WFTW Body: 

"සියල්ල උන්වහන්සේ උදෙසාය" (රෝම 11: 36) දෙවියන් වහන්සේ ඇල්ෆා සහ ඔමේගා, ආරම්භය සහ අවසානය, පළමුවෙනියා සහ අන්තිමයාය. එබැවින්, සදාකාලික ස්වභාවයේ සෑම දෙයක්ම උන්වහන්සේ තුළ ආරම්භ වන බැවින්, ඔවුන් උන්වහන්සේ තුළ ඔවුන්ගේ පරිපූර්ණත්වයද අත්පත් කර ගනී. සියලු දේ දෙවියන් වහන්සේ විසින් මවා ඇත්තේ උන්වහන්සේට මහිමය ගෙන ඒම පිණිසය. එසේ වන්නේ දෙවියන් වහන්සේ ආත්මාර්ථකාමී ලෙස අපගේ මහිමයට ආශා කරන නිසා නොවේය. උන්වහන්සේ තමා-තුළම සම්පූර්ණයෙන්ම සෑහීමට පත්වන අතර, උන්වහන්සේගේ සෑහීමට පත්වීම වැඩි කිරීමට අපට උන්වහන්සේට පිරිනැමිය හැකි කිසිවක් නැත. උන්වහන්සේගේ මහිමය සෙවීමට උන්වහන්සේ අපව කැඳවන්නේ, එය පමනක්ම අපගේම උසස්ම යහපත සඳහා මාර්ගය වන බැවිනි. එසේ නොවුවහොත් අපි, අප-තුළම කේන්ද්‍ර වූ (ආත්මාර්ථකාමී) හා කාළකණ්ණින් වනු ඇත.

උන්වහන්සේ තුළ කේන්ද්‍රගත වීම, දෙවියන් වහන්සේ මැවිල්ලට අඩංගු කර ඇති ඒකාන්ත නියමයකි. එම නියමය කඩ කළ හැක්කේ නිදහස් කැමැත්තක් ඇති යහපත අයහපත දැනෙන සදාචාරාත්මක ජීවීන්ට පමණි. අජීවී මැවිල්ල ප්‍රීතියෙන් එහි මැවුම්කරුට කීකරුවී, උන්වහන්සේව මහිමයට පත් කරයි. නමුත් ආදම් එම නීතියට අකීකරු වූ බැවින්, මනුෂ්‍යත්වයේ දුක්ඛිත ප්‍රතිවිපාක අපි දකින්නෙමු.

ස්වාමින් වහන්සේ තම ගෝලයන්ට යාච්ඤා කිරීමට ඉගැන්වූ යාච්ඤාවේ පළමු ඉල්ලීම වන්නේ, "ඔබවහන්සේගේ නාමය ගෞරවයට පැමිණේවා " යන්නයි. ස්වාමීවූ යේසුස් වහන්සේගේ හදවතේ ඇති වූ මූලික ආශාව මෙයයි. උන්වහන්සේ "පියාණෙනි, ඔබගේ නාමය මහිමයට පත් කළ මැනව" යනුවෙන් යාච්ඤා කළ අතර, කුරුසියේ මාර්ගය පියාණන් වහන්සේට මහිමය ගෙන දෙන බැවින් එය තෝරා ගත්සේක (යොහන් 12: 27,28).

එක් උත්තරීතර ආශාවක් ස්වාමීවූ යේසුස් වහන්සේගේ ජීවිතය පාලනය කළේය - එනම් පියාණන්ගේ මහිමය ය. උන්වහන්සේ කළ සියල්ලම පියාණන් වහන්සේගේ මහිමය උදෙසාය. උන්වහන්සේගේ ජීවිතයේ වෙනම පූජනීය හා ලෞකික මැදිරි තිබුණේ නැත. සියල්ලම පරිශුද්ධ විය. උන්වහන්සේ දේශනා කර හා රෝගීන් සුවපත් කළ තරමටම දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පුටු සහ බංකුද සෑදූසේක. සෑම දිනක්ම උන්වහන්සේට එකසේ පූජනීය විය; එදිනෙදා ජීවිතයේ අවශ්‍යථා සඳහා වියදම් කරන මුදල්, දෙවියන් වහන්සේගේ වැඩවලට (සේවාවට) හෝ දුප්පතුන්ට දෙන මුදල් මෙන්ම පරිශුද්ධ විය.

යේසුස් වහන්සේ පියාණන්ගේ මහිමය පමණක් සෙවූ නිසාත්, තම පියාණන්ගේ අනුමැතිය පමණක් සැලකූ නිසාත්, සෑම විටම පරිපූර්ණ විශ්‍රාමයක හදවතින් ජීවත් විය. උන්වහන්සේ තම පියාණන්ගේ මුහුණ ඉදිරියෙහි ජීවත් වූ අතර මිනිසුන්ගේ ගෞරවය හෝ ප්‍රශංසාව ගැන තැකීමක් නොකළසේක. "තමන් විසින්ම උපදවමින් කථා කරන තැනැත්තා තමාගේම ගෞරවය සොයයි" කියා යේසුස් වහන්සේ පැවසූසේක (යොහන් 7: 18).

ප්‍රාණික (ප්‍රාණයෙන් ජීවත්වන) කිතුණුවා, දෙවියන් වහන්සේගේ මහිමය සොයන ලෙස පෙනී සිටියත් හෝ මවා පෑවත්, සැබවින්ම, ගැඹුරින් ඔහුගේම ගෞරවය ගැන උනන්දු වෙයි. අනෙක් අතට, යේසුස් වහන්සේ කිසිවිටෙකත් තමාටම ගෞරවයක් සෙවූයේ නැත. මිනිසාගේ කෞශල්‍යයෙන් ආරම්භ වී මානව දක්ෂතාවයෙන් හා තළෙන්තු තුළින් ක්‍රියාත්මක වන දේ සෑම විටම අවසන් වන්නේ මිනිසා ගෞරවයට පැමිණවීමෙනි. ප්‍රාණයෙන් ආරම්භ වන දෙය මැවිල්ල පමණක් මහිමයට පත් කරයි. නමුත් සදාකාලික යුගවලදී කිසිම මිනිසෙකුට ගෞරවයක් හෝ මහිමයක් ගෙන දෙන කිසිවක් ස්වර්ගයේ හෝ පොළොවේ නොවනු ඇත. නොනැසී කාලයෙන් ගැලවී සදාකාලික දොරටුවලට ඇතුළු වන සෑම දෙයක්ම දෙවියන් වහන්සේගෙන්, දෙවියන් වහන්සේ කරණකොටගෙන සහ දෙවියන් වහන්සේ උදෙසා වේ.

යම්කිසි ක්‍රියාවක් පිටුපස ඇති චේතනාවයි, දෙවියන් වහන්සේ සැලකීමේදී එම ක්‍රියාවට වටිනාකමක් හා ප්‍රමිතියක් ලැබෙන්නේ. අපි කරන දේ වැදගත් නමුත් අපි එය කරන්නේ ඇයි කියන එක ඊටත් වඩා වැදගත් ය.

හිමිකම් -Zac Poonen – [email protected]