යේසුස් වහන්සේ කතා කළ පළමු වැරදි ආකල්පය කෝපය ගැනයි. අපි අපේ ජීවිතයෙන් කෝපය ඉවත් කළ යුතුයි. දෙවැන්න, සියලුම කිතුනුවන්ට (සියලුම මනුශ්‍ය වර්ගයාට පවා) ඇති තවත් ප්‍රධාන ගැටළුවක් වන ලිංගික කාමුක සිතුවිලියි - පිරිමියෙකු කාන්තාවක් දෙස තෘෂ්ණාවෙන් බලන විට වැනි. මතෙව් 5:27-28 පවසන්නේ පැරණි ගිවිසුමේ ප්‍රමිතිය "ශාරීරික කාමමිථ්‍යාචාරය නොකරන්න" බවයි. ඔබ ඔබේ බිරිඳ නොවන කාන්තාවක් ස්පර්ශ නොකරන තාක් කල් සහ ඔබ ඇය සමඟ කාමමිථ්‍යාචාරය නොකරන තාක් කල්, ඔබේ කිසිදු වරදක් නැත. ඒ පැරණි ගිවිසුමේ ප්රමිතියයි.
නමුත් යේසුස් වහන්සේ ප්‍රමිතිය ඉහළ නැංවීය. මෝසෙස් කන්දට නැඟී දස පනත් සමඟ බැස ආවාක් මෙන්, යේසුස් වහන්සේ කන්දට නැඟී කන්ද උඩ දේශනාව දේශනා කළ සේක. උන්වහන්සේ එම දස පනත්වල මට්ටම එම ආඥාවල ආත්මයට ඔසවා තැබූ සේක. මිනීමැරීම කෝපය හා සමාන බවත්, කාමමිථ්‍යාචාරය ඔබේ ඇස්වලින් තෘෂ්ණා කිරීමට සමාන බවත් උන්වහන්සේ පෙන්වා දුන් සේක - වෙනත් වචන වලින් කිවහොත්, ඔබ ඔබේ මනසින් එම කාන්තාව සමඟ කාමමිථ්‍යාචාරය කරයි. දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ එය කාමමිථ්‍යාචාරය බව යේසුස් වහන්සේ පැවසූ සේක, මන්ද ඔබේ අභ්‍යන්තර ජීවිතය අපිරිසිදු බැවිනි.
ඵරිසිවරුන්ගේ ලක්ෂණය වූයේ ඔවුන් තම බාහිර ජීවිතය - කුසලානයේ පිටත - පිරිසිදුව තබා ගැනීමයි. තම බාහිර ජීවිතය පිරිසිදුව තබා ගන්නා නමුත් ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි ජීවිතය අපිරිසිදු ලෙස තබා ගන්නා කිතුනුවකු ඵරිසිවරයෙකු වන අතර, ඔහු එය දැන සිටියත් නැතත් තමා නිරයට යන ගමනේ යෙදී සිටී. අප බොහෝ දෙනෙකුට මෙහි බරපතලකම තේරෙන්නේ නැත.
පසුගිය අවුරුදු (35) තුළ මම වැඩිපුරම දේශනා කළේ අතළොස්සක් පාපවලට එරෙහිවයි, නමුත් විශේෂයෙන් පාප දෙකක් - කෝපය සහ ලිංගික පාපකාරී, කාමුක සිතුවිලි වලට එරෙහිවයි. මනුෂ්‍යයින් මගෙන් අසා සිටියේ ඇයි මම ඒවාට විරුද්ධව මෙච්චර කතා කරන්නේ කියලා. මම ඔවුන්ට කියන්නේ යේසුස් වහන්සේ මුලින්ම පැවසූ විට මෙම පාප දෙක ගැන සඳහන් කළ නිසා අපේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේ සහ ඵරිසිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවා යා යුතු බවය. ඔබේ ධර්මිෂ්ඨකම ඔබ වටා සිටින සියලුම ඵරිසිවරුන්ගේ ( ඉතා ආගමිකවූ අය) ධර්මිෂ්ඨකමට වඩා උසස් විය යුතු බව පැවසූ වහාම යේසුස් වහන්සේ සඳහන් කළ පළමු පාප දෙක කෝපයේ ක්ෂේත්රය සහ ලිංගික කාම සිතුවිලි ක්ෂේත්රය විය. මම ඒවාට විරුද්ධව වැඩිපුරම දේශනා කිරීමට පළමු හේතුව එයයි.
මේ පාප දෙකට විරුද්ධව මම දේශනා කිරීමට දෙවන හේතුව නම්, යේසුස් වහන්සේ කන්ද උඩ දේශනාවේදී කතා කළ පාප අතරින් , ඒවායින් තෘප්තිමත් වීමේ අනතුර නිරයට යාම බව සඳහන් කළ එකම පාප දෙක මේවා වීමයි. බොහෝ අය එය විශ්වාස කරන්නේ නැහැ. කන්ද උඩ දේශනාවේදී යේසුස් වහන්සේ නිරය ගැන කතා කළ එකම අවස්ථා දෙක මෙම පාප දෙකට අදාළ විය (මතෙව් 5:22, 29-30), එබැවින් මෙය අපට පවසන්නේ මෙම පාප දෙක ඉතා බරපතල වනු ඇති බවයි.
කන්ද උඩ දේශනාවේදී යේසුස් වහන්සේ නිරය ගැන කතා කළ එකම අවස්ථා දෙක කෝපය හා ලිංගික කාම ආශාවන් පිළිබඳ සිතුවිලි සම්බන්ධයෙන් වීම ඉතා සුවිශේෂී වේ. එබැවින් මේවා දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ඉතා බරපතල පාප වන අතර අද ඒවාට එරෙහිව ප්‍රමාණවත් දේශනා කිරීම් නොමැත. කෝපය ජය ගැනීම පිළිබඳ පණිවිඩයක් ඔබ අවසන් වරට අසා ඇත්තේ කවදාදැයි ඔබට සිතිය හැකිද? මගේ මුළු ජීවිත කාලය තුළම ඒ පිළිබඳ පණිවිඩයක් මා අසා නැතැයි මම සිතමි. මම ක්‍රිස්තියානි ලෝකය පුරා ගමන් කළ වසර 50 කට වැඩි කාලය තුළ, රූපවාහිනියේ, වීඩියෝ පටිවල, සීඩී තැටිවල සහ බොහෝ සභාවල බොහෝ දේශකවරුන් කතා කරනවා අසා ඇත්තෙමි. එහෙත් ලිංගික කාම ආශාවන් පිළිබඳ චින්තන රටා ජය ගැනීම පිළිබඳ පණිවිඩයක් මා කිසිදා අසා නැත. යක්ෂයා මෙම ක්ෂේත්‍ර දෙක පිළිබඳව දේශනා කිරීමෙන් දේශකයින් වළක්වා ඇත්තේ ඇයි?
පළවෙනි හේතුව නම් දේශකයන්ම ජයග්‍රහණයක් නොලබා සිටීමයි. ඔවුන්ම තවමත් වහල්භාවයේ සිටී නම් ඔවුන් ඒ ගැන කතා කරන්නේ කෙසේද? දෙවනුව, දේශකයන් බොහෝ විට උනන්දු වන්නේ ඔවුන්ගේ සභාවල මිනිසුන්ව භාහිරින් ලස්සනට පෙනෙන්න සලස්වා ඔවුන්ගේ මුදල් එකතු කිරීමටයි. එබැවින් යේසුස් වහන්සේ බොහෝ සෙයින් කතා කළ මෙම කරුණු දෙක අවධාරණය කිරීමේ විශාල අවශ්‍යතාවයක් තිබේ. මේවා පුද්ගලයෙකු අවසානයේ නිරයට ගෙන යන බව යේසුස් වහන්සේ පැවසූ පාප දෙක වන අතර එය ඉතා බරපතල දෙයකි.
යේසුස් වහන්සේ දස පනත රැගෙන එම ආඥා පිටුපස ඇති දේ ජනයාට පෙන්වූ සේක.
ඔබේ බිරිඳ නොවන කාන්තාවක් කෙරෙහි තෘෂ්ණාවෙන් සිටීම පාපයක් බව තේරුම් ගැනීමට ඔබ මතෙව් 5 ට පැමිණිය යුතු නැත. කාන්තාවක් දෙස රාගයෙන් බලන සෑම කෙනෙකුම (ඇදහිලිවන්තයෙකු හෝ නොඇදහිලිවන්තයෙකුද යන්න ගැටළුවක් නොවේ) ඔහුගේ හදවතේ ඇය සමඟ කාමමිථ්‍යාචාරය කර ඇති බව යේසුස් වහන්සේ පැවසූ සේක. රාගය යනු දැඩි ආශාවකි. එය කොතරම් බරපතලද යත්, ඔබේ දකුණු ඇස මෙම ක්ෂේත්රයේ ඔබව පැකිලීමට පොළඹවන්නේ නම්, ඔබ එය උගුලා දැමිය යුතු බව උන්වහන්සේ පැවසූ සේක! ඔබේ ඇස්වලින් රාගයෙන් සිටීමට ඔබව පොළඹවන විට ඔබ රැඩිකල් විය යුතුය. ඔබ අන්ධ මිනිසෙකු ලෙස ක්‍රියා කළ යුතුය. එය ජය ගැනීමට ඇති එකම මාර්ගය එයයි. ඔබ එය සැහැල්ලුවට නොගෙන, "හොඳයි, මම දෙවියන් වහන්සේ නිර්මාණය කර ඇති අලංකාරය අගය කරනවා" යැයි පැවසිය යුතු නැත. මෙම පාපය සාධාරණීකරණය කළ හැකි බොහෝ ක්‍රම තිබේ, බොහෝ අය එසේ කරති. මෙම කාරණාවේදී පුද්ගලයෙකු නොසැලකිලිමත් වන විට, යම් කාලයක් තුළදී ඔහු, ලොව පුරා සිටින බොහෝ දේවගැතිවරුන් මෙන්, ශාරීරික කාමමිථ්‍යාචාරයට පවා වැටෙනු ඇත.
මතෙව් 5 හි යේසුස් වහන්සේ ඉගැන්වූ දේ දේවභයැති මිනිසුන් නොදැන සිටි අලුත් දෙයක් නොවේ. යේසුස් වහන්සේ එය කතා කිරීමට පෙර සිටම යොහන් බව්තීස්ත එය දැන සිටි බව මට විශ්වාසයි. යෝබ් එය දැන සිටියේය (යෝබ් 31:1, 4, 11). යෝබ් මෙන් ඔහුට බයිබලයක් නොතිබුණත්, දෙවියන් වහන්සේට ගරු කරන ඕනෑම අයෙකු නිගමනය කරනු ඇත්තේ මගේ බිරිඳ නොවන කාන්තාවක් දෙස ලිංගික තෘෂ්ණාවෙන් බැලුවහොත් එය දෙවියන් වහන්සේ ඉදිරියේ පාපයක් බවයි. එය වැරදි බව අපට පවසන දෙයක් අප තුළම තිබේ. එය දෙවියන් වහන්සේ ඔබට නොදුන් දෙයක් සොරකම් කිරීමක් වැනිය. ඔබට බයිබලයක් නොමැති වුවද, ඔබට අයිති නැති දෙයක් ඔබ සොරකම් කරන විට එය පාපයක් බව ඔබේ හෘදසාක්ෂිය ඔබට කියනු ඇත. ඔබට ඒ බව පැවසීමට ඔබට ආඥාවක් අවශ්‍ය නොවේ. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවයම ඔබට එය කියනු ඇත. යේසුස් වහන්සේ ඉගැන්වූ දේ අප දකින විට එය මතක තබා ගැනීම අපූරු දෙයකි.
අද බොහෝ ඇදහිලිවන්තයන් තම ඇස්වලින් ලිංගිකව තෘෂ්ණාවෙන් සිටීමේ කාරණය මෙතරම් සැහැල්ලුවට ගන්නේ කෙසේද? එයට හේතුව යෝබ්ට දෙවියන් වහන්සේ කෙරෙහි තිබූ ගෞරවයේ මූලික ඌනතාවයක් තිබීමයි. අද දින කිතුනුවන්ට බයිබල් දැනුම ඇත, නමුත් දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නැත. බයිබල් පාසල්වලට ගොස් බයිබලය අධ්‍යයනය කරමින් දේවධර්මය පිළිබඳ ආචාර්ය උපාධි ලබා ගන්නා නමුත් තවමත් කාන්තාවන් කෙරෙහි තෘෂ්ණාවෙන් සිටිති. එයින් අපට උගන්වන්නේ කුමක්ද? ශුද්ධ ලියවිල්ල පිළිබඳ ප්‍රධාන දැනුම සහ බයිබල් සෙමනේරියකින් “උපාධියක් ලබා ගැනීම” ඔබව ශුද්ධ නොකරන බව එය අපට උගන්වයි. අද බොහෝ පරිවර්තන සහ එකඟතා සමඟ බොහෝ බයිබල් දැනුමක් තිබේ. අපගේ ජංගම දුරකථනවල සහ සීඩී තැටිවල පවා බයිබලය ඇත, මිනිසුන්ට ඔවුන්ගේ මෝටර් රථවල රිය පදවන විට ඒවාට සවන් දිය හැකිය. එහෙත් මේ සියලු දැනුම බහුල වුවද, දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවය ඉතා අල්පය.
කන්ද උඩ දේශනාවේදී, යේසුස් වහන්සේ ඉගැන්වූ බොහෝ දේ දෙවියන් වහන්සේ කෙරෙහි අපට ගරුභියක් තිබේ නම්, කන්ද උඩ දේශනාව කියවීමෙන් තොරව පවා අපට දැනගත හැකි වනු ඇත. මේවායින් සමහරක් අපට ඉතා පැහැදිලිය: කෝපය පාපයයි, කාන්තාවන් කෙරෙහි තෘෂ්ණාව පාපයයි, සහ මෙහි ලියා ඇති තවත් බොහෝ දේ. එමනිසා, ඔබ පාපයේ දිගටම සිටින්නේ දැනුම නොමැතිකම නිසා නොවේ; එය දෙවියන් වහන්සේ කෙරෙහි ගරුභියක් නොමැතිකම නිසාය. දෙවියන් වහන්සේ කෙරෙහි ගරුභිය ප්‍රඥාවේ ආරම්භයයි. එය ක්‍රිස්තියානි ජීවිතයේ "අ" යන්න සහ "ආ" යන්න වන අතර අපට එය නොමැති නම්, අප කෙතරම් බයිබල් අධ්‍යයනයන් කළත් හෝ කෙතරම් පණිවිඩ වලට සවන් දුන්නත් ඒවා අපව ශුද්ධ කිරීමට යන්නේ නැත .