වරක් යේසුස් වහන්සේ වෙත පැමිණි අන්ධ මිනිසුන් දෙදෙනාගේ කතාව සලකා බලන්න. මතෙව් 9:27 හි, අන්ධ මිනිසුන් දෙදෙනෙකු යේසුස් වහන්සේ පසුපස ගොස් අපට අනුකම්පා කරන්න” යැයි පැවසූ බව අපි කියවමු. යේසුස් වහන්සේ ඔවුන්ගෙන් ඇසුවේ, “මා ඔබ වෙනුවෙන් කුමක් කරනවාට ඔබ කැමතිද?” කියාය (තවත් සුභාරංචියක සමාන්තර පරිඡේදයේ එය පැහැදිලිවේ). ඔවුන් “ස්වාමීනි, අපට පෙනීම ලැබේවයි” පැවසූ අතර පසුව උන්වහන්සේ මතෙව් 9:28 හි ඔවුන්ගෙන් ප්‍රශ්නයක් අසන සේක, “මට ඔබ වෙනුවෙන් මෙය කළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?”
ඒක හරිම වැදගත් ප්‍රශ්නයකි. ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලීමක් කරන විට, ස්වාමින් වහන්සේ පොරොන්දුවූ ඕනෑම දෙයක් සම්බන්ධයෙනුත් උන්වහන්සේ අසන වැදගත් ප්‍රශ්නය එයයි. "ස්වාමීනි, මගේ අන්ධ ඇස් ඇරෙනවාට මම කැමතියි" හෝ "මගේ අසනීපය සුවවෙනවාට මම කැමතියි" හෝ "මට යම් පාපකාරී පුරුද්දකින් ගැලවීම අවශ්‍යයි" හෝ "ස්වාමීනි, මට රැකියාවක් ලබාගන්න ඕනේ," හෝ, "මට ජීවත් වීමට ස්ථානයක් සොයා ගැනීමට අවශ්‍යයි." අපට දෙවියන් වහන්සේගෙන් ඉල්ලිය හැකි බොහෝදේ තිබේ. දෙවියන් වහන්සේ අපගේ සියලු අත්‍යවශ්‍යදේ, අධ්‍යාත්මික හා භෞතික දේ ගැන සැලකිලිමත් වන නමුත්, අපි දෙවියන් වහන්සේට අපගේ නිශ්චිත ඉල්ලීම් ඉදිරිපත් කළ පසු ස්වාමින් වහන්සේ අපෙන් අසන ප්‍රශ්නය මෙයයි: "මට ඔබ වෙනුවෙන් මෙයකළ හැකි බව ඔබ විශ්වාස කරනවාද?" ඒ යේසුස් වහන්සේ කතාකරන දෙයයි.
ඔබ දන්නවාද ස්වාමින් වහන්සේ අපට කරන්නේ උන්වහන්සේගේ හැකියාවට අනුව නොව, අපගේ ඇදහිල්ලට අනුව බව? ඔබට යමක් කෙරෙහි ඇදහිල්ලක් නොමැතිනම්, ස්වාමින් වහන්සේට ඔබ වෙනුවෙන් ඊට වඩා වැඩියමක් කිරීමට හැකියාව තිබුණත්, ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් කිරීමට කැමති සියල්ල ඔබට අත්විඳිය නොහැක. ඔබට මිදීම අත්විඳිය හැක්කේ ඔබේ ඇදහිල්ලේ මට්ටම අනුව පමණි.
පළමු අන්ධ මිනිසා මෙසේ පැවසුවහොත් යැයි සිතා බලන්න, “ස්වාමීනි, ඔබට එක ඇසක් පමණක් විවෘත කළ හැකිනම් මම සතුටු වන්නෙමි. එය මට ඕනෑවටත් වඩා ප්‍රමාණවත්. මට මේ පොළොවේ එක ඇසකින් ජීවත්විය හැකි අතර, ඔබට එය කළ හැකියැයි මම විශ්වාස කරමි.” මතෙව් 9:29 පදයේ පවසන පරිදි ස්වාමින්වහන්සේ ඔහුට පිළිතුරු දෙනු ඇත, “ඔබේ ඇදහිල්ලට අනුව එය ඔබට සිදුවේවා.” නමුත් එය “මගේ හැකියාවට අනුව නොවේ,” “නමුත් ඔබේ ඇදහිල්ලට අනුව.” යැයි ස්වාමින්වහන්සේ පවසනු ඇත. මේ මිනිසා එක් ඇසක් විවෘතව තබාගෙන එම කාමරයෙන් පිටතට යනු ඇත, අනෙක් ඇස තවමත් වැසී ඇත. එසේ වුවද එය ඉතා හොඳයි; අන්ධයෙකුට එක් ඇසක් විවෘත වීම පවා අපූරුයි.
ඊට පස්සේ හිතන්න අනිත් අන්ධයා එනවා කියලා, ස්වාමින්වහන්සේ ඔහුගෙන් ඒ ප්‍රශ්නෙම අහනවා, "මට මේක ඔබට කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?" ඔහු කියනවා, "ඔව් ස්වාමිනි! මගේ ඇස් දෙකම අරින්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා! ඔබ වහන්සේට කරන්න බැරි මොකක්ද?" ඔහුගේ ඇස් දෙකම ඇරෙනවා. (එක ඇහැක් විතරක් ඇරලා තිබුණු) අනිත් අන්ධ මනුස්සයා මුණගැහුනොත්, ඒ මනුස්සයා ඇහුවොත්, " ඒ කොහොමද ඔබගේ ඇස් දෙකම ඇරුනේ?! මේක බොරු ඉගැන්වීමක් වෙන්න ඇති!" ඒක බොරු ඉගැන්වීමක් නෙවෙයි; දෙවෙනි අන්ධ මනුස්සයාට පළවෙනියාට වඩා ඇදහිල්ලක් තිබුණා, එච්චරයි.
මේ ඇස් දෙක අපේ පව්වලට සමාව ලැබීම කියලත්, අපේ පාපවලින් ගැලවීම කියලත් අපිට හිතන්න පුළුවන්. එක්කෙනෙකුට දෙකම ලැබෙනවා; තවත් කෙනෙකුට ලැබෙන්නේ පළමු එක විතරයි. ඒ ඇයි? දෙවියන් වහන්සේ ඒ පුද්ගලයාට පක්‍ෂග්‍රාහී වූ නිසාද? ඒ පුද්ගලයා වඩා හොඳ පුද්ගලයෙක් නිසාද? නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඔහුට පොරොන්දුවූ සියල්ල කෙරෙහි ඔහුට ඇදහිල්ල තිබුණා. එක් පුද්ගලයෙකුට ඇදහිල්ල තිබුණේ ක්‍රිස්තුස් වහන්සේට ඔහුගේ පාපයට සමාව දීමට පමණක් හැකි බවටයි, ඒ නිසා ඔහුට එය ලැබුණා. තවත් පුද්ගලයෙකුට, ක්‍රිස්තුස් වහන්සේට ඔහුගේ පාපයට සමාව දිය හැකි බවටවත් ඇදහිල්ලක් නැහැ, එබැවින් ඔහුට සමාව පවා ලැබෙන්නේ නැත.
ලෝකයේ එවැනි අය බොහෝමයක් සිටිති. කෙනෙකුට විශ්වාසයක් තියෙනවා ක්‍රිස්තුස් වහන්සේ ඔහුගේ පාපයට සමාව දෙන බවටත්, ඔහුට සමාව ලැබෙන බවටත්. තවත් කෙනෙකුට "ඇස් දෙකටම" විශ්වාසයක් තියෙනවා, ක්‍රිස්තුස් වහන්සේට මට සමාව දීමට පමණක් නොව, එම පව්කාර පුරුද්දෙන් මාව ගලවා ගැනීමටත් හැකි බව. ඔහුට දෙකම ලැබෙනවා. ක්‍රිස්තුස් වහන්සේට අපට සමාව දීමට පමණක් නොව, අපව ගලවා ගැනීමටත් හැකි බව පුද්ගලයෙකු ප්‍රකාශ කරන විට, සමාව පමණක් අත්විඳ ඇති අය එම උතුම් ගැලවීම බොරු ඉගැන්වීමක් ලෙස හඳුන්වනු ඇත. ඔවුන් එය තමන් විසින්ම අත්විඳ නැති නිසා, ඔවුන් පවසන්නේ එය කළ නොහැකි බවයි. ඔවුන් පවසන්නේ කිසිම මිනිසෙකුට පාපයෙන් මිදීම කළ නොහැකි බවයි. නමුත් ප්‍රශ්නය එය මිනිසුන්ට කළ නොහැකිද යන්න නොවේ. ප්‍රශ්නය නම්, එය දෙවියන් වහන්සේට කළ නොහැකිද යන්නයි?
දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැතැයි යේසුස් වහන්සේ පැවසූ සේක. මිනිසාට කළ නොහැකි බොහෝදේ ඇත. දෙවියන් වහන්සේගේ බලය නොමැතිව මිනිසෙකුට පව් සමාව පවා ලබාගත නොහැක, නමුත් දෙවියන් වහන්සේ සමඟ කිසිවක් කළ නොහැකි නොවේ. කරුණාකර මතක තබාගන්න, වෙනත් කෙනෙකු අත්විඳින දෙයක් ඔබ අත්විඳින්නේ නැත්නම්, එය අනිවාර්‍යයෙන්ම ඔහුට යම් බොරු ඉගැන්වීමක් ඇති නිසා නොවන බව; එය ඔහු විශ්වාස කරන තරම් ඔබ විශ්වාස නොකරන නිසා විය හැකිය.
තවත් නිදර්ශනයක් භාවිතා කළහොත්, සෑම කෙනෙකුගේම නිවසින් පිටත එක හා සමානව වැස්ස ඇද හැලෙන බවත් නගරයේ ජල හිඟයක් පවතින බවත් සිතන්න, එබැවින් වැසිජලය එකතු කිරීම සඳහා මිනිසුන් පිටත බහාලුම් තබති. එක් මිනිසෙක් තම නිවසින් පිටත කුඩා කෝප්පයක් තැබුවහොත්, ඔහුට කොපමණ වර්‍ෂාවක් ලැබේද? පිරුණු කෝප්පයක් පමණි. තවත් පුද්ගලයෙකු තම නිවසින් පිටත විශාල ටබ් එකක් තැබුවහොත්, ඔහුට කොපමණ ජලය ලැබේද? පිරුණු ටබ් එකක්! පිරුණු ටබ් එකක් සහ පිරුණු කෝප්පයක් අතර වෙනසක් තිබේද? නිසැකවම! පිරුණු කෝප්පයක් ඇති මිනිසා මෙසේ පැවසිය හැකිය, “ඔබට පිරුණු ටබ් එකක් ලැබුණේ කෙසේද? දෙවියන් වහන්සේ ඔබට පක්‍ෂග්‍රාහී වූ අතර, ඔබේ නිවස ඉදිරිපිට තවත් වැස්සක් එව්වේය!” ටබ් එක ඇති මිනිසා ප්‍රතිචාර දක්වනු ඇත, “නැහැ; ඔබේ නිවසින් පිටතත් එම ප්‍රමාණයේම වැස්ස වැටුණා, සහෝදරයා, නමුත් ඔබට තිබුණේ පිටත කුඩා කෝප්පයක් පමණයි! ඔබේ ඇදහිල්ලේ මට්ටම එයයි, ඒනිසා ඔබට ලැබුණේ එපමණයි.”
අපගේ ඇදහිල්ලේ ප්‍රමාණය අනුව අපට දෙවියන් වහන්සේගෙන් ලැබේ. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අසීමිතයි. එපීස 1:3 පවසන්නේ උන්වහන්සේ “ස්වර්ගීය ස්ථානවල සෑම ආත්මික ආශීර්වාදයකින්ම අපට ආශීර්වාද කර ඇති” බවයි, ශුද්ධාත්මයාණන්ගේ සෑම ආශිර්වාදයක්ම, අපගේ මුතුන් මිත්තෙකු වන ආදම්ගෙන් අපට උරුමවූ සෑම කාලකණ්ණි පව්කාර පුරුද්දකින්ම අපව ගලවා ගැනීම පිණිස වේ. නමුත් අද ස්වාමින්වහන්සේ අපෙන් අසන ප්‍රශ්නය මෙයයි: “මට ඔබ වෙනුවෙන් මෙය කළහැකි බව ඔබ විශ්වාස කරනවාද?”