WFTW Body: 

ඇදහිළිවන්තයෙකු නව සත්‍යයකින් ග්‍රහණය වූ විට, ඔහුට ඉතා පහසුවෙන්ම එය සමඟ පළමු සත්‍යය තුලනය කිරීමට අදහස් කරන අනෙකුත් සත්‍යයන් නොසලකා හරිනු ලබන තරමටම එක් අන්තයකට යා හැකිය. විශේෂයෙන්ම සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල සම්බන්ධයෙන් මෙය සත්‍යයකි.

පැරණි ගිවිසුම යටතේ ඇදහිල්ල වැදගත් නොවීය. ක්‍රියාවන් පමණක් වැදගත් විය. මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ගැන කිසිවක් පවසා නැත. නමුත් එය ආඥා 613 ක් ලබා දුන්නේය - දෙවියන් වහන්සේව සතුටු කිරීමට අවශ්‍යය නම්, මිනිසාට කීකරු වීම සඳහා ක්‍රියා විශාල ලැයිස්තුවක්.

නමුත් අපි නව ගිවිසුමට පැමිණෙන විට, අපි කියවන්නේ, “ඇදහිල්ල කරණකොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැළවී සිටින්නහුය. එය නුඹලාගෙන්ම නොව දෙවියන්වහන්සේගේ දීමනාවය. කිසිවෙක් පාරට්ටුකර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ”(එපීස 2: 8,9). එම පදය තනිවම කියවන විට, බොහෝ ඇදහිළිවන්තයින් අන්තයකට පැද්දෙන අතර, එබැවින් ක්‍රියා කිසිසේත්ම වැදගත් නොවන බව පවසති - මක්නිසාද (මෙම පදයේ පවසන පරිදි), ක්‍රියා පුද්ගලයෙකුව තමාට කළ හැකි දේ ගැන පුරසාරම් දෙඩීමට නැඹුරු කරවන නිසාය.

නමුත් අලුත් ගිවිසුම ඇත්තටම උගන්වන්නේ කුමක්ද? ශුද්ධ ලියවිල්ලේ එක් පදයකින් පමණක්ම ඔබට සම්පූර්ණ සත්‍යය සොයාගත නොහැක. යක්ෂයා වනාන්තරයේදී යේසුස් වහන්සේට එක් පදයක් උපුටා දක්වමින්, "එය මෙසේ ලියා ඇත...." යැයි පැවසූ විට (මතෙව් 4: 6)", යේසුස් වහන්සේ පැවසුවේ, "තවද එය මෙසේද ලියා ඇත..." යනුවෙනි. එබැවින්, අපට සම්පූර්ණ සත්‍යය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම්, ශුද්ධ ලියවිල්ලේ එක් පදයක් බොහෝ විට ශුද්ධ ලියවිල්ලේ වෙනත් පදයකින් (හෝ පද කිහිපයකින්) සමතුලිත විය යුතු බව අපට පෙණේ. සාතන් යේසුස් වහන්සේව පවා එක්පදයක් තුලින් රවටා ගැනීමට උත්සාහ කළේ නම්, අද ඔහු එයිට වඩා කොපමණ වැඩියෙන් ඇදහිලිවන්තයින්ව, ශුද්ධ ලියවිල්ලේ එක් පදයක් පමණක් වෙන්කර අරගෙන රැවටීමට උත්සහ නොකරයිද. එනිසා ශුද්ධ ලියවිල්ල අධ්‍යනය කිරීමේදී අප ඉතා සැලකිලිමත් විය යුතුය. සත්‍යයට කුරුල්ලන්ට මෙන් පියාපත් දෙකක් ඇත - ඔබට කෙලින් පියාසර කිරීමට අවශ්‍ය නම්, ඔබ ඒ දෙකම භාවිතා කළ යුතුය. එක් තටුවක් පමණක් භාවිතාවෙන් එක්කෝ ඔබ සම්පූර් ණයෙන් නොමඟ යනු ඇත නැතහොත් ඔබ එක තැන කැරකෙමින්, කැරකෙමින් කිසි වර්ධනයක් නොලබනු ඇත.

එපීස 2 හි මෙම සමතුලිතථාවය අපි දකිමු, එහි එක් අතකින් මෙසේ පවසන්නේය: "අනුග්‍රහයෙන් ඔබ ඇදහිල්ල කරණකොටගෙන ගැළවී ඇත; එය ඔබ විසින්ම නොවේ, එය දෙවියන් වහන්සේගේ දීමනාවකි; කිසිවෙකු පාරට්ටු කර නොගන්නා පිණිස එය ක්‍රියාවල ප්‍රතිඵළයක් නොවේ." නමුත් කිසිවෙකු නොමඟ නොයන ලෙස, (එම "එක පියාපතින් පමණක් පියාසර කිරීම), එය වහාම ඊළඟ පදයේ මෙසේ පවසන්නේය: "අපි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමු ඒ යහපත් ක්‍රියා අප කරණ පිණිස දෙවියන්වහන්සේ ඒවා කළින් සූදානම් කළ සේක." (එපීස 2: 8-10). ඉතින්: අපි ගැළවෙන්නේ - යහපත් ක්‍රියාවලින් නොවේ - නමුත් අපි වනාහි දෙවියන්වහන්සේ කලින් සූදානම්කළ ඒ යහපත් ක්‍රියාවල හැසිරෙන පිණිසය.

පිලිප්පි 2: 12, 13 හි එම සමතුලිතථාවයම අපි දකිමු. එහිදී අපට අවවාද කර ඇත්තේ “බියෙන් හා වෙව්ලමින් ඔබේම ගැළවීම ඉෂ්ටකරගන්න” කියායි. නමුත් ඒ සමගින්ම එය තවදුරටත් මෙසේ පවසන්නේය “මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.” දෙවියන් වහන්සේ මුලින්ම අප තුළ ක්‍රියා කරන දේ අප විසින් ක්‍රියා කළ යුතුය.

යාකොබ් 2: 17,18 හි, එය පවසන්නේ "ඇදහිල්ල, ක්‍රියා නොමැති නම්, එය මැරී ඇත, එය තනිවම පවතී" යනුවෙනි. ඉන්පසු යාකොබ් තවදුරටත් පවසන්නේ, "ඔබට ඇදහිල්ල ඇත, මට ක්‍රියා තිබේ" යැයි යමෙකු පැවසිය හැකිය. නමුත් යාකොබ් (ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන්) පවසන්නේ, "ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න, මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල ඔබට පෙන්වන්නම්" කියායි. එබැවින් "ඇදහිල්ලේ ක්‍රියා" උපදවන්නේ නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි. එය මළ ඇදහිල්ලක් සහ ජීවමාන ඇදහිල්ලක් අතර වෙනසයි.

සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල සෑම විටම ඇදහිල්ලේ ක්‍රියා උපදවන්නේය - එනම්, ශුද්ධාත්මයාණන් මත යැපීමෙන් උපදවන ක්‍රියාවන්‍ වේ. මක්නිසාද ඇදහිල්ල යනු ඇත්ත වශයෙන්ම එයයි: ඵළ නිපදවීමට ගස මත රඳා පවතින අත්ත මෙන් ශුද්ධාත්මයාණන් මත යැපීම වේ. එබැවින්, අළුත් ගිවිසුමේ ඇති සත්‍යයේ සමතුලිතථාවය අපට සැබවින්ම තිබේ නම්, එය අපගේ ජීවිතවල ක්‍රිස්තුස් වහන්සේගේ සමානකම තුළින් - අපගේ ගෘහ-සම්බන්ධථා සහ අපගේ සේවා ස්ථාන යන දෙකෙහිම - ශුද්ධාත්මයාණන්ගේ බලයෙන්, ඇදහිල්ලෙන් (එනම්, උන්වහන්සේ මත රඳා සිටීමෙන්) උපදවනු ලැබේ.

ක්‍රියාවෙන් තොර ඇදහිල්ල මිය ගිය බුද්ධිමය විශ්වාසයකි - එය පුද්ගලයෙකුගේ හදවතේ ශුද්ධාත්මයාණන් විසින් ඇති කරන සැබෑ ඇදහිල්ල නොවේ. සැබෑ කිතුණු ඇදහිල්ල යනු දෙවියන් වහන්සේ මත සම්පූර්ණ යැපීමකි, එය සෑම විටම පුද්ගලයෙකුගේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය වැඩි කිරීමේ ඵළ නිපදවයි. අනෙක් අතට, ඇදහිල්ලෙන් තොර ක්‍රියා යනු මනුෂ්‍යයෙකු තම මිනිස් උත්සාහයෙන් දෙවියන් වහන්සේව සතුටු කිරීමට උත්සාහ කරන අතර, එහි ප්‍රතිඵළයක් ලෙස ස්ව-ධර්මිෂ්ඨකම ඇති කරයි - එය ශුද්ධ ලියවිල්ල "කිලුටු වස්ත්‍ර" ලෙස හඳුන්වයි. ("අපගේ සියලු ධර්මිෂ්ඨ ක්‍රියා කිලුටු වස්ත්‍රයක් මෙන්ය" - යෙසායා 64: 6).

මෙම ලිපියේ මා බෙදාගත් දේ ඉතා වැදගත් සත්‍යයකි - අපගේ සදාකාලික ඉරණම එය මත රඳා පවතින බැවින් - මේ කාරණය සම්බන්ධයෙන් අපට වරදවා ගත නොහැක. එබැවින් අප තුළ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය උපදවන්නේ නැති බුද්ධිමය විශ්වාසයක් වන ව්‍යාජ “ඇදහිල්ලකින්” ඔබව රැවටීමට යක්ෂයාට ඉඩ නොදෙන්න.

ඇසීමට කන් ඇති තැනැත්තා අසත්වා. ආමෙන්.

සවන් දීමට.