WFTW Body: 

මේ ලෝකයේ ආකාරයට සමාන නොවී,දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්යහපත් පිළිගත යුතුවූ සම්පූර්‍ණ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත් කරගැණීමෙන් අන්‍යාකාර ඇත්තෝ වන්න. (රෝම 12: 2 - ජීවමාන බයිබල් පරිවර්තනය).

ඔබ අතරින් ස්වාමින් වහන්සේට ගරුබිය දක්වන සහ උන්වහන්සේගේ සේවකයාට (යේසුස් ස්වාමීන් වහන්සේට) කීකරු වන්නේ කවුද? එවන් මිනිසුන් එක් ආලෝක කිරණක්වත් නොමැතිව අන්ධකාරයේ ගමන් කරන්නේ නම්, ඔවුන් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය කර ඔවුන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබත්වා (යෙසායා 50:10 - ජීවමාන බයිබල් පරිවර්තනය).

පැරණි ගිවිසුම යටතේ, දෙවියන් වහන්සේ බොහෝ විට ස්වකීය කැමැත්ත ස්වකීය සේවකයන්ට ස්වර්ගයෙන් හඬකින් දන්වන ලදී. නමුත් නව ගිවිසුම තුළ දෙවියන් වහන්සේ අපගේ හදවත් තුළ ඇති ශුද්ධාත්මයාණන්ගේ අභ්‍යන්තර සාක්‍ෂිය මගින් අපට මග පෙන්වීමට බලාපොරොත්තු වේ. මෙය ඇදහිල්ලේ මාර්ගය වන අතර එය පෙනීම තුල ගමන් කිරීමේ පැරණි ගිවිසුමේ මාර්ගයට වඩා උසස්‍ ය.

එමනිසා, යම් කාරණයක් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට උත්සාහ කරන විට, සමහර අවස්ථාවලදී අප ව්‍යාකූල විය හැක. අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා දෙවියන් වහන්සේ මෙයට ඉඩ දෙයි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අප උන්වහන්සේට ළං වී උන්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමයි. එවැනි අවිනිශ්චිත කාලයන් දෙවියන් වහන්සේ අපගේ චේතනා පෙරීමට යොදා ගනී.

එබැවින් අප ව්‍යාකූලත්වයට මුහුණ දෙන විට අප පුදුමයට හෝ අධෛර්‍යයට පත් නොවිය යුතුය. ප්‍රේරිත පාවුල් පවා බොහෝ විට ව්‍යාකූලත්වයට පත් වූ නමුත් ඔහු කිසි විටෙකත් බලාපොරොත්තු සුන් වී අත් නොහැරියේය (2 කොරින්ති 4:8 බලන්න). දෙවියන් වහන්සේ සමහර අවස්ථාවල උන්වහන්සේගේ කැමැත්ත අපට පෙන්වන්නේ අප තීරණයක් ගැනීමට මොහොතකට පෙර පමණි - ඊට පෙර අපව බොහෝ කාලයක් බලා සිටීමට සැලැස්විය හැක.

ඕනෑම අවස්ථාවක, උන්වහන්සේ සෑම අදියරකදීම ඊළඟ පියවර පමණක් අපට පෙන්වනු ඇත. උන් වහන්සේ පියවරෙන් පියවර අපව මෙහෙයවන්නේ අප දිනෙන් දින උන් වහන්සේ මත යැපීමටත්, පෙනීමෙන් නොව ඇදහිල්ලෙන් ගමන් කිරීමටත් උන් වහන්සේට අවශ්‍ය බැවිනි. උන්වහන්සේ අපට එක පියවරක් පමණක් පෙන්වන විට, උන්වහන්සේ මත රඳා සිටීමට අපට බල කෙරේ. අපගේ ජීවිතය සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට, ඒ සඳහා, අප ඕනෑම අවස්ථාවක කළ යුත්තේ දෙවියන් වහන්සේ අපට පෙන්වන ඊළඟ පියවර ගැනීමයි. අපි එසේ කරන විට, දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රමක්ක්‍රමයෙන් දිග හැරෙන බව අපට පෙනෙනු ඇත.

ස්වාමින් වහන්සේගේ පොරොන්දුව නම්, "ඔබ යන විට, පියවරෙන් පියවර, මම ඔබ ඉදිරියෙහි මාර්ගය විවෘත කරමි" (හිතෝපදේශ 4:12 - Paraphraseබයිබල් අනුවාදය).

යම් කාරණයකදී දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන අවිනිශ්චිත වූ විට, අප අපෙන්ම ප්‍රශ්න දොළහක් ඇසීම හොඳය. අපි මෙම ප්‍රශ්නවලට අවංකව පිළිතුරු දෙන විට, දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්දැයි අපට වඩ වඩාත් පැහැදිලි වනු ඇත.

  • එය යේසුස් වහන්සේගේ සහ ප්‍රේරිතයන්ගේ කිසියම් ඉගැන්වීමකට පටහැනිද, නැතහොත් මා දන්නා පරිදි නව ගිවිසුමේ ආත්මයට පටහැනිද?
  • එය මට නිරවුල් හෘද සාක්‍ෂියක් ඇතුව කළ හැකි දෙයක්ද?
  • එය දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා මට කළ හැකි දෙයක්ද?
  • එය යේසුස්වහන්සේ සමඟ සහභාගීකම ඇතුව මට කළ හැකි දෙයක්ද?
  • මම එය කරන විට මට ආශීර්වාද කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිද?
  • මා එය කිරීමෙන් මගේ ආත්මික වර්ධනය කිසියම් ආකාරයකින් මොට කරයිද?
  • මා දන්නා තරමින් එය ආත්මිකව ප්‍රයෝජනදායක සහ දියුණුවක් ඇති කරයිද?
  • යේසුස්වහන්සේ නැවත පොළොවට පැමිණෙන මොහොතේ මම එය කරමින් සිටින බව දකින්නේ නම් මම සතුටු වෙනවාද?
  • වඩා ඥානවන්ත සහ වඩා පරිණත සහෝදරයන් ඒ ගැන සිතන්නේ කුමක්ද?
  • අන් අය ඒ ගැන දන්නේ නම්, මා එසේ කිරීමෙන් දෙවියන්වහන්සේගේ නාමයට අගෞරවයක් සිදුවේද නැතහොත් මගේ සාක්‍ෂිය විනාශ වේවිද?
  • මම එය කිරීම අන් අය දැනගන්නා විට ඔවුන් පැකිලීමට හේතු වේද?
  • එය කිරීමට මගේ ආත්මය තුළ මට නිදහසක් දැනෙනවාද?

බොහෝ අවස්ථාවලදී, දෙවියන්වහන්සේගේ කැමැත්ත ගැන අපට සම්පූර්ණ සහතිකයක් නොතිබුණද, අපට පියවරක් ඉදිරියට තැබීමට සිදුවනු ඇත. මෙයද ඇදහිල්ලෙන් ගමන් කිරීමේ විනයෙහි කොටසකි - මක්නිසාදයත් නිශ්චිතභාවය සමහර විට “පෙනීමෙන් ඇවිදීම” හා සමාන විය හැකි බැවිනි. දෙවියන් වහන්සේ සමහර විට අපට උන්වහන්සේගේ කැමැත්ත පිළිබඳ පැහැදිලි සහතිකයක් ලබා දෙයි. නමුත් වෙනත් අවස්ථාවලදී, උන් වහන්සේගේ කැමැත්ත පිළිබඳ පැහැදිලි දැනුමක් නොමැතිව අප ඉදිරියට යාම උන්වහන්සේ අපේක්‍ෂා කරයි. අපි යාච්ඤාවෙන් ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිට ශුද්ධාත්මයාණන්ගේ මනස දැනගත් පසු, අපගේ දැනුමේ උපරිමයෙන්, අපි නියමයකින් තොරව ඉදිරියට යා යුතුය.

බයිබලය පවසන්නේ, "අපි සැලසුම් කළ යුත්තේ - දෙවියන් වහන්සේ අපට මඟ පෙන්වනු ඇතැයි විශ්වාසයෙන් යුතුව " බවය(හිතෝපදේශ 16: 9 - TLB). එවැනි තීරණ ගැන පසුව ආපසු හැරී බලන විට, අපගේ දර්ශනය අඳුරු වුවද, දෙවියන් වහන්සේ අපව නොමඟ යාමට ඉඩ නොදුන් බව අපට පෙනී යනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ආරම්භයේ බොහෝ අවිනිශ්චිතතාවයන් පැවතිය හැකි වුවද, අවසානයේ බොහෝ නිශ්චිතභාවයක් සහ ප්‍රීතියක් ඇති වනු ඇත.

තවද, අවංකව පියවරක් තබන විට, නමුත් අවිනිශ්චිතභාවය තුළ, දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්තේ මාවත අපට මග හැරුණහොත්, අපව නිවැරදි මාර්ගයට ගෙන ඒමට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. යෙසායා 30:21 (ජීවමාන බයිබලය) හි ඇති පොරොන්දුව නම්, “ඔබ දෙවියන්වහන්සේගේ මාවත් අත්හැර නොමඟ ගියහොත්, ඔබට පිටුපසින් හඬක් ඇසෙනු ඇත, 'නැහැ, මෙයයි මාර්ගය; මෙතැන ගමන් කරන්න".

දෙවියන්වහන්සේගේ කැමැත්ත අපට අතපසු වූ විට අපගේ ගමන් මාර්ගය වෙනස් කිරීමට දෙවියන්වහන්සේ තත්වයන් නියම කරනු ඇත. නමුත් සෑම පියවරක් සඳහාම දර්ශනීය මග පෙන්වීමක් බලාපොරොත්තුවෙන් අප නිරන්තරව අක්‍රියව සිටිය යුතු නොවේ. නැවක් ගමන් නොකර එක තැන පවතිනවාට වඩා ගමන් කරන විට ඉතා ඉක්මනින් හැරවිය හැක. එලෙසම අපිටද පුළුවන.

ක්‍රියා 16:6-10 හි, පාවුල් සහ සීලස් ආසියාවට යාමට උත්සාහ කළ බව අපි කියවන්නෙමු - ස්වාමින්වහන්සේගේ කිසිදු පැහැදිලි මඟ පෙන්වීමක ප්‍රතිඵලයක් ලෙස නොව, නමුත් උන්වහන්සේගේ කැමැත්ත කිරීමට ආශාවෙනි. ඔවුන්ට බාධා එල්ල විය - සමහර විට දෙවියන්වහන්සේ විසින් නියම කරන ලද තත්වයන් හේතුවෙනි. ඊළඟට, ඔවුන් බිතිනියට ඇතුළු වීමට උත්සාහ කළ විට, ඔවුන්ගේ මාර්ගය නැවත වරක් අවහිර විය. නමුත් ඔවුන් ක්‍රියාශීලීව දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයමින් සිටි නිසාත්, නිෂ්ක්‍රීයව මඟ පෙන්වීම් බලා නොසිටීම නිසාත්, අවසානයේදී උන්වහන්සේ ඔවුන්ව තමන්වහන්සේ කැමති ස්ථානයට - මැසිඩෝනියාවට ගෙන ගිය සේක.

දෛනික ජීවිතයේ කුඩා තොරතුරු තුළ, මඟ පෙන්වීම යනු නිරන්තර සවිඥානක විමසුමක ප්‍රශ්නයක් නොවේ. එය ආත්මයෙන් ගමන් කිරීමේ කාරණයකි. ස්වාමින් වහන්සේ සමඟ ඇති නිවැරදි සම්බන්ධතාවය නිවැරදි ක්‍රියාවට මඟ පාදයි. එවැනි කුඩා විස්තර වලින්, දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අප සෑම විටම දැඩි ලෙස දැන සිටිය යුතු දෙයක් නොවේ. අපි ඒ ගැන නොදැනුවත්ව සිටිය හැකියි. මඟ පෙන්වීම අධ්‍යාත්මික කාරණයක් මිස යාන්ත්‍රික තාක්‍ෂණයක් නොවන බැවින් වැදගත් සාධකය වන්නේ ස්වාමින් වහන්සේ සමඟ අපගේ මූලික සම්බන්ධතාවය පමණි.

©Zac Poonen – [email protected]

කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.

ඔබට මෙය ආශීර්වාදයක් වූයේ නම්, තව සහෝදර/සහෝදරියකට කොපියක් ලබා දීමෙන් සුභාරංචියේ පංඟුකාරයකු වන්න.