WFTW Body: 

සභාවක් වශයෙන් අපගේ දේවසේවයට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අප ශුද්ධකම හා ධර්මිෂ්ඨකම දේශනා කර තිබීමයි. “පාපය තවදුරටත් අප කෙරෙහි අධිපතිකම් කළ යුතු නැත” ( රෝම 6: 14 ), “මුදලට ඇලුම් කරන අයට දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැක” ( ලූක් 16: 13 ), “අන් අය සමඟ කෝප වී ඔවුන්ව පහත් කොට සලකන අය නිරයට යෑමට තරම් වැරදිකරුවන්වේ ” ( මතෙව් 5: 22 ), “ඇස්වලින් ස්ත්‍රීන් දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් නිරයේ විනාශ වීමේ අවදානමට ලක්ව සිටිති” ( මතෙ 5: 28,29 ), යනාදි කාරණා අපි ප්‍රකාශ කර ඇත්තෙමු. යේසුස් වහන්සේගේ මෙම වචන ඇදහිලිවන්තයන්ගෙන් අතිමහත් බහුතරයකට අමිහිරි බැවින් ඔවුන් අපට විරුද්ධ වී ඇත.

ක්‍රිස්තියානි සේවකයන් සඳහා වන ශුද්ධ ලියවිල්ලට පටහැනි වැටුප් ක්‍රමයට අපි විරුද්ධව සිටිමු (මෙය පළමු සියවසේදී නොඇසූ දෙයකි) එමෙන්ම කිතුනු සේවා වල ලක්‍ෂණයක් බවට පත් වී තිබෙන, ශුද්ධ ලියවිල්ලට පටහැනි මුදල් සඳහා අයැදීම. මෙය, ඔවුන්ගේ දේශනාකිරීම තුළින් ජීවිකාව ගෙන යන සහ එමගින් ඔවුන්ගේ පෞද්ගලික අධිරාජ්‍යයන් ගොඩනඟන අයගේ කෝපය අප කෙරෙහි වීමට හේතු වී ඇත. සභාව තුළ පුද්ගල අභිපූජනයට (පුද්ගල විශේෂතාවට), සභාවන්, නිකායන්, සභාවන් මත බටහිර ආධිපත්‍යය සහ සභාවන් බටහිර නායකත්වය මත අහිතකර ලෙස රඳා පැවතීම යනාදි සභාවන්වල සංවර්ධනයට බාධාවක් වී ඇති හේතූන් වලට එරෙහිවද අපි නැගී සිටිමු. මෙය, මෙම විශේෂිත වූ ක්‍රම වලට කැපවී නමස්කාර කරන කණ්ඩායම් කෝපයට පත් කර තිබේ.

සාතන්ගේ පරමාර්ථය වන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානය එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් දූෂණය කිරීමයි. ඔහු තම “බලවේග” ( දානි 11: 31 ) සභාව තුළම තබන්නේ දෙවියන් වහන්සේගේ වැඩය අභ්‍යන්තරයෙන්ම විනාශ කිරීම සඳහාය. මෙම ශතවර්‍ෂ 20 පුරාම මෙම බලවේග කණ්ඩායමකින් පසු කණ්ඩායමක්, සංවිධානයකින් පසු සංවිධානයක් දූෂණය කිරීමට සමත් වී ඇති ආකාරය ක්‍රිස්තියානි ලෝකයේ ඉතිහාසය හෙළි කරන්නේය.

සභාවේ අසාර්ථකත්වයට ප්‍රධාන හේතුව නම් දෙවියන් වහන්සේ සභාවේ පත් කළ මුරකරුවන් සෝදිසියෙන් හා අවදියෙන් නොසිටීමයි. මෙම මුරකරුවන්ව නින්දට යැවීමට සාතන් සමත් වූයේ කෙසේද? සමහර අවස්ථාවලදී, ඔවුන්, සමහර අය අමනාප නොවනු පිණිස සත්‍යය කථා කිරීමට බිය වීමෙන් - විශේෂයෙන් ධනවතුන් සහ බලපුළුවන්කම් ඇති අය. තවත් සමහර අවස්ථාවලදී, ඔවුන්, භාර්‍යාවන් සතුටු කරන්නන්, මුදල් හා හොඳ ආහාර වලට ඇලුම් කරන්නන් බවට පත් කිරීමෙන්. සමහර අවස්ථාවලදී, මුරකරුවන් සභාව තුළ දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් පවත්වා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ පණිවිඩයට නිරන්තරයෙන්ම පැමිණෙන විරුද්ධ වීම් වලට මුහුණ දෙන නිසා තමන්ම වෙහෙසට පත් වීමෙන්. ඒ නිසා ඔවුන් මිනිසුන් සතුටු කිරීම සඳහා ඔවුන්ගේ පණිවිඩයේ සැර භාවය අඩු කළෝය.

හෙබ්‍රෙව් 12: 3 හී අපට පවසා ඇත්තේ “නුඹලාගේ සිත්වලින් ක්ලාන්තවී වෙහෙස නොවන පිණිස, තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්ගෙන් එපමණ විරුද්ධකම් ඉවසූ තැනන්වහන්සේ කල්පනාකර බලන්න” කියාය. යේසුස් වහන්සේට විරුද්ධ වූ මේ පව්කාරයන් කවුද? ඔවුන් ඊශ්‍රායෙලයේ සිටි ගණිකාවන් හෝ මිනීමරුවන් හෝ සොරුන් නොවේ. ඔවුන් රෝමානුවන් හෝ ග්‍රීකයන් වත් නොවීය. නැත. යේසුස් වහන්සේට නිරන්තරයෙන් විරුද්ධ වූ පව්කාරයන් වූයේ ඊශ්‍රායෙලයේ බයිබලය උගන්වන දේශකයන් සහ ආගමික නායකයන්‍ ය. ඔව්හු යේසුස් වහන්සේට ඊර්‍ෂ්‍යා කොට අවසානයේදී උන්වහන්සේව මරා දැමූහ.

අප යේසුස් වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදටත් එකම කණ්ඩායමේ විරුද්ධවාදිකම්වලට අප මුහුණ දෙනු ඇත. අපහට මහත්ම විරුද්ධත්වය පැමිණෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් පහත් කොට සභාව දූෂිත කළ දේශකයන්ගෙන් ය. මොවුන් අපට විරුද්ධ වන පිණිස සාතන්ගේ ප්‍රධාන නියෝජිතයන් වනු ඇත. මෙම නිරන්තර විරුද්ධවාදිකම්වලට මුහුණ දීමෙන් අපට, වෙහෙසට පත්වීම සහ අධෛර්‍යමත් වීම, ඉතා පහසුය.

සාතන් “පීඩා තුළින් දෙවියන් වහන්සේගේ සාන්තුවරයන්ව වෙහෙසට පත් කිරීමට” උත්සාහ කරයි ( දානි 7: 25 ). ජයගත හැකි එකම ක්‍රමය නම්, අවසානයේදී සතුරන් විසින් උන් වහන්සේව මරා දමන තුරු, විරුද්ධවාදිකම්වලට නිරන්තරයෙන් මුහුණ දුන් යේසුස් වහන්සේගේ ආදර්ශය දෙස බැලීමය. අපද “මරණයතෙක් විශ්වාසවන්තව සිටීමට” කැමැත්තෙන් සිටිය යුතුය. තම ජීවිතයේ අවසානය දක්වා විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට අකමැති ඕනෑම දේශකයෙකු කන් පිනවන දේශකයෙකු ලෙස අවසන් වනු ඇත, “මිනිසුන්ව තම පැත්තට ඔහු ඉච්චාවලින් ඇදගන්නේය” ( දානියෙල් 11: 32 ), සහ ඔහු අන් අයගේ කැමැත්ත සලකා සත්‍යය අත්හැර සම්මුතිවාදී බාලාම් ලෙස ඔහුගේ කාලය අවසන් කරයි.

සභාවක් ලෙස අපගේ කැඳවීම වන්නේ ඕනෑම මිළයක් ගෙවා අප මධ්‍යයේ දෙවියන් වහන්සේගේ ප්‍රමිතීන් ආරක්‍ෂා කිරීමයි. අන්ත-ක්‍රිස්තුස්ගේ බලවේගයන්ට එරෙහිව අප සෑම විටම මුරකරුවන්ව සිටිය යුතුය. පාවුල් එපීසයේ සිටි අවුරුදු තුනක කාලය පුරාවටම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන එපීසයේ සභාව පවිත්‍රව ආරක්‍ෂා කර තිබුණේය. නමුත් ඔහු පිටත්ව යන විට වැඩිමහල්ලන්ට පැවසුවේ ඔහු ගිය පසු දූෂණය සිදුවනු ඇති බවට තමාට විශ්වාස බවය ( ක්‍රියා 20: 29-31 ). එපීසයට ලියන ලද දෙවන ලිපියේ අප කියවන පරිදි බලාපොරොත්තු වූ ලෙස ම එය සිදුවිය ( එළි. 2: 1-5 ).