WFTW Body: 

නව ගිවිසුමේ ශුභාරංචිය ප්‍රධාන වශයෙන්ම මෙයයි: එනම් අපට දිව්‍යමය ස්වභාවයට පංගුකාර විය හැකි බවය. දෙවියන් වහන්සේගේ ස්වභාවය ප්‍රේමයයි - ප්‍රේමයේ වැදගත්ම ලක්‍ෂණය වන්නේ එය තමාගේම දේ නොසොයන බවයි. යේසුස් වහන්සේ අපව ගලවා ගැනීමට ස්වර්ගයෙන් පොළොවට බැස ආවේ උන්වහන්සේගේම දේ නොසොයා ගිය බැවිනි. දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති උන්වහන්සේගේ ප්‍රේමය මවක් තම කිරි දෙන බිළිඳාට දක්වන ආදරයට සමාන කරයි (යෙසා. 49:15). මවක් තම අලුත උපන් බිළිඳාට දක්වන ආදරය මිහිපිට දැකිය හැකි ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්‍රදර්ශනයයි - මන්ද යහපත් මවක් තම දරුවා වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවී පරාර්ථකාමී ලෙස සෑම දෙයක්ම කරයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමයද මේ ආකාරයෙන්ම වේ - අපද සහභාගි විය යුතු ස්වභාවය මෙයයි. එවිට යේසුස් වහන්සේ මෙන් දෙවියන් වහන්සේගේ සෙනඟට සේවය කිරීමට අපට හැකි වේවි.

“ජීවන මාර්ගය යනු අපගේ ජීවිතය උදෙසා දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් කිරීමට අපව සම්පූර්ණයෙන්ම භාර දීමේ මාර්ගයයි”

කිතුනු ජීවිතය පවත්වාගෙන යන ඉන්ධනය ප්‍රේමයයි. ගෑස් ටැංකිය හිස් වූ විට මෝටර් රථයක් තල්ලු කළ යුතුය. එලෙසම, ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති දැඩි ප්‍රේමය සිඳී ගිය තැන, උන් වහන්සේ උදෙසා අප දරන ශ්‍රමය මෝටර් රථයක් තල්ලු කිරීම වැනි බරක් හා සමාන බරක් වනු ඇත. එවිට අප අවට සිටින අන් අයගේ දුර්වලකම් සහ මෝඩකම් දරාගැනීමද අපහසු වනු ඇත. ඒ නිසා ටැන්කිය පුරවා ගැනීම පිණිස අපි නැවත නැවතත් ඉන්ධන පිරවුම් හලට යා යුතුය. "නොකඩවා ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න" (එපීස 5:18)

ක්‍රෝධයෙන් සහ ඇස්වල තෘෂ්ණාවෙන් ජය ගැනීම, දිව්‍යමය ස්වභාවයට පංගුකාර වීමේ, අවසාන අරමුණ සඳහා, සූදානම් වීම පමණි. අපගේ මාංසය සම්පූර්ණයෙන්ම ආත්මාර්ථකාමී වන අතර, දිනපතා මරණයට පත් කළ යුත්තේ මෙම ආත්මාර්ථකාමී ස්වභාවයයි. අපි අපේම ලාභයක් හෝ ගෞරවයක් හෝ සැනසීමක් හෝ අපේම දෙයක් සෙවීම යුතු නැත - මන්ද එය සදාකාලික මරණයේ මාර්ගයයි. ජීවන මාර්ගය යනු ගෙවිය යුතු මිළය කුමක් වුවත් අපගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත පමණක් කිරීමට අපව සම්පූර්ණයෙන්ම භාර දීමේ මාර්ගයයි. අපි සෑම දිනකම, සහ දිනකට බොහෝ වාරයක් අපවම විනිශ්චය කළ යුතුය -අපගේ අභ්‍යන්තරය බැලීමෙන් නොව, නමුත් යේසුස් වහන්සේ දෙස ඉහළ බැලීමෙන් - මෙසේ කිරීමෙන් දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවට අපගේම ගෞරවය සොයන අංශයන් අපට සොයා දැනගත හැකි වන්නේය. එවිට අපට එම ආත්මාර්ථකාමීත්වයෙන් අපව පිරිසිදු කර ගත හැකිය. පරිපූර්ණත්වයට යන මාර්ගය මෙයයි. මාංසයේ සහ ආත්මයේ සියලු අපිරිසිදුකමෙන් ඉතා විශ්වාසවන්තව තමන්ව පවිත්‍ර කර ගැනීමට ඉතා ස්වල්ප දෙනෙක් උනන්දු වෙති (2 කොරි. 7:1) - ඉතා ස්වල්ප දෙනෙක් පමණක් සැබෑ දේවභක්තික ජීවිතයක් දක්වා වර්ධනය වන්නේ එනිසාය.

දෙවියන්වහන්සේගේ රාජ්‍යය හිමිවන්නේ "බලහත්කාරකම් කරන්නන්ට" පමණක් බව යේසුස්වහන්සේ පැවසූ සේක (මතෙව්.11:12). එහි තේරුම නම් දෙවියන් වහන්සේගේ ආඥාවලට කීකරු වීමට බාධා කරන අප තුළ ඇති සෑම දෙයකටම අප බලහත්කාරකම් කළ යුතු බවයි. අපි අපේ කීකරුකම සනාථ කරන්නේ ලොකු ආඥාවලට කීකරු වීමෙන් නොවේ. නැත. යේසුස් වහන්සේ පැවසුවේ අවම ආඥාවලට කීකරු වන ලෙස අන් අයට උගන්වන තැනැත්තා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ ලෙස හඳුන්වනු ලබන බවයි (මතෙව්. 5:19). කුඩා දරුවෙකුගේ කීකරුකම ඔහු කිසිවෙකු ඝාතනය නොකිරීමෙන් හෝ පාසැලේදී අනාචාරයේ නොයෙදීමෙන් පරීක්‍ෂාවට ලක් නොවේ. නැත. ඒ ඔහු තම මවට උදව් කිරීමට ඔහුට කතා කරන විට, තමාට සෙල්ලම් කිරීමට අවශ්‍ය වූවත් ඇයට කීකරු වීමෙනි. ඒ නිසා දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවයේ ද එය එසේම විය යුතුය. අපි විශ්වාසවන්ත විය යුත්තේ එදිනෙදා ජීවිතයේ කුඩා දේවල් තුළය. නැතිනම් අපි අකීකරු වන්නෙමු.

මතෙව් 13:43 හි යේසුස් වහන්සේ “ධර්මිෂ්ඨයන් සූර්‍යයා මෙන් බබළන” බව පැවසූ සේක. සූර්‍යයා අංශක මිලියන ගණනකින් නිරන්තරයෙන් ගිනි ගනී. එබැවින් කිසිදු විෂබීජයකට හෝ බැක්ටීරියාවකට එය මත ජීවත් විය නොහැක. ස්වාමීන් වහන්සේට අවශ්‍ය වන්නේ අප ද එලෙස වීමටය - සැමවිටම උන් වහන්සේ උදෙසා ජ්වලිතව, සෑම විටම පාරිශුද්ධත්වය සඳහා උද්‍යෝගිමත්ව හා ඉතා උනන්දුවෙන්, අන් අයට සේවය කිරීමට සහ ඔවුන්ට ආශීර්වාද කිරීමට, අපව යටහත් පහත් කිරීමට, රැස්වීම්වල සාක්‍ෂි දීමට සහ සභාව ගොඩනැගීම සඳහා සැමවිටම ජ්වලිතව සිටීමටය. මේ කාරණයේදී ඔබ වැනි තරුණයන් ඉදිරියෙන් සිටිය යුතුයි. ඊළඟ පද තුනේ (මතෙව් 13:44 සිට 46 දක්වා), යේසුස් වහන්සේ උපමා දෙකකින් (එකක් කෙතේ ඇති නිධානය ගැන සහ අනෙක විශාල මිලක් ඇති මුතු ඇටය ගැන) අපට සැමවිටම ජ්වලිතව සිටිය හැකි ආකාරය පැහැදිලි කරයි. ඒ දෙකෙහිම මේ එක වාක්‍ය ඛණ්ඩය පුනරුච්චාරණය කර ඇති බව අපට පෙනේ - "ඔහු සතු සියල්ල විකුණුවා". එයයි රහස. අපි අපේ ස්ව-කැමැත්ත, අපේ අයිතිවාසිකම්, අපේ ගෞරවය, අපේ වරප්‍රසාද, හැම දෙයක්ම අත්හැරිය යුතුයි. එවිට පමණක් අපට සූර්‍යයා මෙන් විය හැකිය - සැමවිටම ජ්වලිතව සිටීමට.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.