WFTW Body: 

සදාකාල ජීවනය නම් දෙවියන් වහන්සේ අපගේ පියාණන් ලෙසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ස්වාමියා, ගැලවුම්කරුවා සහ පෙරගමන්කරු ලෙසත් දැන ගැනීමයි (යොහන්.17:3). ඔබ ස්ථාවර කිතුනු ජීවිතයක් ගත කිරීමට නම්, ඔබේ ස්වර්ගික පියා සමඟ සහ යේසුස්වහන්සේ සමඟ සමීප සබඳතාවක් වර්ධනය කරගත යුතුය. පසුබැසීමට එරෙහිව ඇති ලොකුම ආරක්ෂාව එයයි.

දෙවියන්වහන්සේගේ ආලේපලත් වචන වුවද, ප්‍රමෝධමත් කරන්නාවූ පණිවිඩ ඇසීම පමණක් ප්‍රමාණවත් නොවේ. අහසින් වැටුණු මන්නා පවා පැය 24ක් ඇතුළත පණුවන් බෝ වී ගඳ ගසන්නට විය (නික්මයාම. 16:20). ඔබගේ කිතුනු ජීවිතයේ නැවුම් බව නැති කර පැය 24 කින් පරණ වීම පහසුය!! නමුත් එම මන්නා ගිවිසුම් පෙට්ටිය තුළ (මණ්ඩපයේ අතිශුද්ධස්ථානයේ) දෙවියන් වහන්සේ ඉදිරියෙහි තබා ඇති විට, ඉශ්‍රායෙල්වරුන් පාළුකරයේ සැරිසැරූ වසර 40 පුරාවටම සහ ඉන්පසුව එසේම තවත් වසර සිය ගණනකට කානාන්හිදීද එය පණුවන් බෝ කළේවත් ගඳ ගැසුවේවත් නැත (නික්මයාම.16:33; හෙබ්‍රෙ.9:4). අපගේ ජීවිතයේ සෑම දෙයක්ම නැවුම්ව තබා ගැනීම සඳහා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ බලය එයයි. එබැවින් ඔබ අන් අයගෙන් (රැස්වීම් සහ ටේප් වලින්) ස්වාමින් වහන්සේ ගැන දෙවනුව අසන සෑම දෙයක්ම ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ගෙන ගොස්, ස්වාමින්වහන්සේගේ වචනය තුළින් කෙලින්ම ලබා ගන්නා පළමු දැනුම බවට පරිවර්තනය කළ යුතුය.

මතෙව් 11:27-29 හී යේසුස්වහන්සේ අපට පවසන්නේ යේසුස්වහන්සේ පියාණන්වහන්සේව අපට හෙළිකළහොත් මිස අපට පියාණන්වහන්සේව දැනගත නොහැකි බවයි. එම හෙළිදරව්ව ලබා ගැනීම සඳහා, උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ වියගහ (කුරුසය) අප මතට ගන්නා ලෙසත් උන්වහන්සේගෙන් මෘදුකම සහ යටහත්කම ඉගෙන ගන්නා ලෙසත් උන්වහන්සේ අපට ආරාධනා කරයි (එම පද 3ම එකට කියවන්න). යේසුස් වහන්සේ උන්වහන්සේගෙන් ඉගෙන ගන්නට අපෙන් ඉල්ලා සිටියේ මේ කාරණා දෙක පමණි. එබැවින් විශේෂයෙන් මෙම කාරණාවල යේසුස් වහන්සේගේ මහිමය දැකීම උදෙසා ඔබ දේව වචනය දෙස බැලිය යුතුමය.

(1) මෘදු බව. පළමුවෙන්ම, යේසුස්වහන්සේගේ මෘදුකම පෙනෙන්නේ උන්වහන්සේ සෑම විටම පරිසිවරුන්ට එරෙහිව පව්කාර මිනිසුන්ගේ පැත්ත ගැනීමෙනි. කාමමිථ්‍යාචාරයට හසු වූ කාන්තාව සම්බන්ධ සිද්ධියෙන් අපට මෙය පෙනේ (යොහන්.8:1-12). තවද සීමෝන් පරිසිවරයාගේ නිවසේ උන් වහන්සේගේ පාද ආලේප කළ පව්කාර ස්ත්‍රිය සම්බන්ධ සිද්ධියෙන්ද (ලූක්.7:36-50). සීමෝන් ඒ පව්කාර ස්ත්‍රිය කෙරෙහි විවේචනාත්මක ආකල්පයක් නොතිබූ තාක් කල්, යේසුස්වහන්සේ කිසි විටෙකත් කිසිවක් කීවේ නැත. නමුත් සීමොන් ඇයව හෙළා දකින බව යේසුස්වහන්සේ දුටු මොහොතේම, දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ආචාරශීලීත්වය සහ ආදරය නොමැතිකම ගැන උන්වහන්සේ ඔහුට තරවටු කළසේක (ලූක්.7:40-47). පසුතැවිලි වූ පව්කාරයන්ව විවේචනය කළ අයට යේසුස්වහන්සේ දැඩි ලෙස සැලකූසේක. උන්වහන්සේ සෑම විටම බයිබලය අතැති පරිසිවරුන්ට එරෙහිව පසුතැවිලි වූ පව්කාරයාගේ පැත්ත ගන්නාසේක. මෙය දැනගැනීම අපට මහත් අස්වැසිල්ලකි. අපි උන්වහන්සේගෙන් මේ මෘදුකම ඉගෙන ගත යුතුයි.

යේසුස්වහන්සේගේ මුදු මොළොක් බවේ දෙවන අංගය පෙනෙන්නේ තමාට හානි කළ අයට සමාව දීමේ ආකල්පයයි. මිනිසුන් උන්වහන්සේව යක්‍ෂයින්ගේ කුමාරයා ලෙස හැඳින්වූ විට, ඔවුන්ට සමාව දෙන බව උන්වහන්සේ වහාම කීසේක (මතෙව්. 12:24, 32). ඔවුන් උන් වහන්සේට නරක ලෙස සැලකූ විට, උන් වහන්සේ ඔවුන්ට කිසි විටෙකත් තර්ජනය කළේ නැත. උන්වහන්සේ නිශ්ශබ්දව සිටිසේක (1 පේතෘ. 2:23). අප ඉගෙන ගත යුතු යේසුස්වහන්සේගේ මෘදුකමේ දෙවන අංගය මෙයයි. අපේ අතට වැටෙන කටුස්සෙකු හෝ කැරපොත්තෙකු වහාම ගසාදමන්නාක් මෙන් අපි තිත්තකම, පළිගැනීම්, අමනාපය හෝ සමාව නොදෙන ආත්මය පිළිබඳ අංශු මාත්‍රයක සිතුවිල්ලක් පවා අපෙන් ඉවත් කළ යුතුය.

(2) යටහත්කම . මතෙව්ගේ ශුභාරංචියේ මුල් පද හය අපට පෙන්නුම් කරන්නේ යේසුස් වහන්සේ උපත ලැබීමට තෝරා ගත් පවුල් පෙළ ගැන උන්වහන්සේගේ යටහත්කමය . යුදෙව් පෙළපත්වල සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ නම් සඳහන් නොවේ. නමුත් මෙහි - තාමර්, රාහබ්, රූත් සහ බෙත්ෂෙබා යන කාන්තාවන් හතර දෙනෙක්ගේ නම් සඳහන්වේ. තාමර් මාමණ්ඩිය වූ යූදා (උත්පත්ති 38) සමඟ කාමමිථ්‍යාචාරය කිරීමෙන් දරුවෙකු ලැබූ තැනැත්තියකි. රාහබ් යෙරිකෝවේ ප්‍රසිද්ධ ගණිකාවක් විය (යෝෂු.2). රූත් මෝවබ් ජාතිකයෙකි - ලඟ නෑයෙක් සමඟ අනියම් ඇසුරකින් බිහිවූ මෝවබ් වරයෙකුගෙන් පැවත එන්නියකි - ලොත්ගේ දුව තමපියාව තමන් සමඟ කාමමිත්‍යාචාරයට පෙළඹවීය (උත්පත්ති 19). බෙත්ෂෙබා දාවිත් සමඟ කාමමිථ්‍යාචාරය කළ තැනැත්තියයි. මෙම කාන්තාවන් හතර දෙනාගේ නම් (සියල්ලම ලිංගික පාපයට සම්බන්ධ වූ) නව ගිවිසුමේ පළමු ඡේදයේම සඳහන් කර ඇත්තේ ඇයි? යේසුස් වහන්සේ ලෝකයට පැමිණියේ පව්කාරයන් ගේ පන්තිය තුළ උන් වහන්සේව හඳුන්වා ගැනීමට සහ පව් කරුවන්ව පාපයෙන් ගලවා ගැනීමට බව පෙන්වීමටයි.

යේසුස්වහන්සේගේ යටහත්කම, උන්වහන්සේ මිහිපිට ගත් පහත් රැකියාවෙන්(වඩුකාර්මිකයෙකු ලෙස) සහ උන්වහන්සේගේ භූමික ජීවිතය පුරාවටම උන්වහන්සේට තිබූ සේවක ආකල්පයෙන් පෙනේ. සේවක ආකල්පයක් යනු නිරන්තරයෙන්ම සීරුවෙන් සිටින, අන් අයගේ අවශ්‍යතා ගැන සොයා බලන සහ ඒවා නිරීක්‍ෂණය කළ විගස එවැනි අවශ්‍යතා සපුරාලීමට ඉක්මනින් ක්‍රියා කරන එකකි (උදා: යේසුස්වහන්සේ ගෝලයන්ගේ පාද සේදීම).

ඇන්ඩෲ මරේගේ 'යටහත්කම' පිළිබඳ පොත යටහත්කම නිර්වචනය කරන්නේ: "කිසිවක් නොවී සිටීමට කැමැත්තෙන් සිටීම, එවිට දෙවියන් වහන්සේ සියල්ලේම සියල්ල වනු ඇත". යේසුස්වහන්සේ සතුටු වුණේ මෙසේ වීමටයි. අප උන්වහන්සේගෙන් ඉගෙන ගත යුත්තේ මෙයයි.

එබැවින් යේසුස් වහන්සේගේ වියගහ නිතරම ඔබේ ගෙල මත තබාගෙන උන්වහන්සේගෙන් මෘදුකම සහ යටහත්කම ඉගෙන ගන්න. මෙසේ ඔබට පියාණන්ව වඩ වඩාත් හෙළි කිරීමට උන්වහන්සේට හැකි වනු ඇත.

©Zac Poonen – [email protected] කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදු නොකළයුතුය.