“ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද අය ආශිර්වාද ලද්දෝය; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය” (මතෙව් 5:10). මීට පෙර අපි දුටුවා, “ආත්මයෙන් දිලින්දෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය.” අපි යටහත්ව හා සාමය ලුහුබඳින, ධර්මිෂ්ඨකම සඳහා සාපිපාසයෙන් සිටින ස්ථාවරයක් ගන්නා විට, අපි මෘදුකම ලුහුබඳින අතර අපගේ අයිතිවාසිකම් සඳහා සටන් නොකර, ලෝකයේ නපුරු පීඩා කරන්නන් වන මිනිසුන්ට මුහුණ දෙන බව අපට පෙනී යනු ඇත. දේවභක්තික ආකාරයකින් ජීවත් වීමට උත්සාහ කරන සියල්ලන්ටම පීඩා කරනු ලැබේ. එබැවින් අපි ධර්මිෂ්ඨකමෙන් ජීවත් වීමට උත්සාහ කළහොත්, අපට පීඩා කරනු ලැබේ.
2 තිමෝති 3:12 ශුද්ධාත්මයාණන් විසින් දේවානුභාවයෙන් ලියන ලද නිරපේක්ෂ ප්‍රකාශයකි. පාවුල් පවසන්නේ, "ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ භක්තිමත් ලෙස ජීවත් වීමට කැමති සියල්ලන්ටම පීඩා කරනු ලැබේ." එය "සමහරෙක්" යැයි නොකියයි; එය "බොහෝ" දෙනෙක් යැයි නොකියයි; එය "වැඩිම දෙනෙක්"යැයි නොකියයි. එය සමහරෙක්, බොහෝ, වැඩිම දෙනෙක් හෝ සියල්ලන් විය හැකිය. එය "සියල්ලන්"යැයි කියයි. සියල්ලන්ටම ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ සෑම ඇදහිලිවන්තයෙකුම ඇතුළත් වේ (තමන්ව ඇදහිලිවන්තයෙකු ලෙස හඳුන්වා ගන්න සෑම පුද්ගලයෙකුම නොව, දේවභක්තික ජීවිතයක් ගත කිරීමට කැමති සෑම කෙනෙකුම).
ධර්මිෂ්ඨකම වෙනුවෙන් පීඩා විඳීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? ධර්මිෂ්ඨකම වෙනුවෙන් පෙනී සිටීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි අපි සලකා බැලිය යුතුයි. එහි තේරුම ඔබේ රැකියා ස්ථානයේ හෝ යම් අවස්ථාවක දී, ඔබ "මම ඒ වැරැද්ද කරන්නේ නැහැ" කියා පවසන බවයි. මිනිසුන් සම්මුතියකට එළඹෙන බොහෝ රැකියා තිබේ - ඔවුන් බොරු කියනවා, වංචා කරනවා, සහ අධර්මිෂ්ඨ දෙයක් ලබා ගැනීම සඳහා අල්ලස් දෙනවා. කිතුනුවන් ඒ මාර්ගයේ යන විට, ඔවුන්ට නිසැකවම පීඩාවලට මුහුණ දීමට සිදු නොවේ; නමුත් ඔවුන් ඒ මාර්ගයේ යාම ප්‍රතික්ෂේප කළහොත්, ඔවුන් අල්ලසක් ගැනීම ප්‍රතික්ෂේප කළහොත් හෝ අධර්මිෂ්ඨ දෙයක් කිරීම ප්‍රතික්ෂේප කළහොත්, එම අල්ලසෙන් කොටසක් හෝ යමක් අවශ්‍යවන ඉහළින් සිටින උසස් නිලධාරීන්ගෙන් ඔවුන්ට තර්ජන එල්ල විය හැකිය. මේ වගේ අවස්ථා බොහොමයක් තිබෙනවා. ඔබ අවංකකම වෙනුවෙන් පෙනී සිටින විට, ඔබට ඔබේ රැකියාව අහිමි විය හැකිය, නැතහොත් ඔබේ ප්‍රධාණීන්ගේ අප්‍රසාදය ලැබිය හැකිය, නමුත් ස්වර්ග රාජ්‍යය ඔබට අයත් වේ. එම ක්‍රියාවලියේදී ඔබට භූමික දෙයක් අහිමි විය හැකිය - සමහර විට තනතුරක්, සමහර විට යම් උසස්වීමක් - නමුත් ඔබට ඒ වෙනුවට ස්වර්ගයේ දෙයක් ලැබෙනු ඇත. ඒක වටිනවද?
පුද්ගලයෙකුට යම් අවස්ථාවකදී ඇතුළුවීමට අවසරය හෝ රැකියාවක් ලබාගැණීමට බොරුවක් කීම සුදුසුද? එය යෝග්‍ය නොවේ! එය ක්‍රිස්තියාණි කෙනෙකුට නොවටිනා ක්‍රියාවකි. ඔහු එය නොකර සිටීම වඩාත් හොඳය මන්ද ඔහු දේවකැමැත්තෙන් ඉවතට යනු ඇත. ඔබ බොරුවක් කීම තුලින් යම් අවස්ථාවක ප්‍රවේශයක් ලබා ගතහොත්, එතැනදී දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වූයේ නැති බවට ඔබට ඉතා පහසුවෙන් සහතික කර ගත හැකිය. ඔබ යම් තීරණාත්මක ස්ථානයකට පැමිණි විට යක්‍ෂයා ඔබට පවසන්නේ, “ බොරුවක් කියන්න මන්ද බොරුව සර්වබලධාරීයි; එයට ඕනෑ දෙයක් ඔබට ලබා දියහැකියි ” එවිට ශුද්ධාත්මයාණන් පවසන්නේ, “ නැහැ එය බොරුවක්; දෙවියන්වහන්සේ සර්වබලධාරීයි. බොරුවක් කීම ඔබට යමක් ලබාගැණීමට ඇති බලවත්ම මාර්ගය නොවේ. දෙවියන් වහන්සේ වෙනුවෙන් නැගී සිටින්න. ඔබ ලබා ගන්නවාට උන් වහන්සේ කැමති දේ ලබා දීමට දෙවියන් වහන්සේට හැකිය.” එවිට ඔබට දැනගන්න පුළුවන් ඔබ ලබාගතයුතුදේ දෙවියන්වහන්සේ ඔබට දෙනබව.
මම නාවික හමුදාවේ සේවය කළ කාලයේ මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරියේ නැඟී සිට, “මට සමාවෙන්න සර්, මට ඒක කරන්න බැහැ, මොකද මගේ හෘදය සාක්ෂිය මට ඉඩ දෙන්නේ නැහැ. මම ක්‍රිස්තියානි කෙනෙක්” කියලා කියන්න සිද්ධ වුණු අවස්ථා බොහොමයක් මට මතකයි. ඒක හමුදාවේදී කියන්න හරිම අවදානම්, භයානක දෙයක්. ලෞකික රැකියාවකදී එහෙම කිව්වොත්, ඔයාව සේවයෙන් පහ කරලා රස්සාවෙන් එළියට දානවා. නමුත් හමුදාවේදී එහෙම කිව්වම, ඔයාව යුධ අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවදානමක් තියෙනවා, ඒ කියන්නේ උසාවියකට ඉදිරිපත් කරලා හිරේ දාන්න පුළුවන්, මොකද හමුදාවේ නියෝගවලට කීකරු නොවීම හරිම බරපතළ දෙයක්. එහෙම සිද්ධ වුණු අවස්ථා ගණනාවක් මට මතකයි, දෙවියන් වහන්සේ මාව බලා ගනී කියලා මට විශ්වාස කරන්න සිද්ධ වුණා. මගේ හෘදය සාක්ෂියට පටහැනි දෙයක් කරන්න කියලා ඔවුන් මගෙන් ඉල්ලුවොත්, මම කියනවා, “සමාවෙන්න සර්, මම ක්‍රිස්තියානි කෙනෙක්, මට ඒක කරන්න බැහැ.” නිලධාරියා කොච්චර ජ්‍යෙෂ්ඨ වුණත් කමක් නැහැ.
ඒ කාරණය නිසා මට යම් ආකාරයකින් දුක් විඳින්නට වීම වියහැකියි , ඒ කියන්නේ අණදෙන නිලධාරියා මට උසස්වීමක් සඳහා හොඳ නිර්දේශයක් ලබා නොදෙන බවයි. වතාවක් පැය භාගයක් ඇතුළත මාව වෙනත් තනතුරකට මාරු කළා. එහිදී මට අපහසුතාවයක් විඳීමට හැකි වුණා, නමුත් ඒකට කමක් නැහැ. ඔබට මෙය කිසිසේත්ම පීඩාවක් ලෙස හැඳින්විය නොහැක; මේවා මුල් කිතුනුවන් කා දැමූ සිංහයන් හා සසඳන විට කුඩා මදුරු දෂ්ට කිරීම් වැනිය. නමුත් මුල් කිතුනුවන් ද මේවාට මුහුණ දුන්හ.
දෙවියන් වහන්සේ ඔබව මෙයින් පරීක්ෂා කරනු ඇත. දෙවියන් වහන්සේ මාව විවිධ කාලවලදී පරීක්ෂා කර ඇති බව මම දනිමි, එම ස්ථානවල මම එම පරීක්ෂණයෙන් අසමත් වූවා නම්, මම අද සිටින තැන නොසිටින බවත් දෙවියන් වහන්සේ මට දී ඇති සේවය මට නොලැබෙන බවත් මම විශ්වාස කරමි. ඔබ අවංකව සිටියා නම් සහ ධර්මිෂ්ඨකම වෙනුවෙන් සමහර ස්ථානවල භූමික පාඩුව විඳීමට කැමති වූවා නම්, සමහරවිට ඔබට දේවසේවයක් තිබිය හැකිව තිබුණි. ස්වර්ග රාජ්‍යය යම් දුරකට ඔබේ වන්නට ඉඩ තිබුණි, නමුත් ඔබට එයින් කොටසක් අහිමි විය. අතීතය ගැන ඔබට කිසිවක් කළ නොහැක; ඔබ අහිමි කරගත් දේ නැති වී ගොස් ඇති අතර ඔබට එය නැවත ලබා ගත නොහැක. නමුත් ඔබට අනාගතය ගැන යමක් කළ හැකිය. "ස්වාමීනි, අඩුම තරමින් ඉදිරි දිනවලදී, මම ධර්මිෂ්ඨ හා අවංක දේ වෙනුවෙන් නැගී සිටීමට කැමතියි" යැයි පවසන්න. කිතුනුවකු කිසිදු ක්ෂේත්‍රයක වංක විය යුතු නැත. කිතුනුවකු කිසිදු ආකාරයක ලාභයක් සඳහා බොරුවක් පැවසීම හෝ වංචා කිරීම නොකළ යුතුය. දෙවියන් වහන්සේ ඔවුන්ට වඩා විශාල සේවයක් කිරීමට හැකි වන පරිදි ධර්මිෂ්ඨව සිටින අය සොයමින් සිටී.