WFTW Body: 

"ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශිර්වාදලද්දෝය, මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය" (මතෙව් 5:6). ලෝකයේ, මිනිසුන් සියලු වර්ගවල දේවල් සඳහා සාපිපාසයෙන් සිටිති. ලෝකයේ මිනිසුන් සාපිපාසයෙන් සිටින දේවල් දෙස බැලුවහොත්, ඒවා වස්තුව, මුදල්, සුවපහසු ජීවිතයක්, නිවාස සහ ඉඩම්, සමාජයේ දියුණුව, ඔවුන්ගේ රැකියා වල උසස් තනතුර, ඔවුන්ගේ පෙනුම අලංකාර කිරීම සහ මේ ලෝකයේ ඔවුන්ට ගෞරවය, සැනසීම සහ සතුට ගෙන දෙන වෙනත් ඕනෑම දෙයක් වැනි දේවල් වේ. මෙය බොහෝ කිතුනුවන්ටද සත්‍ය වේ.

බොහෝ කිතුනුවන්, නැවත ඉපදුණු බව කියා සිටින අය පවා, මේ දේවල් පසුපස හඹා යති. නමුත් දේවභක්තික ජීවිතයක් ගත කිරීමට සාපිපාසයෙන් සිටීම - පාපයෙන් ජය ගැනීමට සාපිපාසයෙන් සිටීම - ඉතා දුර්ලභ ගුණාංගයක් වන අතර, එහිදී යේසුස් වහන්සේ පැවසූ දේ මම විශ්වාස කරමි: මෙම ජීවනයට මාර්ගය ඉතා ස්වල්ප දෙනෙක් සොයා ගනී. සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨ වීමේ පණිවිඩයක් ගැන ඉතා ස්වල්ප දෙනෙක් උනන්දු වන බව මට පෙනී ගිය විට මම පුදුම නොවෙමි. ඇත්ත වශයෙන්ම, මිනිසුන් හැරී "එය කළ නොහැකි දෙයක්" යැයි පවසන විට මම පුදුම නොවෙමි. කන්ද උඩ දේශනාවට කළ නොහැකි ප්‍රමිතීන් ඇතුලත් බවත් කිසිවෙකුට එයට අනුකූලව ජීවත් විය නොහැකි බවත් මිනිසුන් පවසන විට, ලෞකික කිතුනුවකුගෙන් හෝ ලෞකික ආකල්ප ඇති නැවත ඉපදුණු කිතුනුවකුගෙන් මා අපේක්‍ෂා කරන පිළිතුර එයයි. එවැනි පුද්ගලයෙකු කන්ද උඩ දේශනාවේ යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල නොසලකා හැරියහොත් ඔහු සැබවින්ම නැවත ඉපදුණා වූ කෙනෙක්ද යන්න මම ප්‍රශ්න කරමි. මතෙව් 28:20 හි "මා අණ කළ සියල්ල ඔවුන්ට උගන්වන්න" යැයි පැවසීමට පෙර "ඔවුන් ගෝලයන් කරන්න" යනුවෙන් යේසුස් වහන්සේ පැවසුවේ එබැවිනි.

තමන් කිතුනුවකු යැයි කියා ගන්නා, නමුත් ස්වර්ගයට යාමට පමණක් කැමති සහ යේසුස් වහන්සේ අණ කළ සියල්ලට කීකරු වීමට උනන්දුවක් නොදක්වන සෑම පුද්ගලයෙකුම එයින් බොහෝ දුරස් ය. පුද්ගලයෙකු සැබවින්ම ගෝලයෙකු වුවහොත්, ඔහු යේසුස් වහන්සේ අණ කළ දේ දැන ගැනීමට උනන්දු වනු ඇත. යේසුස් වහන්සේගේ සැබෑ ගෝලයෙකුගේ ආකල්පය නම්, " උන්වහන්සේ මා සිතින් දිළිඳුව සිටිනවාට කැමති නම්, එහි තේරුම කුමක්දැයි දැන ගැනීමට සහ එයට කීකරු වීමට මම කැමති වෙමි. එමෙන්ම උන්වහන්සේ මා මාගේ පාපවලට වැලපෙනවාට හෝ මා සිතින් මෘදුව සිටිනවාට කැමති වන්නේ නම්, එහි තේරුමද කුමක්දැයි මට දැන ගැනීමට අවශ්‍යයි. උන්වහන්සේ මා ධර්මිෂ්ඨකමට සාපිපාසයෙන් සිටිනවාට කැමති නම්, මම ධර්මිෂ්ඨකමට සාපිපාසයෙන් සිටීමට කැමති වෙමි."

ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසාවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? උදාහරණයක් ලෙස, ඔබ "මට ටිකක් වතුර පිපාසයි" යැයි පැවසුවහොත්, ඔබ එම වතුර වීදුරුව සඳහා කොපමණ මුදලක් ගෙවීමට කැමතිද? වතුර වීදුරුවක් රුපියල් 100,000 ක් මිල වුවහොත් ඔබ කුමක් කරන්නේ ද? ඔබ මෙසේ පවසනු ඇත, "නැහැ, මට වතුර වීදුරුවක් සඳහා රුපියල් 100,000 ක් ගෙවීමට තරම් පිපාසයක් නැත." නමුත් ඔබ දින හතක් කාන්තාරයේ අතරමංවූ පුද්ගලයෙකු නම්, ඔබේ මුළු ශරීරයම වියළී ගොස් ඔබේ මුඛය වියළී ගොස් පිපාසයෙන් මිය යාමට ආසන්න නම් ඇතිවන තත්ත්වය ගැන සලකා බලන්න. එවිට නම් ඔබ වතුර වීදුරුවක් සඳහා රුපියල් 100,000 ක් ගෙවීමට වූවද කැමති වනු ඇත! පිපාසය නම් එයයි. ඔබ කුසගින්නෙන් මිය යන්නේ නම් ආහාර සඳහා ඕනෑම මුදලක් ගෙවීමට ඔබ කැමති වනු ඇත.

යේසුස් වහන්සේ පවසන සාපිපාසාව යනු ඕනෑම මිලයක් ගෙවා ධර්මිෂ්ඨ වීමට ඇති දැඩි සාපිපාසාවයි, එය පහසු නම් හෝ එය මගේ කිසිදු සැලැස්මකට බාධා නොකරන්නේ නම් පමණක් ධර්මිෂ්ඨ වීමට නොවේ. සභාවල වාඩි වී සිටින බොහෝ අය, ශුද්ධකමේ පණිවිඩවලට සවන් දෙන අය පවා, එය ඔවුන්ගේ සැලසුම්වලට බාධා නොකරන්නේ නම්, නැතහොත් එය අනාගතය සඳහා ඔවුන්ගේ අභිලාෂයන් විනාශ නොකරන්නේ නම්, නැතහොත් ඔවුන් විවාහ වීමට කැමති ගැහැණු ළමයා හෝ පිරිමි ළමයා සමඟ විවාහ වීමට බාධාවක් නොවන්නේ නම්, ශුද්ධ වීමට කැමතියි. ඒ සඳහා ගෙවීමට වැඩි මිලක් නොමැති තාක් කල් ඔවුන්ට ධර්මිෂ්ඨකම අවශ්‍යයි. එබැවින් ඔබ ඔවුන්ට ධර්මිෂ්ඨකම පිරිනමන විට, ඔවුන්ගේ පළමු ප්‍රශ්නය, “මිලය කුමක්ද?” නම්, ඔවුන් සැබැවින්ම කුසගින්නේ නැති බව ඔබ දැනගන්නේය. දැඩි පිපාසයෙන් හෝ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකු මිල අසන්නේ නැත. ඔහු කියනුයේ, “මට ඒ වතුර දෙන්න! මම ගෙවන්නම්! මම මැරෙන නිසා මා සතුව ඇති සියල්ල වුවද මම ඔබට දෙන්නම්!” කියාය.

අපේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේ සෙවීමේ අර්ථය එයයි. බොහෝ දෙනෙකුට දෙවියන් වහන්සේව අන් අය සොයාගත් ආකාරයටම සොයා ගැනීමට නොහැකි වීමටත්, ඔවුන්ට තෘප්තිමත් කිතුනු ජීවිතයක් නොලැබීමටත් හේතුව (බොහෝ නැවත ඉපදුණු කිතුනුවන්ගේ තත්වය එයයි), ඔවුන් දෙවියන් වහන්සේව මුළු හදවතින්ම සොයන්නේ නැති නිසාය. “මම ස්වාමින් වහන්සේ ගැන සැබවින්ම සෑහීමකට පත්ව සිටිමි, මගේ කිතුනු ජීවිතය ගැන මම සෑහීමකට පත්වෙමි, උන්වහන්සේ මට ලබා දී ඇති ප්‍රගතිය ගැන මම සෑහීමකට පත්වෙමි, එය ගතවී ඇති ආකාරය ගැන මම කෘතඥ වෙමි, මම සෑම දිනකම මගේ ජීවිතය ගැන උද්‍යෝගයෙන් සිටිමි!” යැයි පවසන කිතුණුවන්, බොහෝ රටවලට සංචාරය කර වසර 52 ක් ගතවූ කිතුනුවකු වූ මගේ ජීවිතයේ මට හමු වී ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකු පමණි. ඉතා ස්වල්ප දෙනෙකුට අවංකවම එසේ පැවසිය හැකිය. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ක්‍රිස්තියානි ජීවිතය ගැන කම්මැලි වී ඇති බව මට පෙනේ. ගැලවීම ලැබුවා වූ මුල් දිනයන්හිදී ඔවුන් උද්‍යෝගිමත් වූවා විය හැකිය, නමුත් දැන් ඔවුන් ඉතා කම්මැලියි. ඔවුන්ට බයිබලය කියවීමට වෙලාවක් නැත, ඔවුන්ට අධ්‍යාත්මික දේවල් කෙරෙහි උනන්දුවක් නැත; ඔවුන් සභාවට යෑම, සාක්‍ෂි දැරීම සහ දුප්පතුන් රැකබලා ගැනීම වැනි යම් ක්‍රියාකාරකමක නියැලෙනවා විය හැකිය, නමුත් ඔවුන් යේසුස් වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීම ගැන උද්‍යෝගිමත් නොවේ.

මේ පිටුපස ඇති හේතුව තේරුම් ගැනීමට නම්, මිනිසා සහ දෙවියන් වහන්සේ පිළිබඳ නීතියක් අප තේරුම් ගත යුතුය. යෙරෙමියා 29:13 හි ස්වාමින් වහන්සේ තම සෙනඟ වන ඊශ්‍රායෙල්ට මෙසේ පවසනසේක, “නුඹලා මා සොයනවා ඇත, නුඹලාගේ මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවෙනවා ඇත.” ඔබ උන්වහන්සේව මුළු සිතින් නොසොයා ඔබ උන්වහන්සේව අර්ධ හදවතින් හෝ ඔබේ හදවතින් හතරෙන් තුනකින් සොයන විටදී ඔබට සිදුවන්නේ කුමක්ද? සැබැවින්ම, ඔබට ආගමක් තිබෙනු ඇත. එය හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සහ ඔබ නියැලෙන විවිධ ක්‍රියාකාරකම් ඇති ක්‍රිස්තියානි ආගමක් වන නමුත් ඔබ ස්වාමින් වහන්සේව නොහඳුනන්නේය. ඔබ යේසුස් වහන්සේව පෞද්ගලික මිතුරෙකු ලෙස නොදකිනු ඇත, එබැවින් ඔබට ක්‍රිස්තියානි ජීවිතයේ සෑම දෙයක්ම මග හැරෙනු ඇත. ඔබට ක්‍රිස්තියානි නාමයක් තිබිය හැකි අතර ක්‍රිස්තියානි සභාවක සාමාජිකයෙකු විය හැකිය, නමුත් ඔබ ස්වාමින් වහන්සේව පෞද්ගලිකව නොදන්නේ නම්, ඔබට ප්‍රධාන දෙය මග හැරී ඇත. හේතුව ඔබ ඔබේ මුළු හදවතින්ම දෙවියන් වහන්සේව සොයන්නේ නැති නිසා විය හැකිය. ස්වාමින් වහන්සේ හැර ලෝකයේ ඔබ ඔබේ මුළු හදවතින්ම සොයන බොහෝ දේ ඇත්තේය.

සවන් දීමට.

©Zac Poonen – [email protected]