WFTW Body: 

එළිදරව් 2: 12-17 හි අපි කියවන්නේ, “තවද පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න: දෙමුවහත් තියුණු කඩුව ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, නුඹ වාසයකරන ස්ථානය දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගන සිටින බවද සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරවූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි….”

පර්ගමම් යනු සාතන්ගේ භූමික මූලස්ථානය එහි තිබූ බව ස්වාමීන් වහන්සේ පවසන තරමට නපුරු නගරයකි. එළිදරව් 2: 13 හි මෙය දෙවරක් සඳහන් වේ. ස්වාමීන් වහන්සේ තම සභාව එම නගරය මධ්‍යයේ තබා තිබුණි.

ස්වාමීන් වහන්සේ ඔවුන්ට පවසන්නේ, "ඔබ වාසය කරන තැන මම දනිමි". අප ජීවත් වන්නේ කොතැනද සහ අප ජීවත් වන්නේ කුමන තත්වයන් යටතේද යන්න උන්වහන්සේ හරියටම දන්නා සේක. අප ජීවත් වන ස්ථානයේම සාතන් උගේ භූමික සිංහාසනය තබා තිබුණත්, අපව නිර්මලව හා ජයග්‍රාහී ලෙස තබා ගැනීමට උන්වහන්සේට හැකිය. ආත්මයාණන්ගේ කඩුවෙන් අපටද ජයගත හැක.

කිසිම පහන් රුකක් එයට බැබළීමට නොහැකි තරම් වටපිටාව අඳුරු බව කිසිවිටක මැසිවිලි නොනඟයි. පහන් රුකක දීප්තිය එහි වටපිටාව සමඟ සම්බන්ධයක් නැත. එහි ආලෝකය රඳා පවතින්නේ එහි අඩංගු තෙල් ප්‍රමාණය මත පමණි.

තමන් සහභාගීවන ඕනෑම සභාවක් සමඟ එය හරියටම එසේම වේ. අවට පරිසරය නපුරු විය හැකිය. සාතන්ගේ සිංහාසනය එම නගරයේ තිබෙන්න පුළුවන. නමුත් සභාව ශුද්ධාත්මයාණන්ගේ තෙල්වලින් පිරී තිබේ නම්, ආලෝකය දීප්තිමත්ව බබළයි. ඇත්ත වශයෙන්ම, වටපිටාව අඳුරු වන තරමට, එවැනි වටපිටාවක ඕනෑම ආලෝකයක් වඩාත් දීප්තිමත් ලෙස පෙණෙනු ඇත! තරු දක්නට ලැබෙන්නේ රාත්‍රියේ මිස - දවාලේ නොවේ.

ස්වාමීන් වහන්සේ මෙම සභාවට ප්‍රශංසා කරන්නේ උන්වහන්සේගේ නාමය තදින් අල්ලාගෙන සිටීම සහ පීඩා කාලවලදී පවා ඇදහිල්ල ප්‍රතික්ෂේප නොකිරීම ගැනය. තම ඇදහිල්ල වෙනුවෙන් තම ජීවිතය කැප කළ විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු වූ අන්තිපස් ගැන උන්වහන්සේ විශේෂයෙන් සඳහන් කරන සේක.

අන්තිපස් යනු තනිවම සිටීමට සිදු වුවද, දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු ස්ථිර විශ්වාසවන්ත මිනිසෙකු මිස මිනිසුන් සතුටු කිරීමට උත්සාහ කළ කෙනෙකු නොවේය. දෙවියන් වහන්සේව හඳුනන අයට තමන් විශ්වාස කරන දේ තව කීදෙනෙක් විශ්වාස කරනවාද කියා දැකීමට වටපිට බැලීමට අවශ්‍ය නැත. මුළු ලෝකයේම අන් සියල්ලන්ට එරෙහිව අවශ්‍ය නම්, ස්වාමින් වහන්සේ වෙනුවෙන් තනිවම වුවද සිටීමට ඔවුහු කැමැත්තෙන් සිටිති. අන්තිපස් එවැනි කෙනෙකුය. එමෙන්ම එහි ප්‍රතිඵළයක් ලෙස ඔහුව මරා දමන ලදී.

ඔහු, මිනිසා-සතුටු කරන්නෙකු වූයේ නම්, ඔහුට මරණයෙන් මිදිය හැකිව තිබුණි. ඔහුව මරා දැමුවේ ඔහු දෙවියන් වහන්සේගේ හෙළිදරව් කළ සත්‍යය වෙනුවෙන් මධ්‍යම ප්‍රතිපදාවකින් තොරව පෙනී සිටි බැවිනි. මිනිසුන් ඔහුව හඳුන්වන්නට ඇත්තේ පටු-අදහස් ඇති, මුරණ්ඩු, ඇසුරු කිරීමට අපහසු, සහ උමතුවූවෙකු ලෙස විය හැකිය. නමුත් එය ඔහුට වෙනසක් නොවීය. ඔහු තම ස්වාමියාට විශ්වාසවන්තව සිට, සියලු පාපයට, ලෞකිකත්වයට, මධ්‍යම ප්‍රතිපදාවට, දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වීමට සහ යක්ෂයාට එරෙහිව නැගී සිටියේය. සාතන්ගේ රාජ්‍යයට තර්ජනයක් වූ මිනිසෙකු මෙහි සිටියේය.

සමහර විට අන්තිපස් පර්ගමම්හි සිටි නිසා, සාතන් උගේ සිංහාසනය එහි තැබීමට තීරණය කරන්නට ඇත. සාතන් පවා ඔහුට බිය නම් අන්තිපස් මොනතරම් මිනිසෙකු වන්නට ඇද්ද!

අද ලෝකයේ සෑම ප්‍රදේශයකම අන්තිපස් වැනි මිනිසුන් දෙවියන් වහන්සේට අවශ්‍යය. අපගේ ඇදහිල්ල වෙනුවෙන් මිළක් ගෙවීමට සිදු වන කාලය ළඟදීම පැමිණේ. අප වටා සිටින සියලුම බැබිලෝනියානු කිතුණු ප්‍රජාව මධ්‍යම ප්‍රතිපදාවක් ඇති කර අන්ත-ක්‍රිස්තුස්ට හිස නමනු ඇත. අන්තිපස් මෙන් අපි ඒ දවසේදී ස්ථිරව සිටීවිද? නැතහොත් අපි අපේ ජීවිතය රැකගන්න සාතන්ට දණ නමාවීද? දෙවියන් වහන්සේගේ සත්‍යය උදෙසා අපගේ ජීවිතය නැතිකරගැනීම වටින බව අපට ඒත්තු ගොස් තිබේද?

අද, දෙවියන් වහන්සේ අපව කුඩා පරීක්ෂාවන් හරහා පරීක්ෂා කරයි. අනාගතයේදී පැමිණෙන විශාල පරීක්ෂාවලදී විශ්වාසවන්තව සිටිය හැක්කේ මෙම කුඩා පරීක්ෂණවලදී අප විශ්වාසවන්තව සිටියහොත් පමණි. තම සිංහාසනය ඔබ ජීවත් වන නගරයට ගෙන එන තරමට උගේ රාජ්‍යයට ඔබ තර්ජනයක් ලෙස සාතන් සැළකිය යුතුය.

කනගාටුදායක දෙය නම් අන්තිපස්ගේ මරණයෙන් පසු පර්ගමම්හි සභාව ආත්මිකත්වයෙන් වැටීයාමයි. අන්තිපස් ජීවත්ව සිටියදී සභාවේ පණිවිඩකරුවා වන්නට ඇත. ඔහු මිය ගිය විට, වෙනත් කෙනෙකු භාර ගත් අතර සභාව පහතට ගියේය. බොහෝ සභාවල දුක්ඛිත ඉතිහාසය මෙයයි.

සවන් දීමට.