WFTW Body: 

සභාව ගැන යේසුස් වහන්සේ කතා කළේ අවස්ථා දෙකකදී පමණි - මතෙව් 16:18 සහ 18: 17-20. මේ අවස්ථා දෙකේදීම උන් වහන්සේ කථා කළේ සාතන් සභාවට එරෙහිව සටන් කිරීම ගැනය. පළමු සඳහනේදී, සාතන් සභාවට එරෙහිව සෘජුවම ආත්මික මරණයේ බලවේග හරහා - නපුරු ආත්මයන් හරහා පහර දීම ගැන යේසුස් වහන්සේ කතා කළසේක. දෙවෙනි අවස්ථාවේදී, සාතන්,තමා වංචා කර අල්ලා ගන්නා සහ නොදැනුවත්වම ඔහුගේ නියෝජිතයා බවට පත්වන සහෝදරයෙකු මාර්ගයෙන් වක්‍රව සභාව දූෂණය කිරීමට උත්සාහ කිරීම ගැන කතා කළසේක. නමුත් සාතන් විසින් කුමන ක්‍රමවේදයක් අනුගමනය කළත්, සාතන්ගේ ක්‍රියා, බන්ධනය කිරීමටත්, ඔහු විසින් වහල්කමට අල්ලා ගනු ලැබූ අයව නිදහස් කිරීමටත් ස්වාමින් වහන්සේ අපට බලය ලබා දී ඇත ( මතෙව් 16: 19; 18:18; 2 තිමෝ .2: 26 ). සභාව තුළ මෙම අධිකාරිය, අප ඉතා නිර්භීතව ක්‍රියාත්මක කළ යුතුය.

යේසුස් වහන්සේ පැවසුවේ උන්වහන්සේ විසින් ගොඩනඟන සභාව හඳුනාගත හැකි එක් සලකුණක් ඇති බවයි : එය නිරයේ දොරටු (ආත්මික මරණයේ බලවේග) අභිබවා යන්නේය. අනෙක් අතට, යම් සභාවක්, ආත්මික මරණයේ බලවේගයන් විසින් පරදවා ඇත්නම් - එනම්, ඊර්‍ෂ්‍යාව, හෝ ආරවුල්, හෝ තරඟකාරී ආත්මයක්, හෝ ගෞරවය සෙවීම, දුරාචාරය, හෝ මුදලට ඇති ආශාව හෝ ලෞකිකත්වය , හෝ තිත්තකම, උඩඟුකම, අහංකාරය හෝ පරිසිවාදය වැනි දේවලින්, එවිට එවැනි සභාවක් යේසුස් වහන්සේ විසින් ගොඩනඟන සභාවක් නොවන බවට අපට සහතික විය හැකිය.

සභාව විනාශ කිරීමට සාතන් නිතරම උත්සාහ කරයි. බොහෝ විට ඔහු මෙය කිරීමට උත්සාහ කරන්නේ තම නියෝජිතයන් හරහා සභාවට ඇතුල් වීමෙනි. “නොදැනුවත්වම සභාවට ඇතුළු වූ ඇතැම් අය” ගැන යූද් කතා කරන්නේය( යූද් 4). යෝෂුවාව රැවටූ ගිබියොන්වරුන් මෙන් ( යෝෂුවා 9 ) අදත් බොහෝ දෙනෙක් වැඩිමහල්ලන්ව රවටා ගෝලයන් ලෙස පෙනී සිටිමින් නොදැනුවත්වම සභාවන් තුළට පැමිණ සිටිති. නමුත් මේ අය වැඩිමහල්ලන්ව රැවටීමට සමත් වූයේ කෙසේද? සමහරවිට වැඩිමහල්ලන්ට ඔවුන්ගේ ධනය හෝ ලෞකික තත්වය නිසා බය කර යටත් කරගැනීමෙන් හෝ අල්ලස් දී ඇති නිසා විය හැකිය. සෑම බබිලෝනීය නිකායකම, ලෞකික තනතුරක් හෝ ධනයක් ඇති පුද්ගලයින්ට, ඔවුන් වැඩිමහල්ලන් නොවුනත්, ඔවුන්ගේ කණ්ඩායමේ තීරණ වලට බලපෑම් කළ හැකිය. නමුත් කිසි විටෙකත් අප මධ්‍යයේ එය එසේ නොවිය යුතුය. කෙසේ වෙතත් අප පරෙස්සම් නොවන්නේ නම් ගිබියොන්වරු අප සභාවටද පැමිණෙනු ඇත.

මෙවැනි සාතන්ගේ ප්‍රහාරවලින් අපව ආරක්‍ෂා කර ගැනීම සඳහා උන් වහන්සේ නිරන්තරයෙන් අප දෙස බලා සිටින බැවින් අපි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු. “ස්වාමීන්වහන්සේ නුවර ආරක්‍ෂා නොකරනසේක් නම්, රැකවලා නිෂ්ඵලයේ අවදිව සිටියි.” ( ගීතාවලිය 127: 1 ). ස්වාමින් වහන්සේට උන්වහන්සේගේ ආශීර්වාද කිරීම සඳහා අණ කළ හැක්කේ සහෝදරයන් එකමුතුව වාසය කරන තැනට පමණි ( ගීතා .133: 1 ) - එලෙසම නිරයේ දොරටුවලින් ජය ගත හැක්කේ එක්සත් සභාවකට පමණි. ඒ නිසා අපව එම එක්සත්කමේ සුරක්‍ෂිතව තබන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේ අප අතරේ බලවත් ලෙස ක්‍රියා කරනසේක.

එළිදරව් පොතේ දක්වා ඇති ස්වර්ගයේ දර්ශන 7 න්, ස්වර්ගයේ වැසියන් දිගින් දිගටම මහත් හඬින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ආකාරය අපට දැකගත හැකිය - සමහර විට ගිගුරුම් හඬ මෙන්, ගොරවන ගංගා වල ශබ්දය මෙන්. මෙය ස්වර්ගයේ වාතාවරණයයි - කිසිදු පැමිණිල්ලක් හෝ ඉල්ලීමක් නොමැතිව අඛණ්ඩ ප්‍රශංසාවකි. එමෙන්ම ශුද්ධාත්මයාණන් වහන්සේ අපේ හදවත්, අපගේ නිවෙස් සහ සභාවන් තුළට ගෙන ඒමට අපේක්‍ෂා කරන වාතාවරණයද මෙයම වේ. සාතන්ව මේ සියලු ස්ථානවලින් පලවා හරිනු ලැබෙන්නේ මේ ආකාරයෙනි.

සාතන් කිතුනුවන්ගෙන් අතිමහත් බහුතරයක් අංශභාග තත්වයට පත් කර ඇති අතර, ඔහුට එරෙහිවූ ආත්මික යුද්ධ වලදී ඔවුන්ව අකාර්‍යක්‍ෂම කර ඇත. මන්ද, ඔවුන්ගේ සහෝදර සහෝදරියන්ට, ඔවුන්ගේ ඥාතීන්ට සහ අසල්වැසියන්ට එරෙහිව, ඔවුන්ගේ තත්වයන්ට එරෙහිව එමෙන්ම දෙවියන් වහන්සේට විරුද්ධ ව පවා මැසිවිලි නැඟීමේ සහ පැමිණිලි කිරීමේ ආත්මයෙන් ඔවුන් ආසාදනය කිරීමට ඔහු සමත් වී ඇති බැවිනි.

එළිදරව් 12: 8 හි ලියා ඇති අපූරු වචනය නම් "සාතන්ට සහ ඔහුගේ දූතයන්ට සර්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය". අපේ ජීවිතවලත් - අපේ හදවත් තුළත්, අපේ නිවෙස් වලත්, සභාවන්වලත් එය එසේම විය යුතුය. සාතන්ට සහ ඔහුගේ දූතයන්ට මේ කිසි තැනක, ස්ථානයක් තවත් සම්බ නොවීය යුතුය.

මෙම අවවාදවලට අප කීකරු වන විට අපි සාතන්ව පරාජය කරන්නෙමු : ක්‍රිස්තුස්වහන්සේගේ සමාදානය නුඹලාගේ සිත්වල ආණ්ඩුකෙරේවා. ඒ පිණිස නුඹලා එක ශරීරයක්ව සිටීමට කැඳවාගනු ලැබුවහුය; ස්තුතිවන්තවද සිටින්න ( කොලොස්සි 3: 15 ). සෑම මනුෂ්‍යයෙකුටම ස්තූතිවන්ත වන ලෙස මම ඉල්ලා සිටිමි ”( 1 තිමෝති 2: 1 ). අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන පියවූ දෙවියන්වහන්සේට නිතරම ස්තුතිකරන්න. ( එපීස 5: 20 ). දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට කැඳවූ සැමට මුලින්ම ස්තූතිවන්ත වන ලෙස අපට අනුශාසනා කර ඇත. තේරීම අපට දී තිබුනේ නම්, දෙවියන් වහන්සේ කැඳවූ බොහෝ දෙනෙකුට - විශේෂයෙන් අප හැර වෙනත් කණ්ඩායමකට අයත් අයව අපි නොකැඳවනු ඇත !!! නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපට වඩා උසස් ය, ස්වර්ගය පොළොවට වඩා උස්ව තිබෙන්නාක් මෙන්, පැහැදිලිවම උන් වහන්සේ අපට වඩා වෙනස් මතයක් දැරූ සේක. නමුත් අප ප්‍රඥාවන්ත නම්, අපගේ චින්තනය දෙවියන් වහන්සේට අනුකූලව නැවත පෙළගස්වන්නෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සිටින අපගේ සහෝදර සහෝදරියන්ට ස්තූතිවන්ත වීමට අප ඉගෙන ගත් පසු, සියලු මිනිසුන්ට ස්තූති කිරීමටත් පසුව අපගේ සියලු තත්වයන් සඳහාත් ස්තූතිවන්ත වීමට අපට ඉගෙන ගත හැකිය. අපගේ ස්වර්ගික පියාණන් සියලු මිනිසුන්ව සහ සියලු තත්වයන් සර්වඥව පාලනය කරන බව අපි දනිමු. අප මෙය සැබවින්ම විශ්වාස කරන්නේ නම්, ඒකාන්තයෙන්ම අපි සෑම විටම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නෙමු, එලෙස අපගේ රාජ්‍යය ස්වර්ගයෙන් මිස මේ ලෝකයෙන් නොවන බව ඔප්පු කර සිටිමු. එවිට සාතන්ට අප කෙරෙහි ඇති බලය නැති වේ. ඔහුට එරෙහිව ඵලදායී යුද්ධයක් කිරීමට අපට හැකි වන්නේ එවිට පමණි.