WFTW Body: 

දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ හා තැළුණාවූ සිතක්‍ ය, එය තමාගේම ශුන්‍ය භාවය සහ අසරණ භාවය ගැන දැනුවත්‍ ය ( ගීතා වලිය 51:17). ආබෙල්ට තිබුණේත් කායින්ට නොතිබූ දේත් එයයි. එමනිසා තමයි එය මෙසේ ලියා තිබෙන්නේ තවද, “ස්වාමීන් වහන්සේ ආබෙල් කෙරෙහි ද (එබැවින්) ඔහුගේ පූජාව කෙරෙහි ද සැලකූ සේක. ........... නමුත් ස්වාමීන් වහන්සේ කායින් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූ අතර (එබැවින්) ඔහුගේ පූජාව ගැන ද නොසැලකූසේක (උත්පත්ති 4: 4, 6)”.

“හදවතේ යටහත්කම ගැළවීමට පළමු පියවරයි”

ඇදහිල්ල යනු දෙවියන් වහන්සේ මත ප්‍රාණයේ අසරණ යැපීම වන අතර "ඇදහිල්ලෙන් ආබෙල් දෙවියන් වහන්සේට කායින්ට වඩා හොඳ පූජාවක් ඔප්පු කළේය " ( හෙබ්‍රෙව් 11: 4 ). එබැවින් ආබෙල්ගේ පඬුර දෙවියන් වහන්සේට පිළිගත හැකි විය.

ආබෙල් සහ කායින් අතර වෙනස ඇති කළේ ආබෙල් ලේ පූජාවක් කළ නිසා බවත් කායින් එසේ නොකළ නිසා බවත් යන ඉගැන්වීමේ විශාල රැවටීමක් තිබේ. එවැනි ඉගැන්වීම්වල තිබෙන ප්‍රායෝගික භාවිතය වනුයේ දෙවියන් වහන්සේට යම් මනුෂ්‍යයෙකුව පිළිගත හැකි වන්නේ ඔහු යේසුස් වහන්සේගේ රුධිරය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉදිරිපත් කිරීමෙනි යන්නය. එය බොහෝ දුරට, මිනිසා ජීවත් වන ආකාරය සහ ඔහුගේ හදවතේ තත්වය ගැන (කැඩුණාවූ හෝ නොකැඩුනු, ඇදහිල්ලෙන් හෝ නොමැතිව) සැලකිල්ලට ගැනීමක් නැති බව පෙනේ. ඔහු කරන්නාවු එකම දෙය නම් යම් ආකාරයක මැජික් වශී කිරීමක් මෙන් යේසුස් වහන්සේගේ රුධිරය ගෙන ආයාචනා කිරීමෙන් ඔහු කෙරෙහි දෙවියන් වහන්සේගේ පිළිගැනීම ලබා ගැනීමයි. මෙය බොරුවකි, මෙයින් බොහෝ දෙනකු රැවටෙන්නෝ ය.

ඕනෑම කෙනෙකුට යේසුස් වහන්සේගේ රුධිරයට අයිතිවාසිකම් පෑමට නොහැකිය. යේසුස් වහන්සේගේ රුධිරයට ඕනෑම කෙනෙකුව ඔවුන්ගේ පාපවලින් පවිත්‍ර කළ හැකි බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් නොවේ. නැත. එය ශුද්ධ ලියවිල්ල අයුතු ලෙස යොදාගැනීමකි. ශුද්ධ ලියවිල්ල පවසන දෙය නම්, යේසුස් වහන්සේගේ රුධිරය "දෙවියන් වහන්සේ ආලෝකයේ සිටින්නා සේම ආලෝකයේ ගමන් කරන" සියල්ලන් පවිත්‍ර කරන බවයි ( 1 යොහන්. 1; 7 ). දෙවියන් වහන්සේගේ ආලෝකය තුළ ගමන් කිරීමට, ආබෙල්ට තිබුණාක් මෙන් බිඳුණු හා තැළුණු හදවතක් තිබිය යුතුය. එවිට පමණක් කෙනෙකුගේ පූජාව දෙවියන් වහන්සේට පිළිගත හැකි වන්නේ ය.

යමෙක් යේසුස් වහන්සේගේ රුධිරය කෙරෙහි විශ්වාස කරන බව පවසන නමුත් උඩඟු උද්ධච්ච ආත්මයක් ඇතිව සිටින්නේනම්, දෙවියන් වහන්සේ ඔහුට එරෙහිව සිට විරුද්ධ වනු ඇත ( 1 පේතෘස් 5: 6 ), උන්වහන්සේ කායින්ට කළාක් මෙන්. දෙවියන් වහන්සේගෙන් කරුණාව ලැබෙන්නේ යටහත්වූ අයට පමණි ( යාකොබ් 4:6 ).

අපගේ නමස්කාරය, යාච්ඤාව සහ සේවය දෙවියන් වහන්සේට පිළිගත හැකි වන්නේ ඒවා ඇදහිල්ල ඇතිව බිඳුණු සහ තැළුණු හදවතකින් (දෙවියන් වහන්සේ මත යටහත්ව යැපීම) පැමිණෙන්නේ නම් පමණි. දෙවියන් වහන්සේ බලන්නේ අපගේ කථාවේ චතුරතාව හෝ අපගේ සේවයේ කාර්‍යක්‍ෂමතාවය නොව, අපගේ හදවතේ ආකල්පයයි. උත්පත්ති 4 හි මෙම සිදුවීමෙන් අපට ඉගෙන ගත හැකි පළමු පාඩම මෙයවේ.

කායින් සහ ආබෙල්ගේ දවස්වල සිට අවසාන කාලය දක්වා, දෙවියන් වහන්සේගේ පූජා වූයේ සෑම විටම බිඳුණු හා පසුතැවිලි වූ ආත්මයකි. උන්වහන්සේ වෙනස් නොවේ. උන්වහන්සේගේ නීති එලෙසම පවතී.

කායින් බැටළු පැටවෙකු ගෙනැවිත් උගේ ලේ වැගිරෙව්වා වුවද දෙවියන් වහන්සේ කායින් පිළිගන්නේ නැත, මන්ද ඔහුගේ සිත ආඩම්බර වූ අතර උදාරම් ව තිබුණි.

හදවතේ යටහත්කම ගැලවීමේ පළමු පියවරයි. එවිට අපට ආලෝකයට පැමිණ සියලු පාපවලින් අපව පවිත්‍ර කිරීමට යේසුස් වහන්සේගේ රුධිරය ඉල්ලා සිටිය හැක.

"දෙවියන් වහන්සේ අප වෙනුවෙන් නම්, අපට විරුද්ධ විය හැකි වන්නේ කාටද" ( රෝම 8:31 ) යන පාවුල් තුමාගේ ජයග්‍රාහී මොරගැසීම මොරගැසිය හැකි වන්නේ යටහත් වූ හදවත් ඇත්තන්ට පමණි, මන්ද දෙවියන් වහන්සේ යටහත් වූ අයගේ පැත්තේ පමණක් වන බැවිනි. උඩඟු අයට එය පැවසිය නොහැක, මන්ද දෙවියන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ය. කායින්ට මෙන් තමා ගැන උසස් සිතුවිලි ඇති ඕනෑම කෙනෙකුට, ඔහු යේසුස් වහන්සේගේ රුධිරය දිගටම ඉල්ලා සිටියද, ඔහුද කායින් හා සමානව අවසන් වනු ඇත. නොරැවටෙන්න; දෙවියන්වහන්සේට සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය ( ගලාති 6:7 ). එම නීතිය පුද්ගල තරාතිරමකින් තොරව විශ්වීය වශයෙන් ක්‍රියාත්මක වේ.

හිමිකම් -Zac Poonen – [email protected]