Download Formats:

පරිච්ජේදය
හැඳින්වීම

බලාපොරොත්තු රහිත අසමත් වූ කෙනෙකු ලෙසද ඔබ ඔබව දකින්නේ? දෙවියන් වහන්සේව සතුටු කරන පිණිස ඔබ ගත් උත්සාහයන් හි දී ඔබ නැවත නැවත අසමර්ථ වූයේද? ඔබ ඔබගේ ජීවිතය අවුල් ජාලාවක් කරගෙනද සිටින්නේ? ඔබ ජයග්‍රාහී ජීවිතයක් ගත නොකරන නමුත් එසේ ජීවත් වන බවට මූනිච්චාවෙන් ජීවත් වීමෙන් වෙහෙසට පත්ව ද සිටින්නේ?

දෙවියන් වහන්සේගේ දරුවන්ගේ අසමත්වීම් තුලදී පවා උන්වහන්සේට ඉෂ්ඨ කරන පිණිස මහිමාන්විත වූ අරමුණක් ඇත්තේය යන්න විශ්මජනක සත්‍යයකි.

ඔබ අතීතයේදී කළ වැරදි කුමක් වුවද, අද ඔබට දෙවියන් වහන්සේ සමග නව ආරම්භයක් ලබා ගත හැකිය. ඔබ පසුගිය කාලය තුල දහස් වාරයක් ආරම්භයන් ගෙන ඒ සෑම වාරයකදීම අසමත් වුවද අද ඔබට නැවතත් 1001 වන ආරම්භය ගත හැකිය.

ඔබගේ ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම ඉෂ්ඨ කිරීමට උන්වහන්සේට තවමත් හැකිය.

දෙවියන්වහන්සේ උන්වහන්සේගේ බොහෝ දරුවන්ට හාස්කම් නොකරන්නේ නම් ඒ ඔවුන් අතීතයේදී උන්වහන්සේ ඉදිරියේ අසමත් වූ නිසා නොව නමුත් අද ඔවුන් උන්වහන්සේව විශ්වාස නොකිරීම හේතුවෙනි.

ඔබ ඔබේම උත්සාහයන්හි අවසානයට පැමිණ “අත්හැර දැමීමට” සිතන්නේ නම්, එසේනම් ඔබට මේ පොත තුල දිරිගන්වනසුළු වචනයක් ඇත.

දිගටම කියවන්න........

පරිච්ජේදය 1
මනුෂ්‍ය අසාර්ථකය තුළ දේව අභිප්‍රාය

(2000 අප්‍රියෙල් 9 වන ඉරිදා, ඉන්දියාවේ බැංගලෝර්හි ක්‍රිස්තියානි සහෝදර මධ්‍යස්ථානයේදී සිදු කරන ලද දේශනයකි).

බයිබලයේ ශු: ලූක් ශුභාරංචියේ 22වන පරිච්ඡේදයේ 31 ක් වන පදය නිරීක්‍ෂණය කරමු. මෙහිදී, ඉදිරියට ඇති වන්නට යන භයානක තත්වයක් ගැන යේසුස් වහන්සේ විසින් පේත්‍රැස්ට අනතුරු ඇඟවීමක් කරනු ලබයි. "සීමොන්, සීමොන්, බලව​, නුඹ ගෝධුම මෙන් පොළන්ට සාතන් ඉල්ලුවේය​. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාච්ඤා කළේමි. නුඹ නැවත හැරුණායින් පසු නුඹේ සහෝදරයන් ස්ථීර කරපන්නැයි" යේසුස් වහන්සේ ඔහුට කීසේක​.

මෙම රාත්‍රියේදීම, පේත්‍රැස් තම ස්වාමින් වහන්සේ නාඳුනන බව තෙවරක් ප්‍රකාශ කළ බව අපි දනිමුව​. 34 වන පදයේ යේසුස් වහන්සේ පේත්‍රැස්ට මෙසේ පැවසූ සේක, " පේත්‍රැස්, නුඹට කියමි - නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැත".

මෙම අවස්ථාවේදී මට ඔබ සමඟ බෙදා ගැනීමට අවශ්‍ය කාරණය නම් මෙයයි. මනුෂ්‍යයාගේ අසමත් වීම තුළ දෙවියන් වහන්සේගේ අරමුණක් ඇත ​. තමන්ගේ අසමත් වීම් තුළ බලාපොරොත්තුවක් ඇති කරන්නට නොහැකිව​, අධෛර්‍යමත්ව කලකිරීමෙන් සිටින සියලු දෙනාට මෙය ප්‍රබෝධයට කරුණක් වනු ඇත​.

මූලික ප්‍රශ්නය නම් මෙයයි: අසමත් වීමට දෙවියන් වහන්සේ ඉඩ සළසන සේක්ද​? එයට උන්වහන්සේගේ අවසරය තිබේද​? අසමර්ථය තුළ යම් පරමාර්ථයක් තිබේද? එසේත් නැතිනම් අසමත් වීම දෙවියන් වහන්සේගේ පූර්ණවූ කැමැත්ත සම්බන්ධයෙන් අදාල නොවූ කරුණක් හෝ උන්වහන්සේගේ ඉදිරි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට නොහැකි දෙයක්ද​?

මෙම පද වලින් අපට පෙනෙන්නට තිබෙන කාරණයක් වන්නේ, දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමෙන් පේත්‍රැස්ව නොවැළැක්වූ බවයි. "පේත්‍රැස් නුඹට එක් වරක් හෝ මාව ප්‍රතික්‍ෂේප නොකර සිටීමට මම නුඹ වෙනුවෙන් යාච්ඤා කළෙමි" කියා යේසුස් වහන්සේ ප්‍රකාශ නොකළේ ඇයි? පේත්‍රැස් සිටියාවු තත්වයෙන් පහළට වැටුනත්, පේත්‍රැස්ගේ ඇදහිල්ල පමණක් නොසෙල්වෙන පිණිස, යේසුස් වහන්සේ යාච්ඤා කළේ ඇයි? පේත්‍රැස් නොවැටෙන පිණිස උන්වහන්සේ යාච්ඤා නොකළ කාරණය අප විමසිය යුතු දෙය ක් නොවන්නේද?

අප කිසි දිනක නොවැටෙන පිණිස ස්වාමින් වහන්සේ අප ගැන යාච්ඤා කරනවා නම්, ඒ ගැන අපි සතුටු වමු. ස්වාමින් වහන්සේ අප ගැන මෙලෙස යාච්ඤා කරනවාට අපි බොහෝ කැමැති වමු. "මාගේ පුත්‍රය​, දියණිය​, නුඹ කිසි දිනක නොවැටෙන පිණිසත්, අසමත් නොවන පිණිසත් මම යාච්ඤා කළෙමි". නමුත් මෙවැනි යාච්ඤාවක් ස්වාමින් වහන්සේ අප ගැන සිදු කරන්නේ නැත​.

යේසුස් වහන්සේ සීමොන් ගැන යාච්ඤා කළේ කෙලෙසද​? සාතන් ඔහුව පරික්‍ෂා කරන කල ඔහුගේ ඇදහිල්ල නැති නොවන ලෙසය​. ස්වාමින් වහන්සේ, පේත්‍රැස් පරික්‍ෂාවට අසු නොවන පිණිස යාච්ඤා කළේ නැති නමුත්, ඔහු පරික්‍ෂා කරනු ලබන අතරදී දෙවියන් වහන්සේගේ පරිපූර්ණ ප්‍රේමය තුළ වූ ඔහුගේ ඇදහිල්ල නොසෙල්වෙන පිණිස උන්වහන්සේ යාච්ඤා කළ සේක​. තවද එසේ පේත්‍රැස් තුමා‍ මුළුමනින්ම අසාර්ථකත්වයේ පතුලට කිදා බැස්ස කළදී පවා "දෙවියන් වහන්සේ තවමත් මට ප්‍රේම කරන සේක" යනුවෙන් ඔහු පවසන පිණිසය.

ඇදහිල්ල යනුවෙන් හැඳින්වනුයේ එවන් දෙයටය. එනම් අප කොතරම් පහත් තත්ත්වයකට ඇද වැටී කිදා බැස සිටින නමුදු අප සිටින ආකාරය තුළදීම " දෙවියන්වහන්සේ තවමත් අපට ප්‍රේම කරන සේක" නුවෙන් අපගේ සිත් සහ තොල් වලින් නිතර කෙරෙන ප්‍රකාශයයි.

අකීකරු පුත්‍රයාගේද ප්‍රකාශනය මෙය විය​. ඔහු, තවත් එහාට යන්ට බැරි අන්තිම පහත් තත්වයට වැටුණු විට​, ඔහුගේ පියා තවමත් ඔහුට ප්‍රේම කරන බව ඔහු විශ්වාස කළේය​. ඌරන් කන කෑම අනුභව කිරීමට තරම් අකීකරු පුත්‍රයා වැටුණු පහත් අඩියට තවත් කෙනෙකුට යන්ට පුළුවන්ද කියා මට සිතාගත නොහැකිය​. මෙම තරුණයා ජීවිතේ වැටීමට හැකි අන්තිම අඩියට වැටුණේය​. එසේ වුණු කල, ඔහුට එක දෙයක් සිහිපත් විය​. එය නම් ඔහුගේ පියා ඔහුට තවම ප්‍රේම කරන බවය. එසේ නොවූයේ නම්, ඔහු කිසිදා නැවත තම නිවසට නොපැමිණෙනු ඇත​. ඔහුගේ පියා මරණයට පත් වී තම වැඩිමහල් සහෝදරයා දැන් නිවසේ ප්‍රධානියා බව ඔහුට අසන්නට ලබුණේ නම්, ඔහු නැවත නිවසට පැමිණෙනු ඇත කියා ඔබ සිතනවාද​? නැත​. ඔහුගේ වැඩිමහල් සහෝදරයාගේ ස්වභාවය ඔහු දැන සිටියේය​. ඒ දැනුම මත ඔහු කිසිදා නැවත පැමිණෙන්නේ නැත​. ඔහු නැවත නිවස වෙත පැමිණියේ ඔහුගේ පියා ඔහුට තවම ප්‍රේම කරන බව දැන සිටි නිසාය​.

සමහර පව් කරුවන් සභාවලට නොපැමිණීමට හේතුව වන්නේ, එම සභාවන් වල සභාපාලකවරුන් සහ වැඩිමහල්ලන් අකීකරු පුත්‍රයාගේ වැඩිමහල් සහෝදරයාගේ ස්වභාවය ඇතුව සිටින බවට සිතාගෙන සිටින නිසා විය හැක​. මෙම පව් කරුවන්ගේ නොපැමිණීමට අපට දොස් කීමට බැරිය​. නමුත් සභාවේ නායකයන් සිද්ධියේ සඳහන් පියාගේ ස්වභාවය ඇතුව සිටිනවා නම්, යේසුස් වහන්සේ වෙතට බොහෝ අය පැමිණෙනවාසේම, අන්ත පව් කරුවන් බොහෝ දෙනෙක් ගැළවීම සොයාගෙන සභාව වෙත පැමිණෙනු ඇත​. අපගේ සභාව තුළ මෙවැනි ප්‍රතිරූපයක් තිබිය යුතු වන්නේ අන්ත පව්කරුවන්ට පවා අප වෙතට පැමිණීමට නිදහස් හදවතක් ඇතිවීම පිණිසය​. යේසුස් වහන්සේ අප මධ්‍යයේ සැබැවින්ම වැඩ​ වාසය කරන්නේ නම් දරුණු අපරාධකාර පව්කරුවන් ගැළවීම සොයාගෙන අප වෙතට පැමිණ අප මධ්‍යයෙහි ගැලවීම ලබා ගනු ඇත.​

ජීවිතයේ කාරණා ගැන අසමත්වී, ජීවිත අවුල් භාවයට පත්වී, පහත්ම අඩියට වැටී සිටින සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් තිබේ. ඔබ ඉන්නාවූ තත්වය තුළ ඔබ රැගෙන මහිමයේ උසස් මට්ටමකට ඔබව ගෙන ඒමට ස්වාමින් වහන්සේට පුළුවන​. අප උදෙසා උන්වහන්සේගේ යාච්ඤාව වන්නේ - "දෙවියන් වහන්සේගේ ප්‍රේමය තුළ අපට ඇති ඇදහිල්ල කිසිදා නැති නොවන පිණිසය​".

ප්‍රිය සහෝදරය සහෝදරිය​, ඔබට මෙම පණිවිඩය අදට අවශ්‍ය නොවන බව සිතුවත්, ඉදිරි දිනකදී ඔබ ජීවිතයේ පහත්ම අඩියකට වැටුණු අවස්ථාවකදී මෙය ඔබට අවශ්‍ය වනු ඇත​. එවැනි දිනකදී මෙම කාරණය මතක තබා ගන්න - ඔබ කුමන අවථාවක සිටියත්, කුමන පහත් අඩියකට වැටී සිටියත්, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන බවයි.

ඇදහිල්ල යනු මූලිකවම දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බව විශ්වාස කිරීමයි .

උන්වහන්සේ අපගේ පාපයට ප්‍රේම නොකරන අතර​, අප පාපය තුළ රැඳී සිටීම උන්වහන්සේ අකමැති කාරණයකි. පියෙක් තම දරුවා රෝගාතුරව සිටියදී, රෝගයට ද්වේෂ කරමින් දරුවාට ප්‍රේම කරනවා ලෙසම, දෙවියන් වහන්සේ අප සම්බන්ධවද එලෙස ක්‍රියා කරන සේක​. කුෂ්ඨ රෝගය හෝ ක්‍ෂය රෝගය වැලඳුනු දරුවකුගේ මවක් ගැන සිතන්න​. මව දරුවාට බොහෝ ප්‍රේම කරන අතර​, ඇගේ මුළු සිතින් රෝගයට ද්වේෂ කරන්නීය​. දෙවියන් වහන්සේත් එලෙසම පව්කරුවාට ප්‍රේම කරන අතර​, ඔහු තුළ තිබෙන පාපයට ද්වේෂ කරන සේක​.

පව්කරුවන් වෙත ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමයත්, පාපයට විරුද්ධව ඇති උන්වහන්සේගේ ද්වේෂයත් අප කල්වාරි කුරුසිය මතදී දකින්නෙමු. පව්කරුවන් වෙත ඇති උන්වහන්සේගේ ප්‍රේමය අපට පෙන්වන්නේ, අප වෙනුවෙන් කුරුසිය මත මරණය විඳීමට යේසුස් වහන්සේට, උන්වහන්සේ ඉඩ ඇරීමෙන් ය​. එලෙසම පාපයට විරුද්ධව ඇති උන්වහන්සේගේ ද්වේෂය අපට දැකිය හැක්කේ, යේසුස් වහන්සේ ලෝකයාගේ පව් කුරුසිය මත දරා ගන්නා අවස්ථාවේදී පියාණන් වහන්සේගේ මුහුණ යේසුස් වහන්සේ වෙතින් ඉවත් කිරීමෙන් ය​.

ප්‍රේමවන්තවූ දෙවියන් වහන්සේ සමහර මනුෂ්‍යයන් නිරයට යවන්නේ කෙසේදැයි සමහරු අසන ප්‍රශ්නයකි. නිරය කොයි වාගේද​? නිරය යනු දෙවියන් වහන්සේ සම්පූර්ණයෙන් අත්හැර දමා ඇති, උන්වහන්සේ සොයා ගැනීමට නොහැකි ස්ථානයකි. මෙම පෘතුවිය උන්වහන්සේ අත් හැර දමා නැත​. මේ හේතුවෙන් තවමත් පෘතුවිය මත බොහෝ යහපත්කම් සහ අලංකාරය ඇත​. උදාහරණයක් ලෙස මැවිල්ලේ අලංකාරය දෙස බලන්න​. බොහෝ මනුෂ්‍යයන් තුළ ඇත්තාවූ ශිෂ්ඨ කමත් සහ යහපත්කමත් දෙස බලන්න​. යක්‍ෂයන් සියලු මනුෂ්‍යයන් තුළට ඇතුල්වීමට කැමති නමුත්, ඔවුන්ට එසේ කිරීමට නොහැකිය​. මන්ද, යක්‍ෂයන්ට ඕනෑ හැටියට ක්‍රියා කිරීමට නොහැකි වන ලෙස මනුෂ්‍යයන් වටා ආරක්‍ෂා වැටක් දෙවියන් වහන්සේ තබා ඇති නිසාය​. මනුෂ්‍යයාට හොඳ සෞඛ්‍ය​, සඵලත්වය සහ නොයෙක් පහසුකම් ලැබී ඇත්තේ දෙවියන් වහන්සේගේ කරුණාව නිසාය. මෙම සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ විසින් යහපත්වූත්, නපුරුවූත් දෙවර්ගයටම ලබා දී ඇත​. දෙවියන් වහන්සේ මෙම ලෝකය අත් හැර නැති බවට මෙය සාක්‍ෂියකි. නමුත් නිරය මෙලෙස නොවේය​. නිරය තුළ කරුණාව ඇත්තේම නැත​, මන්ද, එය සැබැවින්ම දෙවියන් වහන්සේ විසින් අත් හැර දමනු ලැබූ ස්ථානයක් ය​.

මේ ලෝකයේ ගැළවීම නොලැබූ මනුෂ්‍යයන් තුළ යම්කිසි යහපත්කම් තිබෙන්නේ, ඔවුන්ගේ ජීවිත මත උන්වහන්සේගේ බලපෑමක් ඇති නිසාය​. නමුත් ඔවුන් නිරයට ගිය පසු මෙම අයම යක්‍ෂයා මෙන් නපුරු ස්වභාවයකට පැමිණෙන්නේ, දෙවියන් වහන්සේගේ කරුණාව නිරයේ ඔවුන් මත තවත් නොතිබෙන නිසාය​.

සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ විසින් අත් හරිනු ලැබූ තත්වය මනුෂ්‍යයන් අත්දකින්නේ ඔවුන් නිරයට ගිය පසුවය​. මෙම තත්වය යේසුස් වහන්සේ විසින් කුරුසිය මතදී අත්දකිනු ලැබූ සේක​. පියාණන් වහන්සේ විසින් සැබැවින්ම අත් හරිනු ලැබූ කුරුසිය මත එම පැය තුනක අන්ධකාරය ඇති වූ අවස්ථාවේදී යේසුස් වහන්සේ විසින් සැබැවින්ම නිරය අත් දකිනු ලැබිනි. මෙහිදී අප දකින්නේ, දෙවියන් වහන්සේ මොන තරම් පාපයට ද්වේෂ කළාද යන කාරණයයි.

එසේ නම් පිළිතුර කුමක්ද​? ප්‍රේමයේ දෙවියන් වහන්සේට මනුෂ්‍යයන්ව නිරයට යැවීමට හැකිද​? මෙම ප්‍රශ්නයට පිළිතුර තිබෙන්නේ තවත් ප්‍රශ්නයකට තිබෙන පිළිතුර අනුවය​. ප්‍රේමවන්තවූ දෙවියන් වහන්සේට තමන් වහන්සේගේ පුත්‍රයා ලෝකයාගේම පාපය දරා ගන්න අවස්ථාවේදී, කුරුසිය මත නිරයට​ මුහුණ දීමට ඉඩ දිය හැකිද​? උන්වහන්සේට මෙය කිරීමට පුළුවන් නම්, උන්වහන්සේට මනුෂ්‍යයන් නිරයට යැවීමටත් හැකිය​. පාපයේ රැඳී සිටිමින්“මම ඔබට ඇහුම්කන් දෙන්නේ නැත​. මගේ මාර්ගය මා තෝරාගෙන මා සැමදා ගමන් කරන්නේ එම මාර්ගයේමය​" යැයි දෙවියන් වහන්සේට පවසන අය වෙතින් උන්වහන්සේ තමන් වහන්සේගේ මුහුණ ඉවත් කර ගන්නා සේක​.

බයිබලයේ හිතෝපදේශ පොතේ 29:1 හි මෙලෙස සඳහන් කරයි

"බොහෝ වර තරවටු ලැබත්, තමාගේ කුළල තද කර ගන්නා, ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩි කරනු ලැබේ", මෙහි "කුළල තද කර ගන්නා" යනුවෙන් අදහස් කරන්නේ, වරද නිවැරදි කර ගැනීම ප්‍රතික්‍ෂේප කරන තැනැත්තාය . කිසියම් කෙනෙක් දෙවියන් වහන්සේගේ ප්‍රේමවන්ත ආරාධනය දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කරනවා නම්, එම තැනැත්තා සිටින්නේ අති භයානක අවස්ථාවකය​.

අධි සංවේදී සහෝදර​, සහෝදරියන් තුළ දෝෂාරෝපණයක් ඇති වීම මට අවශ්‍ය නැත. මක්නිසාද ඉහත පදය ලියන ලද්දේ පාපයට වැටුනු අයට නොව​, නමුත් පාපයට ඇලුම් කරමින් ඒ තුළ පැවතීමට කැමැත්තෙන් සිටින අයට අනතුරු ඇඟවීමක් වශයෙනි . මෙම පදය ලියන ලද්දේ පවිත්‍රව ජීවත් වීම උත්සාහ කරන නමුත් නිතර පාපයට වැටෙන අයවලුන්ට නොව​, මෙය ලියන ලද්දේ දෙවියන් වහන්සේට අකීකරු වෙමින් පාපයේ දිගටම රැඳී සිටින කැරළිකරුවන්ටය.

ඔබ කැරළිකරුවෙක්ද කියා දැන ගන්නේ කෙලෙසද​? එය සොයා ගැනීම ඉතා පහසුය. පසුතැවිලි වී දෙවියන් වහන්සේ වෙත හැරෙන්නට ඔබට ආශාවක් තිබේද කියා ඔබගෙන්ම විමසා බලන්න. දෙවියන් වහන්සේ වෙතට හැරී උන්වහන්සේට ප්‍රේම කිරීමට ඔබට ස්වල්ප ආශාවක් හෝ තිබේ නම් එමගින් ඔප්පු කරන්නේ ශුද්ධාත්මයාණන් ඔබගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වන බවත්, දෙවියන් වහන්සේ වෙතට ඔබව ලංකර ගැනීමට උන්වහන්සේ සොයන බවත්‍ ය​. ඔබ අසමත් කෙනෙක් වන්නට පුළුවන, නමුත් ඔබ කැරැළිකරුවෙක් නොවේය​. අසමත් වෙන කෙනෙකු සහ කැරැළි ගසන කෙනෙකු අතර විශාල වෙනසක් තිබේ.

පේත්‍රැස්ට අසමත් වීමට දෙවියන් වහන්සේ ඉඩ හැරියේ අරමුණක් ඇතිවය​. එම අරමුණ නම්, පේත්‍රැස්ව ගෝධුම මෙන් පොළන්ටය​. පේත්‍රැස්ව සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සාතන්ට අවශ්‍යව තිබුනත්, දෙවියන් වහන්සේ එසේ කිරීමට ඉඩ දුන්නේ නැත​. අපගේ පුළුවන්කමට වඩා අපව පරික්‍ෂා කිරීමට දෙවියන් වහන්සේ ඉඩ නොදෙන සේක​. එමනිසා පේත්‍රැස්ව ගෝධුම මෙන් පොළන්ට සාතන්ට අවස්ථාව ලැබුණි. පේත්‍රැස්ගේ අසමත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ජීවිතයේ තිබූ අනවශ්‍ය දේ රොඩු බොල් රාශියක් පවිත්‍ර කරනු ලැබුවේය​.

අපවද අසමත් වීමට දෙවියන් වහන්සේ ඉඩ හරින්නේ, මෙම සැබෑ අරමුණ ඉෂ්ඨ වීමටය .

අපගේ ජීවිතයෙන් ප්‍රයෝජනයක් නොවන බොල් ඉවත් කරනු ලැබීම යහපත් දෙයක් නොවන්නේද? සහතිකයෙන්ම ඔව්. ගොවියෙක් තමාගේ ධාන්‍ය අස්වැන්න ප්‍රයෝජනයට ගැනීමට සූදානම් වීමේදී ඔහුට බොල් ධාන්‍ය ඉවත් කිරීමට පොළන්ට සිදු වේ. බොල් ධාන්‍ය ඉවත් වන්නේ මෙලෙසයි.

ස්වාමින් වහන්සේද, අපගේ ජීවිතයේ නිෂ්ප්‍රයෝජන බොල් ඉවත් කිරීමට සාතන්ව පාවිච්චි කරන සේක​. පුදුමයට පත් වන අන්දමින් උන්වහන්සේ මෙම අරමුණු ඉෂ්ඨ කරනු ලබන්නේ, අප නිතරම අසමත් වීමට සළස්වමිනි. දෙවියන් වහන්සේ පේත්‍රැස්ගේ ජීවිතයේ උන්වහන්සේගේ අරමුණු ඉටු කර ගැනීමට සාතන්ව යොදා ගත් ලෙස, අපගේ ජීවිතයේද උන්වහන්සේගේ අරමුණු සම්පූර්ණ කර ගැනීම පිණිස සාතන්ව පාවිච්චි කරන සේක​. අපගේ ජීවිතයේ බොහෝ බොල් දේවල් ඇත - ඒවා නම්, උඬඟුව, තමශක්තිය මත සිටීම​, තමධර්මිෂ්ඨකම යනාදී දේවල්‍ ය​. එබැවින් දෙවියන් වහන්සේ සාතන්ව යොදාගෙන, අප නිතරම අසමත් වීමට සළස්වන්නේ අපගේ ජීවිතයේ ඇති බොල් දේවල් සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහාය​.

ස්වාමින් වහන්සේගේ මෙම ප්‍රයත්නය ඔබගේ ජීවිතය තුළ සම්පූර්ණ වනවාද යන කාරණය දන්නේ ඔබ පමණකි. බොල් දේ ඔබගේ ජීවිතයෙන් ඉවත් වන්නේ නම්, ඔබ තවත් යටහත්කමට පත් වෙන අතර​, ඔබ තුළ ඇති තමධර්මිෂ්ඨකමද අඩු වන්නේය​. තවද අසමත් වූ අන්‍යයන් ඔබ හෙළා දකින්නේ නැත​. ඔබ අනික් අයට වඩා හොඳ බවද සළකන්නේ නැත.​

මා ප්‍රකාශ කළාසේ අපගේ ජීවිතයේ බොල් දේ ඉවත් කරන පිණිස අපව නිතරම අසමත් වෙන තත්වය ඇති කිරීමට සාතන්ට ඉඩ හරින සේක​. එමනිසා ඔබ අසමත් වන කල්හි අධෛර්‍යමත් නොවන්න​. ඔබ තවමත් දෙවියන් වහන්සේගේ හස්තයේ සිටින බව දැන ගන්න.​ ඔබගේ නිතර අසමත් වීම තුළින් ස්වාමින් වහන්සේගේ මහත් බලවත් අරමුණක් ඉෂ්ඨ වන්නේය​. මෙවන් අවස්ථාවලදී ඔබ කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඇති ඇදහිල්ල දුර්වල වී අසමත් නොවී තිබිය යුතුය​. යේසුස් වහන්සේ පේත්‍රැස්ට කළ යාච්ඤාව අදටත් ඔබ වෙනුවෙන් කරන සේක​. උන්වහන්සේ මැදහත්කාරකම් කරන්නේ ඔබව අසමත් වීමෙන් වැළැක්වීමට නොව නමුත් අප පහත්ම අඩියට වැටෙන විට, දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන අපට තිබෙන සහතිකකම නොසෙල්වී පවතින පිණිසය​.

අප කැඩුණාවූ බිඳුනාවූ තත්වයකට පත් වන්නේ, අසමත් වීමේ අත්දැකීම් බොහොමයක් තුළින් ගමන් කර අසරණ වූ තත්වයකට පත් වූ පසුය​. පේත්‍රැස් මෙම තත්වයට පත් අවස්ථාවේදී ඔහු තුළ නැවත හැරීමක් සිදු විය, (ශු:ලූක් 22:32) ඔහු නැවත හැරුණේය . පේත්‍රැස් වෙනුවෙන් යේසුස් වහන්සේ කළ යාච්ඤාවට පිළිතුරු ලැබීමේ සාක්‍ෂිය වන්නේ, පේත්‍රැස් අන්තිම අඩියට වැටුණු විට​, ඔහු තුළ සිදු වූ හැරීමය​. පේත්‍රැස් අධෛර්‍ය වී පසෙකට වී සිටියේ නැත​. ඔහුගේ ඇදහිල්ල බිඳ ගත්තේ නැත​. ඔහු නැගිට සිටියේය​. පේත්‍රැස්ට ඕනෑ දුරක් යෑමට දෙවියන් වහන්සේ ඉඩ දී තිබුණේය​. නමුත් පේත්‍රැස් ලණුවේ කෙරවලට පැමිණී අවස්ථාවේදී, දෙවියන් වහන්සේ ඔහුව නැවත ඇදගත් සේක​.

දෙවියන් වහන්සේගේ දරුවෙක් වීම මනහර දෙයකි. දෙවියන් වහන්සේ අපව කැඳවූ විට අප වටා "ලණුවක්" දමා අපව ආරක්‍ෂා කරන සේක​. එම ලණුවේ බොහෝ ලිහිල් ස්ථාන තිබෙන නිසා අප දහස් වාරයක් ලිස්සා යෑමටත්, සමහර විට ස්වාමින් වහන්සේගෙන් දුරස් වී යාමටත් හැකිය​. නමුත් එක් දවසකදී ඔබ ලණුවේ කෙරවලට පැමිණියත්, යන්නට තැනක් නොමැති වුවත්, දෙවියන් වහන්සේ, උන්වහන්සේ වෙතට ඔබව නැවත ඇද ගනු ලබනවා ඇත​.

සැබවින්ම එම අවස්ථාවේදී ලණුව අත් හැර පළා යෑමට ඔබට තීරණයකට එළඹිය හැකිය​. නැතහොත් දෙවියන් වහන්සේගේ යහපත්කම තුළින් ඔබ කැඩුණු බිඳුනු තත්වයකට පැමිණ පසුතැවිළි වී, ස්වාමින් වහන්සේ වෙතට හැරී ඒමටද තීරණය කළ හැක​. පේත්‍රැස් කළේ මේ දෙයයි. ඔහු හඬා, ස්වාමින් වහන්සේ වෙතට නැවත හැරුණේය​. නමුත් යූදස් ඉස්කාරියොත් එසේ කළේ නැත​. ඔහු ලණුව අත හැර දමා, ඔහුගේ ජීවිතය මත තිබුණු දෙවියන් වහන්සේගේ ආධිපත්‍යට විරුද්ධව කැරළි ගසා සදාකාලික අන්ධකාරයට ගියේය​. නමුත් පේත්‍රැස් කළ දේ ඔබත් කිරීමට සූදානම් බව මම විශ්වාස කරමි.

යේසුස් වහන්සේ පේත්‍රැස්ට මෙසේ පැවසූ සේක "නුඹ නැවත හැරුණායින් පසු, නුඹේ සහෝදරයන් ස්ථීර කරපන්න​" (ශු:ලූක් 22:32).

අපට අන්‍යයන් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන්නේ, අප හදවතින් කැඩුණු බිඳුනු තත්වයකට පැමිණි පසුවය .

පේත්‍රැස් සැබෑ ලෙස ශක්තිමත් වූයේ ඔහු බිඳුනු සහ දුර්වල වූ අවස්ථාවේදීය​. ඔහුගේ සහෝදර​, සහෝදරියන් ප්‍රබෝධමත් කරන තරමට ඔහු ශක්තිමත් විය​. ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, සේවයට පේත්‍රැස් සූදානම් කරනු ලැබුවේ, ඔහුගේ අසමත් වීමේ අත්දැකීම තුළින් බව කිව හැක​. පේත්‍රැස් අසමත් වීමේ අත්දැකීමකින් තොරව ශුද්ධාත්මයෙන් පූර්ණ වූවා නම්, ඔහු ඉදිරියේ සිටින අසරණ වූ පව්කරුවන් දෙස ඔවුන් හෙළා දකින, එපා කරන අය ලෙස දකින්නට පුළුවන​. මේ අන්දමින් ඔහු දෙවියන් වහන්සේගේ සතුරා වන්නට ඉඩ තිබුණි. මක්නිසාද ස්වාමින් වහන්සේ උඬඟු වූවන්ට විරුද්ධව සිටින සේක!!​

මෙය​, කලකදී ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ වූ බොහෝ කිතුබැතියන්ට අද දවසේ දී සිදුවී ඇති ඛේදවාචකයකි. ඔවුන් කිසි විටෙක කැඩුණු බිඳුනු තත්වයට පැමිණ නැත. සමහර විට, මේ අය සැබැවින්ම ශුද්ධාත්මයෙන් පූර්ණව සිටියත්, බිඳුනු හදවතක් ඔවුන් තුළ නොමැති විය​. එමනිසා උඬඟුව හේතුකොටගෙන ඔවුන්ට තිබූ ආලේපය ඉක්මනින් නැති කර ගත්තෝය​.

මගේ ජීවිතය තුළ​, උන්වහන්සේ මා ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ කිරීමට බොහෝ කලකට පෙර​, කුරුසියේ මාර්ගය සහ බිඳුනු ස්වභාවය පිළිබඳ සත්‍යයන් උන්වහන්සේ මට උගන්වා තිබුණි. එය මට යහපත් දෙයක් බවට පත් වූයේ එමගින් මා නොමග යෑමෙන් වැළකුණු නිසාය​. මා අසමත්කම් අත්දුටු පසුගිය වර්‍ෂ ගණනාවක් තුළ ස්වාමින් වහන්සේ මා තුළ මා ගැනම තිබූ ආත්ම විශ්වාසය සහ තමධර්මිෂ්ඨකම බිඳ දැමූ සේක​ - ඔව් සෑම දිනක් පාසා, වර්‍ෂ ගණනාවක් තුළ දිගින් දිගටම අසමත්වීම් තුළිනි. මගේ ජීවිතයේ ගත කළ අවුරුදු 60 ගැන ප්‍රස්ථාරයක් මගින් සටහන් රේඛාවක් තැබුවොත්, එය මෙලෙස දිස්වනු ඇත​. මම බිළිඳෙක් ලෙස ඉපදුනු අවස්ථාවේ, අන් සියලු බිළිඳුන් මෙන් අහිංසකව ප්‍රිය උපදවන ලෙස​, පාපයක් නොකර සිටි කාලයක, රේඛාවේ ඉහළම තැන සිටියෙමි. මා නැවත ඉපදුනු අව්වස්ථාවේ (වයස අවු:19 දී) අවුරුදු කිහිපයක් හොඳ කාලයක් තිබුණි. රේඛාව හෙමින් ඉහළට යන තත්වයක් තිබුණි. නමුත් මට දෙවියන් වහන්සේ ආශිර්වාද කොට සේවය ගොඩ නැගී, මගේ ක්‍රිස්තියානි වටපිටාව තුළ ජනප්‍රිය වීමට පටන් ගත් කල​, උඬඟුව මා තුළට විත් මාගේ ජීවිත ප්‍රස්ථාරයේ රේඛාව පහළට බසින්නට විය​. මෙසේ වූයේ නොදැනුවත්වමය​. පිටස්තර වශයෙන් මා ප්‍රසිද්ධ දේශකයෙක් ලෙස සිටියත්, මගේ අභ්‍යන්තර ජීවිතය සහ දෙවියන් වහන්සේ සමඟ යන ගමන අඩාල වන්නට වුණි. මම ඇතුළාන්තයෙන් පසුබට වූ තත්වයක සිටියෙමි. අවසානයේදී මගේ ජීවිත රේඛාව පහත්ම අඩියට වැටුණූ තත්වයකට පැමිණුනේය.​ එය සිදු වූයේ වර්‍ෂ 26 කට පෙරය​. ඒ කාලයේදී සේවය සම්පූර්ණයෙන්ම අත් හැරීමට තරම් මට හැඟුණි. මා පුද්ගලීකව ක්‍රියාත්මක නොකරන්නාවූ දේශනා වලින් අන් අය රැවටීම මට තවත් දිගටම කරගෙන යාමට නොහැකි බව වැටහුණි. ඒ වකවානුවේදී, මගේ පසුබට වීම සහ වංචාකාරී ස්වභාවය ඉදිරියේ මට අයත්ව තිබුණේ ස්වාමින් වහන්සේගේ විනිශ්චය පමණය​. නමුත් මා විනිශ්චය කර​, නිරයට යැවීම වෙනුවට දෙවියන් වහන්සේ කුමක් කළේද කියා ඔබ දන්නවාද​? උන්වහන්සේ මාව ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ කළ සේක .

ස්වාමින් වහන්සේ එසේ කළේ ඇයි? දෙවියන් වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නොවේය​. මෙහි ඇති පුදුමාකාරය වටහා ගැනීම පිණිස උදාහරණයක් පාවිච්චි කරමි,

මෙලෙස සිතන්න​. ඔබ විශාල ජාත්‍යන්තර සමාගමක සේවකයෙකු ලෙස රැකියාව කරන අතර​, ඔබ සමාගමට විශ්වාසවන්ත නොවී, උපදෙස් වලට පටහැනි වී, ඔවුන්ගේ යහපත්කම් ඔබගේ වාසියට හරවාගෙන, එහි නාමය අගෞරවයට පත් කරමින්, දිනක වඩා වැරදි සහගත දෙයක් සිදු කළොත් එය සමාගම තුළ ඔබගේ අවසාන අවස්ථාව වනු ඇත​. සමාගමේ සභාපතිවරයා ඔබ වෙතට විත්, ඔබව රැකියාවෙන් ඉවත් කරනවා වෙනුවට "අප ඔබට සියලු දේ ගැන සමාව දීමට තීරණය කර ඇති අතර අද සිට ඔබගේ මාසික වේතනය තුන් ගුණයකින් වැඩි කරනවා" කියා කිවහොත් ඔබට මෙවැනි දෙයක් සිදු වේය කියා සිතා ගැනීමට හැකි වේද​? නැත​. නමුත් මේ දෙයින් පෙන්නුම් කරනු ලබන්නේ, දෙවියන් වහන්සේගේ මාර්ග මනුෂ්‍යයාගේ මාර්ග නොවන බවය​. දෙවියන් වහන්සේ අවුරුදු 25කට පෙර මට කළ දෙයක් ගැන මෙය උදාහරණයකි.

දෙවියන් වහන්සේ මෙලෙස මා ගැන ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය කුමක්ද​? උන්වහන්සේගේ යහපත්කම වැරදි ආකාරයට සළකා එදින සිට තවත් පව් කිරීමට මාව පෙළඹුවාද​? නැත​. නමුත් ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් රෝම 2:4 සඳහන් පරිදි "නුඹ පසුතැවිල්ලට පමුණුවන පිණිස දෙවියන් වහන්සේගේ යහපත්කම පවති...." මෙය මාව වැළපීමටද​, බිඳුනු තත්වයටද පත් කරන ලදි. දෙවියන් වහන්සේගේ යහපත්කම, මාව කැඩුනාවූ, බිඳුනාවූ තත්වයකට පත්කර​, එතැන් සිට පවිත්‍රව​, ශුද්ධවූ ජීවිතයක් උන්වහන්සේ වෙනුවෙන් ගත කිරීමට මහත් උවමනාවක් මා තුළ ඇති වුණි.

මා මේ අවස්ථාවේදී ඔබ සමඟ අවංක විය යුතුය​. මෙම දවසේ සිට මාගේ ජීවිතයේ රේඛාව එක වර ඉහළට ගියේ නැත​. තවමත් මගේ ජීවිතය තුළ ඉහළ පහළ යෑම් තිබේ. මේ තත්වය ජීවිතයේ කාරණා සමඟ පොර බදන අන් කිතුනුවන් තුළ දැක ගත හැකි ආකාරයටම. පාවුල් මෙන් "පිටතින් පැමිණෙන බාධාද, ඇතුළතින් පැමිණෙන බියවීම්ද" මට තිබේ. "අධෛර්‍ය වුණු අවස්ථාවේ සැනසුම ලබන පිණිස​" මගේ සහෝදරයන් ගේ උපකාරය මට අවශ්‍ය වේ (2 කොරින්ති 7:5,6). නමුත් මාගේ අභිප්‍රාය වන්නේ සම්පූර්ණත්වය කරා ගමන් කිරීමය​.

දෙවියන් වහන්සේගේ මාර්ග මා දැන ගන්නා පිණිස උන්වහන්සේ මාව අසමත්වීමේ වළවල් වලට නිතර වැටෙන්නට ඉඩ හැරිය සේක​. මේ තැනට මා ගෙන එන පිණිස මා ගැළවීම ලබා අවුරුදු 16ක් යන තුරු උන්වහන්සේ මා සම්බන්ධව ක්‍රියා කළ සේක​. එවකට මගේ වයස අවුරුදු 35ක් විය​. මෙලෙස මගේ ජීවිතයේ අඩක් පමණ ගෙවී ගොස් තිබුණි. ඔබට මෙතරම් කාලයක් ගත නොවන්නට පුළුවන​, මන්ද ඔබ මා මෙන් හිතුවක්කාර නොවන නිසාය​. ඔබ බලාපොරොත්තු අත් නොහරින පිණිසත්, ධෛර්‍යමත් වන පිණිසත් මාගේ සාක්‍ෂිය ගෙනහැර දැක්වීමි. උන්වහන්සේ ට ඕනෑම පුද්ගලයෙකු හට මේ දේ කළ හැකිය.

කිසි කෙනෙකුට බලාපොරොත්තු නැති තත්වයක් නැත​. මෙය හොඳින් සවන් දෙන්න. කිසිවෙක් බලාපොරොත්තු නොමැති තත්වයට පත් නොවිය යුතුය . ජීවත්ව සිටින සෑම කෙනෙකුටම බලාපොරොත්තුවක් තබා ගත හැක​. මැරුණු කෙනෙකුට බලාපොරොත්තුවක් නැත​.

දෙවියන් වහන්සේට අවශ්‍ය කරන මනුෂ්‍යයා වීමට​, පේත්‍රැස්ටත් මෙවැනි තත්වයකට පැමිණීමට තිබුණි.

ජීවිතයේ පහත් අඩියට වැටීමේ අත්දැකීමක් තිබෙන අපට, එවැනි තත්වයක සිටින අන් අයව අවමන් කිරීමට නොහැක​. මෙම අත්දැකීම තුළ තවත් අපට පව්කරුවන් හෝ පසුබට වූ ඇදහිලිවන්තයින් හෝ පාපයට වැටුණු කිතුනු නායකයන් දෙස පහත් ආකාරයෙන් සැළකීමට නොහැක​. අපට කිසිසේත් පාපයෙන් ජය ගැනීම ගැන උඬඟු විය නොහැක​, මන්ද අප කලකදී අසමත් වූ අය ලෙස සිටි බව දන්නා නිසාය​.

මේ සම්බන්ධයෙන් පේත්‍රැස් අනිකුත් කිතු බැතියන්ට මෙලෙස අවවාද කරයි "නමුත් මේවා නැති තැනැත්තේ තමාගේ පරණ පව් වලින් පවිත්‍ර කරනු ලැබූ බව මතකනැතිකොට ළඟ තිබෙන දේ පමණක් බලමින් අන්ධව සිටියි" (2පේත්‍රැස් 1:9). පේත්‍රැස් අවවාද කරන්නේ මේ කාරණා අමතක කරන අය හරිදැක්මක් නොමැතිව අන්ධව ඇති බවය​. අන්ධ වීමට හෝ හරිදැක්මක් නැතිව සිටීමට මට කිසිසේත් අවශ්‍ය නැත​. මට හැම විටම ස්වර්ගීක සහ සදාකාලික වටිනාකම් ගැන දුරදක්නා දර්ශනයක් ඇතුව සිටීම අවශ්‍ය කර තිබේ.

කෙටි දැක්මක් ඇති අයවලුන් කවුද​? එවැනි අය ලෞකීක දේම අගය කරන​, පාපයේ තෘප්තියට, භෞතීක ධනයට, මනුෂ්‍යයන්ගේ ගෞරවය සහ අනුමැතියට ආශා කරති. මෙවැනි අය කෙටිදැක්මක් ඇතිව සිටින්නෝ වෙති. මෙවැනි ඇදහිලිවන්තයින් ගැන අප අනුකම්පා කළ යුතු වේ. තමන්ට අඩි 10කට වඩා ඉදිරියෙන් තිබෙන දේ දැකීමට අපහසු, ඇස් පෙනීම දුර්වලව සිටින කෙනෙක් හමුවූ විට අප එම තැනැත්තා ගැන තරහවක් ඇති කර ගන්නේ නැත​. පොතක් බැලීමට තමන්ගේ නෙත් වලට අඟල් 2ක් පමණ ළඟින් පොත තබාගෙන සිටින කෙනෙක් සමඟද අප අමනාප වන්නේ නැත​. අප ඔවුන් ගැන කණගාටු වනවා පමණි. තමන්ගේ ඇස් පරික්‍ෂා කිරීමට අක්‍ෂි වෛද්‍යවරයෙක් වෙතට යන කෙනෙකුට එම ඝනකම් ඇති කාච තුළින් අක්‍ෂර ඇති පත්‍රිකාව හරියට කියවා ගන්නට අපහසු වුවහොත් වෛද්‍යවරයා ඔහු ගැන තරහක් ඇති කර ගනියිද​? නැත​. නමුත් ඇති වන්නේ කණගාටුවක් පමණි.

මුදල් තණ්හාවට​, පාපයේ තෘප්තියට සහ මිනිසාගේ ගෞරවය ලබා ගැනීමට කෙටිදැක්මක් තිබෙන ඇදහිලිවන්තයින් අප දකින විට, ඔවුන්ට තරවටු කිරීමෙන් ඵලක් වන්නේ නැත​. ඔවුන් දරුණු ලෙස කෙටිදැක්මකට හසුවී තිබෙන නිසා ඔවුන් ගැන අප අනුකම්පා කළ යුතුය​. යම් දිනෙක ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින අවස්ථාවේදී ඔවුන්ට බොහෝ දුක් වන්නට සිදු වන්නේය​.

මෙවැනි බොහෝ ඇදහිලිවන්තයින් සිටිති. ඔවුන් මෙලෙස අන්ධ වූයේ කෙලෙසද කියා දන්නවාද​? ඔවුන් තමුන්ගේ "පළමු පාප වලින් පවිත්‍රකම ලබා ගත් බව​" (2 පේත්‍රැස් 1:9) අමතක කරති. ස්වාමින් වහන්සේ ඔවුන් වැටී සිටි වළෙන් ගොඩගත් බව ඔවුන්ට අමතක වී ඇත​. ඔවුන්ට පසුව ලැබුණු, දෙවියන් වහන්සේගේ ආශිර්වාද ගැන උඬඟුව සිටිති.

දෙවියන් වහන්සේ මාව මහත් වළකින් ගොඩගත් බව මට කිසිදා අමතක කළ නොහැක. උන්වහන්සේ මාගේ සියලුම පව් ඉවත්කොට, මවිසින් සිදු කරන ලද එක පාපයක්වත් නැවත සිහි නොකරන බව මම දනිමි.

"ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වලින් මා ධර්මිෂ්ඨ කරනු ලැබූ නිසා" (රෝම 5:9). අද දවසේ මා දෙවියන් වහන්සේ ඉදිරියේ නැගිට සිටින්නේ මගේ ජීවිතයේ අවුරුදු 60 තුළදීම එකම අවස්ථාවකදීවත් පව් නොකළ තැනැත්තෙක් ලෙසය​. ස්වාමින් වහන්සේ මාව දකින්නේ එවැනි කෙනෙක් ලෙසය​. නමුත් මා කලක් සිටියාවූ තත්වය මම කිසිදා අමතක නොකරමි. දෙවියන් වහන්සේ මට පවසන්නේ, "නුඹගේ පව් මම තවත් සිහි නොකරන්නෙමි" (හෙබ්‍රෙව් 8:12) යනුවෙනි. නමුත් මා අතීතයේ, කලක් සිටියාවූ පාපිවූ තත්වය මම සැමදා සිහියේ තබා ගනිමි.

මාගේ අතීතය මා සිහිපත් කරන්නේ මා තුළ ඇති පාපය පිළිබඳ සිතුවිළි මට දෝෂාරෝපණය හෝ අසහනයට පත් නොකරන ආකාරයටය​. "ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත​" (රෝම 8:1). සාතන් මට වරද තබන්නට තැත් කරන කල මා ඔහු ඉදිරියේ පවසන්නේ, "යේසුස් වහන්සේගේ ලේ මාගේ සියලු පාප වලින් මා පවිත්‍ර කර ඇත" යනුවෙනි. මා සාතන්ගෙන් ජය ගන්නේ "බැටළු පැටවාණන්ගේ ලේ තුළින් ය​" (එළිදරව් 12:11). කලක මා වළක වැටී සිටිද්දී, දෙවියන් වහන්සේ මට මුණගැසී ශුද්ධාත්මයාණන්ගෙන් මා පූර්ණ කළ අවස්ථාව මට කිසිදා අමතක කළ නොහැක​.

වරක් ස්වාමින් වහන්සේ යුදාට පැවසූ ලෙස​, මමද

"නුඹ උපන් දවසේදී නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සළකා, කෙතේ දමන ලද දයාව නොලැබු දරුවෙක් ය​. ලේ වල වැතිර ඉන්දදී, ස්වාමින් වහන්සේ ළඟින් යන විට මාව​ දුටු සේක​. උන්වහන්සේ මාව වතුරෙන් නාවා, ලේ සෝදා හැර​, වස්ත්‍ර මට හඳවා උන්වහන්සේගේ අලංකාරයෙන් මා සැරසූ සේක" (එසකියෙල් 16:5,6,9,10,14).

මාගේ සහෝදරය​, සහෝදරිය​, ඔබගේ තත්වය කෙසේද​? ඔබලාගෙන් බොහෝ දෙනෙක් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව සිටින බව දනිමි. නමුත් ඔබ තුළ තිබෙන මමත්වය සහ උඬඟුව බිඳ දැමීමට දෙවියන් වහන්සේ සමත් වී ඇත්දැයි මට ස්ථීරත්වයක් නැත​. මෙම තත්වය ඇත්දැයි සොයා බලීමට පහසු ක්‍රමයක් ඇත​. පහත සඳහන් ප්‍රශ්න දෙකට පිළිතුරු සපයන්න​.

1) ඔබ අන්‍යයන් පහත්කොට සළකනවාද​? සමහර විට මේ අය වෙනත් සභා නිකායකට අයත් අය වීමට පුළුවන​.

බයිබලීය ඉගැන්වීම් ගැන අප අනිකුත් කිතුබැතියන් සමඟ එකඟතාවයක් නොමැති වුවත්, අප ඔවුන්ව හෙළා දැකීය යුතු නැත​. අනිකුත් නිකායන් වල සිටින සමහර කිතුබැතියන් මට වඩා යහපත් ආකාරයක සිටින බව මට අවංකව කිව හැකිය​. ඉගැන්වීමේ වෙනස්කම් නිසා මට ඔවුන් බොහෝ දෙනෙක් සමඟ එක්ව සේවය කිරීමට නොහැකි වුවත්, මම ඔවුන්ට කිසිසේත් අවමන් නොකරමි.

ඵරිසිවරයා ප්‍රකාශ කළ ලෙස "ස්වාමින් වහන්ස​, මම අනික් මනුෂ්‍යයන් මෙන් කෙනෙක් නොවන බැවින් ඔබවහන්සේට ස්තුති කරමි" (ශු:ලූක් 18:11) කියා ඔබත් පවසනවාද​? එසේ නම් ඔබ තුළ ශුද්ධාත්මයාණන්ගේ අත්දැකීම් කෙලෙස වුවත්, ඔබ සැබෑ ලෙස කැඩුණු බිඳුනු කෙනෙක් නොවේය​.

2) ඔබගේ ආත්මීක වර්ධනය සහ හැකියාවන් ගැන උඬඟුවෙන් සිටිනවාද​?

බිඳුණු ස්වභාවයක් ඇති මනුෂ්‍යයෙක් ඔහුගේ මාංශය තුළ කිසිම යහපතක් නොමැති බව වටහාගෙන සිටින අතර​, ඔහුගේ ජීවිතයේ හෝ සේවයේ යම් ඵලයක් ඇතිවූ විට දෙවියන් වහන්සේට ඒ ගැන මහිමය දීමට සූදානම්ව සිටී.

බිඳුණු ස්වභාවයක් ඇති මනුෂ්‍යයෙක් තුළ ඇති ලකුණු දෙකක් නම්:

අ) ඇදහිලිවන්තයෙක් හෝ නොඇදහිලිවන්තයෙක් වුවත් ඔහු කිසි කෙනෙක් පහත්කොට සළකන්නේ නැත​.

ආ) ඔහුගේ ආත්මීක වර්ධනය ගැන හෝ සේවය ගැන ආඩම්බර වන්නේ නැත​.

දෙවියන් වහන්සේ විසින් සාර්ථක ලෙස බිඳුණු තත්වයකට ගෙනාවූ යාකොබ් කදිම උදාහරණයකි. දෙවියන් වහන්සේ සමඟ ඔහු දෙවරක් මුණගැසුණි. වරක් බෙතෙල්හිදී (උත්පත්ති 28) සහ අනෙක් වර පෙනීයෙල්හිදීය (උත්පත්ති 32).

බෙතෙල්හි අර්ථය "දෙවියන් වහන්සේගේ නිවස​" යනුයි (මෙය සභාව පිළිබිඹු කරයි). පෙනීයෙල් යනු "දෙවියන් වහන්සේගේ මුහුණයි". අප සෑම කෙනෙකුටම අවශ්‍ය වන්නේ, දෙවියන් වහන්සේගේ සභාවට ඇතුළත් වීමෙන් ඔබ්බට ගොස් දෙවියන් වහන්සේගේ මුහුණ දැකීමය.

බෙතෙල්හිදී "හිරු බැස ගිය බව​" සඳහන් වේ (උත්පත්ති 28:11). මෙය ස්වභාවික කරුණක් වුවත්, යාකොබ්ගේ ජීවිතයේ සිදුවීම් ප්‍රකාශ කරනු ලබයි. යාකොබ්ගේ ජීවිතයේ ඉදිරි අවුරුදු 20 ගැඹුරු අන්ධකාරයක කාලයක් වූයේය​. පසුව පෙනීයෙල්හිදී "ඉර උදාවිය​" කියා පවසයි (උත්පත්ති 32:31). නැවත​, මෙය ස්වභාවික තත්වයක් වුවත්, යාකොබ් අවසානයේදී ස්වාමින් වහන්සේගේ ආලෝකයට පැමිණී බව පෙන්නුම් කරයි.

පේත්‍රැස් තුළ සිදු වූ හැරීම් දෙක හා සමානව කාලයක් දෙවියන් වහන්සේ තුළ ගමන් කළ බොහෝ ඇදහිලිවන්තයින්, දෙවියන් වහන්සේ සමඟ දෙවරක් මුණගැසීමට සිදු වී ඇත. පළමු වැනි මුණගැසීම නම්, ඔවුන් නව උත්පාදනය ලබා දෙවියන් වහන්සේගේ ගෘහයට (සභාවට​) ඇතුළත් වූ අවස්ථාවයි. දෙවෙනි මුණගැසීම වන්නේ, ඔවුන් ස්වාමින් වහන්සේ මුහුණට මුහුණ මුණගැසී ශුද්ධාත්මයෙන් පූර්ණ වී ජීවිත බලවත් වූ අවස්ථාවයි.

බෙතෙල්හිදී යකොබ් දුටු සිහිනය තුළින් පොළොවේ සිට ස්වර්ගය වෙත විහිදී ගියාවූ ඉණිමගක් දුටුවේය​. යේසුස් වහන්සේ ශු:යොහාන් 1:51හිදී මෙම ඉණිමග​, පොළොවේ සිට ස්වර්ගයට යන මාර්ගය වූ තමන්වහන්සේම බව පැහැදිළි කළ සේක​. මෙලෙස යාකොබ් දුටු සිහිනය සැබැවින්ම යේසුස් වහන්සේ ස්වර්ගය වෙතට යන මාර්ගය විවෘත කිරීමේ පෙර අනාවැකි දර්ශනයක් වූයේය​. ස්වාමින් වහන්සේ මෙම සිහිනය තුළින් යාකොබ්ට තවත් පොරොන්දු ලබා දුන් සේක​. යාකොබ් පොළොවේ කාරණ ගැන කල්පනා කළ කෙනෙක් බැවින් සිතුවේ පොළොවේ ආරක්‍ෂාව, කායික සුවතාවය සහ මූල්‍ය​ සඵලත්වය ගැන පමණි. එමනිසා ඔහු දෙවියන් වහන්සේට පැවසුවේ "ස්වාමිනී, ඔබ මා මේ ගමන ගෙන ගොස්, මට කෑම​, ඇඳුම් සපයා ආරක්‍ෂා සහිතව ගෙන ගියොත්, මාගේ ඉපයීම් වලින් දසයෙන් කොටසක් ඔබට දෙමි" යි කියාය​. යාකොබ් දෙවියන් වහන්සේව සැළකුවේ, ඔහුව රැක බලා ගන්නා මුරකරුවෙක් ලෙසය​. උන්වහන්සේගේ කොටස කළහොත්‍ යාකොබ් උන්වහන්සේට වේතනයක් ලබා දෙයි. එය නම් යාකොබ්ගේ ආදායමෙන් දසයෙන් කොටසකි!!.

අද දවසේත් බොහෝ ඇදහිලිවන්තයින් දෙවියන් වහන්සේට සළකන්නේ මෙලෙසය​. ඔවුන් උන්වහන්සේගෙන් ලෞකීක සම්පත් බලාපොරොත්තු වෙති. ස්වාමින් වහන්සේ මේවා සපයා දුන්නොත් ඔවුන් විශ්වාසවන්තව සභාවට පැමිණෙති. එලෙසම තමන්ගේ ආදායමෙන් කොටසක් දෙවියන් වහන්සේගේ සේවයට ලබා දෙති. මෙවැනි ඇදහිලිවන්තයින් දෙවියන් සමඟ කරනු ලබන්නේ ව්‍යාපාරයකි. වෙනත්, ලෝකයේ ව්‍යාපාරිකයින් මෙන් ඔවුන් තමුන්ගේ පහසුව සහ ලාභය සොයති.

යාකොබ් ඔහුගේ ජීවිතයේ අවුරුදු 20ක් ගත කළේ ලෞකීක දේවල් ඩැහැ ගැනීමටය​. ලාබාන්ගේ පවුලෙන් භාර්‍යාවන් ඩැහැ ගැනීමට ගත් උත්සාහයේදී ඔහුට භාර්‍යාවන් දෙදෙනෙක් ලැබුණි. ඔහුට භාර්‍යාවන් දෙදෙනෙක් අවශ්‍ය නොවුනත් අන්තිමේදී දෙදෙනෙක් ලැබුණි. පසුව ඔහු ලාබාන්ට වංචාකොට ඔහු බැටළුවන් ඩැහැගෙන ධනවත් කෙනෙක් බවට පත් විය​. යාකොබ් ලාබාන්ගේ නිවසට සතයක්වත් නැතිව ගියත් ඔහු අවසානයේදී මහත් ධනවතෙක් බවට පත් වූයේය​. අද දවසේ සිටින බොහෝ ඇදහිලිවන්තයින් මෙන් ඔහුගේ සඵලත්වය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මත ලැබූ බව දැන සිටියේය​!!

නමුත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබීමේ සැබෑ සළකුණ කුමක්ද​? එය සඵලත්වයද​? නැත​. එය නම් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වීමය​.

හොඳ රැකියාවක්, හොඳ නිවසක් සහ බොහෝ පහසුකම් තිබුණත්, අපගේ ජීවිතය දෙවියන් වහන්සේටත්, අන්‍යයන්ටත් ප්‍රයෝජනයක් නොවේ නම්, මේ සියලු දේ නිෂ්ඵලය​.

නමුත් දෙවියන් වහන්සේ යාකොබ්ගේ ජීවිතය තුළ ක්‍රියා කිරීම අවසන් නොකළ සේක. පෙනීයෙල් නම් ස්ථානයේදී උන්වහන්සේ, යාකොබ්ව හමු වූ සේක​.

මාගේ සහෝදර, සහෝදරියනි, ඔබගේ ජීවිතයේ පහත්ම අඩියට වැටුණු අවස්ථාවකදී දෙවියන් වහන්සේ සමඟ දෙවෙනි හමුවීමක් අවශ්‍ය බව ප්‍රකාශ කරමි. මෙලෙස​ ස්වාමින් වහන්සේ ඔබව විනිශ්චය කර නිරයට යැවීම වෙනුවට ඔබ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් පූර්ණ කරනු ඇත​.

යාකොබ් මීට වසර 20කට ඉහතදී කුළුඳුල්කම වංචාවෙන් ලබා ගත් ඔහුගේ සහෝදරයා වූ ඒසව් ඔහුව හමුවීමට පැමිණෙන බව දැනගත් විට බියවූ බව උත්පත්ති 32 හි සඳහන් වේ. ඒසව් ඔහුව මරණ බව දැන සිටියේය​. අප බියට පත් වන අවස්ථාවලට මුහුණ දීමට ස්වාමින් වහන්සේ ඉඩ හරින කාරණය අපට යහපතක් වේ. මන්ද මනුෂ්‍යයා අපට කරන දේ සම්බන්ධව බියට පත් වන විට අප වඩා දෙවියන් වහන්සේට ළංවෙමුව​.

පෙනීයෙල්හිදී යාකොබ් තනි වූයේය (උත්පත්ති 32:24). උන්වහන්සේව මුණගැසීමට ප්‍රථම උන්වහන්සේ අපව තනිවූ තත්වයකට පමුණුවන සේක​. සාතන් අද දවසේ මනුෂ්‍යයන්ගේ ජීවිත කාර්‍ය බහුල​, කලබල සහිත තත්වයකට පත් කර තිබීම හේතුවෙන් බොහෝ ඇදහිලිවන්තයන්ට පවා දෙවියන් වහන්සේ සමඟ තනි වීමට කාලයක් නැත​. මේ අයගේ ජීවිත කාර්‍ය බහුලත්වයෙන් පිරී දෙවියන් වහන්සේ පවා අඩු තක්සේරුවට පත් කරමින් ඔවුන්ගේ දිනචර්‍යාවෙන් උන්වහන්සේව ඉවත් කර ඇත​. ක්‍රිස්තියානි ඇදහිල්ලට අද ඇති වී තිබෙන ඛේදවාචකය මෙයයි.

එම රාත්‍රියේදී දෙවියන් වහන්සේ බොහෝ වේලාවක් යාකොබ් සමඟ පොරබැදූ නමුත් ඔහු යටත් නොවීය​. මෙම පොරබැදීම සංඛේතවත් කළේ, යාකොබ්ගේ ජීවිතයේ පසුගිය අවුරුදු 20 තුළ සිදු වූ කාරණාවන් ය​. යාකොබ් හිතුවක්කාර බව ස්වාමින් වහන්සේට පෙනී ගිය කල, උන්වහන්සේ ඔහුගේ කලවා සංධිය ඇදී යන්නට සැළැස්වූ සේක​. ඒ කාලයේදී යාකොබ් අවුරුදු 40ක් වයසැති ශක්තිමත් කෙනෙක්ව සිටියේය​. ඔහුගේ සීයා වූ ආබ්‍රහම් අවුරුදු 175ක් ජීවත් වූයේය​. එමනිසා යාකොබ් ඔහුගේ තරුණ වියේ හොඳම කාලයක සිටි බව අපට පැවසිය හැකිය​. ඔහුගේ ජීවිතයේ 75%ක කොටසක් තවම ඔහු ඉදිරියේ තිබුණි. මෙම තරුණ වයසේදී ඇදීගිය කලවා සංධියක් ඇති වීම ඔහු බලාපොරොත්තු වූ දෙයක් නොවුණු අතර​, එය ඔහුගේ අනාගත සැළසුම් බිඳ වැටෙන දෙයක් විය​. අද දවසට මෙය අදාල කරගතහොත් අවුරුදු 20ක තරුණයෙක් කලවා සංධිය හානි කරගෙන ඔහුගේ ඉදිරි ජීවිතය තුළම කිහිලි කරුවල ආධාරය ඇතිව සිටින කෙනෙකුට සමානය​. මෙය කෙනෙකුගේ ජීවිතය කඩා බිඳ තබන තත්වයකි. ආධාරකයක් නැතුව යාකොබ්ගේ ඉදිරි ජීවිතයේ ගමන් කිරීමට නොහැකි තත්වයක් ඇති වුණි.

දෙවියන් වහන්සේ යාකොබ්ව බිඳුනු තත්වයකට ගෙන එන පිණිස නොයෙකුත් අවස්ථාවල්දී ක්‍රියා කළත්, යාකොබ් ඒවාට අවනත නොවීය​. අවසානයේදී ස්වාමින් වහන්සේ ඔහුට සැමදා පවතින ශාරීරික බාධාවක් ඇති වන්නට සැළසූ සේක​. මේ තුළින් යාකොබ්ගේ බිඳුනු තත්වයක් ඇති වුණි.

අපත් මෙවැනි ස්වභාවයක සිටී නම්, යාකොබ්ට සිදු වූ දේ අපටද සිදු වෙන්ට උන්වහන්සේ ක්‍රියා කරනු ඇත​. උන්වහන්සේට ප්‍රේම කරන අය​, උන්වහන්සේ හික්මවන සේක​. එසේ කරන්නේ එවැනි අය මීට වඩා භයානක විපතකින් ආරක්‍ෂා කරන පිණිසය​.

යම් විදියකින් උන්වහන්සේ, අපව හික්මවීම නැවතුවහොත්, පසුබටවූ කෙනෙක් වශයෙන් වුවත්, යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිව​, මුදල් හොඳින් උපයමින් ජීවිතය නාස්ති කර ගන්නා තත්වයකට පැමිණීමට ඉඩ හරින සේක​. නමුත් එසේ වීමට කැමැති කව්ද​? මම නම් මගේ ජීවිතය දෙවියන් වහන්සේ විසින් දැඩි පාලනයකට සහ හික්මවීමකට ලක් කර (අවශ්‍ය නම් ශාරීරික ලෙස​) මා බිඳුනු තත්වයකට පත් වී, උන්වහන්සේ සමඟ ගමන් කරමින්, උන්වහන්සේගේ අරමුණු මේ පොළොවේ සම්පූර්ණ කිරීමේ තත්වයකට පැමිණීමට කැමැත්තෙමි.

ශ්‍රේෂ්ඨවූ අපෝස්තළු පාවුල්ද බිඳුනු ස්වභාවයක සිටින පිණිස "මාංශයේ කටුවක්" අවශ්‍ය විය (2 කොරින්ති 12:7). පාවුල්ගේ මාංශයේ කටුව සමහර විට ඔහුව නිතරම බාධාවට පත් කළ ශාරීරික හෝ බාහිර අපහසුතාවයක් වීමට පුළුවන​. මෙම "සාතන්ගේ දූතයා" පහව යන පිණිස ඔහු නිතරම ස්වාමින් වහන්සේට යාච්ඤා කළේය​. නමුත් උන්වහන්සේගේ පණිවිඩය වූයේ "මෙය සාතන්ගේ දූතයෙක් වුවත් මම එය පහ නොකරමි. ඔබ යටහත්ව තබන පිණිසත්, මටත් අන්‍යයන්ටත් ඔබ ප්‍රයෝජනයක් වන පිණිස ​මෙය ඔබට අවශ්‍ය වේ" යනුයි.

දෙවියන් වහන්සේ යාකොබ්ගේ කලවා සංධිය ඇදී ගිය පසු උන්වහන්සේ ඔහුට පැවසුවේ "මගේ කාර්‍ය මම ඉටු කළා, දැන් මට යන්න ඉඩ හරින්න​. ඔබට මාව අවශ්‍ය වූයේ නැහැ. ඔබට උවමනා කළේ කාන්තාවන් සහ මුදල් පමණය​". නමුත් දැන් දෙවියන් වහන්සේව අත හැරීමට යාකොබ් සූදානම් නොවීය​. ඔහු දැන් වෙනස් වී සිටියේය​. ඔහුගේ පසුගිය ජීවිතය පුරාම කාන්තාවන් සහ දේපල ඩැහැ ගැනීමේ යෙදී සිටි හෙතෙම දැන් දෙවියන් වහන්සේව තදින් අල්ලාගෙන පවසන්නේ "ඔබ මට ආශිර්වාද කරන තුරු මම ඔබ අත්නාරිමි" කියාය​. යාකොබ්ගේ කලවා සංධිය ඇදී යෑම තුළින් මොනතරම් වටිනා දෙයක් ඔහුගේ හදවතේ සිදු කරනු ලැබුවාද​? ඔහුට දැන් උවමනා වූයේ දෙවියන් වහන්සේ පමණි.

"දෙවියන් වහන්සේ හැර ඔබට වෙන කිසි දෙයක් නැති වන විට, උන්වහන්සේ සෑම දෙයකටම වඩා සෑහේය"යනුවෙන් පැරණි කියමනක් ඇත!!​ මෙය සැබවින්ම සත්‍ය වූ කාරණයකි.

"ඔබගේ නම කුමක්ද​?" කියා දෙවියන් වහන්සේ ඔහුගෙන් අසන සේක​. යාකොබ් පිළිතුරු දෙන්නේ "මගේ නම යාකොබ්‍"ය කියාය​. "යාකොබ්" යනු වංචාකාරයා යන අර්ථයයි. ඔහු වංචාකාරයෙක් බව යාකොබ් පිළි ගන්නේය​.

ඔබත් සමහර විට වංචාකාරයෙක්ද​? ඔබ ආත්මීක කෙනෙක් බවට අඟවමින්, ඔබ අන්‍යයන් රවටා තිබේද​? එසේ නම් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වී, ඔබ ප්‍රෝඩාකාරයෙක් බව උන්වහන්සේට පවසන්න​.

අවුරුදු කිහිපයකට ප්‍රථම අන්ධභාවයට පත් වූ යාකොබ්ගේ පියා ඔහුගේ නම පවසන්නට ඉල්ලූ විට ඔහු ඒසව් බව පවසා පියාව රැවටීය. නමුත් දැන් යාකොබ් අවංක විය​. එමනිසා ස්වාමින් වහන්සේ ඔහු අමතමින් "ඔබ තවත් ප්‍රයෝගකාරයෙක් නොව​" කියා පැවසූ සේක (උත්පත්ති 32:28).

එය ධෛර්‍යමත් කිරීමේ වචනයක් නොවේද​?

ඔබට එය ඇසුනාද​? "ඔබ තවත් ප්‍රයෝගකාරයෙක් නොව​"

හාලේලූයා!

මෙයින් පැවසෙන්නේ, ඔබ නැවතත් පාපයට නොවැටී සිටීම නොව​, නමුත් ඔබගේ ජීවිතයේ තව දුරටත් ප්‍රයෝගකාරී ස්වභාවයක් නොවන බවයි. ඔබගේ ජීවිතය තුළ රැවටිලිකාර ස්වභාවයක් තවත් නොවන්නේය​.

"නුඹ දෙවියන් වහන්සේ සමඟත් මනුෂ්‍යයන් සමඟත් පොරබදා ජය ගත් නිසා, නුඹේ නම මින්මතු යාකොබ් නොව ඉශ්‍රායෙල් වන්නේ" යැයි දෙවියන් වහන්සේ යාකොබ්ට කී සේක​. මොන තරම් ජීවිතයේ වෙනස් වීමක්ද​? - ප්‍රයෝගකාරයා දෙවියන් වහන්සේගේ කුමාරයෙක් බවට පත්වීම​. මේ සියල්ල සිදු වුණේ යාකොබ් කැඩුණු බිඳුනු තත්වයකට පැමිණීම හේතුකොටගෙනය​.

අපගේ කැඳවීමත් මෙලෙසය​. කුමාරයෙකු මෙන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ සිංහාසනයේ සිටිමින්, සාතන්ට එරෙහිව ආත්මීක ආධිපත්‍ය දරමින්, ස්ත්‍රීන් සහ පුරුෂයින් සාතන්ගේ බන්ධනයෙන් නිදහස් කිරීමය​. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ කොටස් කරුවන් වශයෙන් දෙවියන් වහන්සේ තුළ බලය ඇතිවද​, මනුෂ්‍යයන් අතර බලය ඇතිවද ජයගෙන සිටීමය​. අපව කැඳවා තිබෙන්නේ සියලු මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් පිණිසය​. නමුත් මෙය සිදු වීමට නම්, අප කැඩුණු බිඳුනු ස්වභාවයකට පත් වී තිබිය යුතුය​. අප බිඳුනු තත්වයකට පත් වන්නේ අපගේ කුහකකම සහ වංවනික ස්වභාවය සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක වුවොත් පමණි.

ශත වර්‍ෂ කිහිපයකට පසු, යාකොබ්ගේ වංශයෙන් පැවත ආ නතානියෙල්, යේසුස් වහන්සේ හමු වුණු අවස්ථාවේ උන්වහන්සේ මෙලෙස ඔහු ගැන පැවසූ සේක "මෙන්න, සැබැවින්ම ඉශ්‍රාලිතයෙක්. මොහු තුළ කිසි වංචාවක් නැත​" (ශු:යොහාන් 1:47)!! තවද, උන්වහන්සේ බෙතෙල්හිදී, යාකොබ් දුටු ඉණිමග ගැන මතක් කර දෙමින් නතානියෙල්ට පැවසුවේ, ඔහු සැබෑ ඉශ්‍රාලිතයෙක් වූයේ ඔහු සර්ව සම්පූර්ණ කෙනෙක් වූ නිසා නොව​, නමුත් ඔහු තුළ කිසි වංචාවක් හෝ රැවටිලිකාර ස්වභාවයක් නොතිබුණු නිසා බවය​.

යාකොබ් මෙම ස්ථානයට "පෙනීයෙල්" යන නාමය තැබුවේ, අවසානයේදී එතනදී ඔහුට දෙවියන් වහන්සේගේ "මුහුණ​" දකින්ට ලැබුණු නිසාය​. බෙතෙල්හිදී යාකොබ් දෙවියන් වහන්සේගේ ගෘහය අත්දැකීමෙන් ප්‍රීතියෙන් මංමත් වී සිටියේය​. ඔබ වර්‍ෂ ගණනාවක් දෙවියන් වහන්සේගේ ගෘහයට පැමිණියත් ඔබ උන්වහන්සේගේ "මුහුණ" නොදැක සිටීමට පුළුවන​. තත්වය මෙලෙස නම්, ඔබ උන්වහන්සේගේ "මුහුණ​" දකින පිණිස ඔබට උන්වහන්සේ සමඟ දෙවෙනි හමුවීමක් අවශ්‍ය වන්නේය​.

යාකොබ් ප්‍රබෝධමත් වී පැවසුවේ

"මම මුහුණට මුහුණලා දෙවියන් වහන්සේ දුටිමි, එහෙත් මාගේ ප්‍රාණය ඉතුරු විය​" (උත්පත්ති 32:30).

ඔහු තමාගේ සිතුවිළි තුළ පවසාගන්න ඇත්තේ "මගේ රැකියා ස්ථානයෙන් මාව නෙරපා හරින තත්වයක් තිබුණත්, මගේ වේතනය තුන්ගුණයකින් වැඩි කර ඇත​.

මා නිරයට යන්නටයි නියමිතව තිබුණේ. නමුත් ඒ වෙනුවට උන්වහන්සේ මාව ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කළ සේක​. හාලේලූයා!"

මට තේරෙන ලෙස බොහෝ අය ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය නොලබන්නේ ඔවුන් එය උපයා ගන්ට උත්සාහ කරන නිසාය​. ඔවුන් උන්වහන්සේ ඉදිරියේ වටිනාකමක් ලබා ගැනීමට උත්සාහ කරති. වෙනත් ආගම් වලට අයිති බැතිමතුන් තමන්ගේ පාප වලට සමාව ලබා ගැනීමට මෙලෙස ක්‍රියා කරති. නමුත් මෙලෙස අවංකව කළත් ඔවුන්ට සමාව ලබා ගැනීමට නොහැකි වන්නේ ඇයි? ඔවුන් එය උපයා ගැනීමට තැත් කරන නිසාය​.

ඔබගෙ පාපයට කමාව ලැබුනේ කෙලෙසද​? ඔබට එය ලැබිය යුතු දෙයක්ව තිබුනාද​, නැත්නම් උපයා ගත්තාද​? ඔබගේ ජීවිතයේ එක්තරා දිනයකදී ඔබ දෙවියන් වහන්සේගේ සමාව ලැබීමට සුදුසු කෙනෙක් නොවන බවට වැටහී යන්නට ඇත​. එවිට ඔබ යේසුස් වහන්සේ වෙතට පැමිණියේය​. එසේ පැමිණුනේ ක්‍රිස්තියානිකාරයෙක් ලෙස නොව පව්කරුවෙකු ලෙසය​. ඔබ එවෙලේම ඔබගේ පාපවලට සමාව ලැබුවේය​. ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය ලැබීමටත් අප එලෙසම උන්වහන්සේ වෙතට පැමිණිය යුතුය​.

අද දවසේත් බොහෝ ඇදහිලිවන්තයින් ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය ලබන පිණිස නිරාහාරයෙන්ද, යාච්ඤාවෙන්ද බලා සිටිති. මේ කිසිවක් තුළ වරදක් නැත​. ඒ සියලු දේ යහපත් ය​. නමුත් ඔබ මේ කාරණා වල යෙදී සිටින්නේ ශුද්ධාත්ම පූර්ණත්වය ලැබීමට සුදුස්සෙක් වන පිණිස නම්, ඔබ වරද්දාගෙන ඇ ත​.

ඔබට ශුද්ධාත්ම පූර්ණත්වය නොලැබුනහොත් මෙලෙස ඔබ දෙවියන් වහන්සේගෙන් ප්‍රශ්න කරනු ඇත "ස්වාමිනී, මම නිරාහාරයෙන්, යාච්ඤාවෙන් බලා සිටියෙමි. ඔබවහන්සේ මාව පූර්ණ නොකළේ ඇයි?" අපගේ පාප වලට සමාව ලබා ගැනීම අපට උපයා ගැනීමටවත්, එයට සුදුස්සෙක් වීමට නොහැකි ලෙසම ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය ලැබීම උපයා ගැනීමටවත්, එයට සුදුස්සෙක් වීමටවත් නොහැකිය​. පාපයට සමාව ලැබීම සහ ශුද්ධාත්ම පූර්ණත්වය ලැබීම දෙවියන් වහන්සේගේ දීමනාවක් ය​. මේ එකකටවත් උන්වහන්සේට මිලයක් දීමට අපට නොහැකිය​. මෙය ඔබ නොමිලයේ ලබා ගන්නවා මිසක් වෙන ආකාරයකින් ලබා ගැනීමට නොහැකිය​.

දෙවියන් වහන්සේ සියලු දීමනා ලබා දෙන්නේ නොමිලයේය​. නමුත් මනුෂ්‍යයා වැරදි ලෙස දෙවියන් වහන්සේට යමක් දීමෙන් ඒවා ලබා ගැනීමට යෑමෙන් මේ කිසිවක් නොලැබෙන්නේය​. දෙවියන් වහන්සේගේ දීමනා ලැබීමට ඔබ සුදුස්සෙක් වීමට උත්සාහ කළහොත් එය නිෂ්ඵල කාර්‍යක් වන්නේය​. සමහර විට ඔබ තවම ශුද්ධාත්මයාණන් වහන්සේගේ පූර්ණත්වය නොලැබීමට හේතුව මෙය විය හැක​.

යේසුස් වහන්සේ පොළොවේ වැඩවාසය කරන කාලයේදී, ඵරිසිවරුන්ගේ අදහස වූයේ, ඔවුන් අනික් අයට වඩා පව් කමාව ලැබීමට සුදුස්සන් බවය​. ඔවුන් එය නොලබා නිරයට ගියහුය​. අනික් අතට, මහත් පව්කරුවන් වූ මග්දලායේ මරියා යන අය පව් කමාව ක්‍ෂණයකින් ලැබුවෝය​. ජීවිත කාලය තුළම අපරාධ කළාවූ සොරෙකු කුරුසියක සිටින අවස්ථාවකදී මොහොතකින් පාප සමාව ලබා එම රාත්‍රියේම පාරාදීසයට ඇතුල් වූයේය​.

දෙවියන් වහන්සේ තමන්වහන්සේගේ හොඳම දීමනා දෙන්නේ ඒවා ලබන්නට නුසුදුසු අයටය​. මිදි වත්තේ වැඩ කිරීමට අවසාන පැයේදී පැමිණී අයට කිසි දීමනාවක් ලැබීමට නුසුදුසු වුවත්, ඔවුන්ට ප්‍රථමයෙන් වේතනය ලැබුණි. නමුත් කලින් පැමිණ වැඩ කළ අය​, ඔවුන්ගේ වේතනය ලැබීමට සුදුස්සන් වුවත්, ඔවුන්ට අවසානය දක්වා බලා සිටීමට සිදු විය​.

අකීකරු පුත්‍රයාගේ කථාවේදී ඔහුගේ පියා තමාගේ අතේ මුද්දක් ඇතිව සිටිය බව කියවමුව​. නමුත් දවසකදී පියා මෙම මුදුව ගළවා තමාගේ වස්තුව නාස්ති කළාවු බාල පුත්‍රයාට ලබා දුන්නේය​. පියා මෙය වැඩිමහල් පුතාට නොදුන්නේ ඇයි? ඔහු තමධර්මිෂ්ඨකම ඇති කෙනෙකු විය​. මනුෂ්‍යයාගේ ඇස් ඉදිරියේ මෙම මුදුවට සුදුසු තැනැත්තා වූයේ වැඩිමහල් පුත්‍රයාය​. නමුත් පියා එය ලබා දුන්නේ බාල පුතාටය​.

දෙවියන් වහන්සේගේ මාර්ගත් මෙලෙසය​. උන්වහන්සේ ක්‍රියා කරන්නේ උඬඟු වූවන් ‍යටහත්කමට පත් කරන පිණිසය​. මෙලෙස ක‍සිවෙකුට උන්වහන්සේ ඉදිරියේ පුරසාරම් කීමට නොහැකිය​. උන්වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නොවේය​. උන්වහන්සේගේ සිතුවිළි අපගේ සිතුවිළි නොවේය​.

මා පැහැදිළි කර දීමට උත්සාහ කරන මෙම සත්‍ය ඔබ වටහා ගත්තා නම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයා සමඟ ක්‍රියාත්මක කරන අන්දම සම්බන්ධයෙන් මූලික ප්‍රතිපත්ති ඔබ වටහා ගන්නවා ඇත​.

මාව පසුතැවිල්ලට පළමුව ගෙන එනු ලැබුවේ දෙවියන් වහන්සේගේ යහපත්කම නිසාය​. ඉන්පසු උන්වහන්සේ මට දක්වා ඇති සෑම යහපත්කමක්ම මාව තවදුරටත් ගැඹුරු පසුතැවිල්ලකට ගෙන ඒමට හේතු විය​.

දෙවියන් වහන්සේගේ යහපත්කම ඔබවද පසුතැවීමකට ගෙන ඒමට හේතු වනවා ඇත​. උන්වහන්සේගේ යහපත්කම වැරදි විදියට ඔබගේ වාසියට හරවා ගැනීමට උත්සාහ නොකරන්න​. ස්වාමින් වහන්සේ විවිධ මාර්ග වලින් අපට යහපත්කම් කර ඇත​. නමුත්, උන්වහන්සේ යහපත්කම් කර ඇතත්, උන්වහන්සේ අප ගැන සතුටු වනවා කියා අදහසක් ඇති කර ගැනීමෙන් ප්‍රවේසම් විය යුතුය​. උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට යහපත්කම් කරන සේක​. උන්වහන්සේගේ යහපත්කම ක්‍රියාත්මක වන්නේ අපව පසුතැවිල්ලට ගෙන එන පිණිසය​. එලෙස අප ප්‍රයෝගයකින් තොරව උන්වහන්සේ වෙතට හැරුනොත්, අපගේ ඇඟිල්ලේද උන්වහන්සේගේ මුදුව පලඳන සේක​. උන්වහන්සේ මෙම මුදුව විශේෂයෙන් තබා තිබෙන්නේ අප වාගේ පව්කරුවන් වෙනුවෙන් ය​.

යේසුස් වහන්සේ වරකදී ඵරිසිවරුන්ට උපහාසයෙන් පැවසුවේ, "නුඹලා නිරෝගිව සිටින්නහුය​, එමනිසා නුඹලාට වෛද්‍යවරයෙක් අවශ්‍ය නැත​. වෛද්‍යවරයෙකු අවශ්‍ය වන්නේ රෝගියෙකුටය​. මා පැමිණියේ එවැනි අය උදෙසාය​" (ශු:මතෙව් 9:12). උන්වහන්සේ මෙම උපහාසාත්මක වචන යොදා ගත්තේ ඔවුන්ව සත්‍යයට අවදි කරවන පිණිස ප්‍රේමය පසුබිම් කරගෙනය​. නමුත් ඔවුන් අවදි වූයේ නැත​.

යේසුස් වහන්සේ පැමිණියේ ධර්මිෂ්ඨයන් යැයි තමුන් ගැන සැළකූ අය කැඳවීමට නොව​, තමුන් පව්කරුවන් යැයි පිළිගත් අය වෙනුවෙන් ය​. මේ අවස්ථාවේදී සමහර අය ඵරිසිවරුන් මෙන් ආත්ම වංචාවෙන්, උඬඟුවෙන් සහ තමධර්මිෂ්ඨකමින් තමන් තුළ දුර්වලව මෙවැනි තත්වයක් තිබෙන බව අවබෝධයකින් තොරව සිටීමට පුළුවන​. මෙම "රෝගී" තත්වය ඒඩ්ස් සහ පිළිකා රෝග වලට වඩා බරපතල වන අතර, එමඟින් ඔබ විනාශයට පත් විය හැක​. මිණිමැරීම​, වෛශ්‍යාකම වැනි පාප සමඟ මෙම තත්වය සසඳන කල මිණිමැරීම​, වෛශ්‍යාකම උණට සහ සෙම්ප්‍රතිශ්‍යාවට සමාන වන්නේය​. මිණීමරුවෙක් සහ වෛශ්‍යාකම් කරන්නෙක් ඔබ රෝගීන් ලෙස සැළකුවත් ඔබ එම දෙදෙනාට වඩා භයානක රෝගී තත්වයක සිටීමට පුළුවන!!​.

දෙවියන් වහන්සේට උවමනා කරන්නේ, උන්වහන්සේගේ , ජීවනයත් බලයත්, ආධිපත්‍යයත් අපට ලබා දීමටය​. මේ නිසා උන්වහන්සේ අපව නිතරම අසමත් වීමට සළසමින් අපව කැඩුණු බිඳුනු තත්වයකට අවසානයේ ගෙන ඒමට සළස්වන සේක​.

යෝබ් සම්බන්ධ කථාවේදී, දෙවියන් වහන්සේ ඔහුගේ දේපල, දරුවන්, සෞඛ්‍ය අහිමි වීමට ඉඩ දෙමින් යෝබ්ව ජීවිතයේ අන්තිම අඩියට වැටීමට සැළැස්වූ සේක​. එක්තරා විධියකින්, යෝබ්ට නිතරම කොඳුරමින් බාධා කළාවූ ඔහුගේ බිරිඳද, ඔහුව වරදවා තේරුම් ගනිමින් විවේචනය කළාවූ ඔහුගේ මිතුරන් තිදෙනාද අහිමි වන තත්වයක්ද ඇති වුණි. යෝබ්ගේ මිතුරන් තමන් හරියයි සිතමින් දේශනා සහ උපදෙස් ලබා දුන්නේ, ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාසේ වියරු ආස්වාදයක් ලබමින් ය​. ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ කරුණාවෙන් මෙය නවත්වනතුරු එම මිතුරන් යෝබ්ව තැළුවෝය​. මෙම සියලු පීඩන මධ්‍යයේදී යෝබ් තමා නිවැරදි බව නිතර පැවසුවේය​. දෙවියන් වහන්සේ ඔහුට අවසානයේදී කථා කළ විට, යෝබ් ඔහුගේ තමධර්මිෂ්ඨකම තුළ සිදුවූ දූෂිතකම දැක පසුතැවිළි වුණේය​.

යෝබ් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූයේය​. එය යහපත් ය​. නමුත් යෝබ් ඔහුගේ ධර්මිෂ්ඨකම ගැන උඬඟු වූයේය​. මෙය අයහපතකි. නමුත් දෙවියන් වහන්සේ ඔහු සමඟ ක්‍රියා කළ පසු යෝබ් කැඩුණු බිඳුනු මනුෂ්‍යයෙක් බවට පත් වුණි. එතැන් පටන් ඔහු ස්වාමින් වහන්සේට පමණක් මහිමය දුන්නේය​. මෙලෙස යෝබ් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ අරමුණ ඉෂ්ඨ විය​.

යෝබ් බිඳුනු තත්වයකට පත් වූ පසු දෙවියන් වහන්සේට ඔහු මෙලෙස පැවසුසේක​, "මා ඔබ ගැන කණින් අසා තිබුණි. නමුත් දැන් මාගේ ඇසින් ඔබ දකිමි" (යෝබ් 42:5). යාකොබ් පෙනීයෙල්හිදී අත් දැකපු ලෙස යෝබ් ස්වාමින් වහන්සේව මුහුණට මුහුණලා අත් දැක්කේය​. යෝබ් දෙවියන් වහන්සේගේ මුහුණ දැක ඔහුගේ ජීවිතය ආරක්‍ෂා වුණේය​. මෙයින් ඇතිවුණු ප්‍රතිඵලය කුමක්ද​? යෝබ් දූවිල්ලෙත්, අළු වලත් සිට පසුතැවිළි වූයේය (යෝබ් 42:6). යෝබ්ගේ මිතුරන් හතර දෙනාට දින ගණනාවක් මුළුල්ලේ කළ දේශනා සහ උපදෙස් වලට වඩා, දෙවියන් වහන්සේ මොහොතකින් යෝබ් තුළ වෙනසක් ඇති කළේ උන්වහන්සේගේ යහපත්කම එළිදරව් කිරීමෙන් ය​. යෝබ්ව බිඳුනු තත්වයකට පත්වී පසුතැවිළි වූයේ උන්වහන්සේගේ යහපත්කම තුළින් ය​.

බොහෝ දෙනා රැස්වීම් තුළ දේශකයන් මගින් දෙවියන් වහන්සේ ගැන අසා ඇත​. අපට අවශ්‍ය කරන්නේ අප කෙරෙහි ඇති උන්වහන්සේගේ යහපත්කම ගැන දැන එයින් කැඩුණු බිඳුනු තත්වයකට පත්වන, දෙවියන් වහන්සේ සමඟ මුහුණට මුහුණ අත් දැකීමක් ය​.

පේත්‍රැස්ටත් සිදු වූයේ මෙලෙසය​. ඔහු තුන් වරක් ස්වාමින් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ පසු උන්වහන්සේගේ මුහුණ දුටුවේය​. පෙනීයෙල්හිදී යාකොබ්ට ඇති වූ අත් දැකීමට ඔහුටද මුහුණ දෙන්ට සිදු විය​. බයිබලයේ සඳහන් ලෙස "ස්වාමින් වහන්සේ හැරී පේත්‍රැස් දෙස බැලූ සේක​" (ශු:ලූක් 22:61), මෙම බැල්ම පේත්‍රැස්ට අනතුරු ඇඟවීමේ එකක් නොව. නමුත් එමඟින් ස්වාමින් වහන්සේ ඔහු සිටින ආකාරයෙන් පේත්‍රැස්ට ප්‍රේම කරන බවත්, උන්වහන්සේ තුළ තිබෙන ඇදහිල්ල නැති කර නොගෙන උන්වහන්සේ ඔහුව ඒ තුළින් ආරක්‍ෂා සහිතව ගෙන යන බවත් පෙන්වූ බැල්මක් විය​. මෙහි ප්‍රතිඵලය වූයේ "පේත්‍රැස් පිටතට ගොස් බලවත් ලෙස දුකින් හැඬීමය​" (ශු:ලූක් 22:62). යේසුස් වහන්සේ දැක්වූ යහපත්කමේ සහ සමාව දීමේ බැල්ම තුළින් මෙම රළු ධීවරයාගේ හදවත කැඩුණු බිඳුනු තත්වයකට පත් කෙරුනි.

පරණ ගිවිසුම යටතේ දෙවියන් වහන්සේ විසින් ඉශ්‍රායෙල් ජාතියට සුවය​, ධනය සහ බොහෝ භෞතික ආශිර්වාද සම්බන්ධ නොයෙකුත් පොරොන්දු ලබාදී තිබුණි. මේ සියලුම දේට වඩා ශ්‍රේෂ්ඨ ආශිර්වාදයක් විය​. මෙම ආශිර්වාදය ගණන් කථාවේ 6:22-26 දක්වා විස්තර කර ඇත​. මෙහිදී ආරොන්ට මෙලෙස සෙනඟට ආශිර්වාදය ප්‍රකාශ කරන පිණිස අණ ලැබී තිබුණි,

"ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණා කරන සේක්වා. ස්වාමින් වහන්සේ ස්වකීය මුහුණනුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා".

ඇදහිලිවන්තයින් තමන්ගේ ජීවිත මුළුමනින්ම වෙනස් කරන්නාවූ ශ්‍රේෂ්ඨම ආශිර්වාදය වූ දෙවියන් වහන්සේ සමඟ මුහුණට මුහුණලා හමුවීමක් සොයනවා වෙනුවට ඊට වඩා අඩු තත්වයකින් වූ ආශිර්වාද වන සෞඛ්‍ය​, ධනය (මේවා නොඇදහිලිවන්තයන්ට පවා යාච්ඤාවෙන් තොරව තිබේ) සහ හැඟීම පුබුදුවන අත් දැකීම් පසුපස යෑම කණගාටුවට කරුණක් නොවේද?

අප කිසිදා ධනවත් නොවුනත්, සුවය නොලැබුවත්, අප දෙවියන් වහන්සේගේ මුහුණ දකිනවා නම්, එය අපගේ සියලු අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නක් වන්නේය​.

යෝබ් ස්වාමින් වහන්සේ හමුවුණු අවස්ථාවේදී ඔහුගේ ශරීරය පුරා ගඩු හටගෙන තිබුණි. නමුත් ඔහු උන්වහන්සේගෙන් සුවය ඉල්ලා සිටියේ නැත​​. නමුත් ඔහු පැවසුවේ "මම දෙවියන් වහන්සේගේ මුහුණ දුටුවෙමි, එය මට සෑහේය​" යනුවෙනි. “දැනගැන්මක්” සහ “දෙවියන් වහන්සේගෙන් වචනයක් ඇත​” කියා පෙන්වා සිටි උපදේශකයන් තිදෙනා යෝබ්ට පවසා සිටියේ ඔහුගේ ජීවිතයේ යම් රහස් පාපයක් නිසා ඔහු දඬුවම් ලබන බවය​. "ස්වාමින් වහන්සේ මෙසේ පවසන සේක​" කියා පණිවිඩ දෙන​, තමන්වම උසස් කරගත් ව්‍යාජ අනාගතවක්තෘන් අද දවසේත් සිටිති. ඔවුන්ගේ ව්‍යාජ ප්‍රකාශ වලින් දෙවියන් වහන්සේගේ සෙනඟ වරදට පත් කරනු ලබයි. යෝබ්ට උපදෙස් දුන් උපදේශකයන් තිදෙනා මෙන් දෙවියන් වහන්සේ, යෝබ්ට විනිශ්චයක් දීමට තර්ජනයක් නොකළ සේක​.

දෙවියන් වහන්සේ යෝබ්ගේ අසමත්වීම ගැනවත්, ඔහු පීඩනයෙන් සිටින අවස්ථාවේදී උන්වහන්සේට පැවසූ මැසිවිලි ගැනවත් කිසිවක් ප්‍රකාශ නොකළ සේක​. උන්වහන්සේ යෝබ්ට තමන්වහන්සේගේ යහපත්කම එළිදරව් කළ සේක​. මනුෂ්‍යයාගේ භුක්තිවිදීම සහ සතුට උදෙසාද සතුන් සහ සියල්ල කෙරෙහි ආධිපත්‍ය මනුෂ්‍යයා දරන පිණිස දෙවියන් වහන්සේ මැවූ මෙම විශ්වය තුළින් දෙවියන් වහන්සේගේ යහපත්කම පෙන්නුම් කරයි. යෝබ් පසුතැවිල්ලට ගෙනෙනු ලැබුවේ දෙවියන් වහන්සේගේ යහපත්කම එළිදරව් වීමෙන් ය​. බොහෝ අය දෙවියන් වහන්සේගේ යහපත්කම වාසියට ගෙන එය අනිසි ලෙස භාවිතා කරති. නමුත් යෝබ් සම්බන්ධයෙන් උන්වහන්සේ දැක්වූ යහපත්කම යෝබ්ව පසුතැවිල්ලට පමුණුවන ලදි. පසුව දෙවියන් වහන්සේ යෝබ්ට ආශිර්වාද කරමින් ඔහුට මුළින් තිබුනට වඩා දෙගුණයක් සම්පත් ලබා දුන් සේක​.

අපව කැඩුණු බිඳුනු තත්වයකට පත් කිරීමේදී දෙවියන් වහන්සේගේ අවසාන​ පරමාර්ථය වන්නේ, අපට අධික ලෙස ආශිර්වාද කිරීමටය (යාකොබ් 5:11). යෝබ් සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේට තිබූ ඉලක්කය නම්, ඔහුගේ තමධර්මිෂ්ඨකම සහ උඬඟුව බිඳදමා ඔහුව බිඳුනු තත්වයකට ගෙන ඒමය​. ඒ තුළින් ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මුහුණ යෝබ්ට එළිදරව් කර​, ඔහුට අධික ලෙස ආශිර්වාද ලැබීමය​. දෙවියන් වහන්සේ අපට ලබා දෙන භෞතීක සහ ශාරීරික ආශිර්වාද පවා අපව උන්වහන්සේගෙන් ඉවත් කර විනාශකාරී තත්වයකට ගෙන ඒමට හැකියාව තිබේ. මෙසේ වන්නේ අප උන්වහන්සේගේ මුහුණ මේ කාරණා පිටුපස තිබෙන බව නොදැකීමෙන් ය​. ලෞකීක ආශිර්වාද නිසා දෙවියන් වහන්සේගෙන් ඈත්වූ ඇදහිලිවන්තයින් කොයිතරම් දෙනෙක් සිටීද​?

ලෝකයෙන් අපට ලබා දෙන්නාවූ සියලු දේට ඇති ආශාවන් සහ ඒවා කරා හඹා යෑම දෙවියන් වහන්සේගේ මුහුණේ එක් දර්ශනයක් තුළින් අපට ජය ගත හැක​.

"ඔබේ වත මට පෙන්වුව​ මැනවි - දිව්‍ය ප්‍රේමයේ සුන්දරත්වය දිලෙනා එක බැල්මක් ;

එවිට ඔබේ ප්‍රේමය සුරකිනවා හැර, නොසිතමි නොපතමි වෙන කිසිත්.

සෑම අඩු ආලෝකයන් ම නිහඬව අඳුරු වන්නේය, සෑම පහත් වූ මහිමයක් ම අඩු වී යයි.

පොළොවේ අලංකාරයන් කිසිවිට අලංකාරව නොපෙනේ නැවත".

පේත්‍රැස් ස්වාමින් වහන්සේගේ මුහුණ දැකිමෙන් පසුව ඔහු හඬා වැළපුනි. මේ තුළින් අපට හැඟී යන්නේ පේත්‍රැස් අවසානයේදී කැඩුණූ බිඳුනු තත්වයකට පත් වූ බවය​. නමුත් නැත​. ඔහුට මෙම තත්වයට පැමිණීමට සූදානම් වන පිණිස අසමත්වීමේ තවත් එක් අත් දැකීමක් තුළින් ඔහුව ගෙන යෑමට ස්වාමින් වහන්සේට සිදු විය​.

ශු: යොහාන් 21:3 අපට සඳහන් කරන්නේ පේත්‍රැස් තමාගේ සගයන් වූ අපෝස්තළුවරුන්ට, "මම නැවත මාලු ඇල්ලීමට යමි" යි කියා පැවසූ බවය​. ඔහු මෙයින් අදහස් කළේ එම රාත්‍රියට පමණක් මසුන් ඇල්ලීමට යන බව පමණක් නොව​, නමුත් ඔහු අපෝස්තළුවරයෙක් වීමෙන් මින්පසු ඉවත් වන බවය​. පේත්‍රැස් අසමත් තත්වයකට පැමිණි කෙනෙක් වශයෙන් ඔහු නැවත ස්ථීර වශයෙන්ම ඔහුගේ පළමු රැකියාවට යන බව ප්‍රකාශ කළේය​.

මීට වර්‍ෂ කිහිපයකට පෙර ස්වාමින් වහන්සේ පේත්‍රැස්ට කැඳවීම දුන් පසු ඔහු කළ ධීවර ව්‍යාපාරය අත් හැරියේය​. ඔහු සියලු දේ අත් හැර​, තමන් දන්නාවූ හොඳම ආකාරයෙන්, අවංකව​, ස්වාමින් වහන්සේව අනුගමනය කළේය​. නමුත් ඔහු අසමත් විය​. දැන් ඔහුට හැඟී ගියේ අපෝස්තළුවරයෙක් වීමේ කාර්‍ය ඔහුට ගැළපෙන දෙයක් නොවන බවය​. අවුරුදු 31/2 ක් (අවුරුදු තුන හමාරක්) මුළුල්ලේ ලොව සිටියාවූ ශ්‍රේෂ්ඨම දේශකයාණන් විසින් කරන ලද අසම සම වූ, මනහර දේශනයන් ඇසීමෙන් පසු තමන්ගේ ස්වාමින් වහන්සේ නොහඳුනන්නාවූ බව ප්‍රකාශ කිරීමට තරම් සාහසික විය​. මෙලෙස ප්‍රකාශ කිරීම එක් වරක් පමණක් නොව​, තුන් වරක්ම කළේය​. දැන් ඔහුට අපෝස්තළුවරයෙක් වීමේ කාර්‍ය තවත් කළ නොහැකි දෙයක් බවට පත් විය​.

නමුත් ඔහුට එක් දෙයක් තවමත් කිරීමට හැකියාව තිබුණි. එය නම් මසුන් ඇල්ලීමයි. ඔහු කුඩා කාලයේ සිටම මෙම රැකියාවේ නිරත වී සිටි නිසා ඒ සම්බන්ධව දක්‍ෂයෙකුව සිටියේය​. එමනිසා නැවත වාරයක් ධීවර කර්මාන්තයේ යෙදීමට ඔහු තීරණය කළේය​. තවත් සමහර අපෝස්තළුවරුන් මේ සමාන තීරණයක් ගත්හ​. ස්වාමින් වහන්සේට අවශ්‍යතාවය ඇතිවූ අවස්ථාවේදීම ඔවුන් උන්වහන්සේ අත් හැර පලා ගියහ​. එලෙස ඔවුන් නැවත මසුන් ඇල්ලීමට සූදානම් වූයේ ඔවුන් අපෝස්තළුවරයන් වශයෙන් අසමත් වූ නිසාය​.

ඔවුන් අවංක මනුෂ්‍යයන් වූහ​. මේ අය යේසුස් වහන්සේගේ පණිවිඩය අගය කළ අතර, එම වචන අසා සිටියදී ඔවුන්ගේ හදවත් ගින්නක් මෙන් ඇවිලෙන්නට විය​. ස්වාමින් වහන්සේව මුළු හදවතින් අනුගමනය කරන ගෝලයන් වීමට ඔවුන්ට අවශ්‍යව තිබුණි. නමුත් ඔවුන් අසමත් වූහ​.

ඔබගේ අත්දැකීමත් ඔවුන්ට සමාන වීමට පුළුවන​. ඔබ බලවත් දේශන අසා හදවත උත්තේජනය විය හැක​. දෙවියන් වහන්සේගේ වචනය ඇසූ විට​, ඔබ හදවත තුළ ඇවිලීමක් සිදු වන්නට පුළුවන​. ඔබ සියලු දේ අත්හැර අවංකව ස්වාමින් වහන්සේව අනුගමනය කිරීමට තීරණයකට එළඹීමට පත් වූ තත්වයක් වීමට හැක​. බලවත් දේශන ඇසූ අවස්ථාවලදී ඔබ වරින් වර ස්වාමින් වහන්සේ වෙනුවෙන් තීරණ ගත් අවස්ථා තිබෙනවාද ඇත​. නමුත් නිතර අසමත් වීම තුළින්, "මම මේ වාරයේ නම් සැබෑ ලෙසම ගමන් කරනවා" යි කියා ඔබටම පවසාගත් අවස්ථා තිබෙන්නට පුළුවන​. නමුත් ඔබ උත්සාහ කළත් නැවතත් අසමත් වී ඇත​. ඔබගේ ජීවිතය දෙස පිටුපස හැරී බලන විට, ඔබට දැකිය හැකි වන්නේ දහස් වාරයක් ඔබ අසමත්වීම ගොඩගහගෙන ඇති බවය​. සමහර අය අධෛර්‍යට පත් වී මෙලෙස සිතනවා වෙන්නට පුළුවන​, "මෙයින් කිසිම වැඩක් නැත​. මෙම උත්සාහය අත් හැරීම වඩා යෝග්‍ය යැයි සිතමි. මෙම ශුභාරංචිය අනික් අයට ක්‍රියාත්මක වුවත්, මට එය හරියන්නේ නැත​. මා දුරදිග ගොස් හමාරය​. මට කිසිදා එම තත්වයට ඒමට නොහැක​".

අද දවසේ ඔබට තිබෙන්නේ මෙවැනි හැඟීමක්ද​? උත්සාහ කිරීමෙන් වැඩක් නැති නිසා ඔබ නැවත කිසිදා උත්සාහ කිරීමෙන් වැළකී සිටීමට තීරණයක් ගෙන තිබේද​? ඔබ නැවත වාරයක් ලෝකයට හැරී ගොස් ලෞකීක සම්පත් හෝ හිස්වූ සතුටක් ලබා ගැනීමට තීරණයකට එළඹ තිබේද​? ඔබ ස්වාමිවූ යේසුස් වහන්සේගේ ගෝලයෙක් බවට කියා සිටීමට වඩා ක්‍රිස්තියානි නාමය දරමින් දැඩි ලෙස ලෞකීක ජීවිතයක් ගත කරන කෙනෙක් වීම වඩා හොඳ යැයි සිතනවාද​?

නැවත මසුන් ඇල්ලීමට තීරණය කළ අපෝස්තළුවරුන්ද මේ හා සමාන හැඟීමක් ඇතිව සිටියහ​. ස්වාමින් වහන්සේද "නුඹලා එසේ කරන්න. නැවත මාලු ඇල්ලීමට ගොස් නුඹලා සාර්ථක වේදෝ කියා බලන්න" යන ආකාරයෙන් පවසමින් ඔවුන්ට අවසර දුන් සේක​. එලෙස පේත්‍රැස් සහ ඔහුගේ මිතුරන් මුළු රාත්‍රිය පුරා මසුන් ඇල්ලීමට උත්සාහ කළත්, ඔවුන් අවාසනාවන්ත ලෙස අසමත් වූහ​. මෙවැනි අයහපත් රාත්‍රියක් ඔවුන්ගේ ජීවිතය පුරා අත් දැක තිබුණේ නැත​.

දෙවියන් වහන්සේ ඔබව කැඳවූ පසු උන්වහන්සේ ඔබව අත්හරින්නේ නැත​. ඔබ උන්වහන්සේව මගහැරීමට ගන්නාවූ පියවර, ඒවා මසුන් ඇල්ලීම හෝ වෙනත් දෙයක් වේවා, මේ දේවල් සඵලවත් වීමට උන්වහන්සේ ඉඩ නොදෙන සේක​. ඒවා අසමත් වීමට කටයුතු සළස්වන සේක​. මේ සම්බන්ධව ඔබ කෙතරම් උත්සාහ කළත් ඔබ අසමත් වන්නේය​. ඔබගේ ජීවිතයේ වැදගත් නොමැති දේ තුළින් නාස්ති වීමට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඉඩ තබන්නේ නැත​. ඔබ උන්වහන්සේගෙන් පලා යෑමට තැත් කළත්, එම සියලු මාර්ග වලදී ඔබ අසමත් වනු ඇත​. උන්වහන්සේ වෙතට නැවත හැරී එනතුරු ඔබ අසමත් වනු ඇත​.

නමුත් දෙවියන් වහන්සේගේ කැඳවීම නොලත් අයට මෙය අදාල වන්නේ නැත​. බොහෝ 'කළු' සල්ලි උපයන කූට ව්‍යාපාරිකයන් සහ දේශපාලඥයින් යහපත් ශරීර ශක්තියෙන් තවමත් ජීවත් වෙති. ඔවුන් දෙවියන් වහන්සේගෙන් තොරව සිටිති. ස්වාමින් වහන්සේ මෙලෙස වීමට ඉඩ දෙන්නේ ඇයි? මෙසේ වන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන නිසාය​. නමුත් මා දැන් කථා කරන්නේ ඔවුන් ගැන නොව​, මා අමතන්නේ ලෝකයේ ආරම්භයට ප්‍රථම දෙවියන් වහන්සේ සන්තක කෙනෙක් වන පිණිස උන්වහන්සේගෙන් කැඳවීම ලැබූ ඔබටය​.

එදා ගලීලයේ මුහුදේ බොහෝ මත්ස්‍යයන් සිටින්නට ඇත​. අනිකුත් ධීවරයින් එම රාත්‍රියේ බොහෝ මසුන් අල්ලන්නට ඇති බව මට විශ්වාසය​. අනිකුත් බෝට්ටු අවට මෙම මත්ස්‍යයන් රැඳී සිටියත්, දෙවියන් වහන්සේ, පේත්‍රැස්ගේ බෝට්ටුව අසලින් මසුන් ඉවත් කර, එක මාලුවෙක්වත් අසල නොසිටින තරමට සිදු වෙන්ට සැළැස්වූ සේක​. අනිකුත් ධීවරයින් පේත්‍රැස්ගේ බෝට්ටුව අසලට පැමිණ ඔවුන්ට ලැබුණු මසුන් විශාල ප්‍රමාණය ගැන පවසන්ටද ඇත​. මේ නිසා පේත්‍රැස් සහ ඔහුගේ මිතුරන් තමන්ට එක මාලුවෙක්වත් අල්ලා ගැනීමට නොහැකිවීම ගැන මවිත වන්නට ඇත!​.

කොටස් වෙළඳ පොලේ මුදල් උපයා ගැනීමට ඔබ සමඟ සිටින අනිකුත් අය මෙන් ඔබට නොහැකි වූයේ මන්ද කියා ඔබ කල්පනා කර තිබේද​? අනිකුත් අයගේ ව්‍යාපාර මෙන් ඔබගේ ව්‍යාපාරය තුළින් මිලියන ගණන් උපයා ගැනීමට අසමත් වූ කාරණය ගැන ඔබ සිතන්නේද​? ඔබ අවට සිටින අය ධනවත් වෙද්දී, සඵලත්වය ඔබ වෙත නොපැමිණෙන බව පෙනී යනවා ඇත​. මෙලෙස සිදු වීමට හේතුව වන්නේ, දෙවියන් වහන්සේගේ කැඳවීම ඔබගේ ජීවිතය තුළ තිබෙන නිසාය​. ලෝකයේ සිටින මනුෂ්‍යයන්ගේ සම්පත් වලට වඩා දෙයක් ඔබ ලබා ගැනීම දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේය​.

දෙවියන් වහන්සේගේ කැඳවීමෙන් හැරී යාමට පේත්‍රැස් සූදානම් වන අතරේදී උන්වහන්සේ ඔහුගේ ජීවිතයේ බිඳුනු තත්වයක් ඇති කරමින් අසමත් කෙනෙක් වීමට සැළැස්වූ සේක​. මෙම අපෝස්තළුවරුන් මසුන් ඇල්ලීමට යෑම ආරම්භ කළේ සවස 6.00ට පමණය​. නමුත් පසුදා අළුයම 5.00 වන තෙක් යේසුස් වහන්සේ ඔවුන් වෙතට නොපැමිණි සේක​. එම රාත්‍රියේදී පේත්‍රැස්ට එක මත්ස්‍යයෙක්වත් අල්ලා ගැනීමට නොහැකි වන බව ස්වාමින් වහන්සේ දැන සිටි සේක​. ඔවුන්ගේ කාලය අපතේ නොගොස් ඔවුන් ඔරුව මුහුදට දැමූ අවස්ථාවේ ස්වාමින් වහන්සේ ඔවුන් වෙතට කලින් නොපැමිණියේ ඇයි? උන්වහන්සේ ඔවුන් වෙතට රාත්‍රි 9වන වේලාවේදීවත් නොපැමිණියේ ඇයි? පසුදා අළුයම 5.00වනතෙක් උන්වහන්සේ බලා සිටියේ ඇයි? පැය 11ක් පමණ ඔවුන් වෙහෙස මහන්සි වී අසමත් වුණ අවස්ථාව වනතෙක් උන්වහන්සේ පැමිණෙන්නේ නැතුව සිටියේ ඇයි?

මේ පැණයට පිළිතුරු වශයෙන් අපව අසමත් වීමට ඉඩ දෙන දෙවියන් වහන්සේගේ අරමුණ කුමක් ද කියා සොයා බලමු. මේ තුළ මනුෂ්‍යයාගේ අසමත් වීමට දෙවියන් වහන්සේගේ අභිප්‍රාය දක්නට ලැබේ. අප පොරබදින අවස්ථාවේදී උපකාර ලැබීමට අප නැවත නැවතත් කළ ආයාචනා මධ්‍යයේ උන්වහන්සේ අපගේ උපකාරයට නොපැමිණීම සහ අපගේ ඕනෑකමින් කළ යාච්ඤාවට තවමත් පිළිතුරු නොලැබීම සම්බන්ධව අපට මෙහිදී වටහා ගත හැක​.

එදා පේත්‍රැස් ඔහුගේ මිත්‍රයන් සමඟ සවස 6.00ට මසුන් ඇල්ලීමට ගියේ අසමත් අය වශයෙන් නොවේ. ඔවුන් මහත් බලාපොරොත්තුවෙන් සිටියහ​. රාත්‍රි 9.00 වන විට ඔවුන්ට කිසිම මත්ස්‍යයෙක් අල්ලා ගැනීමට නොහැකි වෙද්දී ඔවුන් සමහර විට තරමක අධෛර්‍ය වීමකට පත් වන්නට ඇත​. නමුත් ඔවුන්ගේ ගමන අසමත් එකක් ලෙස අහක දැමීමට නුපුළුවන​. මධ්‍යම රාත්‍රි වන විට ඔවුන් යම් ප්‍රමාණයකට අසහන වන්නට ඇත​. නමුත් පසුදා අළුයම 4.00වන විට ඔවුන්ගේ සියලු බලාපොරොත්තු බිඳ වැටුණි. නමුත් තවමත් ඔවුන් පූර්ණ අසමත් තත්වයක නොසිටියහ​. මේ තත්වය සිදු වීමට නම්, ඔවුන් තව දුරටත් අසමත් විය යුතුය​. ඔවුන් තුළ තිබු ආත්ම විශ්වාසය පහළ යමින් තිබුණි. නමුත් එය පහත්ම මට්ටමට වැටෙමින් තිබුණි. මෙය සිදු වූයේ අළුයම 5ට පමණය​. එවිට ඔවුන් සියල්ල අත් හැරීමට​ සූදානම් වූහ​. "තවත් අප වෙහෙසවීමෙන් පලක් නොමැති නිසා සියලු දෙනා ගෙදර යමු" යි කියා කථා කර ගන්නට ඇත​.

ස්වාමින් වහන්සේ ඔවුන් වෙත පැමිණියේ මේ අවස්ථාවේදීමය​. මෙය දෙවියන් වහන්සේගේ ක්‍රමයයි. උන්වහන්සේ ඔවුන්ගේ දැල් පිරෙන තරමට මසුන් ලබා දුන් සේක​. ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනක මෙවන් විශාල මත්ස්‍ය අස්වැන්නක් ලබා තිබුණේ නැත​. එම උදෑසන ඔවුන් විශාල මාලු 153න් දෙනෙක් අල්ලාගෙන තිබුණි. පෙර දිනවල ඔවුන් ලැබූ හොඳ අස්වැන්න මාලු 20ට හෝ 30ට සීමා වන්නට ඇත​. නමුත් මෙය මහත් හාස්කමකි. මෙතෙක් කිසිවෙක් මෙම මුහුදේදී මෙතරම් විශාල මත්ස්‍ය ප්‍රමාණයක් අල්ලා තිබුණේ නැත. මෙම වාර්ථාගත මසුන් ප්‍රමාණය ගලීලය ප්‍රදේශයේ වාර්ථා පොත් වලට ඇතුළත් කළ හැකිය. ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වූ අවස්ථාවක ස්වාමින් වහන්සේ ඔවුන් උදෙසා සිදු කළ හාස්කම ඔවුන් සැමදා සිහිපත් කරන කාරණයක් වූයේය!​

අද ඔබ කුමක් කරන්නේද​? මොන මාර්ගයක් ගන්නේද යන අවස්ථාවක් තුළ සිටිනවාද​? මන්ද​, ඔබ ගත් සෑම ක්‍රියා මාර්ගයක් තුළදී ඔබ බලාපොරොත්තු බිඳ වැටී අසමත් වී සිටිනවා වන්නට පුළුවන​. එහෙම නම් ඔබට ස්වාමින් වහන්සේ එළිදරව් වන අවස්ථාව ළංව තිබෙන බව වටහා ගන්න​. අත් නොහරින්න​. ඔබගේ ආත්ම විශ්වාසය බිංදුවට බසින තෙක් උන්වහන්සේ බලා සිටින සේක​. තවමත් උන්වහන්සේ ඔබ වෙතට පැමිණ නැත්නම්, එයින් පැහැදිළි වන්නේ ඔබගේ ආත්ම විශ්වාසය තවමත් ඉවත් නොවී බිංදුවට බැස නැති බවය​. ඔබ තුළ තවමත් තම ශක්තිය ගැන හැඟීමක් තිබෙන බව දකින සේක​. මෙය ඔබගෙන් ඉවත් විය යුතුය​. ස්වාමින් වහන්සේගේ පැමිණීමට පෙර​, ලාසරස් මරණයට පත්වී තැන්පත් කිරීම සිදු වන්නට තිබුණි!

යේසුස් වහන්සේ අවසානයේදී එම උදයේදී මුහුද ළඟට පැමිණී කල උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ කුමක්ද​? ඔවුන් මසුන් ඇල්ලුවේ නැති බව උන්වහන්සේ දැන සිටිසේක. කෙසේ වෙතත් උන්වහන්සේ ඔවුන්ගෙන් "දරුවෙනී, නුඹලා ළඟ මාලු තිබේද?"කියා ඇසූ සේක​. සමහර විට ඔවුන්ගෙන් කිසිවෙක් උත්තර දීමට පෙළඹුනේ නැත. උන්වහන්සේ නැවත වරක් එම ප්‍රශ්නයම ඔවුන්ගෙන් අසන්නට ඇත​. එවිට ඔවුන් "නැත​" කියා පිළිතුරු දුන්හ​. ඔවුන් අසමත් වූ අය බව පිළි ගත්හ​.

පෙර සිටියාවූ යාකොබ් සහ යෝබ් මෙන් ගෝලයන් දැන් අවංක වූවෝය​. ස්වාමින් වහන්සේට උවමනා කළේ ඔවුන් සියලු දෙනා අසමත් වූ අය බව ඔවුන් විසින්ම පිළි ගැනීමයි.

මගේ ජීවිතයේ මා සොයා ගත් ශ්‍රේෂ්ඨම ප්‍රීතියට කරුණ මෙලෙස වේ. අපගේ ජීවිතයේ ඕනෑම අවස්ථාවක දෙවියන් වහන්සේ අපගෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙය නම්, අවංක භාවයයි. අවංක කම තුළ උන්වහන්සේට අප වෙනුවෙන් හාස්කම් කිරීමට හැකි වනු ඇත​.

"ඔබ සමඟ මාලු තිබේද​?" 'නැත​' "ඔබගේ දැල් දකුණු පැත්තෙන් දමන්න​". බලව​, මහත් හාස්කමක් සිදු වුණි.

"ඔබගේ නම කුමක්ද​? "වංචාකාරයාය​"."ඔබගේ නම තවත් වංචාකරුවා නොව​, ස්වාමින් වහන්සේගේ කුමාරයාය​". බලව තවත් හාස්කමක් සිදු වුණි.

මාගේ සහෝදර​, සහෝදරියනි මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියා පිළිවෙලයි. උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තුවන ප්‍රධාන දෙය නම්, අවංකභාවයයි. ස්වාමින් වහන්සේ සමඟ අවංක වීමට අද ඔබට හැකිද​?

අපගේ සභාව ආරොග්‍ය ශාලාවකට සමාන කළ හැකිය​. අප සියලු දෙනා මෙහි නේවාසික රෝගීන් මෙන්‍ ය. අප විශේෂඥයෝ හෝ ප්‍රවීනයෝ නොවමුව​. සමහර අය මෙම ආරෝග්‍යශාලාවේ අන් අයට වඩා වැඩි කලක් සිටින අය වෙති. නමුත් අප සියලු දෙනා රෝගීන් වමුව​. සිටින්නේ එක දොස්තර කෙනෙක් පමණය​. ඒ යේසුස් වහන්සේමය​. වෙනත් උපදේශයන් අප අතර නැත​. විශේෂඥයින් සහ උපදේශකවරුන් සිටින්නේ තමධර්මිෂ්ඨකම ඇතුව සිටින වෙනත් ලබ්ධිකයන් අතරේ මිස ජීවමාන දෙවියන් වහන්සේගේ සභාව තුළ නොවේය​. මෙම ආරෝග්‍යශාලාවට පැමිණීමට ඕනෑම කෙනෙකුට ආරාධනය ඇත​. ඔබගේ රෝගී තත්වය බරපතල වන තරමට ඔබ අප සමඟ සිටීම අවශ්‍ය වන්නේ, ඔබ සුවය ලබා ගන්නා පිණිසය​. අපගේ පණිවිඩය වන්නේ මෙයයි, - "ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙලොවට පැමිණියේ පව්කරුවන් ගළවා ගන්නා පිණිසය - ඔවුන් අතරෙන් ප්‍රධානව සිටින්නේ අපය​".

කිසිවක් ලබා ගැනීමට නුසුදුසු අය සමඟ දෙවියන් වහන්සේ මුණ ගැසෙන සේක​. ශුද්ධවූ ලූක්18 : 13 හි (NASB පරිවර්තනයට අනුව) " දෙවියන් වහන්ස පව්කාරයා වූ මා හට අනුකම්පා කළ මැනව" කියා පවසමින් සුංගම් අය කරන්නා දෙවියන් වහන්සේට යාච්ඤා කළේය. ඔහු ඔහුවම ආමන්ත්‍රණය කළේ පව් කරුවා කියාය. ඔහු වටා ඉන්නා වූ අන් සෑම කෙනෙක් හා සමග තමාව සංසන්දනය කළ විට ඒ හැම කෙනෙක්ම ශුද්ධවන්තයෙක් බව ඔහු එසේ පැවසීමෙන් අදහස් කළේ ය! ඔහුගේ දැක්මට අනුව මුළු පොළොව මතුපිට ඉන්නා වූ එකම පව් කරුවා ඔහු ලෙස දුටුවේය! ඒ මනුෂ්‍යයා ධර්මිෂ්ඨ කොට ගණන් ගනු ලැබ තමාගේ ගෙදරට ගිය වග යේසුස් වහන්සේ පැවසුසේක. දෙවියන්වහන්සේ විසින් ධර්මිෂ්ඨ කරනු ලබන්නේ එවැනි මනුෂ්‍යයන් පමණි.

"ධර්මිෂ්ඨ කරනු ලැබීම" පිළිබඳ සැබෑ අර්ථය ඔබ සමඟ බෙදා ගැනීමට කැමැත්තෙමි. එය ඉතා අලංකාර වුත් විමුක්තිදායකවුත් වචනයකි (ශු:ලූක් 18:14). ඕනෑම පොතක පිටු දෙස බලන්න. සෑම පිටුවකම දකුණු පස තීරයේ දාරය වම් පස තීරයේ දාරය මෙන් හරි කෙලින් පිහිටා ඇති ආකාරය බලන්න. මෙසේ හරි කෙලින් පිටුවක තීරු සැකසීම පරිඝණක භාෂාවෙන් පවසනුයේ "ධර්මිෂ්ඨ කිරීම" යනුවෙනි. වචනයක ඇති අකුරු ප්‍රමාණය සහ වගන්තියක වූ වචන ප්‍රමාණය එකිනෙකට වෙනස් වුවද පරිඝණකය එම දුර හරි කෙලින් සකසන්නේ ය. ඔබ "ධර්මිෂ්ඨ කිරීම" යන අණ භාවිතා නොකර පරිගණකයෙන් යමක් ලේඛනගත කරන්නේ නම් දකුණු පස දාරය හරි කෙලින් නොවන බව පෙනී යන්නේය. පුරාණයේදී අප භාවිතයට ගත් යතුරු ලියනයන් මගින් අපගේ පොත් වල පිටු එසේ ලියවුනි. එහිදී සියලුම වගන්ති එකම ප්‍රමාණයේ වන ලෙස එකදු පිටුවක් හෝ ලිවීම අපහසු ය. එනමුත් වර්තමානයේ අප "ධර්මිෂ්ඨ කිරීමේ" ප්‍රාතිහාර්‍ය දකින්නෙමුව. මෙය සිදුවනුයේ වචන සම්බන්ධ කරන්නාවූ කුඩා ඉරි කැබලි ලියන්නා වූ පේලි අගට යෙදීමෙන් නොවෙයි. එසේ කළත් එහි අලංකාරයක් නැත. එහෙයින් ඔබ පොතක පිටු දෙස බලන විට එය එසේ නොවන බව දකින්නෙහිය. වචන අතර ඇත්තාවූ පරතරය අඩු වැඩි කිරීමෙන් සියලුම පේලි එක සමාන දිග වන ලෙස පරිගණකය එම පේලි හා තීර සීරුවට හා අලංකාර ලෙස සකසනු ඇත.

ඔබ දැනටමත් පේලි 30ක් හෝ 40ක් ධර්මිෂ්ඨ කිරීම යන අණ භාවිතා නොකර ඇද සහිත තීරුවකින් යුතුව ලියා ඇති නමුත් සියල්ල ධර්මිෂ්ඨ (නිදොස් කරණය) කරන ලෙස පරිඝණකයට අණ කළ හැක. එක බොත්තමක් පමණක් තද කිරීමෙන් පෙර ලියැවුණු සියල්ල හරි කෙලින් දෙපස දාර සැකසෙනසේ ධර්මිෂ්ඨ කිරීම සිදුවෙයි.

දෙවියන් වහන්සේ, අපව ධර්මිෂ්ඨ කරනු ලැබීමේදී මේ ආකාරම දෙයක් සිදු වේ. සමහර විට ඔබගේ ජීවිතය අවුල් තත්වයකට පත්කරගෙන පසුගිය ජීවිත කාලයේ හැම දවසක්ම පිළිවෙලක් සහ ක්‍රමානුකූල ස්වභාවයක් නොමැති අවස්ථාවක තිබෙන්නට ඇත​. නමුත් ඔබ ක්‍රිස්තුස් වහන්සේ වෙතට පැමිණෙන විට එක මොහොතකින් උන්වහන්සේ ඔබව ධර්මිෂ්ඨකමට පමුණුවනවා ඇත!​. ඔබගේ මුළු ජීවිතය තුළ කිසි දිනක පව් නොකළ කෙනෙක් ලෙස ඔබගේ පසුගිය ජීවිතයේ පිටුවල හැම පේළියක්ම විධිමත්ව සැකසී, ජීවිතය නැමැති පිටුව වරදක් හෝ අඩුවක් නැතිව සම්පූර්ණවූ, අලංකාරව තිබෙන අවස්ථාවකට පැමිණෙන්නේය​.

මෙය මොන තරම් පුදුමාකාර කාරණයක්ද​? පරිඝනකය මගින් අකුරු යෙදවූ පිටුවකට කරන දෙය, දෙවියන් වහන්සේ අපගේ ජීවිතයටත් සිදු කරන සේක​. මෙයින් අපට ධර්මිෂ්ඨ කරනු ලැබීම පිළිබඳව 20 වන ශත වර්‍ෂයේ උදාහරණයක් වන්නේය​.

තව දුරටත් යමක් සඳහන් කරන්නට කැමැත්තෙමි. ධර්මිෂ්ඨ කිරීම සඳහා අප පරිගණකයට අණ දුන් පසුව ද අප ලියන්නා වූ සෑම පේලියක්ම ධර්මිෂ්ඨ වී පෙර ලියැවුණු පේලි වලට සමාන දිගකින් යුක්ත ව ලියැවෙන්නේ ය. ධර්මිෂ්ඨ කිරීම අපගේ ජීවිතයේ අතීතයට මෙන් අනාගතයට ද එක හා සමාන බලපවත්නේය. මෙය විශ්මිතවූ ශුභාරංචියකි!

දෙවියන් වහන්සේ දැන් අපව දකින්නේ, ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින අය ලෙසයි. පුරසාරම් දෙඩීම පිණිස අපගේම වූ ධර්මිෂ්ඨකමක් තවත් අපට ඉතිරිව නැත. ක්‍රිස්තුස්වහන්සේම පමණක් අපගේ ධර්මිෂ්ඨකම වන සේක.

දෙවියන් වහන්සේ අපව ධර්මිෂ්ඨ කරනු ලැබූ කල එයින් සළකුනු වන්නේ, අපගේ මුළු ජීවිතයම මුලුල්ලේම කිසි පාපයක් හෝ එකම වරදක් හෝ සිදු කළ නොමැති අය ලෙසය​. එලෙසම අප ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුළින් දිගටම ධර්මිෂ්ඨ කරනු ලබමුව​. මන්ද අප ආලෝකයේ ගමන් කරන විට ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුළින් අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනු ලබන සියලු පාප වලින් අප නිරන්තරයෙන් පවිත්‍ර කරනු ලබයි.

අප දේව වචනය කියවන කල සිදු විය හැකි ප්‍රධාන වරදක් වන්නේ ගණිත ශාස්ත්‍රයේ විසඳුම් සොයන ආකාරයට තර්කානුකූලව ඒ දෙස බැලීමෙන් ය​. දෙවියන් වහන්සේගේ සිතුවිළි මේ ආකාරයෙන් දැන ගත නොහැකි වන්නේ උන්වහන්සේ ගණිත ශාස්ත්‍රයේ තර්කානුකූල ක්‍රම අනුව ක්‍රියා නොකරන නිසාය!!​පසුගිය කාලවලදී අප අතින් බොහෝ වරදවල් සිදු වුවත්, අපගේ ජීවිතයට උන්වහන්සේගේ මුළු සැලැස්ම කුමක්ද කියා දැන ගැනීමට ක්‍රියා කරද්දී එය තර්කානුකූලව කිරීමට නොහැකිය​. ගණිත ශාස්ත්‍රයේදී පිළිතුරු සපයන විට එක් අවස්ථාවකදී මගදි වැරදුනහොත් අවසාන උත්තරයද වැරදි වනු ඇත​.

ගණිත ශාස්ත්‍රයේ තර්ක අනුව අපගේ ජීවිතයේ පසුගිය වරදවල් (වයස අවු: 2දී හෝ 52දී සිදුවුනු ඒවා විය හැකිය​) නිසා දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් බැහැර ගිය අවස්ථා ගැන අප කොයිතරම් පසු තැවිළි වුවත් ඒවාට සහනයක් ලබා ගැනීමට නොහැකි වන්නේය​. මක්නිසාද ගණිත තර්ක අනුව එක තැනක වැරදුනොත් අවසාන උත්තරයද වරදින්නේය​.

නමුත් දෙවියන් වහන්සේ මෙසේ පවසන සේක

“මාගේ මාර්ග නුඹලාගේ මාර්ග නොවේය​" (යෙසායා 55:8,9).

අපගේ ජීවිත සම්බන්ධව ඇති උන්වහන්සේගේ සැළස්ම ගණිත තර්ක අනුව සිදු නොවන නිසා උන්වහන්සේට ස්තුති වේවා. එසේ වූවා නම් කිසිම මනුෂ්‍යයෙකුට (අපෝස්තළු පාවුල්ට පවා) දෙවියන් වහන්සේගේ යහපත් සැළැස්ම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වන්නේය​. මන්ද අප සෑම කෙනෙක්ම ජීවිතයේ මොන යම් අවස්ථාවකදී හෝ අසමත් වී ඇත​. අප ඇදහිලිවන්තයන් වූ පසුවත් නොයෙකුත් වර අසමත් වූ තත්වයන් ඇති වීමට හැකිය​. සමහර අවස්ථාවලදී අප ඇදහිලිවන්තයන් ලෙස දැනගෙනම පව් කර ඇත​. අප අවංක වුවහොත් මේ තත්වය තිබෙන බව එක හෙළාම පිළිගනු ඇත​. නමුත් පුදුමාකාර සත්‍ය වන්නේ අප හැම කෙනෙකුටම බලාපොරොත්තුවක් තිබෙන බවය​.

ගණිතයේදී වැරදුනහොත් වැරදුනාමය​. කුඩා වරදක්වත් සිදු වීමට බැරිය​. 2+2 සමාන වන්නේ 3.9999999 ට නොව. උත්තරය 4 ම වන්නේය​. අඩුවක් හෝ වැඩියක් නැත​.

නමුත් දෙවියන් වහන්සේගේ සැළැස්ම ක්‍රියාත්මක වන්නේ ගණිත ක්‍රමය අනුව නොව, උන්වහන්සේගේ සැළැස්මේදී අසමත් වීම අවශ්‍ය වන්නේය​. කෙනෙකු කැඩුණු බිඳුනු තත්වයකට පැමිණීමට හැකි එකම මාර්ගය අසමත් වීම තුළින් පමණය​. එමනිසා අසමත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බව අපගේ ආත්මීක දැනුමේදී අවබෝධ කර ගත යුතු කරුණක් ය​.

කිසිවිටෙක අසමත් නොවී සිටියාවූ එකම තැනැන්වහන්සේ යේසුස් වහන්සේ පමණි. නමුත් අන් සියලු දෙනා (හොඳම අය පවා) අසමත් වීම තුළින් කැඩුණු බිඳුනු තත්වයකට ස්වාමින් වහන්සේ ගෙන එන සේක​. පේත්‍රැස්ට සහ පාවුල්ට පවා කැඩුණු බිඳුනු තත්වයකට, නිතර අසමත් වීම තුළින් පැමිණීමට සිදු විය​.

එමනිසා ශුභාරංචි පණිවිඩය තුළ ප්‍රීතිමත් වන්න​. දෙවියන් වහන්සේගේ යහපත්කම - ඔබ පසුතැවිල්ලට ගෙන ඒවා. මෙම ශුභාරංචි පණිවිඩය ඔබව ප්‍රීතියෙන් පූර්ණවූ, දෙවියන් වහන්සේගේ මහත් සහනයෙන් වූ ජීවිතයකට ගෙන එනු ලැබේවා. මෙම සහනය ලැබෙන්නේ, උන්වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් තුළ අපව ස්ථීරවම පිළිගෙන තිබෙන බව එළිදරව් වූ දැනගැන්ම තුළය (එපීස 1:6).

දිනපතා අප තුළින් කිහිප වතාවක් වැරදි සිදු වේ. නොදැනුවත්ව හෝ වැරදීමකින් හෝ අප ලිස්සා ගොස් පාපයට වැටේ. සමහර අවස්ථාවලදී අපට එන පීඩන බලවත් වී කණස්සල්ලට හෝ අසහනයට පත් වේ. එවිට අප තවදුරටත් පව් කිරීමේ පරික්‍ෂාවට ලක් වේ. දෙවියන් වහන්සේ අපට එන පීඩන තේරුම් අර ගන්නවා පමණක් නොව​, උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණව සිටින සේක​. උන්වහන්සේ අපගේ පුළුවන්කමට වඩා පරික්‍ෂා කරනු ලබන්ට ඉඩ නොදී ඒ සමඟම ගැළවීමේ මාර්ගයද සාදා දෙන සේක​. අපගේ ජීවිතයේ සෑම දෙයක්ම පිළිවෙලකට ගෙන ඒමට උන්වහන්සේට පුළුවන​.

ක්‍රිස්තියානි ජීවිතය ක්‍රියාත්මක වන්නේ, මනුෂ්‍යයාගේ තර්ක හෝ සිතුම් පැතුම් අනුව නොව​, එය ක්‍රියාත්මක වන්නේ ස්වර්ගීක පියාණන් වහන්සේගේ මහත් ප්‍රේමය​, හාස්කම් කිරීමේ බලය සහ පූර්ණවූ ප්‍රඥාව අනුවය​.

කිසිම කෙනෙකුට තමන්ගේ ජීවිතය තමන්ට ඕනෑ හැටියට ගෙන ගොස් යහපත් වූ සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකිය​. අපගෙන් හොඳම තැනැත්තා වුවද ධර්මිෂ්ඨ කරනු ලබන්නේ සියලු දෙනා විනිශ්චය කරන දෙවියන් වහන්සේ විසින් ය​. දෙවියන් වහන්සේ ඉදිරියේ කිසිම කෙනෙකුට පාරට්ටු කිරීමට නොහැකි වන්නේය​.

එමනිසා අප​, ජීවිතය සමඟ පොර බදා අසමත්වූ අය ගැන අනුකම්පාවෙන් ක්‍රියා කරමු. මන්ද අප සියලු දෙනාම අසමත් වී තිබෙන අතර​, සෑම දෙනාම දෙවියන් වහන්සේගේ කරුණාව ලැබ සිටිමුව​.

යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට අවසාන වචනයක් කීමට කැමැත්තෙමි : "ඔබ දැන් සිටින්නාවූ තැනින් හෝ ආකාරයෙන් දැන්ම ඔබ ආරම්භයක් කර, ඔබගේ ජීවිතයට තිබෙන දෙවියන් වහන්සේගේ යහපත් සැළස්ම සම්පූර්ණ කර ගැනීමට හැකිය​".

ඔබ හෙට දිනයේදී අසමත් වුවහොත්,පසුතැවිල්ලෙන් එවෙලේම ස්වාමින් වහන්සේ වෙතට යන්න​. උන්වහන්සේ ඔබව නැවත පිළිගනු ඇත​.

මෙම ශුභාරංචිය මට නම් කොහෙත්ම ක්‍රියාත්මක වන්නේ නැත කියා කිසිවිටෙක නොකියන්න​. මෙලෙස පැවසීමට ඔබ පෙළඹෙනවා නම්, එම පරික්‍ෂාව පැමිණෙන්නේ ඔබ ව්‍යාජ ගුරුවරුන්ට බොහෝ කල් කන්දීම නිසාය​. නැත්නම් තර්ක ඉදිරිපත් කරන දේශකයන්ට හෝ යක්‍ෂයාට ඇහුම්කන් දී ඇති හේතුවෙන් ය​. ඔවුන්ට තවත් ඇහුම්කන් නොදෙන්න​. ඔවුන්ගේ පොත් කියවීම අත් හරින්න​. අද සිට දෙවියන් වහන්සේට සහ උන්වහන්සේගේ වචනයට සවන් දීම ආරම්භ කරන්න​. දේව වචනය කියන දේ ඔබ ප්‍රකාශ කරන්න​.

පරික්‍ෂා මොහොතේදී ඔබගේ ඇදහිල්ල දුර්වල නොවේවා.

අපගේ ස්වාමින් වහන්සේ අප වෙනුවෙන් මැදහත්කම් කරන ලෙස අප එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරමු.

ආමේන් සහ ආමේන්!

පරිච්ජේදය 2
අසාර්ථක වූවන් හටවූ දෙවියන්වහන්සේගේ පරිපූර්ණ සැලැස්ම

පසුගිය ජීවිතයේ යම්කිසි අවස්ථාවකදී පාපයට වැටී දෙවියන් වහන්සේ ඉදිරියේ අසමත් වී ඇතැයි හැඟීමකින් සිටින බොහෝ සහෝදර, සහෝදරියන් සිටීමට පුළුවන​. මේ හේතුව නිසා ඔවුන් සිතන්නේ දැන් ඔවුන්ගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ යහපත් සැළස්ම සම්පූර්ණ කර ගැනීමට නොහැකි බවයි.

අපගේ කල්පනා වලට හෝ තර්ක වලට නැඹුරු නොවී, මේ සම්බන්ධයෙන් ශුද්ධ ලියවිල්ල පවසන්නේ කුමක්ද කියා සොයා බලමු.

පළමුවෙන්ම බයිබලය ආරම්භ වන ආකාරය සලකා බලමු

"පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක​" (උත්පත්ති 1:1).

දෙවියන් වහන්සේ විසින් මවනු ලැබූ අහස සහ පොළොව සර්ව​ සම්පූර්ණ ආකාරයෙන් මවනු ලැබූ අවස්ථාවේ තිබුණේය​. මන්ද දෙවියන් වහන්සේගේ හස්තයෙන් කිසිම අසම්පූර්ණ​, අඩුවක් ඇති දෙයක් නිර්මාණය වන්නේ නැත​.

නමුත් උන්වහන්සේ විසින් මවනු ලැබූ සමහර දේවදූතයන් පාපයට වැටුනු බව යෙසායා 14:11-15 සහ එසකියෙල් 28:13-18 හි සඳහන් වේ. ඉන්පසු පොළොවේ ආකාරය "පාලුව​, හිස්ව​, අන්ධකාරව​" ඇති තත්වයකට පත් වුණි (උත්පත්ති 1:2).

උත්පත්ති 1වන පරිච්ඡේදයේ සෙසු කොටස්, මෙම පාලුවූ​, හිස්වූ, අන්ධකාරවූ තත්වය මත ක්‍රියා කරමින් අලංකාර දෙයක් ඇති කළ බව කියවමුව. උන්වහන්සේ මේ අලංකාර තත්වය "ඉතා යහපත්" බව දුටු සේක (උත්පත්ති 1:31). දෙවියන් වහන්සේගේ ආත්මය ජලය මතුපිට හැසිරෙමින් සිටි සේක​. දෙවියන් වහන්සේ වචනය ප්‍රකාශ කරන කල සියලු දේ සම්පූර්ණ වී වෙනසක් වන්නට විය (උත්පත්ති 1:2,3).

මේ තුළින් අපට ඇති පණිවිඩය කුමක්ද​?

එයනම්, අප කොයිතරම් අසමත් වී ජීවිතය වියවුල් කරගෙන සිටියත් දෙවියන් වහන්සේට​, උන්වහන්සේගේ ආත්මයාණන් සහ වචනය තුළින් අපගේ ජීවිත තුළ මහිමවත් දේ කිරීමට පුළුවන​.

දෙවියන් වහන්සේ අහසත්, පොළොවත් මැවූ අවස්ථාවේදී, ඒවාට උන්වහන්සේගේ යහපත් සැළැස්මක් තිබුණි. නමුත් ලුසිෆගේ අසමත් වීම නිසා මෙම සැළැස්ම පසෙකට තබන්ට සිදු විය​. නමුත් දෙවියන් වහන්සේ නැවත අහස සහ පොළොව අලුතින් තනා පාළුව හිස්කම තුළින් "ඉතා යහපත්" දෙයක් නිර්මාණය කළ සේක​.

ඉන්පසු කුමක් සිදු වුණාද කියා සළකා බලමු.

උන්වහන්සේ නැවත අලුතෙන් ආරම්භ කරමින්, ආදම් සහ ඒව මැවූ සේක​. දෙවියන් වහන්සේට ඔවුන් වෙනුවෙන් යහපත් සැළැස්මක් තිබුණේය​. නමුත් මෙම සැළැස්මට ඔවුන් යහපත සහ නපුර දැන ගැනීමේ ගසින් අනුභව කර පාපයට වැටීම ඇතුළත් වූයේ නැත​. ඔවුන්ට කෑමට තහනම් කළ ගසින් අනුභව කර​, ඔවුන් උදෙසා තිබුණු උන්වහන්සේගේ මුල් සැළැස්ම - එය කුමක් වුවත් - කඩා බිඳ දමා ගත්තෝය​.

මෙයින් පවසන්නේ ඔවුන්ට තවදුරටත් දෙවියන්වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බවය​. දෙවියන් වහන්සේ ඔවුන් හමු වීමට උයනට පැමිණී අවස්ථාවේදී, දැන් ඔවුන්ට උන්වහන්සේගේ ඊළඟ හොඳ සැළැස්ම තුළ ජීවත් වීමට හැකි බව පැවසුවේ නැත​. උන්වහන්සේ ඔවුන්ට උත්පත්ති 3:15 හි සඳහන් පරිදි, ස්ත්‍රීයගේ වංශය සාතන්ගේ හිස පොඩි කරන බවට පොරොන්දුවක් දුන් සේක​. මෙම පදයෙන් අර්ථවත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ මුලු ලෝකයාගේ පව් උදෙසා පූජාවක් වශයෙන් මරණයට පත් වන බව සහ කල්වාරි කුරුසිය තුළින් සාතන් පරාජය කරන බවත් ය​.

දැන් මෙම කාරණය සළකා බලා එය ඔබට වටහා ගැනීමට හැකිදැයි බලන්න​.

සදාකාලයේ සිට දෙවියන් වහන්සේගේ පරිපූර්ණවූ සැළැස්මේ කොටසක් වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයයි. "ලෝකය පටන් ගැන්මේ සිට මරණ ලද බැටළුවාණන්...." (එළිදරව් 13:8). ඒ සමඟම අප දන්නා කරුණක් වන්නේ, ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වූයේ ආදම් සහ ඒව පව් කර දෙවියන් වහන්සේ ඉදිරියේ අසමත්වූ නිසාය​. ආදම්ගේ පාපය නොවන්නට, කල්වාරි කුරුසිය මගින් දෙවියන් වහන්සේ අපට දැක්වූ ප්‍රේමය දැන ගැනීමට අපට කිසිදා නොහැකි වන්නේය​.

මෙය තේරුම් ගැනීමට මනුෂ්‍ය බුද්ධියෙන් නොහැකිය​. එමනිසා දේව වචනය අපට මෙසේ සඳහන් කරන්නේය​. "නුඹේම නුවණෙහි නොපිහිටා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කර පන්න​" (හිතෝපදේශ 3:5).

ක්‍රිස්තුස් වහන්සේ මෙම පොළොවට පැමිණීම දෙවියන් වහන්සේගේ හොඳම සැළස්ම මිසක් වෙනත් එකක් නොවේය​. මනුෂ්‍යයා වෙනුවෙන් උන්වහන්සේ සූදානම් කළ පරිපූර්ණ සැළැස්ම මෙය වේ. දෙවියන් වහන්සේට වරදින්නට පුළුවන්කමක් නැත​. උන්වහන්සේ සර්වබලධාරී, සදාකාලික තැනැන්වහන්සේ බැවින් උන්වහන්සේ පටන් ගැන්මත් අවසානයත් දන්නා සේක​. ස්වාමින් වහන්සේ හැමවිටම අප වෙනුවෙන් නිශ්වලව​, ප්‍රේමයෙන් සැළසුම් කරන නිසා, අප වෙනුවෙන් උන්වහන්සේ සිදු කරන ක්‍රියාවලිය මුළුමනින් වටහා ගැනීමට අපහසුය​.

දෙවියන් වහන්සේගේ මාර්ග අපගේ මාර්ග නොවේය​. උන්වහන්සේගේ යෝජනා අපගේ යෝජනා නොවන්නේය​. මේවා අතර ඇති වෙනස අහසට පොළොව තරම් ය (යෙසායා 55:8,9). එමනිසා අප දෙවියන් වහන්සේගේ මාර්ග දැන ගනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපගේ තර්ක සහ යෝජනා පසෙකට තැබීම වඩා යෝග්‍ය වේ.

බයිබලයේ ආරම්භක පිටුවල සිට දෙවියන් වහන්සේ අපට ලබා දීමට උත්සාහ කරන පණිවිඩය කුමක්ද​? එය නම්, අසමත් වූ මනුෂ්‍යයෙකු උන්වහන්සේ රැගෙන, ඔහු තුළ මහිමවත් දෙයක් සිදු කර​, තව දුරටත් උන්වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම එම ජීවිතය තුළ සම්පූර්ණ කිරීමට ක්‍රියා කිරීමය​.

මෙය දෙවියන් වහන්සේ මනුෂ්‍යයාට දෙන පණිවිඩයකි. මෙම පණිවිඩය අප කිසිදා අමතක නොකළ යුතු වේ - දෙවියන් වහන්සේ, නිතරම අසමත් භාවයට පත් වූ මනුෂ්‍යයෙක් රැගෙන උන්වහන්සේගේ පරිපූර්ණ සැළැස්ම එම මනුෂ්‍යයා තුළ සම්පූර්ණ කිරීමට ක්‍රියා කරන සේක. මෙම සැළැස්ම ස්වාමින් වහන්සේගේ හොඳම සැළැස්ම මිසක් ඊට අඩු එකක් නොවේය.

මිනිසාට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහා, අසමත් වීමට පත් වීම උන්වහන්සේගේ යහපත් සැළැස්මේ කොටසක් වීමට පුළුවන​. මෙය තේරුම් ගැනීමට මනුෂ්‍යාගේ කල්පනාවට නොහැකි වන්නේ ඔවුන් දෙවියන් වහන්සේ ගැන තිබෙන අවබෝධය ස්වල්ප නිසාය​.

දෙවියන් වහන්සේට පාවිච්චි කිරීමට හැකි වන්නේ කැඩුණු බිඳුනු තත්වයකට පැමිණි අයවලුන් ය​. උන්වහන්සේ අපව මෙම තත්වයට ගෙන ඒමට යොදා ගන්නා ක්‍රමයක් වන්නේ, නැවත නැවතත් සිදුවන අසමත් වීම් ය​.

අප සම්බන්ධව දෙවියන් වහන්සේට තිබෙන ලොකුම කාරණයක් වන්නේ, අප උන්වහන්සේගේ ආශිර්වාද නිසා උඬඟුවට පත් නොවන ආකාරයට ආශිර්වාද කිරීමය​. අපට තිබූ කෝපයෙන් ජයගෙන, ඒ නිසා උඬඟු තත්වයට පත් වීම අප කලින් සිටි තත්වයට වඩා භයානක වලකට වැටීමක් වන්නේය​. අප ජයග්‍රහණය තුළදී යටහත්ව සිටීමට දෙවියන් වහන්සේගේ කරුණාව ලැබිය යුතුය​.

පාපයට විරුද්ධව ලබන සැබෑ ජයග්‍රහණය, හැම විටම ගැඹුරු යටහත්කමක් සමඟ තිබිය යුතු වේ. දෙවියන් වහන්සේගේ මහත් කරුණාවෙන් තොරව පාපයට ඉහළින් ජය ලබා ගැනීමට නොහැකි බව අප ඒත්තු ගත යුතුය​. මේ සම්බන්ධයෙන් අප තුළ තිබෙන ආත්ම විශ්වාසය බිඳ දමන පිණිස නැවත නැවතත් අසමත් වීම මහත් කාර්‍යභාරයක් සිදු කරයි. එවිට අප ජයග්‍රහණය අත් පත්කර ගත් විට ඒ ගැන කිසිසේත් පුරසාරම් නොකියවමුව​.

තවද අප නැවත නැවතත් අස්මත් වූ අය ලෙස​, අසමත් වන්නාවූ තව කෙනෙක් ගැන වරද තබන්ට නොහැකිය​. වැටුනාවූ අය ගැන අප අනුකම්පා කළ යුතු වන්නේ අපගේම මාංසික ස්වභාවයේ දුර්වලකම් තුළින් බොහෝ වර වැටුනු තත්වයකට පත් වුනු බව අප දන්නා නිසාය​.

මේ නිසා "ඔවුනුත් දුර්වලකමින් වටව සිටින බැවින් අඥානයන්ද, මුළාවෙන්නන්ද ගැන මෘදුකමින් හැසිරෙන්ට ඔවුන්ට පුළුවන" (හෙබ්‍රෙව් 5:2).

මෙවැනි පණිවිඩයක් ඉදිරියේ ලෞකීක ලෙස සිතන මනුෂ්‍යයෙකුට මෙලෙස පැවසිය හැක​, "යහපත පැමිණෙන පිණිස අප තව තවත් පව් කරමු".

මෙලෙස පවසන අයට රෝම 3:7,8 යන පදවලින් පිළිතුරක් තිබේ, "නමුත් මාගේ බොරුව කරණකොටගෙන දෙවියන් වහන්සේගේ මහිමය පිණිස උන්වහන්සේගේ සැබෑකම වැඩි වූයේ නම්, මමත් මක්නිසා පව්කාරයෙකු මෙන් තවත් විනිශ්චය කරනු ලබම්ද? එහැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමු යැයි නොකියමුද​? (අපි එසේ කියමු යැයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය”​.

යහපත පැමිණෙන පිණිස අප පව් කරමු යැයි අප දේශනා නොකරමුව​. එලෙසම අප දෙවියන් වහන්සේගේ කරුණාව අපගේ වාසියට හරවාගෙන උවමනාවන් සහ මුරණ්ඩුකමින් දෙවියන් වහන්සේට අකීකරු වෙමින්, අප වැපුරූ දේ කපා ගැනීමෙන් මගහැරීමට කිසිසේත් නොහැකි වන්නේය​.

වැටීමට ලක් වූ මනුෂ්‍යයන් වෙත ඇත්තාවූ දෙවියන් වහන්සේගේ කරුණාව තර්කානුකූලව සිතන අයට වටහා ගැනීමට නොහැකිය​. දෙවියන් වහන්සේට කිරීමට නොහැකි දෙයක් නැත​. නිතර, නිතර සහ අවාසනාවන්ත ලෙස අප අසමත් වුවත්, උන්වහන්සේගේ යහපත් වූ කැමැත්ත තුළට අපව ගෙන ඒමට උන්වහන්සේට පුළුවන.මෙලෙස කිරීමට උන්වහන්සේට බාධාවක් වන්නේ අපගේ අවිශ්වාසකම පමණි.

"මාගේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී මා වරදවාගෙන තිබෙන නිසා උන්වහන්සේගේ යහපත් සැළැස්මට මා ගෙන ඒමට උන්වහන්සේට දැන් බැරිය​" කියා ඔබ පවසනවා නම්, ඔබට පිහිට වීමට ස්වාමින් වහන්සේට නොහැකි වන්නේ, ඔබ වෙනුවෙන් උන්වහන්සේට කළ හැකි දේ ගැන ඔබ විශ්වාස නොකරන නිසාය​. යේසුස් වහන්සේ පැවසුවේ, අප විශ්වාස කරනවා නම්, උන්වහන්සේට අප වෙනුවෙන් සෑම දෙයක් කිරීමට අපහසු නොවන බවයි.

සියලු කාරණා සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ නියමයන් ශු:මතෙව් 9:29 හි සඳහන් වේ. "නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවා". අපට ඇදහිල්ල තිබෙන කාරණාවල් අපට ලැබෙන්ට යන්නේය​. අප වෙනුවෙන් යම් දෙයක් කිරීමට උන්වහන්සේට නොහැකියි කියා අප විශ්වාස කරනවා නම්, අපගේ ජීවිතයේ එම කාරණා සම්පූර්ණ නොවන්නේය​.

අනික් අතට, තවත් ඇදහිලිවන්තයෙක් ඔබට වඩා ජීවිතය වියවුල් කරගෙන කෙසේ හෝ තමන්ගේ ජීවිතයේ බිඳුනු ස්ථාන රැගෙන ඒවායින් වඩා යහපත් දෙයක් ගොඩනැගීමට දෙවියන් වහන්සේට හැකි බව විශ්වාස කරගෙන උන්වහන්සේගේ යහපත් සැළැස්ම තමාගේ ජීවිතයේ සම්පූර්ණ කරගත් කෙනෙක් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය ඉදිරියේ ඔබට හමු වන්නට පුළුවන​.

ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ සැළැස්ම අසාර්ථක වූයේ ඔබගෙන් නොයෙකුත් වර සිදු වූ අසමත්කම් තුළින් නොව​, නමුත් ඔබගේ නොඇදහිල්ල නිසා බව දැනගත් දවසේ ඔබ තුළ මහත් කණගාටුවක් ඇතිවනු නිසැකය​.

අවුරුදු ගණනක් ජීවිතය නාස්ති කළ අකීකරු පුත්‍රයාගේ සිද්ධිය තුළින් අපට පෙන්වන්නේ අසමත් වූ අයට පවා දෙවියන් වහන්සේගේ හොඳම දේ ලබා දීමට උන්වහන්සේ සූදානම් බවය​. පියාගේ බලාපොරොත්තු සුන් කළ පුත්‍රයා නැවත එන කල ඔහු පැවසුවේ "හොඳම වස්ත්‍රය ඉක්මනින් රැගෙන එන්න" කියාය​. ශුභාරංචියේ පණිවිඩයද මෙය වන්නේය​. එක් වරක් පමණක් නොව, නැවත, නැවත වාරවල් වල අපට නව ආරම්භයක් ඇති බවය​. මෙලෙස සිදු වන්නේ දෙවියන් වහන්සේ කිසි කෙනෙක් අත් නාරින නිසාය​.

තමාගේ මිදි වත්තට වැඩකාරයන් කුලියට ගැනීමට ගිය ස්වාමියා පිළිබඳ කථාවද අපට මෙම පාඩමම උගන්වයි(ශු:මතෙව් 20:1-16). අන්තීමට ගත් වැඩකාරයින්ට පළමුව කුලී දීමට තෝරා ගත්තේය​. තවත් විධියකට පවසනවා නම්, තමන්ගේ ජීවිතයෙන් සදාකාලික වටිනාකමක් ඇති කිසිවක් නොකර ජීවිතයේ 90% ක් නාස්ති කළ අයට පවා තමන්ගේ ජීවිතයේ ඉතිරි 10%න් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා යමක් කළ හැකි බවය​. මෙය​, අසමත් වූ සෑම කෙනෙකුටම ධෛර්‍ය ගෙන දෙන මහත් කාරණයක් වනු ඇත​.

"දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ කරනු ලැබුවේ මේ පිණිසය​, එනම් යක්‍ෂයාගේ ක්‍රියා විනාශ කරන පිණිසය​" (1යොහාන් 3:8). මෙම පදය පවසන ආකාරයට, යේසුස් වහන්සේ පැමිණියේ යක්‍ෂයා විසින් අපගේ ජීවිතයේ ගැට ගසා තිබෙන සියලු බැඳුම් නිදහස් කරන පිණිසය​. අපට මෙය මෙලෙස විග්‍රහ කර ගැනීමට හැකිය - අප ඉපදුනු අවස්ථාවේදී, දෙවියන් වහන්සේ සෑම කෙනෙකුටම හොඳින් සකස් කළ නූල් බෝලයක් ලබා දුන් බව සිතමු. අප ජීවත් වෙන්ට පටන් ගත් සෑම දිනකම මෙම නූල් බෝලය දිග හැර ගැට ගසන්නට (පාපයට වැටීමට​) ආරම්භ කළෙමු. මෙලෙස අවුරුදු ගණනාවක් මෙම දිග ඇර ඇති නූල් බෝලයේ ඇති දහස් ගණන් ගැට ගසා ඇති තැන් දකින විට අපට මහත් කණස්සල්ලක් ඇති වන්නේය​. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ යක්‍ෂයා විසින් ගැට ගසා ඇති ස්ථාන ගැට වලින් නිදහස් කරන පිණිසය​. මෙලෙස දරුණු ලෙස ගැට ගැසී ඇති ස්ථාන ජීවිතයේ තිබෙන අයට පවා මහත් බලාපොරොත්තුවක් තිබේ. ඔබගේ ජීවිතයේ ගැට ගැසී ඇති සෑම ස්ථානයක්ම නිදහස් කර ඔබගේ අතට හොඳින් සැකසුනු නූල් බෝලයක් ලබා දීමට ස්වාමින් වහන්සේට පුළුවන​. ශුභාරංචියේ පණිවිඩය මෙයයි: ඔබට නව ආරම්භයකට පිවිසීමට හැකිය .

මෙය නුපුළුවන් දෙයක් බව ඔබ පවසන්නට පුළුවන​. නමුත් මෙය ඔබ වෙනුවෙන් සිදු කරනු ලබන්නේ ඔබගේ ඇදහිල්ල අනුවය​. ඔබට වඩා ජීවිතය නරක අතට පත් කර ගත් කෙනෙක් මෙලෙස පවසනවා මට සිතා ගත හැකිය​. "ඔව්, දෙවියන් වහන්සේට මේ දේ කළ හැකි බව මම විශ්වාස කරමි". මෙම තැනැත්තාටත් ඔහුගේ ඇදහිල්ල අනුව සිදු වන්නේය​. ඔහුගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ යහපත් සැළැස්ම සපූර්ණ කරනු ලබන්නේය​.

යෙරමියා 18:1-6 දක්වා දෙවියන් වහන්සේ, යෙරමියාට කථා කරමින් ප්‍රායෝගික නිදර්ශනයක් දැක් වූ සේක​. කුඹල්කරුවාගේ නිවසට යන ලෙස ඔහුට පැවසූ සේක​. එහිදී යෙරමියා කුඹල්කරුවා මැටි භාජනයක් සාදනවා ඔහු දුටුවේය​. නමුත් මෙම මැටි භාජනය කුඹල්කරුවාගේ අතින් නරක් වූයේය​. එවිට කුඹල්කරුවා කුමක් කළේද? නැවත ඒක සාදන්ට කුඹල්කරුවාට හොඳව පෙනුණු ලෙස, ඔහු එයින් වෙන භාජනයක් සෑදුවේය​.

මේ සම්බන්ධව අදාල කර ගැනීම ඉන්පසු පැමිණියේය​. ස්වාමින් වහන්සේ පවසමින් "මේ කුඹල්කරුවා කරන ලෙස නුඹලාට කරන්ට මට බැරිදැයි" ප්‍රකාශ කළ සේක​. මෙහි "නුඹලාට​" යන වචනය ඉවත් කර ඒ වෙනුවෙන් ඔබගේ නම යොදන්න​. මෙය උන්වහන්සේ ඔබගෙන් අසන ප්‍රශ්නයක් ලෙස සළකන්න​.

ඔබගේ සියලු අසමත්කම් ගැන ඔබ තුළ සැබෑ පසුතැවිල්ලක් ඇති වී තිබේ නම්, ඔබගේ පාප රතු පාටට තිබෙන නමුත්, ඔබගේ හදවත හිම මෙන් සුදු වීමට​, පරණ ගිවිසුමේ පොරොන්දු ලෙස ක්‍රියා කරනු ලබන්නේය (යෙසායා 1:18). නමුත් නව ගිවිසුමේ ඊට වඩා ප්‍රබල පොරොන්දු දෙවියන් වහන්සේ ලබා දී ඇත​. "එසේය​, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි ,ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමින් වහන්සේ කියන සේක යයි කියා තිබේ " (හෙබ්‍රෙව් 8:12).

ඔබගේ වරදවල් හෝ අසමත්කම් කුමක් වුවත්, දෙවියන් වහන්සේ සමඟ නව ආරම්භයක් කිරීමට ඔබට පුළුවන්කම තිබේ. ඔබ පසුගිය කාලවලදී එක්දහස් වාරයක් නව ආරබ්භයක් කර​, ඒත් නැවත අසමත් වූයේ නම්, අද දවසේ ඔබට එක්දහස් එක් වන වරටත් අලුත් ආරම්භයක් කළ හැක​. ඔබගේ ජීවිතයෙන් මහිමාන්විත දෙයක් කිරීමට උන්වහන්සේ සූදානම්ව සිටින සේක​. ජීවිතය තිබෙනතාක් කල් ඔබට බලාපොරොත්තුවක් තිබේ.

එමනිසා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අසමත් නොවන්න​. උන්වහන්සේගේ බොහෝ දරුවන් වෙනුවෙන් බලවත් දේ කිරීමට නොහැකි වූයේ ඔවුන් පෙර කාල වලදී උන්වහන්සේ ඉදිරියේ අසමත් වූ නිසා නොව​, ඔවුන් වර්තමානයේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබන නිසාය​.

එමනිසා අප ඇදහිල්ලෙන් ශක්තිමත්ව සිටිමින් උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරමු. (රෝම 4:20,21) ලෙස සිදු වීමට නොහැකි යැයි අප මේතාක් සළකනු ලැබූ කාරණා ඉවත් කර ඉදිරි කාලයේ සිදු වන්නට තිබෙන දේ ගැන උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් සිටිමු. තරුණ හෝ මහලු සියලු දෙනාට ඔවුන්ගේ අතීතයේදී මොන තරම් අසමත්වීම් සිදු වුවත් ඔවුන්ට අසමත්වීම් සිදුවුණ බව පිළිගෙන, යටහත් වී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබුවහොත් ඔවුන්ට බලාපොරොත්තුවක් තබා ගත හැක​. අප සියලු දෙනාට අපගේ අසමත්වීම් තුළින් පාඩම් ඉගෙන ගෙන අපගේ ජීවිතයට ඇති ස්වාමින් වහන්සේගේ යහපත් සැළැස්ම සම්පූර්ණ කර ගත හැක​.

පැමිණෙන්ට තිබෙන කාලවලදී පවා, ජීවිතය අසමත් කරගත් අයවලුන් සම්බන්ධයෙන් උන්වහන්සේට කළ හැකි දේ, ආදර්ශයක් වශයෙන් අනික් අයට පෙන්වා දීමට ස්වාමින් වහන්සේට හැකි වනු ඇත​.

එම දවසේ උන්වහන්සේට අප තුළින් කළ හැකි දේ පෙන්වනු ලබන්නේ, "ක්‍රිස්තුස් වහන්සේ තුළ අප කෙරෙහි ඇත්තාවූ කරුණාවන්තකම නිසා තමන්වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත​" නිසාය (එපීස 2:7). හාලේලූයා!

ආමේන් සහ ආමේන්.