොවේ. සහභාගීකම යනු ආත්මික දෙයකි, නමුත් මිත්‍රත්වය භූමික දෙයකි.

ලෝකයේ මිනිසුන් අතර මිත්‍රත්වයක් ඇත. බොහෝ ලෞකික සමාජ ශාලාවල සාමාජිකයින් එකිනෙකා සමඟ සමීප මිත්‍රත්වයක් ඇති අතර එකිනෙකා කෙරෙහි ගැඹුරින් සැලකිලිමත් වේ. නමුත් ඔවුන්ට කිසිදා සැබෑ සහභාගීකමක් ඇති කර ගත නොහැක - මන්ද එය අපගේ ජීවිත තුළ ශුද්ධාත්මයාණන්ට පමණක් කළ හැකි ආත්මික ක්‍රියාවකි. දෙවියන් වහන්සේ "යේසුස් වහන්සේගේ මරණු ලැබීම ඔහුගේ ශරීරයෙහි දරාගෙන සිටින" උන්වහන්සේගේ ඕනෑම දරුවෙකු දුටු විට, උන්වහන්සේ ඔහුට "යේසුස් වහන්සේගේ ජීවනයට” වඩා දෙයකින් ඔහුට විපාක දෙනසේක (2 කොරින්ති 4:10,11). ඇදහිලිවන්තයන් දෙදෙනෙකු තුළ ඇති මෙම "යේසුස් වහන්සේගේ ජීවනය" ඔවුන් අතර සැබෑ සහභාගීකමක් ගෙන එයි. එවැනි අය සමඟ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නව ගිවිසුම් සභාව ගොඩනඟයි.

මම මෙම සත්‍යථාවයන් දැකීමට පටන් ගත් විට, මම ස්වාමින් වහන්සේගෙන්, "ස්වාමීනි, ඔබගේ සැබෑ සභාව ගොඩනඟා ගැනීමට කැමති අය කොහේද?" කියා ඇසීම නැවැත්තුවෙමි. මම මුලින්ම පොලොවට වැටී මිය යාමට කැමති නම්, දෙවියන් වහන්සේ ඔවුන් සොයාගෙන අපව එකතු කරන බව මට වැටහුණි -. මම මරණය ප්‍රතික්‍ෂේප කළොත් දෙවියන්වහන්සේ ඔවුන්ව මා ළඟට ගෙන එන්නේ නැත.

අප වටා මුළු හදවතින්ම යුත් ඇදහිලිවන්තයන් සොයා ගැනීමට උත්සාහ කිරීම "පිදුරු ගොඩක ඉඳිකටු" සොයා ගැනීමට උත්සාහ කිරීමක් වැනිය. ඒ ගොඩේ ඇති ඒ කුඩා ඉඳිකටු සොයමින් අපට වසර ගණනාවක් පිදුරු ගොඩේ ගත කළ හැකිය. සමහර විට වසර ගණනාවක උත්සාහයෙන් පසු එක් ඉඳිකටුවක් සොයා ගතහැක. නමුත් ස්වාමින්වහන්සේ පවසන්නේ "ඒ ඉඳිකටු සොයමින් කාලය නාස්ති නොකරන්න, ඒවා කොහේදැයි මම දනිමි. බිම වැටී ඔබේම ස්වකැමැත්තට මැරෙන්න." එවිට ඔබ තුළ වන යේසුස් වහන්සේගේ ජීවනය එම "ඉඳිකටු" (මුළු හදවතින් යුතු ගෝලයින්) ඇදගනු ලබන බලගතු චුම්බකයක් බවට පත් වනු ඇත" (යොහන් 1:4, 12:32).

දේවභක්තික ජීවිතයක් ගත කිරීමට සහ නව ගිවිසුම් සභාව ගොඩනැගීමට උත්සාහ කරන අනෙකුත් ඇදහිලිවන්තයන් ඔබ වෙතට සහ ඔබ ප්‍රකාශ කරන කුරුසියේ පණිවිඩයට ඇදී එනු ඇත. ඒ දෙවියන්වහන්සේගේ මාර්ගයයි. උන්වහන්සේ මුළු හදවතින් යුත් අය අප වෙත ගෙන එයි. "පියාණන් මට දෙන සියල්ලෝම මා වෙත පැමිණෙනු ඇත", යොහන් 6:37 හි යේසුස් වහන්සේ වදාළ සේක. තවද පියාණන්වහන්සේ අප වෙනුවෙන්ද එයම කරනු ඇත. අපි නව ගිවිසුම් සභාව ගොඩනඟන්නේ එලෙසයි.

පෞද්ගලිකව කැපවීමේ පදනම මත

යෙරෙමියා 3:14 හි ස්වාමින් වහන්සේ පවසන්නේ, "මම ඔබව නුවරකින් එකෙකු සහ නිවසකින් එක්කෙනෙකු ගෙන, මම ඔබව සියොන් වෙත ගෙනෙන්නෙමි, එහිදී මම ඔබට මගේම සිත ඇති එඬේරුන් දෙන්නෙමි." එය කෙතරම් ලස්සන පොරොන්දුවක්ද. ඔබ දෙවියන් වහන්සේගේම හදවතට අනුව එඬේරුන් සොයාගත් විට ඔබ සැබෑ සභාවට පැමිණ ඇති බව දැනගන්නවා ඇත. ඔවුන්ට ගරු කිරීමට ඉගෙන ගන්න, ඔවුන් ඔබව නිවැරදි කරන විට අමනාප නොවන්න, මන්ද ඔවුන් ඔබව දේව භක්තිය කරා ගෙන යාමට උත්සාහ කරන බැවිනි.

එපීස 5:25 පවසන්නේ, "ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ අතර ඒ සඳහා තමන්වම පරිත්‍යාග කළසේක". පුද්ගලික පරිත්‍යාගයකින් තොරව සභාව ගොඩනඟා ගත නොහැක. එය යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට පොළොවට පැමිණි විට කළ විශාල කැපකිරීමකි. උන්වහන්සේ සැප පහසුව කැප කර දූගීබවතුල ජීවත් වූසේක. නමුත් සියල්ලටම වඩා, උන්වහන්සේ තමන්වම ලබා දුන්සේක.

මිලයක් නොගෙවා ඔබට නව ගිවිසුම් සභාවක් ගොඩනැඟිය හැකි යැයි කිසිවිටෙක සිතන්න එපා. සභාව ගොඩනැගීමට කැමති නමුත් මුදල් හෝ පෞද්ගලික පහසුව ආදි කිසිදු කැපකිරීමක් කිරීමට අකමැති අය ගොඩනඟන්නේ රැස්වූ ක්‍රිස්තියානි සෙනඟක් හෝ ක්‍රිස්තියානි සමාජයක් පමණි. කැපකිරීමකින් තොරව සැබෑ සභාව ගොඩනැඟිය නොහැක. ක්‍රිස්තුස් වහන්සේ එය ගොඩනැඟීමට තමන්වම ලබා දුන් සේක. එය ගොඩනැගීමට උන්වහන්සේ සමඟ එක්වීමට අපටද අපගේ "ස්වකැමැත්ත" අත්හැරීමට සිදුවනු ඇත.

යමෙකු දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ වීමට ඉඩහැර කුරුසියේ මාර්ගයේ ගමන් කරන්නේ නම්, ස්වාමින්වහන්සේට තම සභාව ගොඩනැගීමට කුඩාම හා වැඩකට නැති පුද්ගලයා පවා භාවිතා කළ හැකිය.

ඔබේ ඇස් හමුවේ ඔබ කුඩා නම්, අද දෙවියන් වහන්සේ ඔබට පවසන්නේ, "ඔබ කුඩා, නොවැදගත් තිරිඟු ඇටයක්, ගොස් බිම වැටී මිය යන්න" එවිට දෙවියන් වහන්සේ ඔබ තුළින් කරන ආශ්චර්‍යය ඔබට පෙනෙනු ඇත. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් සහ ඔබ තුළින් ඉදිරි දිනවලදී කුමක් කිරීමට සූදානම්ද යන්න අද ඔබේ ඇස්වලට නොපෙනෙන අතර අද දින ඔබේ මනසට සිතාගත නොහැක (1 කොරින්ති 2:9). එහෙත්, මෙම පොත හරහා ඔබ වෙත පැමිණෙන උන්වහන්සේගේ ඇමතුමට සවන් දීමට ප්‍රමාණවත් ලෙස ඔබ උන්වහන්සේට ආදරය කළ යුතුය.

පරිච්ජේදය 7
සභාව ගොඩනැගීම - දෙන්නාවූ තැනැත්තෙකු වීමෙන්

මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේය ” ( මතෙව් 20:28)

යේසුස් වහන්සේ මෙලොව ජීවත් වූ විට, උන්වහන්සේගේ "සභාව" අතිශයින් කුඩා විය. එය මිනිසුන් දොළොස් දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඉන් එක් අයෙක් පාවාදෙන්නෙකු බවට පත් විය. එහෙත්, ඉතිරි එකොළොස් දෙනා යේසුස් වහන්සේ අනුගමනය කිරීමට සියල්ල අත්හැර දැමූ සැබෑ ගෝලයන් විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ශුද්ධාත්මයෙන් පිරුණු පසු ලෝකය උඩු යටිකුරු කරනු ඇත.

කෙසේ වෙතත්, මෙයට පෙර, ඔවුන් බොහෝ විට එකිනෙකා සමඟ වාද කළහ. එක් අවස්ථාවක, යේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලබන බව ඔවුන්ට පැවසූ විට, නායකයෙකු තම තනතුරෙන් ඉවත් වූ විට ඕනෑම භූමික මනසක් ඇති පුද්ගලයෙකු කරන දේ ගෝලයන් වහාම කළහ - ඔවුන් නායකත්වය ගන්නේ කවුද යන්න ගැන තර්ක කිරීමට පටන් ගත්හ (මාර්ක් 9: 31-34). ටික වේලාවකට පසු, යේසුස් වහන්සේ නැවතත් ඔවුන්ට පැවසුවේ තමන් කුරුසියේ ඇණ ගසා තුන්වන දින නැගිටුවන බවයි (මතෙව් 20:18-21). නැවතත්, ගෝලයන්, යාකොබ් සහ යොහාන් පටන්, ශ්‍රේෂ්ඨ තනතුරු සඳහා ඔවුන්ගේ ආශාව ප්‍රකාශ කළහ. යේසුස්වහන්සේව මහිමයට පත් කිරීම ඔවුන් දුටුවේ ඔවුන්ව සියල්ලන් ඉදිරියෙහි ඔසවා තැබීමට අවස්ථාවක් ලෙසටය. යේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දුන්නේ උන්වහන්සේ පැමිණියේ "සේවය ලැබීමට නොව, සේවය කිරීමට සහ උන්වහන්සේගේ ජීවිතය දීමට ..." බවයි (28පදය).

යේසුස් වහන්සේ අපට පෙන්වා දුන්නේ ලෝකයේ මිනිසුන් වර්ග දෙකක් සිටින බවයි - තමන් "කිතුනුවන්" ලෙස හඳුන්වන අය අතර පවා - "ගන්නන්" සහ "දෙන්නන්". මේ ලෝකයේ ආත්මය ඇති කිතුනුවන් (රැස්වූ කිතුනු පිරිස සහ කිතුනු සමාජය) සෑම විටම ක්‍රිස්තියානි ධර්මයෙන් තමන්ට ලබාගත හැකි දේ සොයමින් සිටින අය වේ. අනෙක් අතට සැබෑ සභාවේ අය දෙන්නෝ වෙති. ඔවුන් සැමවිටම සොයන්නේ ඔවුන්ට දිය හැකි දේය - පළමුව දෙවියන් වහන්සේට, පසුව අන් අයට. වැඩියෙන්ම ආශීර්වාද ලබන්නේ දෙන්නාවූ අය බව යේසුස්වහන්සේ පැවසූ සේක (ක්‍රියා 20:35).

ඔබ මෙලොව උසස් වන තරමට අන් අයගේ සේවය ඔබට අපේක්‍ෂා කළ හැකිය. ලෝකයේ ආණ්ඩුවල පාලකයන්ට නිරන්තරයෙන්ම ඔවුන්ට සේවය කරන මිනිසුන් සිටී. ඔබ ස්වර්ග රාජ්‍යයේ ප්‍රගතියක් ලැබුවහොත්, අනෙක් අතට, ඔබ අන් අයට, වඩා සේවය කරනු ඇත. යේසුස් වහන්සේ මෙය ඉගැන්වූවා පමණක් නොව,උන්වහන්සේගේ ජීවිත කාලය පුරාම එතුල ජීවත් වූසේක.

සභාවක, ලබාගන්නා වූ තැනැත්තන් සෑම විටම අන් අය තමන්ගේ අවශ්‍යතා සපුරාලීම අපේක්‍ෂා කරයි. ඔවුන්ගේ අපේක්‍ෂාවන් ඉටු නොවන්නේ නම්, අවසානයේදී ඔවුන් යම් දෙයක් හෝ වෙනත් දෙයක් සම්බන්ධයෙන් අමනාප වී සභාවෙන් පිටව යනු ඇත. අනෙක් අතට, දෙන අය, අඩුවක් හෝ අවශ්‍යතාවයක් දුටු විට, එම සභාවේ පවුලේ සාමාජිකයන් ලෙස වගකීම භාර ගන්නා අතර, දෙවියන් වහන්සේගේ කරුණාව තුළින් එම අවශ්‍යතා සපුරාලීමට විශ්වාසවන්තව විඳදරාගැනීමෙන් කටයුතු කරනු ඇත.

නිදසුනක් වශයෙන්, ඔබේ ප්‍රදේශයේ සභාවේ ඔබ සහ තවත් පුද්ගලයෙකු අතර ප්‍රේමයේ අඩුවක් තිබේ නම් සහ ඔබේ "ආදර කුසලානය" හිස් බව ඔබට හැඟේ නම්: ඔබේ සම්බන්ධතාවයට ප්‍රමාණවත් ආදරය වත්කර ඔබේ කුසලානය නොපිරවීම නිසා, ඔබට, ගැටලුව අනෙක් පුද්ගලයාගේ වරදක් ලෙස දැකිය හැකිය. ගන්නාගේ මානසිකත්වය මෙයයි. ඒ වෙනුවට, ඔබට "දෙන්නාගේ මානසිකත්වය" තිබේ නම්, ඔබ මෙම අඩුව දෙවියන් වහන්සේ වෙතට ගෙනගොස්, ඔබේ කුසලානය පුරවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. එවිට උන්වහන්සේ එය උතුරා ඔබගේ ජීවිතයෙන් ඔබවටා සිටින අයට ආදරය ගලා යනලෙස පුරවනු ඇත.

2 කොරින්ති 9:6-8 හි අපි කියවන්නේ දෙවියන්වහන්සේට උන්වහන්සේගේ කරුණාව අප කෙරෙහි බහුල ලෙස වගුරුවා හැරීමට අවශ්‍ය බවයි. මෙම පද කියවන විට, ආත්මාර්ථකාමී ලෙස, එය තව තවත් අපටම වැඩිවෙමින් ලැබේයැයි සිතන්නට පුළුවන. නමුත් ඔබ මෙම කොටස හොඳින් කියවා බැලුවහොත්, ඔබට දකින්නට පුළුවන් දෙවියන් වහන්සේ අපට මෙතරම් උතුරා යන කරුණාව ලබා දෙන්නේ, එවිට අප අන් අයට යහපත කරන “දෙන්නන්” වීම පිණිස බව (8 වන පදයේ අවසාන කොටස බලන්න).

මෙය ලියූ පාවුල් තුමා වසර තුනක් එපීසයේ සභාවේ සේවය කර ඇත. ඔහු අවසන් වරට ඔවුන්ගෙන් සමුගත් විට (ක්‍රියා 20:25-35), එම මුළු කාලය තුළම ඔහු ඔවුන් අතර "දෙන්නාවූ කෙනෙකු" ලෙස ජීවත් වූ බව ඔහු වැඩිමහල්ලන්ට මතක් කළේය. එනිසයි සභාවෙන් මූල්‍යමය ආධාර ලැබීමට තමාට අයිතියක් තිබුණත් එය ප්‍රතික්‍ෂේප කළ බව ඔහු පවසන්නේ. ඔහු තමාගේ අවශ්‍යතා පමණක් නොව ඔහු සමඟ සිටි අනෙක් අයගේ අවශ්‍යතාද සපයා දුන්නේය. ඔහුට "දෙන්නෙකු" වීමට "උපරිම" ආකල්පයක් තිබුණි! සභාව ගොඩනැගීමේදී දෙවියන් වහන්සේට ඔහුව උපරිමයෙන් භාවිතා කළ හැකිවූවේ එබැවිනි.

බොහෝ අය දෙන්නන් වීමට අකමැති වීමට හේතුව, යේසුස් වහන්සේ පසුව මතෙව් 20:22-23 හි පැහැදිලි කළ පරිදි, එයට කැපවිම ඇතුලත්ය - "දුක් විඳීමේ කුසලානක්". නමුත් සභාව ගොඩනැගිය හැක්කේ කැපවීම තුලින් පමණි. එබැවින්, අපවටා සභාව තුල අවශ්‍යතා දකින පරිදි, පිපාසයෙන් පෙළෙන මිනිසුන් ලෙස දෙවියන් වහන්සේ වෙතට පැමිණ, අපගේ අභ්‍යන්තරයේ ගැඹුරින් උන් වහන්සේගේ බලයෙන් අපව පුරවන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. එම අභ්‍යන්තර ස්ථානයෙන් ජීවමාන ජල ගංගා ගලා බසිනු ඇත (යොහන් 7:37-38) එය අප අවට වියළි බිමට වතුර දමා සභාව ගොඩනඟනු ඇත.

පරිච්ජේදය 8
සභාව කඩා බිඳ දැමීම - චෝදනා කරන්නෙකු ලෙස

අඥාන (ස්ත්‍රී තොමෝ) තමාගේම අත්වලින් (තම ගෙය) කඩාදමයි (හිතෝපදේශ 14:1).

නිවසක් කඩා දැමිය හැකි ක්‍රම දෙකක් ගැන බයිබලයේ කතා කරයි. එකක් නම්, ශක්තිමත් අත්තිවාරමක් නොමැති අඥාන ගොඩනගන්නාගේ නිවසට පහර දෙන කුණාටු මගිනි (මතෙව් 7:26-27). අනෙක නිවස තුළ ජීවත් වන අඥාන පුද්ගලයෙකු විසින් නිවස කඩා වැටෙන තුරු "ගඩොලින් ගඩොල" ඉවත් කිරීමයි (හිතෝපදේශ 14: 1 පණිවිඩාත්මක පරිවර්තනය).

මම ඉතිහාසය පුරා සහ අද ලෝකයේ සභා නිරීක්‍ෂණය කරන විට, පිටතින් එල්ල වන ප්‍රහාරවලට වඩා, එහි සාමාජිකයන් විසින්ම කඩා බිඳ දැමීමෙන් සභා විනාශ වී ඇති බව මට පෙනේ. ඇත්ත වශයෙන්ම, සාතන් බාහිර බලවේග හරහා සභාවටට පීඩා කළ විට, එය සාමාන්‍යයෙන් සභාව පිරිසිදුව ආරක්‍ෂා කරගැනීමට උපකාර කළ සේවයක් පමණි. එබැවින්, සභාව ඇතුළත සිට විනාශ කිරීමේ කාර්‍යය කිතුනුවන්ටම කිරීමට ඉඩ දීම ගැන සාතන් සෑහීමකට පත්වේ. මේ අනුව දෙවියන් වහන්සේගේ සභාවේ පිළිබිඹුවක් ගොඩනගන පිණිස, රැස්වූ සෙනඟක් සහ කිතුනු සමාජයක් තුළින් පවා යම් ප්‍රදේශයකට ඇදහිලිවන්තයන් ප්‍රමාණයක් පිටතට ගැනීමට උන්වහන්සේට හැකිවුවද, මේ සභාවේ සාමාජිකයන් සාතන් වෙනුවෙන් උගේ කාර්‍යය කිරීමට කැමති නම්, සාතන්ට තාමත් ඒ වැඩේ ඇතුලෙන් පටන්ගෙන පිටත දක්වා කාදැමීමට පුළුවනි.

ආත්මික සභාවක පවා මෙය කිරීමෙන් යක්‍ෂයාට සාර්ථක විය හැකිද? නිසැකවම! ඔහු එය ආරම්භ කළේ ස්වර්ගයේදීමය - දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහිමය - ඔහු කැරැල්ලේදී ඔහු සමඟ දේවදූතයන්ගෙන් තුනෙන් එකක් සාර්ථකව ඉවත් කළ විට (එළිදරව් 12:4), ඔවුන් නපුරු ආත්මයන් බවට පත්වීමට හේතුවූ අවස්ථාවේදි. පළමු ශතවර්‍ෂයේ සභාව මෙය බොහෝ වාරයක් ම්ලේච්ඡ වෘකයන් ලෙස (ක්‍රියා 20:30) සහ තඹකරු ඇලෙක්සැන්ඩර් (2 තිමෝති 4:14-15) සහ දියොත්‍රෙපස් (3 යොහන් 1:9-10) වැනි මිනිසුන් ගෙන් අත්විඳ ඇත.

මෙය වළක්වා ගැනීම සඳහා, සභා ඉරා දමන මෙම ගැටුම්වල මූලාරම්භය අප හඳුනාගත යුතුය. යාකොබ් 3:13-4:1 මෙය හොඳින් පැහැදිලි කරයි. එවැනි ගැටුම්වල මූලාරම්භය තමන්ව සතුටු කරගැණීමේ ආශාවයි (4:1), එය තික්ත ඊර්‍ෂ්‍යාවෙන් සහ ආත්මාර්ථකාමී අභිලාෂයකින් ප්‍රකාශ වේ (3:14), අවසානයේදී සභාව පුරා ව්‍යාප්ත වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අක්‍රමිකතා සහ අනෙකුත් සෑම ආකාරයකම නපුර සිදුවේ.(3:16). තිත්තකම තවදුරටත් මුලක් වන විට (හදවතේ සහ සිතිවිලිවල) ඒ ගැන ක්‍රියා කිරීමට වගබලා ගන්නා ලෙස හෙබ්‍රෙව් 12:15 හි අපට අනතුරු අඟවන්නේ එබැවිනි, මන්ද එය ඇත්ත වශයෙන්ම මතු වුවහොත් එය බොහෝ දෙනෙකු අපවිත්‍ර කරයි.

අපට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව සැලකිල්ලට ගැනීම වැදගත්‍ ය (හිතෝපදේශ 14:1 මත පදනම්ව): අපි එක්කෝ ක්‍රියාශීලීව සභාව ගොඩනඟන්න යනවාද, නැතහොත් අපි එය කඩා දැමීමට යනවාද. සභාවක් ක්‍රියාශීලීව ගොඩනැගීම ප්‍රේමය තුළින් සිදුවේ (1 කොරින්ති 8:1). මෙයින් අදහස් කරන්නේ සභාව තුළ අප එකිනෙකාට ප්‍රේම කරන බව පැවසීම පමණක් නොව, එතුල සැබවින්ම ජීවත්වීමයි (1 යොහන් 3:18) සහ ඒ ගැන කුහක නොවීම (රෝම 12:9). අපගේ ප්‍රේමයේ ගුණාත්මක භාවය පරීක්‍ෂා කරනු ලබන්නේ විශේෂයෙන්ම එකඟ නොවීම් හෝ ගැටුම් ඇති වන අවස්ථාවන්හිදී, යේසුස් වහන්සේ කළාක් මෙන් සභාව වෙනුවෙන් අපගේ " ස්ව කැමැත්ත කිරීමේ ජීවිතය" අත්හැරීමෙන් අපට සැබෑ ප්‍රේමයක් ඇති බව ඔප්පු කරන විටයි (එපීස 5:25). මෙයින් අදහස් කරන්නේ යේසුස් වහන්සේ අප වෙනුවෙන් කරන ආකාරයට සභාවේ අන් අය වෙනුවෙන් මැදිහත් වීමයි (හෙබ්‍රෙව් 7:25).

එළිදරව් 12:10 හි, යක්‍ෂයා "සහෝදරයන්ට චෝදනා කරන්නා" ලෙස හැඳින්වේ. සභාව කඩා දැමීම සිදුවන්නේ සභාවේ සාමාජිකයන් ඔහු සමඟ එකතුවී වෙනත් ඇදහිලිවන්තයන්ට චෝදනා කරන විටය. බැබිලෝනියේ වහල්භාවයෙන් ආපසු පැමිණීමෙන් පසු යෙරුසලමේ දේවමාළිගාව නැවත ගොඩනැඟීම සඳහා දෙවියන්වහන්සේගේ සෙනඟට නායකත්වය දීම සඳහා කැඳවූ කළ තරුණ අනාගතවක්තෘවරයෙකු වූ සෙකරියාගේ ජීවිතය තුළ අපි මේ පිළිබඳ පින්තූරයක් දකින්නෙමු. සෙකරියා 3:1-5 හි, අපි දකිනවා උත්තම පූජක යෝෂුවා අපිරිසිදු වස්ත්‍රවලින් සැරසී සිටින අතර සාතන් ඔහුට චෝදනා කිරීමට ඔහු අසල සිටගෙන සිටීම. ස්වාමින්වහන්සේ යෝෂුවාගේ අපිරිසිදු වස්ත්‍ර ඉවත් කිරීමටත් පෙර, උන්වහන්සේ මුලින්ම සාතන්ට තරවටු කළසේක. ඉන්පසු ස්වාමින්වහන්සේ යෝෂුවාගේ අපිරිසිදු වස්ත්‍ර වෙනුවට අලංකාර අලුත් වස්ත්‍ර ලබා දුන්සේක. නමුත් සෙකරියා එහි සිටියේ ඇයි? ඔහු ගන්නේ කුමන පැත්තද යන්න පරීක්‍ෂා කිරීමකි - චෝදනා කරන්නාගේ පැත්ත හෝ මැදිහත්කරුගේ පැත්ත. දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනඟන්නෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි සෙකරියා අපට පෙන්වා දෙයි. යෝෂුවා අලංකාර, අලුත් ඇඳුම් ඇඳගත් විගස, සෙකරියා ඔහුගේ හිස මත හිස්වැසුම් පැළඳීමට ඉල්ලා ඔහුව තවත් තේජවත් කිරීමට තීරණය කරයි.

අද, අපි දෙවියන් වහන්සේගේ වාසස්ථානයක් ලෙස සභාව ගොඩනැගීමට උත්සාහ කරන විට එම පරීක්‍ෂණයට මුහුණ දෙන්නෙමු. එක් අතකින්, යක්‍ෂයා අපට ආරාධනා කරන්නේ ඔහුගේ "කඩා දැමීමේ" සේවයේ කොටස්කරුවන් වීමටත් අන් අයට එරෙහි සිතුවිලි වලට අපගේ හදවත් තුළ මූලයක් සොයා ගැනීමට ඉඩ දීමෙනි . අනෙක් අතට, යේසුස් වහන්සේ අපට ආරාධනා කරන්නේ අන්‍යයන් වඩාත් තේජාන්විත කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් මැදිහත් වීමට තෝරා ගැනීමේදී උන්වහන්සේගේ “ගොඩනැඟීමේ” සේවයේ කොටස්කරුවන් වන ලෙසයි - උන්වහන්සේ නිරන්තරයෙන් කරන පරිදි (හෙබ්‍රෙව් 7:25). පාපය ඇති තැන පවා අපගේ ඉලක්කය විය යුත්තේ "අපේ සහෝදරයා දිනාගැණීමයි" (මතෙව් 18:15). මෙතුල සත්‍ය වශයෙන්ම ජීවත් වන්නාවූ සභාව, ඔවුන් මධ්‍යයේ යේසුස්වහන්සේව තබාගන්නා අතර, එමගින් අන්ධකාරයේ සියලු බලයන්ට එරෙහිව සම්පූර්ණ අධිකාරියක් ලබාගනු ඇත (මතෙව් 18:18-20).

පරිච්ජේදය 9
සභාව රැකබලා ගැනීම - එඬේරෙකු ලෙස

ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් වූ නිසා උන්වහන්සේ ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක (මතෙව් 9:36)

මතෙව් 9:37-38 හි යේසුස්වහන්සේ පැවසුවේ ලෝකයේ බහුල අස්වැන්න නෙළා ගැනීමට වැඩකරුවන් සිටින්නේ ඉතා ස්වල්පයක් බවයි. අස්වැන්න නෙළන කුඹුරුවලට වැඩකරුවන් පිටත් කර හරින ලෙස යාච්ඤා කරන්නැයි ඉන්පසුව උන්වහන්සේ අපට කීසේක. බොහෝ අය මෙම පදය භාවිතා කරන්නේ යම් එවැන්ජලිස්ත ප්‍රකාශන වැඩකටයුතු ඉක්මන් කිරීමට මිනිසුන්ව චිත්තවේගීයව ඇවිස්සීමෙන් ගෙනඒම සඳහාය. කෙසේ වෙතත්, අපි 36-38 පද එකට කියවන විට, යේසුස් වහන්සේ "වැඩකරුවන්" ගැන කතා කරන විට හරියටම අදහස් කළේ කුමක්දැයි අපට පෙනේ.

යේසුස් වහන්සේ සමූහයා දෙස බැලූ විට, දේශනා කරන්නන් සහ ගුරුවරුන්ගෙන් අඩුවක් නැති මිනිසුන් (පරිසිවරුන් සහ ලියන්නන් බොහෝ දෙනෙක් සිටි නිසා) උන් වහන්සේ දුටුසේක. රැස්වීම්වල අඩුවක් නැත (සබත් දිනයේ මෙන්ම වෙනත් කාලවලදීද ජනයා සිනගෝගවලදී රැස් වූහ); හා හාස්කම්වල අඩුවක් නැත (උන්වහන්සේ ඒ වන විටත් ඔවුන් මැද බොහෝ ආශ්චර්‍යයන් කර තිබුණි). ඔවුන්ට අඩුවක් වූයේ එඬේරුන්‍ ය.

අද දවසේදීද එය එසේමය. අපි ජීවත් වන්නේ බයිබලය සහ මූලධර්ම ඉගැන්වීම් මුද්‍රිත ආකෘතියෙන්, අන්තර්ජාලය තුළ, ස්මාර්ට් ෆෝන් ආදියෙන් පහසුවෙන් ලබා ගත හැකි යුගයක වන අතර, සෑම සභාවලම පාහේ සතිය තුළ කිහිප වතාවක් සභා රැස්වීම් පවත්වනු ලැබේ. නමුත් දෙවියන් වහන්සේ තවමත් සොයමින් සිටින්නේ ඔවුන්ගේ දැඩි ආත්මාර්ථකාමී හදවත බිඳ දමා මෘදු එඬේරෙකුගේ හදවතකින් එය ප්‍රතිස්ථාපනය කිරීමට උන්වහන්සේට ඉඩ දෙන නායකයන්‍ ය.

බොහෝ කලකට පෙර යෙරෙමියා 3:14-15 හි, දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ සභාවේ ("සියොන්") වැදගත් ලක්‍ෂණ දෙකක් පෙන්වූ සේක: (1) ඔවුන් විවිධ නගර සහ පවුල්වල අහක්ව විසිරීගිය පුද්ගලයින් වනු ඇත, (2) පසුව උන්වහන්සේ ඔවුන්ට තමන්වහන්සේගේම වැනි හදවතක් ඇති එඬේරුන් ලබා දෙනු ඇත. එසේනම්, “දෙවියන්වහන්සේගේම සිත ඇති එඬේරෙක්” වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

එවන් එඬේරෙකුට ක්‍රිස්තුස්වහන්සේගේ දයානුකම්පාව තිබෙනු ඇත. මෙය හුදෙක් මානව අනුකම්පාවකට වඩා වැඩිය. මෙම දයානුකම්පාව යනු යක්‍ෂයා විසින් මිනිසුන්ට "හිරිහැර කර බිම හෙළනු" දැකීම මගින් පෙලඹෙන අධ්‍යාත්මික චිත්තවේගයකි (මතෙව් 9:36). මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ ශාරීරික හෝ චිත්තවේගීය සුභසාධනයට වඩා ඔවුන්ගේ අධ්‍යාත්මික සුභසාධනය සඳහා වැඩි සැලකිල්ලක් දැක්වීම සහ ප්‍රේමයෙන් නිර්භීතව සත්‍යය කථා කිරීමට කැමැත්තෙන් සිටීමයි.

එවැනි එඬේරෙක් අපහසුතාවයට පත් වීමට කැමති වනු ඇත. යේසුස් වහන්සේගේ ජීවිත කාලය පුරාවටම අපට පෙනෙන්නේ පියාණන් වහන්සේ උන් වහන්සේට මඟ පෙන්වූ පරිදි, සැතපුම් සිය ගණනක් ඇවිදීම, එළිමහනේ නිදා ගැනීමට සිදු වීම, ආහාර වේලක් මග හැරීම යනාදී වුවද, උන්වහන්සේ සැමවිටම ගියසේක. ප්‍රසිද්ධ සිනගෝගයේ නිලධාරියාට (මතෙව් 9:18-19) මෙන්ම ලේ ගැලීම ඇති කාන්තාව වැනි දුගීන් සඳහා උන්වහන්සේ වෙනසක් නොමැතිව සැලකූ සේක (මතෙව් 9:20-22).යේසුස් වහන්සේ ජීවත් වී මිය ගියේ "තමන්ගේම යහපත ගැන සිතීමකින් තොරවය" (යෙසායා 53:8 පණිවිඩාත්මක පරිවර්තනය) - සැබෑ එඬේරුන් යනු මේ ආකාරයෙන් ජීවත්වී උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කරන අයයි.

එවැනි එඬේරෙකු මධ්‍යම ප්‍රතිපදාවෙන් තොරව සත්‍යය උදෙසා නැඟි සිටිනු ඇත. යුදෙවිවරුන්ව බබිලෝනියේ වහල් කමට රැගෙන ගිය අවස්ථාවේ, එක් තරුණයෙක්වූ දානියෙල් තම හදවතින් සිතා ගත්තේ දෙවියන්වහන්සේගේ ප්‍රමිතීන් පහත් නොකිරීමටයි(දානියෙල් 1:8). ඔහුගේ සන්සුන් නිර්භීතකමේ එඬේරකම තමන් සමඟ සිටි තිදෙනෙකුට නිර්භීත ස්ථාවරයක් ගැණීමට මඟ පෙන්විය(දානියෙල් 1:11).

එවැනි එඬේරෙකු අන්‍යයන්ගේ ප්‍රීතිය සහ ඔවුන්ගේ ඇදහිල්ල තුළ උදව්කරුවෙකු වීමට ශුද්ධාත්මයාණන් සමඟ හවුල් වනු ඇත. පාවුලු තුමා එය විස්තර කරන්නේ මේ ආකාරයටයි: " අප ඔබේ භාරකරුවන් ලෙස, සැක සහිත ලෙස විවේචනාත්මකව, නිතරම කළකිරීමෙන් යුක්තව, ඔබ ඇදහිල්ලෙන් ජීවත් වන්නේ කෙසේද යන්න බලමින් නොසිටිමු. අපි හවුල්කරුවන්ව, ඔබ සමඟ වැඩ කරමින්, ප්‍රීතියෙන් බලා සිටින්නෙමු. ඔබ අපගේ ඇදහිල්ල මත නොව ඔබේම ඇදහිල්ල මත සිටින බව මම දනිමි" (2 කොරින්ති 1:24 පණිවිඩාත්මක පරිවර්තනය).

එවැනි එඬේරෙකුට ආත්මික අධිකාරියක් ඇත. මෙය දෙවියන් වහන්සේට පමණක් සහතික කළ හැකි දෙයක් වන අතර, එය පැමිණෙන්නේ "මේ ලෝකයේ කුමාරයා" (සාතන්) පැමිණෙන විට, අපගේ ජීවිතයේ ඔහුට පය තබන්නට අවකාශයක් නොමැත"යන සත්‍යථාවයෙනි (යොහන් 14:30).

එවැනි එඬේරෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සම්පූර්ණ ශුභාරංචිය දේශනා කිරීමට අනිවාර්‍යය කෙරේ. බොහෝ දේශකයන් ජනප්‍රිය මාතෘකා ගැන කතා කිරීමට කැමති වන අතර ඔවුන්ට සවන්දෙන්නන්ගේ කන් පිණවීමට ආශා කරන්නෝය (2 තිමෝති 4:3-4). එවැනි මිනිසුන් එඬේරුන් නොවේ. අනෙක් අතට, පාවුල් තුමා ඔහුගේ කැඳවීම කෙතරම් බැරෑරුම් ලෙස සැලකුවාද යත්, ඔහු පැවසුවේ "දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය" ප්‍රකාශ නොකළහොත් ඔහුගේ අත්වල ලේ තැවරෙනු ඇති බවයි (ක්‍රියා 20:26-27).

එවැනි එඬේරෙක් බැටළුවන් වෙනුවෙන් තම ජීවිතය පූජා කරයි. මෙයින් අදහස් කරන්නේ ඔහු තම මනාපයන්, ඔහුගේ අවශ්‍යතා, ඔහුගේ සැපපහසුකම් හෝ ඔහුගේ න්‍යාය පත්‍රය අත්හැරීමට සිදුවූවද, ඔහු අවසානය දක්වාම නොබියව බැටළුවන් සමඟ සිටින බවයි. යේසුස් වහන්සේ මෙම එඬේර හදවත හා, යම් යම් අපහසුතා හෝ කරදරකාරී තත්ත්වයන් පැමිණි විට, බැටළුවන් ගැන සැලකිල්ලක් නොදක්වා බැටළුවන් අත්හැර පලා යන කුලීකරුවෙකුගේ හදවත අතර ඇති වෙනස පෙන්වා දුන්සේක (යොහන් 10:11-13). පාවුල් තම සහකාර සේවකයන්ගේ ජීවිත පරීක්‍ෂා කර බැලූ විට, ඔවුන් සියල්ලන්ම අවසානයේ සොයන්නේ තමන්ගේම අවශ්‍යතා බව ඔහුට වැටහුණි. එඬේරෙකුගේ හදවත තිබීම තුළ තිමෝතිට පමණක් ඔහුගේම වැනි ඥාති ආත්මයක් තිබුණේ ඔහු රැළේ සුභසාධනය ගැන අවංකවම සැලකිලිමත් වූ බැවිනි (පිලිප්පි 2:19-21).

අප වෙනුවෙන් යන්නේ කවරුන්ද ?

මට මතකයි මීට වසර ගණනාවකට පෙර, ස්වාමින් වහන්සේ මගෙන් විමසුවේ මා යටත් වූ එඬේරුන් කවුරුන්ද, මගේ ආත්මය දෙස බලා සිටි අය කවුද, මගේ ජීවිතය ගැන ප්‍රීතියෙන් පිළිතුරු දිය හැකි අය කවුද යන්නයි (හෙබ්‍රෙව් 13:17). මම යේසුස්වහන්සේගේ ජීවිතය තුළ ආදර්ශය දුටුවෙමි. උන්වහන්සේට යටත් වන ලෙස පියාණන් ඉල්ලා සිටි සෑම අධිකාරියකටම විශ්වාසවන්තව යටත් වූ නිසා - විශේෂයෙන් උන්වහන්සේගේ පළමු අවුරුදු තිහ තුළ - සැබෑ ආත්මීක අධිකාරියක් උන්වහන්සේට තිබුණි (මතෙව් 8:8-9). මා එය දුටුවේ මෙම ආත්මීක අධිකාරිය තුළිනි; පහර කා ලේ ගැලුවත්, පිලාත් තමන්ට කොතරම් බලයක් තිබේදැයි කියා යේසුස්වහන්සේව බිය ගැන්වීමට උත්සාහ කළ විටදීද, යේසුස්වහන්සේ සන්සුන්ව පැවසු වදන් තුළින්, "ඉහළින් ඔබට ලබා දුන්නේ නම් මිස, මා කෙරෙහි ඔබට අධිකාරියක් නැත" (යොහන් 19:10) යේසුස්වහන්ට පිලාත් ඉදිරියේ පවා නිර්භීතව නැගී සිටිය හැකි බව මම දුටුවෙමි.

මෙම ශුද්ධ ලියවිලිවල සත්‍යය දැකීමට මගේ හදවතේ දෑස් විවර වූ විට, දෙවියන් වහන්සේ මට එවැනි සැබෑ එඬේරුන් ලබා දෙන සියොන් නම් සභාව සොයා ගැනීමට මා තුළ ගින්නක් ඇවිළුණි. ගෙවිය යුතු භූමික මිලය - නෑදෑයන්, රැකියාව යනාදිය කුමක් වුවත් - ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැගීමට මම මුළු හදවතින්ම කැපවීමට තීරණය කළෙමි.

යෙසායාත් සමග වූවාක් මෙන්, දෙවියන් වහන්සේ සියලු පාපයෙන් මා පවිත්‍ර කර මා බිඳ දැමූ පසු, උන්වහන්සේ මගෙන් ඇසුවේ, "මම කාව එවන්නේද, අප වෙනුවෙන් යන්නේ කවුද?" (යෙසායා 6:8).

මා ඉදිරියේ ඇති කාර්‍යයේ තත්වයන් කුමක් වුවත්, 2007 දී මා ගත් එම තීරණය ගැන මම කිසිවිටක දුක්වී නැත.

බබිලෝනියේ රැස්වූ කිතුනු සෙනග සහ කිතුනු සමාජ ශාලා වලින් පිටතට පැමිණ ආත්මීක "සියොන්" හි උන්වහන්සේගේ සභාව ගොඩනඟන්න යන දෙවියන්වහන්සේගේ කැඳවීම ඔබට අද ඇසෙන්නෙ නම්, ඔබේ පිළිතුරද, "මෙන්න මම ස්වාමිනි, මාව යවන්න!" යන්න වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

ආමෙන්.