WFTW Body: 

අප අපගේ කිතුනු ජීවිතය පිළිබඳ ප්‍රස්ථාරයක් අඳින්නේ නම්, එය ඉහල පහල යාම් වලින් සමන්විත වනු ඇත. අප හැමෝගෙම අත්දැකීම එළෙසය. නමුත් වසර ගණන් ගෙවී යනවාත් සමඟම සාමාන්‍යයෙන් එහි දිශාව ඉහළට විය යුතුය. අපි ඉහල පහල වීම් සහ ඒ අතර සමභූමිය ඔස්සේ සෙමින් ඉහළට ගමන් කරමු. අපගේ වැටීම් අඩු වන අතර, සමභූමිය ක්‍රමයෙන් දිගු වේ. කඳු නැගීම අනිවාර්‍යයෙන්ම නැඟීමට දුෂ්කර වන ලෙස ක්‍ෂණිකව සහ අධිකව බෑවුම් සහිත විය යුතු නොවේ - එය ඉඳහිට එසේ විය හැකි වුවද. නමුත් සාමාන්‍යයෙන් කඳු නැගීම ක්‍රමයෙන් සිදුවේ. එසේවුවද විශ්වාස නොකරන හෝ ජයග්‍රහණය අපේක්‍ෂා නොකරන අය සමඟ, ප්‍රස්තාරය පහළට ගමන් කරනු ඇත - ඒ ඔවුන් දෙවියන් වහන්සේට බිය නොවන නිසා හෝ උන්වහන්සේගේ පොරොන්දු විශ්වාස නොකරන බැවිනි.

පාපය බැරෑරුම් ලෙස සලකා සෑම එක් අසාර්ථකත්වයක් උදෙසාම වැලපෙන්න. ඔබ සැබවින්ම දෙවියන් වහන්සේට භය වන බව එවිට ඔබට වැටහෙනු ඇත. ඔබ මා නිතර කියනු අසා ඇති පරිදි, අප පාපයට වැටීම, අප පාපයට වැටීමෙන් පසු ශෝක නොවී සිටීම තරම් බරපතළ දෙයක් නොවේ. ඔබ පාපයට වැටුණු වහාම පසුතැවිලි වී ශෝක වන ලෙස මම ඔබට අභියෝග කර ඇත්නම් (හෝ ඕනෑම ආකාරයකින් දෙවියන් වහන්සේව ශෝකයට පත්කිරීම්) එවිට මම මගේ යුතුකම ඉටු කළෙමි.

ඇගේ අවශ්‍යතාවයට එලිෂා වෙත පැමිණි වැන්දඹුවට ( 2 රාජාවලිය 4 ) ගොස් ඇගේ අසල්වැසියන්ගෙන් භාජන ණයට ගන්නා ලෙසත්, ඇගේ කුඩා තෙල් කුළාවෙන් ඒවාට වත් කර ඒවා පුරවන ලෙසත්, මේ අනුව ඇයට ඇගේ ණය පියවා ගැනීමට හැකි වන බවත්, පවසනු ලැබීය. ඇය එය කළාය. අවසානයේදී ඇගේ පුතුන් පැවසුවේ, "තව පිරවිය යුතු භාජන නැත" යනුවෙනි. ඉන් පසුව අප කියවන්නා වූ වචන වන්නේ : "එවිට තෙල් ගලා යාම නතර විය".

මෙහි සඳහන් තෙල් වනාහි ශුද්ධාත්මයාණන්ගේ පින්තූරයකි. ආත්මයේ බව්තීස්මය (පිරවීම) අත්විඳින බොහෝ දෙනෙකුට මෙය මෙයාකාරයටම සිදු වේ. ඒවා ආරම්භයේදීම සැබෑ ලෙස පිරී තිබුණි. නමුත් පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජීවිතවල අවශ්‍යතාවය පිළිබඳ හැඟීමක් නොමැති (තවත් පිරවිය යුතු භාජන නැති) කාලයක් පැමිණේ. එවිට ආත්මය ඔවුන්ගේ ජීවිත හරහා ගලා යාම නතර කරයි. හිස් භාජන අපගේ ජීවිතයේ අප ක්‍රිස්තුස් වහන්සේට සමාන නොවන ප්‍රදේශ නිරෑපණනය කළ හැකිය. අප සැමගේ ජීවිත තුළම - අර්ධ වශයෙන් පමණක් නොව කට මට්ටමටම පිරවිය යුතු එවැනි බොහෝ ක්‍ෂේත්‍ර තිබේ.

ඔබ පාපයෙන් ජයග්‍රහණය ලබා තිබය හැකි සමහර ක්‍ෂේත්‍ර වල, භාජන පිරී ඇත්තේ අර්ධ වශයෙන් පමණි - මන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපය (හෝ දිව්‍යමය ස්වභාවයට පංගුකාර වීම) පාපයට එරෙහිව ජයග්‍රහණයට වඩා බෙහෙවින් වැඩි දෙයකි. නිදසුනක් වශයෙන්, යමෙකු කෙරෙහි කිසිදු තිත්තකමක් ඇති නොවීම සහ ඔහුට ආදරය කිරීම අතර විශාල වෙනසක් ඇත. පළමුවැන්න හුදෙක් සෘණාත්මකය (පාපය ජය ගැනීම). දෙවැන්න ධනාත්මකයි (දිව්‍ය ස්වභාවය). එලෙසම කෝප නොවී සිටීමත් ආශිර්වාද කරන යහපත් වචන කතා කිරීමත් අතර බොහෝ වෙනසක් ඇත. මෙලෙසම තවත් බොහෝ ක්‍ෂේත්‍රයන් තුළද වන්නේය. යම් ක්‍ෂේත්‍රයක පාපය ජයගත් බවට අප සෑහීමකට පත්වන්නේ නම්, “තවත් භාජන ඉතිරිව නැත” යැයි සිතමින් අපි තෘප්තිමත් වෙමු. එවිට තෙල් ගලා යාම නතර වේ - එමෙන්ම අපි පසුබටවී යාමට පටන් ගන්නෙමු.

අප ජීවත් විය යුත්තේ නිරන්තර පසුතැවිලි වීමේ ජීවිතයක වන අතර අන් අයව විනිශ්චය නොකළ යුතුය. අපගේ කටයුත්ත විය යුත්තේ සෑම විටම පිරවීමට සූදානම්ව ඇති හිස් භාජන ඇති බව බැලීම පමණි. අපට අපගේ ණය පියවා ගත හැක්කේ (එම වැන්දඹුව මෙන්) එවිට පමණි. අපගේ ණය රෝම 13:8 හි විස්තර කර ඇත - "ඔබ සියලු මිනිසුන්ට ප්‍රේමයේ ණයකින් ණයගැතියි". ඒ ආකාරයෙන් අපට අන් අයට ආශීර්වාදයක් විය හැකිය. සෑම තත්වයක්ම නිර්මාණය කර ඇත්තේ අපව ආත්මාර්ථයේ යම් ස්ථාන වලින් ගලවා ගැනීමට සහ අපව අන් අයට ආශීර්වාදයක් කිරීමටය. අපේම හිස් භාජන මුලින්ම පුරවා නොගන්නේ නම්, අන් අයට අප තුළින් ආශීර්වාද කළ නොහැක.