උත්පත්ති 13: 7 හි අපි කියවන්නේ ආබ්‍රහම්ගේ සේවකයින් සහ ලොත්ගේ සේවකයින් අතර ආරවුලක් ඇති වූ බවයි. ආබ්‍රහම් සහ ලොත් ඔවුන්ගේ ඊජිප්තු සංචාරය තුළින් විශාල ධනයක් ලබා ගත් අතර දැන් එම ධනය ගැටළු ඇති කරයි. ධනය නිතරම ගැටළු ඇති කරයි. ඔවුන් ඊජිප්තුවේ දුටු දෙයින් ලොත් සහ ඔහුගේ භාර්යාව බළපෑමට ලක් වූහ. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ වැඩිපුර මුදල් ඉපයීමටයි. නමුත් ආබ්‍රහම් කිසිවෙකු සමඟ රණ්ඩු නොවෙන කෙනෙකු වුවත් ඔහුගේ සේවකයෝ සටන් කළහ.
“මිනිසුන් අතර සිදුවන සෑම ගනුදෙනුවක්ම දෙවියන් වහන්සේ බලා සිටින බව ඔබ දන්නවාද? උන්වහන්සේ අපේ ආකල්ප දෙස බලනසේක.”
“ආබ්‍රහම්ගේ ගව පට්ටිවල එඬේරුන් සහ ලොත්ගේ එඬේරුන් අතර ආරවුලක් ඇති විය. දැන් එහි වාසය කළේ කානානිවරුන් සහ පෙරිස්සිවරුන්ය.” එම අවසාන වාක්‍යය එහි ඇතුළත් කර ඇත්තේ ඇයි? මන්ද ඒ අන්‍ය ජාතික මිනිසුන් මේ රණ්ඩුව නරඹමින් සිටියෝය. මෙය වර්තමාන කිතුණු ප්‍රජාවේ තත්ත්වයටද ඉතා අදාළ වේ. අන්‍ය ජාතීන් දේශයේ වාසය කරන අතර ඔවුන් දකින්නේ කුමක්ද? කිතුණු කණ්ඩායම් එකිනෙකා සමඟ සටන් කිරීමයි. මේ සියල්ල මධ්‍යයේ, ලොත් නම් මුදලට ප්‍රිය කරන ලෞකික පුද්ගලයා අමතා, “ඔබත් මමත් අතර ආරවුලක් ඇති නොවේවා, අපි සහෝදරයෝ වෙමු” (උත්පත්ති 13: 8) යැයි පවසන ආබ්‍රහම් වැනි දේව භක්තික මිනිසෙකු අද අපට සොයාගත හැකිද? ඔවුන් සහෝදරයින් නොවීය. ආබ්‍රහම් මාමා විය; ලොත් ඔහුගේ බෑණනුවන් විය. 75 හැවිරිදි මෙම පුද්ගලයා තම 35 හැවිරිදි බෑණාට දක්වන කරුණාව බලන්න. "අපි සහෝදරයෝ!" දේවභක්තික මිනිසෙක් නිහතමානී මිනිසෙකි. ඔහු 75 හැවිරිදි වියේ පසුවූ නමුත් ඔහුගේ තරුණ බෑණා දෙස බලා ඔහුට මෙසේ පැවසිය හැකිය: “අපි සහෝදරයෝ. ඔබ මට සමානය. මම ඔබට පළමු මනාපය ලබා දෙමි. ඔබට අවශ්‍ය දේ තෝරන්න.” යෙරුසලම ගොඩනඟා ඇත්තේ එවැනි මිනිසුන් විසිනි. කිතුණු ප්‍රජාවට එවැනි නායකයින් අත්‍යාවශ්‍යයි - ඔවුන්ව පහසුවෙන් සොයාගත නොහැක.
“මට වයස අවුරුදු 75 යි, මම ඔබේ මාමා වෙමි, දෙවියන් වහන්සේ කැඳවා ඇත්තේ මා මිස නුඹව නොවේය. නුඹ මා සමඟ ආවා පමණි” කියා පවසමින් තම ආධිපත්‍ය බලය තහවුරු කර ගන්නා නායකයින් අද අපට බොහෝ සිටිති. එනමුත් ආබ්‍රහම් ලොත්ට එලෙස කථා කළේ නැත. ඔහු ලොත්ට කථා කොට, “ඔබ දකුණට ගියොත්, මම වමට යන්නෙමි. ඔබ වමට ගියොත්, මම දකුණට යන්නෙමි. ඔබ මුළින්ම ඔබට අවශ්‍ය දේ ගන්න.” කෑදර මිනිසෙකු වූ ලොත්, බැබිලෝනියේ ආත්මයෙන් යුතුව ප්‍රථමව ඩැහැගත්තේය. ඔහු සොදොම්හි සුන්දර කෙත් දෙස බලා, එහි මුදල් ඉපැයීමට ඇති ඉඩප්‍රස්ථාව සහ එහි ජීවත් වූ ධනවතුන් දැක, “මම එහි ගොස් දෙවියන් වහන්සේටද සේවය කරන්නෙමි” යි කීවේය.
බොහෝ කිතුණුවන් සහ ක්‍රිස්තියානි නායකයින් ධනවත් රටවලට යාමට කැමතියි. නමුත් නොවරදවාම ඔවුන් ආත්මිකව අපොහොසත්වේ. ආබ්‍රහම් මෙම තීරණය ගන්නා විට, ඔහු සහ ලොත් කරන්නේ කුමක්දැයි බැලීමට ස්වාමින් වහන්සේ බැස පැමිණ සිටිසේක (බාබෙල්හි මෙන්). ස්වාමින් වහන්සේ ආබ්‍රහම් හැසිරුණු දේවභක්තික ක්‍රමය දුටු සේක. ලොත් ඔහු හැර ගිය විගසම, ස්වාමින් වහන්සේ ආබ්‍රහම්ට ඉතා වැදගත් දෙයක් පැවසූ සේක (උත්පත්ති 13: 14).
දෙවියන් වහන්සේ මුළින්ම ඔහුව ඔහුගේ පියාගෙන් (මරණය තුළින්) වෙන් කළ අතර, පසුව උන්වහන්සේ ආබ්‍රහම්ව තවත් ඥාතියෙකුගෙන් වෙන් කළසේක (ඔහුගේ තණ්හාව කරණකොටගෙන ආබ්‍රහම්ට බාධාවක් වෙන්නට හැකිවූ කෙනා). ස්වාමින් වහන්සේ මෙසේ වදාළ සේක: “දැන් ඔබ තනිව සිටින බැවින්, දැන්, මට අවශ්‍ය තැනට ඔබව යවන්නත් මට අවශ්‍ය පුද්ගලයා වීමට ඔබව පත් කරන්නත් මට පුළුවන. සිදු වූ දේ මම එලෙසින්ම දුටුවෙමි.” මිනිසුන් අතර සිදුවන සෑම ගණුදෙණුවක්ම දෙවියන් වහන්සේ බලා සිටින බව ඔබ දන්නවාද? උන්වහන්සේ අපේ ආකල්ප නිරීක්ෂණය කරන සේක. ඔබ කිතුණුවකු නිසා යමක් සඳහා ඔබට ඇති අයිතිය ඔබ අත්හැර තිබේද? දෙවියන් වහන්සේ ඔබට පවසන්නේ, "මම එය සටහන් කර ගත්තෙමි " යනුවෙනි.
එවිට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කථා කොට, “මෙතැන සිට උතුර, දකුණ, නැගෙනහිර, බටහිර දෙස බලන්න. ඔබට පෙණෙන සියලුම ඉඩම කවදා හෝ ඔබේ දරුවන්ට අයිති වනු ඇත. මම එය පොරොන්දු වෙනවා. එය ලොත්ගෙන් පැවතෙන්නන්ට අයිති නොවනු ඇත. මීට වසර 4000 කට පෙර දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ බව පැවසුසේක. වසර 4000 කට පසු අද එම භූමිය දෙස බලා එහි ජීවත් වන්නේ කවුරුන්ද යන්න ඔබෙන්ම විමසන්න. ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් මිස ලොත්ගෙන් පැවතෙන්නන් නොවේ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනය රකිනසේක. වසර දහස් ගණනක් ගත විය හැක, නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පැවසුවේ නම්, "මම මේ දේශය සඳහටම ඔබේ පරම්පරාවට දෙන්නෙමි" (උත්පත්ති 13: 15), එවිට එය එසේම වනු ඇත.
ඉන් පසු ලොත් අමාරුවේ වැටුණු හැටි අපි 14වෙනි පරිච්ඡේදයෙහි දකින්නෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටින් යන විට ඔබ නිතරම කරදරවලට පත් වේ. ඔහුගේ සතුරන් විසින් ඔහුව අල්ලා ගන්නා ලදී. ආබ්‍රහම්ට කියන්න තිබුණා, “ඔහුට නියම දඩුවම ලැබී ඇත කියා. ඒ හාදයා මගෙන් යමක් උදුරා ගත්තා. නමුත් ආබ්‍රහම් එසේ ප්‍රතිචාර දැක්වූයේ නැත. ආබ්‍රහම්ව පරීක්‍ෂාවට ලක් කළ තවත් අවස්ථාවක් ඔබ එහි දකිනවා: තමාව රවටාගත් මේ මිනිසා අමාරුවේ වැටුණු බව ඇසූ විට ආබ්‍රහම්ගේ ආකල්පය කුමක් වේද? ඔබව රවටාගත් කෙනෙකු තමා විසින්ම කරදරයකට පත් වූ විට, ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයෙක්ද නැද්ද යන්න ඉතා ඉක්මණින් සොයාගනු ඇත.
ආබ්‍රහම්ගේ ප්‍රතිචාරය වූයේ, “මම ගොස් ලොත් හට උදව් කරන්නෙමි. ලොත් මාව රැවැට්ටුව බව ඇත්ත. නමුත් ඔහු මාව රැවැට්ටුවේ කුමකින්ද? පොළොවේ කුණුමෙන්වූ යම් වස්තුවකිනි. ඒවා කිසිවක් වටින්නේ නැත. මට ස්වර්ගීය ධනය ලැබී ඇත. ලොත් ලෞකික දේවල් පසුපස ගොස් , දැන් ඔහු අමාරුවේ වැටී ඇති හෙයින් මට ඔහු ගැන කණගාටුයි. මම ගොස් ලොත් හට උදව් කරන්නෙමි.” ආබ්‍රහම් ගොස් ලොත්ව මුදාගත්තේය. එය දේව භක්තිකයෙකුගේ ආකල්පයයි. එවැනි අයට පමණක් යෙරුසලම ගොඩනඟා ගත හැකිය.