WFTW Body: 

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය රෝහලකට සමාන කළ හැකි ය. රෝගීවූ මනුෂ්‍යයෙකු රෝහලකට ඇතුළු වූ විට, ඔහුට උපකාර කිරීමට රෝහලේ විවිධ අංශයන් ඇත. සමහර විට ඔහුට බෙහෙත් විදීමක්, හෝ භෞත චිකිත්සාවක්, හෝ ශල්‍යකර්මයක් අවශ්‍ය වනු ඇත. ඔහුට ඇස් සම්බන්ධ දොස්තර හෝ කණ සම්බන්ධ දොස්තර හමුවීමට අවශ්‍ය වනු ඇත. එමනිසා රෝහලේ විවිධ අංශ ඇත. ඇස් දොස්තර ඔහුගේ මුළු කාලයම යොමු කරමින් මිනිසුන්ගේ ඇස් පරීක්ෂා කරන අතර වෙන කිසිම දෙයක් නොකර යි. ඒ මිනිස් සිරුරේ අනෙකුත් කොටස් නොවැදගත් යැයි ඔහුට දැනෙන නිසා නොව, නමුත් ඔහුගේ විශේෂත්වය ඇස වන බැවිනි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහිද එය එසේම ය, එක් එක් සෑම ඇදහිළිවන්තයෙකුටම වෙනස් දීමණාවක් හා කැඳවීමක් ඇත. සෑම එක් එක් කෙනාම ඔහු තුළම අසමබරය. මේ පොළොව මත මෙතෙක් ගමන් කළ එකම පරිපූර්ණ සමබර පුද්ගලයා වූවේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. අප අනෙක් සියල්ලන්ම - අප අතර සිටින හොඳම අය පවා - අසමබරය. අපට සමබරථාවය සොයා ගත හැක්කේ සෙසු සහෝදර සහෝදරියන් සමඟ - ස්වාමීන් වහන්සේගේ රෝහලේ අනෙකුත් අංශ සමඟ එකට වැඩ කිරීමෙන් පමණි. එබැවින් මෙම රෝහලේ පුද්ගලවාදයට තැනක් නැත!

“ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ඔබට හැර වෙන කිසිවෙකුටත් ඉටු කළ නොහැකි සුවිශේෂී හා අතිවිශිෂ්ඨ දේවසේවයක් ඔබට ඇත”.

මිනිසුන්ගේ විවිධ අවශ්‍යථා සපුරාලීම සඳහා හොඳ රෝහලකට බොහෝ අංශ ඇත. එසේම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීර‍යෙහිද මිනිසුන්ට උපකාර කිරීම සඳහා විවිධ සේවාවන් සහ ආත්මික දීමණා රාශියක් ඇත. කිසිදු සභාවක හෝ කණ්ඩායමක ආත්මයේ සියලුම දීමණා නැත. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ ශරීරයේ, ඒ සියල්ලම තිබේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අපගේ විශේෂිතවූ කැඳවීම අප දැනගත යුතු ය.

ආත්මික රෝගීන්ගෙන් ලෝකය පිරී ඇත. තවද කිසිවෙකුගේ තත්වය බලාපොරොත්තු රහිත නොවේ. ස්වාමීන් වහන්සේ විසින් සෑම කෙනෙකුම සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. අපි ප්‍රකාශ කරන ශුභාරංචියේ යහපත් පණිවිඩය (ශුභාරංචිය) මෙයයි. දරුණුම පව්කාරයා සහ ඉතාමත් විකෘති පුද්ගලයාට ස්වාමීන් වහන්සේගේ රෝහලේදී සුවය ලබා ගත හැකිය. හොඳ රෝහලක් කිසි විටෙකත් බරපතල ලෙස රෝගාතුර වූ පුද්ගලයෙකු ඉවත් නොකරයි. බාල රෝහල් එසේ කරන්නේ බරපතල රෝගී තත්වයන්ට මුහුණ දීමට ඔවුන් සන්නද්ධ වී නැති නිසා ය. එළෙසම, යහපත් සභාවක් ඔහුගේ තත්වය බලාපොරොත්තු රහිත යැයි ලොව සිටින දරුණුතම පව්කාරයාටවත් කිසිසේත් නොකියයි!

පාපිෂ්ඨයාට නියම කරන ලද ප්‍රතිකාර ලබා ගැනීමට ඔහු කැමති නම් - යහපත් සභාවකට දරුණුතම පව්කාරයින් ශ්‍රේෂ්ඨතම ශුද්ධවන්තයින් බවට පත් කිරීමට හැකිවනු ඇත. අපට සභාව මිනිස් ශරීරයක් සමඟද සැසඳිය හැකිය. මිනිස් සිරුරේ සෑම අවයවයකටම (කොටසකටම) කාර‍්‍යයක් ඇත; එම අවයවය තමන්ගේම කර්තව්‍යයන් තනිවම ඉටු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. නමුත් එය විවිධ කාර‍්‍යයන් ඇති අනෙකුත් අවයවයන් (කොටස්) වටිනා කරමින්, අගය කරමින් සහ සහයෝගයෙන් කටයුතු කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අනෙකුත් සේවාවන් සමඟ එක්ව වැඩ කරන විට එය එසේම විය යුතුය. 1 කොරින්ති 12 හි ශුද්ධාත්මයාණන්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ආත්මයාණන්ගේ දීමණා ක්‍රියාත්මක කරන ආකාරය නිරූපණය කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ ඇස්, කණ්, අත් සහ පාද ආදර්ශය භාවිතා කරයි.

මම නැවත නැවතත් බයිබලයෙන් සමහර කරුණු අවධාරණය කරමි. ඒ, එය ස්වාමින් වහන්සේ මට දුන් බර වන බැවිනි. ස්වාමින් වහන්සේ මා කැඳවූ දේවසේවයට මම ඇලී සිටියෙමි, මන්ද ස්වාමින් වහන්සේට ප්‍රයෝජනවත් විය හැකි එකම දේවසේවය එය බව මම දන්නා බැවිනි. මම වෙනත් දෙයක් කිරීමට උත්සාහ කළහොත් ස්වාමීන් වහන්සේගේ මා පිළිබඳ සැළැස්ම මම නිෂ්ඵල කරමි. නමුත් මම වෙනත් සේවාවලට විරුද්ධ නැත. මම ඒවා ඉතා ඉහළින් අගය කරමි. ආමාශය අත අගය කරන නමුත් එය කිසි විටෙකත් අත කරන දේ කිරීමට උත්සාහ නොකරයි. නිදසුනක් වශයෙන්, එය කිසි විටෙකත් පිඟානකින් ආහාර ලබා ගැනීමට උත්සාහ නොකරයි. එමඟින් අතට එය කිරීමට ඉඩ ලබා දෙන අතර පසුව අතින් බඩ වෙත යැවූ ආහාර ජීර්ණය කිරීමේ තමන්ගේම කාර‍්‍යය ඉටු කරයි! ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි අපි එකිනෙකාගේ අඩුව සම්පූර්ණ කරන ආකාරය පිළිබඳ පින්තූරයකි. ශරීරයෙහි මෙම විවිධ සේවාවන්හි සත්‍යය බොහෝ ඇදහිළිවන්තයන් දැක නැත. නමුත් ඔබ මෙම සත්‍යය නොදකින්නේ නම් දෙවියන් වහන්සේට ඔබ තුළින් ඉටු කිරීමට අවශ්‍ය සියල්ල ඔබට කිසිවිටෙකත් ඉටු කළ නොහැකි වන්නේ ය. දෙවියන් වහන්සේ අපව කැඳවූයේ කුමකට දැයි අපි සියලු දෙනාම අපගේම මණසෙහි පැහැදිළිව තබා ගැනීම හොඳය. අපේ හදවත්වල ස්වාමීන් වහන්සේ අපට දෙන බරින් සාමාන්‍යයෙන් ඇඟවෙන්නේ උන්වහන්සේගේ ශරීරයෙහි අප වෙනුවෙන් උන්වහන්සේට ඇති සේවය පිළිබඳව ය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ඔබට හැර වෙන කිසිවෙකුටත් ඉටු කළ නොහැකි සුවිශේෂී හා අතිවිශිෂ්ඨ දේවසේවයක් ඇත. තවද එම සේවය කිසි විටෙකත් සමබර එකක් නොවේ. එය අසමතුලිත වනු ඇත. ශරීරයේ විවිධ සේවාවන් ඇති අන් අය සමඟ සහයෝගයෙන් වැඩ කිරීමෙන් ඔබට ඔබේ සමබරථාවය සොයා ගැනීමට සිදු වේ. අපව අන් අය මත යැපීමට සළස්වමින් - දෙවියන් වහන්සේ අපව යටහත් ලෙස තබන්නේ එළෙසිනි. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා! අප සියලු දෙනාම අපේ ජීවිතයේ සමහර අංශයන්හි ශක්තිමත්ව සිටින නමුත් සෙසු ක්ෂේත්‍රයන්හි දුර්වලය - හරියට ඉංග්‍රීසි හොඳින් දැනගත් ශිෂ්‍යයෙක් සිටියත් ගණිතයට දුර්වල වීමටද පුළුවන. නමුත් අප දුර්වල වන්නේ කොතැනදැයි දැනගෙන එම ප්‍රදේශ ශක්තිමත් කළ යුතුයි. ඔබේ සභාව එවැන්ජලිස්ත සේවය අවධාරණය කිරීමේදී ශක්තිමත් විය හැකි නමුත් ශුද්ධකම අවධාරණය කිරීමේදී දුර්වල විය හැකිය. එසේ නම්, ඔබේ සභාව විවෘත විය යුත්තේ කුමණ ආකාරයේ දේවසේවයකට දැයි ඔබ දනී.