WFTW Body: 

“ඔබගෙන් යමෙකු වෙත මධ්‍යම රාත්‍රියෙහි මිත්‍රයෙක් පැමිණියායැයි සිතමු: ඔහුව ප්‍රේමයෙන් පිළිගෙන, ඔහු ආහාර ගෙන සිටිනවා දැයි ඔබ අසයි. ඔහු නැතැයි කී විට ඔබ ශීතකරණය බලා එහි හෝ නිවසේ කිසිදු ආහාරයක් නැතිබව දුටුවිට ඔබ කුමක් කරන්නේද? ඔබ ඔබේ අසල්වාසියා වෙත යන්නේය. “ (ලූක් 11:5) දැන්, මෙය ඉතා දුර්ලභ දෙයකි. මධ්‍යම රාත්‍රියේදී තමන්ගේ අසල්වැසියා වෙත ගොස්, ඔහුව අවදිකර තමාගේ මිතුරාට කෑම ඉල්ලන්නේ අයෙක් කලාතුරකිනි, නමුත් මෙම පුද්ගලයා එසේ කරයි. ඔහු ගොස්, අසල්වැසියාගේ ගෙදර දොරට තට්ටු කර, “කරුණාකර මට රොටි තුනක් ණයට දෙන්න. මම හෙට ඒවා ආපසු දෙන්නෙමි, නමුත් දැනට ඒවා මට ණයට දෙන්න. මාගේ ඉතා හොඳ මිතුරෙකු මාගේ ගෙදරට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිම කෑමක් මට නැත”යි කියයි. එවිට ගෙතුළ සිටින මනුෂ්‍යයා තමාට හෝ තමාගේ දරුවන්ට කරදර නොකරන ලෙස පවසයි, මන්ද ඔවුන් සියලු දෙනාම යහන්ගතව සිටිති, “නුඹ මධ්‍යම රාත්‍රියේ අපට කරදර කරමින්, අප සියල්ලන්වම අවදි කරවමින්, දිගින් දිගටම දොරට තට්ටු කරමින් සිටින්නෙහිය.” නමුත් මෙම පුද්ගලයා තමාට අවශ්‍ය දේ ලැබෙන තෙක් දොරට තට්ටු කිරීම නතර නොකරයි, අසල්වැසියාට නිදාගැනීමට ඉඩ නොදෙයි.

ස්වාමීන්වහන්සේ මෙසේ පවසනසේක: “ඔහු තමාගේ මිත්‍රයා වන බැවින් නැගිට නොදුන්නත්, මොහුගේ ලැජ්ජා නැතිකම සහ නොනවත්වා ඉල්ලීම නිසා නැගිට, ඔහුට ඕනෑ තරම් දෙන්නේයයි නුඹලාට කියමි.” මෙය කොතරම් ලස්සන ප්‍රකාශයක්ද, “ඔහුට ඕනෑ තරම් [අවශ්‍ය ප්‍රමාණයට].”

ශුද්ධාත්මයාණන්වහන්සේගේ බෞතිස්මය - දෙවියන්වහන්සේගේ වචනය ඵලදායි ලෙස උගන්වන තැනැත්තෙකු වීමට සහ කථා කිරීමේ හැකියාව ලබා ගැනීමට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය - මම සෙවූ කාලය මට මතකය. මම කිතුනුවෙකු වී දෙවියන්වහන්සේගේ වචනය බෙදා ගැනීමට පටන් ගත් විට ඉතා ලැජ්ජාශීලී පුද්ගලයෙකු ලෙස සිටියෙමි. මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය අවශ්‍ය බවත්, මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ලැබුණහොත් මම වෙනස්ම පුද්ගලයෙකු බවට පරිවර්තනය වන බවත් මම දැන සිටියෙමි. සිදු වූයේද හරියටම එයමය. ඔබත් ඔබ උදෙසා නොව, අන් අය උදෙසා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලවත් ස්වභාවොත්තර ආලේපය සඳහා දෙවියන්වහන්සේව එලෙස සොයන්නේ නම්, සහ “ස්වාමීනි, මෙම සෙනඟට කවන්නට මට රොටි දුන මැනව (ලූක් 11:8) හි අප මෙම ප්‍රකාශය දුටුවෙමු)”යි කියමින් නොනවත්වාම තට්ටු කරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔබට අවශ්‍ය ප්‍රමාණයටම [ඕනෑ තරම්] දෙනු ඇත (ලූක් 11:13). මම මෙහිදී සඳහන් කරන්නේ ශුද්ධාත්මයාණන්වහන්සේ ගැනය. අප දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුත්තේ කුමක්ද යන්න යේසුස්වහන්සේ පැහැදිලි කළ සේක. “අන් අයට සේවය කිරීම සඳහා මට ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය දුන මැනව. මාගේ අවශ්‍යතා ඉටු වී ඇත, අපි ලූක් 18 පසු කර ඇත්තෙමු, දැන් මම සිතන්නේ අන් අයගේ අවශ්‍යතා ගැනය.” සැබෑ කිතුනුවා යනු ඒ තැනැත්තාය.

බෝහෝ විට, මිනිසුන් ශුද්ධාත්ම බලය සොයන්නේ තමන්ගේ කොඳු ඇට පෙළ දිගේ යම් කිසි සිරිසිරියක්, යම් විදුලි සැරයක් වැනි හැඟීමක්, අන්‍යභාෂාවෙන් කථා කිරීමක් හෝ තමන්ගේම ප්‍රයෝජනය සඳහා යමක් ලබා ගැනීමටය. අප ශුද්ධාත්ම දීමනා සෙවිය යුත්තේ අන් අයට ආශීර්වාද කිරීමට හැකිවීම සඳහා ය. මම ශුද්ධාත්ම දීමනා උදෙසා දෙවියන්වහන්සේව සෙවූ කාලය මට මතකය. ඒ අන් අයට සේවය කිරීමටය, දෙවියන්වහන්සේ මට අන්‍යභාෂා කථා කිරීමේ දිමනාව දුන්නද, ඒ මා තුළ නිරන්තර ප්‍රබෝධයක් පවත්වා ගැනීමටය, මන්ද අන්‍යභාෂාවෙන් කථාකරන්නා තමාම වර්ධනය කරගන්නා බව බයිබලයේ සඳහන් වේ. මට අවශ්‍ය වූයේ අන් අයට සේවය කරන විට සෑම විටම ප්‍රබෝධමත්ව සිටීමට හැකි වන පරිදි මාවම වර්ධනය කර ගැනීමටය. එමනිසා, අන්‍යභාෂා දීමනාව පවා අන් අයට යහපතක් කිරීමට, මාව ප්‍රබෝධමත්ව තබා ගැනීමට සහ මාව ගොඩනඟා ගැනීමට විය. ආත්මයේ කිසිම දීමනාවක් මාගේ පුද්ගලික ප්‍රයෝජනය සඳහා පමණක් නොවූ අතර, එය අන් අයට ආශීර්වාදයක් වීමට මග පාදන පුද්ගලික වර්ධනයක් සඳහා විය.

ශුද්ධාත්මයාණන්වහන්සේගේ සියලු දීමනා අන් අය උදෙසාම අභිප්‍රාය කර ඇති බව අප මතක තබා ගත යුතුය. ආත්මික ඵල වලින් ප්‍රයෝජන ලබන්නේ මමය. මට ප්‍රීතිය හෝ සමාධානය තිබේ නම්, එයින් ප්‍රයෝජන ලබන්නේ මමය, ඔබ නොවේ. නමුත්, මට ශුද්ධාත්ම දීමනා තිබේ නම්, ඒ අනාගතවාක්‍ය කීම වේවා, සුවකිරීම වේවා, වෙනත් ඕනෑම දීමනාවක් වේවා, එම දීමනාවන්ගෙන් අන් අයට ප්‍රයෝජන ලැබේ. අපට මේ දෙකම අවශ්‍යය. ඔබ දෙවියන්වහන්සේගෙන් ඉල්ලිය යුතුය, තවද ඔබට විශ්වාසය (ඇදහිල්ල) තිබිය යුතුය.

“එබැවින් නුඹලා නපුරු නුමුත් නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නෙහු නම්, ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට උන්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ කොපමණ වැඩියෙන් දෙනසේක්ද” (ලූක් 11:13). අප පැමිණෙන්නේ අපගේ පියාණන්වහන්සේ වෙතට බවට ඇදහිල්ල අපට තිබිය යුතුය. අප පැමිණෙන්නේ ලේකම්වරයෙකු හරහා ලඟාවිය යුතු, එතරම් දුරස්ථව සිටින යම් සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා (CEO) වෙතට නොවේ. අප පැමිණෙන්නේ අපගේ ස්වර්ගීය පියාණන් වෙතටය, උන්වහන්සේ අපට නොදී සිටින්නේ කුමක්ද? උන්වහන්සේට අපට නොදී සිටිය හැකි කිසිම යහපත් දෙයක් කොහෙත්ම නැත. දෙවියන්වහන්සේ අපට යම් දෙයක් දීම සුදුසු යයි නොදකින සේක් නම්, එය අපට යහපත් නොවන බව අපට නියත වශයෙන්ම විශ්වාසකල හැක.

පාවුල් අපොස්තුළුවරයාට වරක් තමාගේ ශරීරයේ රෝගයක් තිබූ අතර, ඔහු එය මාංසයේ කටුවක් ලෙස හැඳින්වීය. ඔහු එය ඉවත් කරන ලෙස ඔහු තුන් වරක් යාච්ඤා කළේය (2 කොරින්ති 12). දෙවියන්වහන්සේ එය ඉවත් නොකළ සේක, එය තමාගේ යහපත පිණිස බව ඔහු වටහා ගත්තේය, මන්ද එය ඔහුව යටහත්ව සහ තැලුනාවූ බිඳුනාවූ හදවතකින් තැබීය. දෙවියන්වහන්සේ සෑම විටම අපට යහපත් දේ දෙන සේක, දෙවියන්වහන්සේ අපට එසේ යහපත්ව, අතිශයින්ම යහපත්ව සිටින විට, අප කුමක් කළ යුතුද? අප අන් අයට යහපත්ව සිටිය යුතුය.

“ස්වාමීනි, මා විසින් සේවය කළ යුතු මෙම සෙනඟගේ අවශ්‍යතාවය සපුරාලීමට මට උපකාර වන දේ මට දුන මැනව.” ඔබේ සභාවේ සිටින සෙනඟ කෙරෙහි, ඔවුන්ව දේවභක්තික ජීවිතයකට යොමු කිරීමට, යේසුස්වහන්සේ අණ කළ සියල්ල කිරීමට ඔවුන්ට මගපෙන්වීමට, කන්ද උඩ දේශනාවේ ප්‍රමිතීන්ට අනුව ජීවත් වීමට ඔවුන්ට මගපෙන්වීමට ඔබට බරක් ඇති විට, ඔබ ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලය ඉල්ලනු ඇත, එම සෙනඟගේ අවශ්‍යතාවලට ගැලපෙන, යක්ෂයාගේ ග්‍රහණයෙන් ඔවුන්ව මුදාගෙන දේවභක්තික ජීවිතයකට ඔවුන්ව ගෙන එන ස්වර්ගයෙන් පැමිණෙන අනාගතවාක්‍යමය වචනයක් ඔබ ඉල්ලනු ඇත. තවද ඔබ ඔවුන්ට සැබවින්ම ප්‍රේම කරන්නේ නම්, ඔබ නොනවත්වාම ඉල්ලනු ඇත.

මධ්‍යම රාත්‍රියේ තමාගේ අසල්වැසියාගේ ගෙදරට ගිය මේ තැනැත්තා තමාගේ ආගන්තුකයාට ප්‍රේම කළ බව ඔබට නොසිතෙන්නේද? එදින රාත්‍රියේම ඔහුට කෑම ලබා දීමට තරම් දැඩි අභිප්‍රායක් ඇති වීමට නම් ඔහු ඒ ආගන්තුකයාට එතරම්ම ප්‍රේම කරන්නට ඇත. අපගෙන් වැඩිදෙනෙකු, ආගන්තුකයා පැමිණි රාත්‍රියේ අප ළඟ කෑම නොතිබුණි නම්, ඔහුට කියන්නේ, "මට කණගාටුයි, නමුත් අපට කෑම නැත, එබැවින් දැන් නිදාගනිමු, මම උදේට ඔබට යමක් දෙන්නෙමි" කියාය. නමුත් මෙම මනුෂ්‍යයා තමාගේ කුසගින්නේ සිටි ආගන්තුකයාට කොතරම් ප්‍රේම කළාද යත්, ඔහු මෙසේ කීවේය: "මාගේ අසල්වැසියා ඉදිරියේ මට ලැජ්ජා වන්නට සිදු වුවද, මම අද රාත්‍රියේම ඔබට යමක් ලබා දෙන්නෙමි." නොනවත්වාම (නොපසුබටව) දෙවියන්වහන්සේ වෙතට ගොස්, "ස්වාමීනි, මෙම සෙනඟට සේවය කිරීම සඳහා මට ශුද්ධාත්ම දීමනාවක් දුන මැනව"යි පැවසීමේ අලංකාර චිත්‍රයක් මෙයින් මනාව පැහැදිලි වේ.

සවන් දීමට.