WFTW Body: 

රෝම 8 ආත්මයාණන් තුළ ජීවිතය ගැන කථා කරයි. අප ශුද්ධාත්මයාණන්ට මෙම යටත්වීමේ ජීවිතයට අවතීර්ණවූ විට අපගේ පියාණන් අප මුහුණ දෙන සියළුම අවස්ථාවන් අපගේ සදාකාල යහපත උදෙසා ක්‍රියා කරවීමට පටන් ගනී. අන්අය අපට හානි කිරීමට උත්සහ කළත්, දෙවියන් වහන්සේ ඒවා අපගේ යහපතට ක්‍රියා කරන්නට සලස්වන අතර දෙවියන් වහන්සේ උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට සහ උන්වහන්සේගේ කැමැත්තට අනුව කැඳවනු ලැබූවන්ට සියළුදේ යහපත පිණිස එකට ක්‍රියා කරවන බව අප දන්නෙමු (රෝම 8: 28). මක්නිසාද උන්වහන්සේ පූර්වයෙන් ඇදිනගත්තවුන් තමන්වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදර සහෝදරියන් අතරේ කුළුඳුළා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමානවෙන්ට පූර්වයෙන් නියම කළ සේක (රෝම 8: 29). මෙය සැබැවින්ම පුදුමාකාර සුභාරංචියකි. රෝම 8: 28 නව ගිවිසුමේ පුදුමාකාර පොරොන්දු වලින් එකකි, එසේම, එය ඕනෑම අවස්ථාවක අප මුහුණ දෙන සෑම සිදුවීමක්ම නියතයෙන්ම සහ සම්පූර්ණයෙන්ම ආවරණය කරයි. එනිසා "ස්වාමින් වහන්ස ඔබවහන්සේම ලෝකයේ ජීවත්වූවා සේම මට ඔබවහන්සේගේ කැමැත්ත කිරීම මිස ලෝකයේ කිසිදු අභිලාෂයක් නැත. මට මුදල් පසුපස හඹායාමේ, ගෞරවය, කීර්තිය හෝ පහසුව සෙවීමේ ආශාවක් නැත. මට අවශ්‍ය දිනපතා ඔබවහන්සේව සතුටු කිරීම පමණයි. එබැවින් මෙම කාරණා ගැන මම මාවම නිරතුරු විනිශ්චය කරගනිමි"යි ස්වාමින් වහන්සේට පවසන්න. එවිට සියළු දේ ඔබගේ යහපත උදෙසා ක්‍රියා කරනු ඇති. එසේම එම "යහපත" රෝම 8: 29 - සඳහන් කර ඇත - ඔබව වඩාත් යේසුස් වහන්සේ මෙන්ම කරවනු ඇත. සර්වබලධාරී දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් කළහැකි මීට වඩා යහපත්වූ දෙයක් නොමැත.

“දෙවියන් වහන්සේට සෑමවිටම උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප තුළ පළමුව ක්‍රියාකිරීමට අවශ්‍යය, එවිට පමණකි, උන්වහන්සේට අප තුළින් අන් අයව ආශිර්වාද කිරීමට හැකි වන්නේ”.

 

එපීස 1: 4,5හි අප කියවනු ලබන්නේ"දෙවියන් වහන්සේ ප්‍රේමයෙන් පෙරනියම ලෙස අපව තෝරාගත් බවයි”. "පෙර නියම ලෙස" බොහෝ ලෙස වැරදියට තේරුම්ගත් වචනයකි. දෙවියන් වහන්සේ අපව පෙරනියම ලෙසින් තෝරාගත්තේ කුමකටද? ඒ ස්වර්ගයට හෝ නිරයට යාමටද? නැත. උන්වහන්සේ කිසිවෙකුව ස්වර්ගයට හෝ නිරයට යාමට පෙරනියම ලෙස තෝරා නැත. එය මෙහි පවසන්නේ "උන්වහන්සේ පෙර නියම ලෙස උන්වහන්සේගේ කරුණාවන්ත කැමැත්ත ලෙස අපව තෝරාගත්තේ ක්‍රිස්තුස් වහන්සේ තුළ පුත්‍රයන් ලෙස තැබීමට" බවයි. උන්වහන්සේ අපව පෙරනියම ලෙස තෝරාගත්තේ අපව කිතුණු ළදරුවන් ලෙස වීමට නොව පරිණතවූ පුත්‍රයන් වීම උදෙසායි. ඔබ ස්වර්ගීය පියාණන්ගේ කටයුතු ගැන ආශාවන වගකිවයුතු පුත්‍රයෙකු විය යුතුයි. එනිසා ඔබ තම පියාණන්ගේ කටයුතු ගැන වගකිවයුතු හැඟීමක් ඇති පුත්‍රයෙකු ලෙසින් ඔබවම හසුරුවා ගන්න.

"කොලොස්සි 1: 28, පාවුලු තුමා "අපි ක්‍රිස්තුස් වහන්සේ තුළ සියළු මනුෂ්‍යයන් සම්පූර්ණ කොට ඔප්පු කරන පිණිස සියළු මනුෂ්‍යයන්ට දැනමුතු කම් දෙමින්ද සියළු මනුෂ්‍යයන්ට සියළු ආකාර ප්‍රඥාවෙන් උගන්වමින්ද උන්වහන්සේව ප්‍රකාශ කරමුව". මෙය සියළු ප්‍රඥාවෙන් යුත් අනාගත වාක්‍ය සහ ඉගැන්වීම් යන දෙකම වේ. පාවුලුතුමාගේ පරම අභිමථාර්තය වූයේ "සියළු මනුෂ්‍යයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණව ඉදිරිපත්" කිරීමයි. පාවුලු තුමාට 100 දෙනෙකුගෙන් යුත් සභාවක් තිබුණේ නම්, ඔහු එහි සිටි 100 දෙනාම, සෑම සහෝදර සහෝදරියක්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණත්වයට පැමිණවීමට හැකි සෑම දෙයක්ම කරන්නට වගබළා ගත්තේ ය. යම් දිනෙක ඔහුට ඔවුන්ව දෙවියන් වහන්සේට ඔප්පු කළයුතුව තිබූ බැවින්, ඔහු ඔවුන්ට අනුශාසනා කරන්නට, දැනමුතුකම් දෙන්නට සහ සියළු ප්‍රඥාවෙන් ඉගැන්වීමට බළා සිටියේ ය. එවැනි බරක් ඇති දේවදාසයින් සහ එ‍‍‍ඬේරුන් සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඔවුන් කරන්නේ නිකම්ම දේශනා කිරීම පමණකි. එපමණයි. නමුත් පාවුලුතුමාට සෑම එක් අයෙකුවම ආත්මික පරිණතභාවයට මඟ පෙන්වීමේ බරක් තිබුණේ ය. ඔබට සභාවක වැඩිමහල්ලෙකු ලෙස සිටීමේ වගකීම සැහැල්ලුවට ගත නොහැක. මම බැංගලෝරයේ අප සභාවේ වසර 25 ක කාලයක් වැඩිමහල්ලෙකුව සිටියදී, මම මාගේ සභාවේ සෑම වැඩිහිටියෙකුගේම, ආත්මික තත්වය දැන ගන්නට මා වෙහෙසුනෙමි. මන්ද ඔවුන්ව නිවැරදි කර, තරවටු කර, ඔවුන්ට ප්‍රඥාව දී, ඔවුන් ධෛර‍්‍යයමත් වන වචන සහ ශක්තිමත්වන වචන කථාකිරීමෙන්, යම් දිනෙක මට ඔවුන්ව ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණව ඔප්පු කිරීමට හැකිවනු පිණිස ය. මට මා උදෙසා ඔවුන්ගෙන් කිසි දෙයක් අවශ්‍යවූයේ නැත. ඔවුන් වෙනුවෙන් හා ක්‍රිස්තු ශරීරය උදෙසා, මට මගේ පෞද්ගලික ජීවිතයේ බොහෝ පොඩි කිරීම් තුළ යන්නට සිදුවිය. දෙවියන් වහන්සේ බොහෝ අයුරින් මා සමඟ ක්‍රියා කළ බැවින් ක්‍රිස්තුස් වහන්සේගේ මිහිරි සුවඳ සුගන්ධය අන් අය ආශිර්වාද කිරීම පිණිස මා තුළින් ගලායන්නට හැකි වුණි. මෙයයි සැබෑ ක්‍රිස්තියානි සේවය. කොලොස්සි 1: 29 පාවුලුතුමා තවදුරටත් පවසන්නේ, "ඒ සඳහා මම පොර අල්ලමින් වීර‍්‍යය කරමි." ඔහු වීර‍්‍යය කරන්නේ කෙසේද? ‘සියල්ලට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ මා තුළ මහත් සේ ක්‍රියා කරන - ශුද්ධාත්මයාණන්ගේ ප්‍රබල බලයෙනි. දෙවියන් වහන්සේට සෑමවිටම උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අප තුළ පළමුව ක්‍රියාකිරීමට අවශ්‍යය, එවිට පමණකි, උන්වහන්සේට අප තුළින් අන් අයව ආශිර්වාද කිරීමට හැකි වන්නේ. ඔබ අතරින් සභාවක සේවය කරන අය, මෙම පද දෙක ඔබගේ ඉලක්ක බවට පත්කරගන්න, සියළු මනුෂ්‍යයින් ක්‍රිස්තුස් වහන්සේ තුළ පරිපූර්ණ කිරීමට (1: 28) සහ ඔබ එම ඉලක්කය වෙත ළඟාවෙන්නාවූ ශුද්ධාත්මයෙන් පිරීම ඇතුව සිටීම (1: 29).

එපීස 4: 13 හි අපෝස්තුළු පාවුල්තුමා පවසන්නේ අප ක්‍රමාණුකූලව “පරිණත මිනිසෙකු දක්වා, හා ක්‍රිස්තුස් වහන්සේගේ පෞරුෂයේ පූර්ණත්වය (උස මහත) දක්වාද” වැඩෙන්නට අවශ්‍ය බවයි. අපගේ ඉලක්කය විය යුත්තේ අප වර්ධනය වී, අන් අය මෙම පූර්ණත්වයට පැමිණීමට උපකාර කිරීම ය. අපි ළදරුවන් මෙන් "සෑම තැනකම රළ පහරින් එහා මෙහා ගෙන යන සෑම දේවධර්ම සුළඟකින්, මිනිසුන්ගේ උපක්‍රමවලින්, වංචනික කපටි කූඨ උපක්‍රමවලින් තවදුරටත් නොසිටිය යුතුයි" කියා ය (එපීස 4: 14).

එපීස 4:15 හි "වර්ධනය වීම පිණිස ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථා කරනමෙන්" අපගෙන් ඉල්ලා සිටී. එහි සත්‍ය සහ ප්‍රේමය අතර සමබරථාවය ගැන සැලකිළිමත්වන්න. අප සත්‍ය කථා කළ යුතුද? ඔව්. සැමවිටම. නමුත් එය අප කැමති ඕනෑම ආකාරයකට කථා කිරීමට අවසර තිබේද? නැත. අප සත්‍යය ප්‍රේමයෙන් කථා කළ යුතුය. ඔබට ප්‍රේමයෙන් සත්‍යය කථා කිරීමට නොහැකි නම්, ඔබ විසින් මිනිසුන්ට සත්‍යය කථා කිරීමට ඔවුන් කෙරෙහි ඔබට ප්‍රේමය ඇතිවන තෙක් ඉවසිය යුතුය. ඔබ විසින් සත්‍යයේ පෑන පාවිච්චි කළයුතු පුවරුව (බෝඩ් එක) ප්‍රේමයයි. ඔබ විසින් ලිවීමට පුවරුවක් නොමැතිව සත්‍යය ලියන්නට ගියහොත් ඔබ ලියන්නට යන්නේ හිස් අවකාශයේය. ඔබ ලියන්නේ කුමක්දැයි කිසිවෙකුට තේරුම් ගැනීමට නොහැකිවනු ඇත. දේශනා කූඩුව මත සහ පෞද්ගලික සංවාදයේදී නිරතුරුවම ප්‍රේමයෙන් යුක්තව සත්‍යය කථා කිරීමෙන් - “හිස වන ක්‍රිස්තුස් වහන්සේ තුළ අපට හැම ආකාරයකින්ම වර්ධනය” විය හැකි ‍ය.

හෙබ්‍රෙව් 6: 1, පරිණතභාවය උදෙසා හඹායන මෙන් අනුශාසනා කර ඇත. අපට කිරිබීම සහ මස් අනුභව කිරීමේ නිදර්ශනය හෙ‍බ්‍රෙව් 5හි ඇත. තවත් නිදර්ශන දෙකක් ඇත. පළමු නිදර්ශනය මූලික ඉගැන්වීම් සහ උසස් ඉගැන්වීම් ; ඉන්පසු ගොඩනැඟිල්ලක අත්තිවාරම සහ එහි මතුපිට ඉදිවන ව්‍යුහය ගැන නිදර්ශනය. මෙම සියළු වචන රූපවත් කරන්නේ ළදරුවන් සහ පර්ණතභාවයට පත්වූ කිතුණුවන් අතර වෙනසයි. මෙම දෙකොටස අතර වෙනස, පරික්ෂාවට පත්වන මොහොතේදී දැකිය හැක. පරිණතභාවයට පත් ශුද්ධවන්තයාට පරීක්ෂා වලදී ක්‍රිස්තුස් වහන්සේ මෙන්වූ ප්‍රතිචාරයක් ඇති අතර ළදරුවන්ට මනුෂ්‍යයන් මෙන්වූ ප්‍රතිචාරයක් ඇත. තවත් නිදර්ශනයක් පාවිච්චි කරමු: කන්දක් (මීටර් 10,000ක් උස) නගිනවාක්මෙන් පරිපූර්ණත්වය කරා හඹායාම ගැන හිතන්න. යේසුස් වහන්සේ දැනටමත් එහි මුදුණට පැමිණ ඇත. අප නැවත උත්ථානය (ගැළවීම) ලබනවිට අප මෙම කන්ඳෙහි මුලසිට ආරම්භ කරන්නෙමු. අපගේ ඉලක්කය, එයට කොතෙක් කල්ගත වූවත් කම් නැත, යේසුස් වහන්සේව අනුගමනය කිරීම සහ මුදුන කරා හඹා යාමයි. ඉන්පසු අප මීටර් 100 ක් පමණක් නැඟ සිටියත් අපට අපගේ බාල සහෝදර සහෝදරියන්ට "මම ක්‍රිස්තුස් වහන්සේව අනුගමණය කරන්නාක් මෙන් මාව අනුගමණය කරන" ලෙස කිවහැකියි (1 කොරින්ති 11: 1).