WFTW Body: 
Document

මතෙව් 28: 20 පවසන්නේ අපගේ ස්වාමින් වහන්සේ විසින් දෙන ලද සෑම ආඥාවකටම කීකරු වීමට සහ ඒවා පිළිපැදීමට ගෝලයින්ට ඉගැන්විය යුතු බවයි. මෙය ගෝලකමේ මාර්ගයයි. බොහෝ ඇදහිළිවන්තයින් කීකරු වීමට පවා උත්සුක නොවන - යේසුස් වහන්සේ දුන් සමහර ආඥාවන් දැකීමට යමෙකුට අවශ්‍ය වන්නේ මතෙව් 5, 6 සහ 7 පරිච්ඡේද කියවීම පමණි. ගෝලයෙකු යනුඉගෙන ගන්නෙකු සහ අනුගාමිකයෙකි.

දෙවියන් වහන්සේගේ සම්පූර්ණ උපදෙස් ප්‍රකාශ කිරීමේ කැඳවීමෙන් දැඩි ලෙස ග්‍රහණය වී සිටින, යේසුස් වහන්සේ අණ කළ සියල්ලටම තමන්ම කීකරු වන අතර, යේසුස් වහන්සේගේ සියලුම ආඥාවලට කීකරු වීමට අන් අයටද ඉගැන්වීමට ඉතා ආශාවෙන් සිටින, ඒ අනුව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනඟන - මිනිසුන්ගේ අත්‍යාවශ්‍යතාවය පවතී.

යේසුස් වහන්සේ පැවසුවේ උන්වහන්සේගේ සියලුම ගෝලයින්ව එක ලකුණකින් හඳුනාගන්නා බවයි - ඒ ඔවුන් එකිනෙකා කෙරෙහි ඇති අන්‍යෝන්‍ය ප්‍රේමය කරන කොට ගෙනය (යොහන් 13: 35). එය මතක තබා ගන්න! යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයින්ව හඳුනාගන්නේ, ඔවුන්ගේ දේශනා කිරීමේ ගුණාත්මක භාවයෙන්වත්, ඔවුන්ගේ සංගීතයෙන්වත්, ඔවුන්ගේ "අන්‍යභාෂාවෙන් කථාකිරීමෙන්" වත්, රැස්වීම්වලට බයිබල් රැගෙන යාමෙන්වත්, රැස්වීම්වලදී කරන ඝෝෂාවෙන්වත් නොවේ!! ඔවුන්ව හඳුනා ගන්නේ එකිනෙකා කෙරෙහි ඇති දැඩි ප්‍රේමය මගිනි.

ක්‍රිස්තුස් වහන්සේ වෙතට මිනිසුන් ගෙන එන එවැන්ජලිස්ත රැස්වීම, ගෝලයින් එකිනෙකාට ප්‍රේම කරන එම ප්‍රදේශයේ සභාවක් පිහිටුවීමට මඟ පෑදිය යුතුය. එහෙත් කණගාටුදායක කරුණ නම්, වසරින් වසර නැවත නැවතත් එවැන්ජලිස්ත රැස්වීම් පවත්වන බොහෝ ස්ථානවල, එහි සාමාජිකයින් එකිනෙකා සමඟ රණ්ඩු නොවන, එකිනෙකාට විරුද්ධව කේළාම් නොකියන, යනාදි…, නමුත් එකිනෙකාට ප්‍රේම කරන බව පැවසිය හැකි එක සභාවක්වත් සොයා ගැනීම දුෂ්කර වීමය.

අලුතින් හැරුණාවූ ඇදහිලිවන්තයින්ට එවැනි ජයග්‍රාහී ජීවිතයක් එසැණින්ම ජීවත් වීමට නොහැකිවීම එය කෙනෙකුට තේරුම් ගත හැකිය. නමුත් අපේ දේශයේ සභාවල සිටින වැඩිමහල්ලන් සහ ක්‍රිස්තියානි නායකයින් පවා ආරවුල් සහ නොමේරූ චරිත ස්වභාවයන් පෙන්නුම් කරන්නේ නම්, අපි තව කුමක් කියමුද?

මතෙව් 28: 19,20 හි සඳහන් මහා ආඥාවේ දෙවන හා වැදගත්ම කොටස - ගෝලයින් වීම (ගෝලකම) සහ යේසුස් වහන්සේගේ ආඥාවලට සම්පුර්ණයෙන්ම කීකරු වීම - මුළුමණින්ම නොසළකා හැර ඇති බවට මෙය පැහැදිළි සාක්ෂියකි.

මාර්ක් 16: 15 හි සඳහන් මහා ආඥාවේ පළමු කොටස පමණක් සාමාන්‍යයෙන් සෑම තැනකම පාහේ අවධාරණය කරනු ලැබේ. එහිදී, අවධාරණය කරනු ලබන්නේ එවැන්ජලිස්තවාදයයි, ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ලකුණු සහ හාස්කම් මගින් පණිවිඩය තහවුරු වීමයි.

කෙසේ වෙතත්, මතෙව් 28: 19,20 හි අවධාරණය කරනුයේ ගෝලකමයි - ගෝලයාගේ ජීවිතය යේසුස් වහන්සේගේ ආඥාවලට සම්පූර්ණ කීකරු වීමෙන් ප්‍රකාශ වීමයි. කිතුණුවන් විශාල සංඛ්‍යාවක් පළමු කොටස ගැන විශේෂ උනන්දුවක් දක්වති. නමුත් දෙවැනි කොටස ගැන සලකන්නේ ඉතාමත්ම ස්වල්ප දෙනෙකි. එහෙත් දෙවැන්න නොමැතිව පළමුවැන්න මිනිස් සිරුරෙන් අඩක් මෙන් කිසිත් නොවටින තරම් අසම්පූර්ණය. එහෙත් කීයෙන් කී දෙනාද මෙය දැක තිබෙන්නේ?

යේසුස් වහන්සේගේ දේව සේවයේදී, උන්වහන්සේගේ එවැන්ජලිස්තමය, සුව කිරීමේ දේව සේවය නිසා විශාල ජනකායක් උන්වහන්සේව අනුගමනය කළ බව අප කියවන්නෙමු. උන්වහන්සේ සෑම විටම හැරී ගෝලකම ගැන ඔවුන්ට ඉගැන්වූ සේක (ලූක් 14: 25,26 බලන්න). අද සිටින එවැන්ජලිස්තවරුන් විසින් එසේම කරාවිද? - තමන් විසින්ම හෝ එවැන්ජලිස්තවරුන් විසින් ආරම්භ කර ඇති කාර‍්‍යය සම්පූර්ණ කළ හැකි ප්‍රේරිතයින්, අනාගතවක්තෘවරුන්, ගුරුවරුන් සහ එඬේරුන්ගේ සහයෝගයෙන් එසේම කරාවිද?

ගෝලකමේ පණිවිඩය ප්‍රකාශ කිරීමට දේශකයින් මැළි වන්නේ ඇයි? මක්නිසාද එයින් ඔවුන්ගේ සභාවල ඉන්න සංඛ්‍යාව අඩු වෙන නිසාය. නමුත් ඔවුන්ට නොතේරෙන දෙය නම් ඔවුන්ගේ සභාවල ගුණාත්මක භාවය වඩා හොඳ වනු ඇති බවයි!!

යේසුස් වහන්සේ ගෝලකම ගැන මහත් සමූහයකට දේශනා කළ විට, එය ඉතා ඉක්මනින් ගෝලයින් අතලොස්සක්වූ එකොළොස් දෙනෙකු දක්වා අඩු විය (යොහන් 6: 2 සහ 6: 70 සසඳන්න) අනෙක් අයට පණිවිඩය ඉතා අපහසු වූ අතර, ඔවුන් උන්වහන්සේව හැර ගියෝය (යොහන් 6: 60,66 බලන්න). නමුත් දෙවියන් වහන්සේ අවසානයේ, උන්වහන්සේගේ අරමුණු ලෝකයේ ඉටු කළේ, උන්වහන්සේ සමඟ රැඳී සිටි එම ගෝලයින් එකොළොස් දෙනා සමඟිනි.

පළමු ශතවර්ෂයේ එම ප්‍රේරිතයින් එකොළොස් දෙනා ආරම්භ කළ එම දේව සේවයම අද පොළොව මත ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස අපි කරගෙන යා යුතුය. මිනිසුන් ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ආ පසු, ඔවුන්ව ගෝලයින් වීමට සහ කීකරුකමට ගෙන යා යුතුය. මේ අනුව පමණක්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනඟනු ලැබේ.

ජීවනයට යන මාර්ගය පටුය, එය සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

ඇසීමට කන් ඇත්තේ අසාවා.

සවන් දීමට: