මුලාව සහ ව්‍යාජ පිබිදීම

Article Body: 

යේසුස් වහන්සේ සහ අපෝස්තුළුවරුන් නැවත නැවතත් අනතුරු ඇඟවූයේ, අවසාන කාලය, පුළුල් ලෙස පැතිරෙන මුලාව සහ බොරු අනාගතවක්තෘවරුන් රාශියකින් සංලක්‍ෂිත වනු ඇති බවයි (මතෙව් 24:3-5,11,24; 1 තිමෝති 4:1) - පසුගිය දශක කිහිපය තුළ අපි එවැන්නන් ඕනෑ තරම් දැක ඇත්තෙමු.

මිලියන ගණනක් කිතුනුවන් මෙම බොරු අනාගතවක්තෘවරුන් සහ මෙම ව්‍යාජ “පිබිදීම්” මගින් රැවටෙන්නේ ඇයි? එමෙන්ම බොහෝ දේශකයන් දුරාචාරයට හා තණ්හාවට ගොදුරු වන්නේ ඇයි?

මෙන්න එයට ප්‍රධාන හේතු කිහිපයක් :

1. අද බොහෝ කිතුනුවන් අළුත් ගිවිසුමේ උගන්වන දේ ගැන දන්නේ නැත, මන්ද ඔවුන් එය සැලකිලිමත්ව අධ්‍යයනය කර නැත. එබැවින් ඔවුන් නව ගිවිසුමේ ඉගැන්වීම් නොව ඔවුන්ගේ නායකයින්ගේ ඉගැන්වීම් අනුගමනය කරති.

2. ඔවුන්ගේ චරිතයට (දේවභක්තික ජීවිතයකට) වඩා ප්‍රාතිහාර්‍යයන් (දිව්‍යමය දීමනා) ඔවුන්ට වැදගත් වී ඇත.

3. ඔවුන්ගේ ආත්මික සම්පතට වඩා භෞතිකමය සම්පත ඉතා වැදගත් වී ඇත.

4. ප්‍රාණික උද්වේගයන් හෝ මනෝමය හැසිරවීම් සහ ශුද්ධාත්මයාණන්ගේ සැබෑ ක්‍රියා කිරීම් අතර වෙනස හඳුනා ගැනීමට ඔවුන්ට නොහැකිය. නැවතත් මෙයට හේතුව නව ගිවිසුම පිළිබඳ නොදැනුවත්කමයි.

5. මනෝව්‍යාධිවේදීය සුවය (මනසේ නිවැරදි ආකල්ප මගින් ලැබෙන සුවය) සහ යේසුස් වහන්සේගේ නාමයෙන් පැමිණෙන දිව්‍ය සුවය අතර වෙනස පැහැදිලිව වටහා ගැනිමට නොහැකි වීම.

6. ස්වාමින්වහන්සේගේ අභ්‍යන්තර ප්‍රීතියට වඩා ඔවුන්ගේ සිත් තුළ හැඟීම් උද්දීපනය සහ අමුතු ශාරීරික ක්‍රියාවන් ප්‍රකාශයට පැමිණවීම ඔවුන්ට වඩා වැදගත් වී ඇත.

7. නායකයින් හට, දෙවියන්වහන්සේ සමඟ ඔවුන්ගේ අභ්‍යයන්තර ජීවිතයට වඩා සෙනඟ උදෙසා ඔවුන්ගේ සේවය වැදගත් වීම.

8. දෙවියන් වහන්සේගේ අනුමැතියට වඩා මිනිසුන්ගේ අනුමැතිය මේ නායකයන්ට වැදගත් වී ඇත.

9. රැස්විම් වලට සහභාගි වෙන්නාවූ සෙනඟ යේසුස්වහන්සේට සම්පුර්ණ ලෙස කැපවීමක් වී ඇද්ද යන්නට වඩා රැස්වීම් වලට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව මෙම නායකයින්ට වඩා වැදගත් වී ඇත.

10. යම් ප්‍රදේශයක සභාවක් ගොඩනඟා එම සභාව තුළ ඔවුන් සේවකයින් බවට පත්වෙනවාට වඩා ඔවුන්ගේ පෞද්ගලික රාජ්‍යයන් සහ ඔවුන්ගේ මූල්‍ය අධිරාජ්‍යයන් ගොඩනැගීම මෙම නායකයින්ට වැදගත් වී ඇත. මක්නිසාද ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලෝම අයුතු ලාභය අනුව යති; ප්‍රොපේතවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝම වංචාකම් කරති (යෙරෙමියා 6:13).

මේ සියළුම දේ යේසුස්වහන්සේ ඉගැන්වු දෙයට වඩා සම්පුර්ණයෙන් විරුද්ධය. ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිවිරුද්ධය අළුත් ගිවිසුමේ නම් කරන්නේ « අන්ත-ක්‍රිස්තුස් » කියාය. කිතුනුවන්ට මෙය පැහැදිලිව නොපෙනේ නම්, අන්තක්‍රිස්තුස් ඔහුගේ ව්‍යාජ ලකුණු සහ අරුමපුදුම දේ සමඟ ලෝකයේ වේදිකාවට පැමිණෙන විට (2 තෙසලෝනික 2: 3-10), ඔවුන්ද ඔහුව අන්ධ ලෙස පිළිගනු ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය කරණ කොට ගෙන ගෙන යනු ලැබීමට නම් ඉහත කරුණුවල සඳහන් කර ඇති ආත්මයට ප්‍රතිවිරුද්ධ ආත්මයක් ඇතිව සිටිය යුතුය.

මතෙව් 7:13-27 හි යේසුස්වහන්සේගේ වචන වල අනුවාදයක් පහත දැක්වේ. ( මෙය මතෙව් පරිච්ඡේද 5 සිට 7 දක්වා සම්බන්ධ කර එහි සංදර්භය තුළ කියවන්න ).

“සදාතනික ජිවිතයට ඇතුල්වෙන මාර්ගය සහ දොරටුව යන දෙකම ඉතාමත් පටුය - මම දැන් ප්‍රකාශ කළ ආකාරයට (මතෙව් 5 සිට 7 දක්වා). නමුත් බොරු අනාගතවක්තෘන් පැමිණ දොරටුව සහ මාර්ගය පටු නොව පහසු සහ පුළුල් බව ඔබට පවසනු ඇත. ඔවුන්ගෙන් ප්‍රවේසම්වන්න. ඔවුන්ගේ චරිතයේ ඵලය නිරීක්ෂණය කිරීමෙන් ඔබට ඔවුන්ව පහසුවෙන් හඳුනාගත හැකි වනු ඇත: ඔවුන් ක්‍රෝධයෙන් තොර, ස්ත්‍රීන් කෙරෙහි තෘෂ්ණාවෙන් තොර, මුදලට ඇති ආශාවෙන් මිදී, බොහෝ උනන්දුවෙන් (ලෝකයේ සෙනඟ සොයන්නාක් මෙන්) භෞතික සම්පත් සෙවිමෙන් නිදහස්ද? මම මෙහිදී කළ ආකාරයට (මතෙව් 5:21-32 සහ 6:24-34) ඔවුන් මෙම කාරණා වලට විරුද්ධව දේශනා කරනවාද? මෙම බොරු අනාගතවක්තෘවරුන් බොහෝ දිව්‍යමය දීමනා ක්‍රියාත්මක කර ප්‍රාතිහාර්‍යයන් කළ හැකි අතර ඇත්ත වශයෙන්ම මාගේ නාමයෙන් මිනිසුන්ව සුවපත් කළ හැකිය, නමුත් ඔවුන් මා (ශුද්ධ තැනැත්තා ලෙස) නොදැන සිටි නිසාත්, ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ පාප අත් නොහැරිය නිසාත්, අවසාන දිනයේ මම ඔවුන් සියල්ලන්ම නිරයට යවන්නෙමි(මතෙව්.7:21-23). එබැවින් ඔබට කාලීකව හෝ සදාකාලිකව කිසිදා නොසෙල්වෙන හෝ නොවැටෙන ලෙස පර්වතයක් මත සභාවක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, මම ඔබට දැන් කී සියල්ල කිරීමට ප්‍රවේශම් වන්න (මතෙව් 5 සිට 7 දක්වා) එමෙන්ම මා ඔබට අණ කළ සියල්ල කිරීමට ඔබේ ජනතාවටද උගන්වන්න. එවිට මම සැමවිටම ඔබ සමඟ සිටින අතර මගේ අධිකාරිය සැමවිටම ඔබට සහාය වනු ඇත (මතෙව් 28:20, 18). නමුත් ඔබ මා කියන දේ අසනවා පමණක් මිස එය නොකරන්නේ නම්, ඔබ ගොඩනඟන දේ මිනිසුන්ට විශාල හා ආකර්‍ෂණීය සභාවක් ලෙස පෙනුනද, එය නිසැකවම දිනක ගරා වැටී කඩා වැටෙනු ඇත (මතෙව් 7:25)

එසේ නම් මේ අවසාන කාලයේ නොසෙල්වෙන සභාවක් ගොඩ නගන්නේ කෙසේද?

1. කන්ද උඩ දේශනාවට අනුව අපි ජිවත් විය යුතු අතර (මතෙව් 5 සිට 7) සහ එය නිතරම අපි දේශනා කළ යුතුද වේ.

2. අපි පරණ ගිවිසුමේ නොව අළුත් ගිවිසුමේ ජිවත් විය යුතුය. මේ සඳහා මෙම ගිවිසුම් දෙක අතර වෙනස අපි පැහැදිලිව වටහා ගත යුතුය (2 කොරින් 3:6). එලෙසම අපි අළුත් ගිවිසුම දේශනා කළ යුතුය.

අද දේශකයන් බරපතළ පාපයට වැටුන විට, පරණ ගිවිසුමේ පාපයට වැටුනාවූ ශුද්ධවන්තයන් උදාහාරණයට ගෙන තමන් යුක්ති සහගත බව ප්‍රකාශ කරයි. ( ඔවුන් තුළ සැනසීම සොයා ගනී ). ඊට පසු ඔවුන් නිහඬ කාලයකට පසු ඔවුන්ගේ සේවය නැවත පටන් ගනියි. කාමය වරදවා හැසිරුණාවු දාවිත්, සහ අධෛර්‍යට පත් වු එළියා උදාහරණයට ගෙන "දෙවියන්වහන්සේ ඔවුන්ව තව දුරටත් උපයෝගි කරගත් සේක” යන්න ගෙන හැර දක්වති. නමුත් ඔවුන් ජිවිතයේ අවසානයතෙක්ම ජයග්‍රාහිකව සහ ශුද්ධ ජිවිතයක් ගත කළ පාවුල්තුමා ආදර්ශයක් ලෙස ගෙන හැර නො දක්වයි.

මෙම දේශකයන් ( එලෙසම බොහෝ කිතුණුවන් ) නොදක්නා දේ නම් අද දවසේදී පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන් අපට ආදර්ශයක් ලෙස නොගත යුතු බවය. මෙම අනුග්‍රහයේ යුගය තුළ අපට බොහෝ දේ දී තිබේ - එසේම "යමෙකුට බොහෝදේ දෙන ලද්දේද, ඔහුගෙන් බොහෝ දේ අය කරනු ලබන්නේය” (ලූක් 12:48). යේසුස්වහන්සේ අළුත් ගිවිසුමේ මැදිහත්කරුසේම, උන්වහන්සේ අපේ ආදර්ශයත් එසේම අද දවසේ ඇදහිල්ලේ කර්තෘවරයාත් වන සේක - දාවිත් හෝ එළියා නොව. පරණ ගිවිසුමේ ශුද්ධවන්තයන් (හෙබ්‍රෙව් 11 සඳහන් ලැයිස්තුව) සහ යේසුස්වහන්සේ අතර විශේෂත්වය, හෙබ්‍රෙව් 12:1-4 දක්වා පැහැදිලිව පහදා දෙයි. නමුත් ඉතාමත් සුළු කොටසක් මෙම සත්‍යතාවය තුළ ජීවත් වෙති. අලූත් ගිවිසුමේ "දෙවියන්වහන්සේ අප සඳහා වඩා හොඳ දෙයක් සපයාදී ඇති බව" දැක ඇත්තේ ඉතා සුළු කොටසකි (හෙබ්‍රෙව් 11:40).

අපි පරික්‍ෂාකාරිව සහ අවදියෙන් නොසිටියොත්, අපෙන් ඕනෑම කෙනෙකුට වුවද බොහෝ දේශකයන් වැටුනු ආකාරයට වැටෙන්ට පුළුවන - සාතන් උපායෙහි දක්‍ෂ සතුරෙකි. අපේ ආරක්‍ෂාව රඳා පවතින්නේ හරියාකාරව අළුත් ගිවිසුමේ ඉගැන්විම්වලට කිකරුවිම සහ භක්තිමත් නායකත්වයට යටහත් විමෙන්ය. ("භක්තිමත්˜ නායකත්වය යනුවෙන් මම අදහස් කරන්නේ ඉහත සඳහන් කල වැරදි කරුණු දහයෙන් එකක්වත් ඇතිව නොසිටිමයි). අපි අන් අයගේ වැරදිම් තුලින් ඉගෙන ගන්නවා නම්, එම වැරදිම කිරිමෙන් අපට වැළකිය හැකිය.

එම නිසා යොහාන්තුමා කලාක් මෙන්, අපේ මුහුනු නිතරම දෙවියන්වහන්සේ ඉදිරියේ දුවිල්ලේ තබා ගනිමු, එවිට අපට දිව්‍යමය එළිදරව් වීම ලබා ගත හැකිය (එළිදරව් 1:17). අපි, අපව යටහත් කර ගන්නා විට, ජයග්‍රාහකයන් වන පිණිස අනුග්‍රහය අපට ලැඛෙනු ඇත (1පේත්‍රැස් 5:5). එමෙන්ම දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යයතාවය සහ අප ගැන සත්‍යය ශුද්ධාත්මයාණන් වහන්සේ අපට පෙන්වා දෙන විට අපි සම්පුර්ණයෙන්ම අවංක වී සියළු පාපයෙන් "ගැළවෙන පිණිස, සත්‍යට ප්‍රේම කරමු”. ඒ ආකාරයෙන් දෙවියන්වහන්සේම මුලාවෙන් අපව ආරක්‍ෂා කරන සේක (2 තෙසලෝනික 2:10,11)>. ආමෙන්.

©Zac Poonen – [email protected]