WFTW Body: 

බයිබලය, දෙවියන් වහන්සේ මත යැපෙමින් ජීවත් වන මිනිසා, ගංගාවක පතුලට ඇදි මුල්වලින් තම පෝෂණය ලබන ගසකට සමාන කරයි (යෙරෙමියා 17: 5-8). යේසුස් වහන්සේ ජීවත් වූයේ එලෙසය - මනුෂ්‍යයෙකු ලෙස උන්වහන්සේගේ ආත්මික පෝෂණය නිරන්තරයෙන් ශුද්ධාත්මයාණන්ගෙන් (දෙවියන් වහන්සේගේ ගංඟා වෙන්) සපයා ගන්නා ලදී.

"යේසුස් වහන්සේ නොකඩවා යාච්ඤාවෙන් දෙවියන් වහන්සේගේ බලය සෙවූ අතර කිසිවිටෙක බලාපොරොත්තු සුන් කර නොගත්සේක"

පරීක්ෂාවට එරෙහිව යේසුස් වහන්සේ ජයග්‍රහණය කළේ මනුෂ්‍ය අධිෂ්ඨානයෙන් නොව, උන්වහන්සේ පියාණන්ගෙන් මොහොතින් මොහොත ශක්තිය ලබාගත් බැවිනි. යේසුස් වහන්සේ විසින් ආදර්ශවත්ව උගන්වා ඇති පරිදි, තමන්වම නොසලකා හැරීම ප්‍රාණිකව තමන්වම පාලනය කිරීමක් නොවේ. නැත. එය බෞද්ධාගම සහ යෝගා වන අතර, එය අහසත් පොළොවත් මෙන් ශුද්ධ ලියවිල්ලේ ඉගැන්වීමට වඩා දුරස්ථය.

යේසුස් වහන්සේ ඉගැන්වූයේ මනුෂ්‍යයින් වශයෙන් අපට, යුතු පරිදි ජීවත්වීමට සහ දෙවියන් වහන්සේට සේවය කිරීමට බලයක් නොමැති බවයි. උන්වහන්සේ පැවසුවේ අපි, ඵළදාව සඳහා ගසෙන් සැපයෙන යුෂ මත සම්පූර්ණයෙන්ම යැපෙන අසරණ අතු වගෙයි කියාය. මාගෙන් වෙන්ව නුඹලාට කිසිවක් කළ නොහැකි යැයි" උන්වහන්සේ පැවසූසේක (යොහාන් 15: 5). එබැවින්, ශුද්ධාත්මයාණන්ගේ උපකාරයෙන් තොරව අපහට කරගන්නට හැකිවන දේවල් කිසිත් නැති ලෙස සැළකිය හැකිය. "නොකඩවා ආත්මයෙන් පිරී සිටීමේ "අත්‍යවශ්‍ය අවශ්‍යථාවයට හේතුව මෙය වන්නේය (එපීස 5: 18).

යේසුස් වහන්සේවම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී හා ආළේප කරනු ලැබූ අතර, උන්වහන්සේ, තම පියාණන් වෙනුවෙන් ආත්මයාණන්ගේ බලයෙන් ජීවත් වී, සේවය කළ සේක (ලූක් 4: 1, 18). නමුත් මෙය කළ හැකි වූයේ මිනිසෙකු ලෙස උන්වහන්සේ ආත්මයෙන් දිළින්දෙකු වූ බැවින් පමණි.

යේසුස් වහන්සේ තමන් පැළදගත් මිනිස් රාමුවේ දුර්වලකම ගැන දැන සිටිසේක. එමනිසා, උන්වහන්සේ නිරන්තරයෙන්ම තනිව සිටීමට හා යාච්ඤා කිරීමට අවස්ථා සොයමින් සිටි සේක. සංචාරකයින් නගරයකට ඇතුළු වන විට හොඳ හෝටල් සහ වැදගත් සුන්දර දර්ශනීය ස්ථාන බැලීමට සොයන ලෙස, යේසුස් වහන්සේ යාච්ඤා කළ හැකි හුදකලා ස්ථාන සොයමින් සිටි බව යමෙකු පවසා ඇත.

උන්වහන්සේ පරීක්ෂාව ජය ගැනීමට සහ උන්වහන්සේගේ ප්‍රාණික-බලය මරණයට පත් කිරීමට අවශ්‍ය බලය සොයමින් සිටිසේක. කිසිම මිනිසෙකු යේසුස් වහන්සේ තරම්, මාංසයේ සම්පූර්ණ දුර්වලකම ගැන දැනුවත් නොවීය. එබැවින් උන්වහන්සේ කිසි මිනිසෙකු කිසි දිනක නොකළ පරිදි උපකාරය පතා පියාණන්ගේ මුහුණ සෙවූසේක. උන්වහන්සේ තම මාංසයේ සිටි දවස්වල "මහ හඬින් හා කඳුළින්" යාච්ඤා කළසේක. එහි ප්‍රතිඵළය වූයේ අන් කවර මනුෂ්‍යයෙකුටත් වඩා උන්වහන්සේ පියාණන්ගෙන් බලවත් ලෙස ශක්තිමත් වීමයි. මේ අනුව, යේසුස් වහන්සේ කිසිවිටෙකත් පව් නොකළ අතර උන්වහන්සේගේ ප්‍රාණයෙන් කිසිවිටෙකත් ජීවත් වූයේ නැත (හෙබ්‍රෙව් 4: 15; 5: 7-9).

ශුභාරංචි වල 25 වතාවක් "යාච්ඤාව" හෝ "යාච්ඤා" යන වචන යේසුස් වහන්සේ හා සම්බන්ධ වීම සුවිශේෂී නොවේද? උන්වහන්සේගේ ජීවිතයේ හා උන්වහන්සේගේ සේවයේ රහස එයම විය.

යේසුස් වහන්සේ තම ජීවිතයේ සුවිශේෂී සිදුවීම් වලට පෙර පමණක් නොව, උන්වහන්සේගේ සමහර සුවිශේෂී ජයග්‍රහණවලින් පසුවද යාච්ඤා කළසේක. ආශ්චර‍්‍යයමත් ලෙස පන්දහසකට කන්න දීමෙන් පසු, උන්වහන්සේ යාච්ඤා කිරීමට කඳුකරයට බැස ගියසේක. මෙය නිසැකවම ඉටු කරන ලද කාර‍්‍යය ගැන ආඩම්බර වීමට හෝ සෑහීමකට පත්වීමේ පෙළඹවීම් වලින් ආරක්ෂා වීමටත්, උන්වහන්සේගේ පියාණන් කෙරෙහි බලා සිටීමෙන් උන්වහන්සේගේ ශක්තිය අලුත් කිරීමටත් විය (යෙසායා 40: 31). අප සාමාන්‍යයෙන් යාච්ඤා කරන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් යම් වැදගත් කාර‍්‍යයක් කිරීමට පෙර පමණි. නමුත් අපගේ කාර‍්‍යය අවසන් වූ පසු පියාණන් වහන්සේ ඉදිරියෙහි බලා සිටීමේ යේසුස් වහන්සේට තිබූ පුරුද්ද අප වර්ධනය කර ගන්නේ නම්, අපි උඩඟුකමෙන් ආරක්ෂා වී ස්වාමීන් වහන්සේ උදෙසා වඩාත් විශාල දේවල් කිරීමට සූදානම් වන්නෙමු.

යේසුස් වහන්සේගේ ජීවිතය කාර්යබහුල වූ තරමටම උන්වහන්සේ වඩාත් වැඩියෙන් යාච්ඤා කළසේක. උන්වහන්සේට කෑමට හෝ විවේක ගැනීමටවත් වෙලාවක් නොතිබූ අවස්ථා තිබුණි (මාර්ක් 3: 20; 6: 31, 33, 46), නමුත් උන්වහන්සේ නිතරම යාච්ඤා කිරීමට කාලය ගත් සේක. උන්වහන්සේ ආත්මයාණන් වහන්සේගේ පෙළඹීම්වලට කීකරු වූ නිසා නිදාගත යුත්තේ කොයි වේලේද සහ යාච්ඤා කළ යුත්තේ කොයි වේලේ දැයි උන්වහන්සේ දැන සිටීසේක.

ආත්මයේ දිළිඳුකම ඵළදායී යාච්ඤාවකට පූර්ව-අවශ්‍යථාවකි. යාච්ඤාව යනු මිනිස් අසරණ භාවයේ ප්‍රකාශනය වන අතර, එය හුදු චාරිත්‍රයක් නොවී, අර්ථවත් විය යුතු නම්, ක්‍රිස්තියානි ජීවිතය ජීවත්වීමට හෝ දෙවියන් වහන්සේ ට සේවය කිරීමට මානව සම්පත් ප්‍රමාණවත් නොවන බව නිරන්තරව හඳුනාගත යුතුය.

යේසුස් වහන්සේ නොකඩවා යාච්ඤාවෙන් දෙවියන් වහන්සේගේ බලය සෙවූ අතර කිසිවිටෙක බලාපොරොත්තු සුන් කර නොගත්සේක. මෙසේ උන්වහන්සේට පවා වෙනත් ආකාරයකින් ඉටු කළ නොහැකි වූ දේවල්, උන්වහන්සේ යාච්ඤාවෙන් ඉටු කළසේක.

©Zac Poonen – [email protected]