WFTW Body: 

ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. අඥානයෝ ප්‍රඥාවද ගුරුකමද හෙළාදකිති (හිතෝපදේශ 1:7).

මෙය පළමු හිතෝපදේශයයි. මෙය පළමු හිතෝපදේශය වීම ඉතා වැදගත් වේ. දැනගැන්මේ ආරම්භය ලෙස පවසන විට, මෙය අත්තිවාරමට යොමු වන බව අපට පැවසිය හැකිය. පසුව හිතෝපදේශ 9:10 හි එය මෙසේ පවසයි, "ප්‍රඥාවේ පටන්ගැන්ම නම් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය." දැනගැන්ම සහ ප්‍රඥාව සැබවින්ම අන්තර් සම්බන්ධිතයි, මන්ද දැනුම යනු බයිබල් දැනුම නොවේ. එහි තේරුම දෙවියන් වහන්සේ පිළිබඳ දැනුමයි. අපි දැනගැන්ම ගැන කියවන විට, එයින් අදහස් කරන්නේ බයිබලය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම නොවේ. මන්ද යක්‍ෂයාට එය ඇති අතර ඔහුට ස්වාමින් වහන්සේ කෙරෙහි භය නැත. එබැවින් හිතෝපදේශ 1:7 බයිබල් දැනුම ගැන සඳහන් නොකරන බව පැහැදිලිය. මෙහි කතා කරන දැනුම දෙවියන් වහන්සේ පිළිබඳ දැනගැන්මයි! එය බයිබල් දැනුමට වඩා බෙහෙවින් වෙනස් ය.

බයිබල් දැනුම ඇති බොහෝ දෙනෙකු දෙවියන් වහන්සේව දැනගෙන නැත. ස්වාමින් වහන්සේ කෙරෙහි භයවීම දැනගැන්මේ පටන්ගැන්මය. "සදාකාල ජීවනය නම් එකම සැබෑ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇඳිනගැනීමය"

(යොහන් 17:3). දෙවියන් වහන්සේ කෙබඳු කෙනෙකුද යන්න ගැන වැඩි වැඩියෙන් දැන ගැනීමටය. පාවුල් තුමා පැවසුවේ එය ඔහුගේ ජීවිතයේ මහත් ආශාව බවයි: "...මම උන්වහන්සේ දැනගන්නා පිණිසත්‍ ය..." (පිලිප්පි 3:10). එනම්, ඔහුට දෙවියන් වහන්සේ වඩ වඩාත් දැන ගැනීමට අවශ්‍ය විය. දෙවියන් වහන්සේ කෙබඳුද, දෙවියන් වහන්සේ මිනිසුන් දෙස බලන ආකාරය, දෙවියන් වහන්සේ විවිධ වාතාවරණයන් දෙස බලන ආකාරය, දෙවියන් වහන්සේ දේවල් දෙස බලන ආකාරය ගැන වැඩි වැඩියෙන් දැන ගැනීමට - එවිට පාවුල් තුමාට තමාගේම මනස, එම සිතීමේ ක්‍රමයට වෙනස් කළ හැකිය. මෙහි කතා කරන දැනුම එයයි.

පළමු හිතෝපදේශයෙන්ම උගන්වන්නේ දෙවියන් වහන්සේව දැන හඳුනා ගැනීමේ පළමු පියවර උන්වහන්සේට බිය වීම බවයි; එනම් උන් වහන්සේ කෙරෙහි ගෞරවයක් තිබීමයි. පාපයට වෛර කිරීම සහ ධර්මිෂ්ඨකමට ප්‍රේම කිරීම යනු දෙවියන් වහන්සේට බිය වීමයි. එවිට අපට උන්වහන්සේව වඩා හොඳින් දැන හැඳිනගත හැකිය. ඒ නිසා අපට කොපමණ බුද්ධියක් තිබේද යන්න ප්‍රශ්නයක් නොව, අපට දෙවියන් වහන්සේ කෙරෙහි කොපමණ බියක් තිබේද යන්න මත අප ආත්මික දැනුමෙන් සහ ආත්මික ප්‍රඥාවෙන් කොපමණ වර්ධනය වේද යන්න තීරණය වන්නේය.

ඉතින් ආරම්භයේදීම - අත්තිවාරම, මුල් ගල, ඔබට එය හැඳින්වීමට අවශ්‍ය ඕනෑම දෙයක් - ස්වාමින් වහන්සේ කෙරෙහි බිය වීමයි. එය තරඟයේ ආරම්භක රේඛාවයි. ඔබ එහි නොගියහොත්, ඔබට කොහේවත් යා නොහැක. එය සියලු දැනුමේ සාරය බව අපට පැවසිය හැකිය. සියලු දැනුමේ ප්‍රධාන කොටස දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බිය වන අතර, මම දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බිය නැති කරගත් දින, මට දෙවියන් වහන්සේ හෝ ප්‍රඥාව පිළිබඳ තව දුරටත් අවබෝධයක් ලබා ගත නොහැක. ප්‍රඥාව වැඩි කර ගැනීමේ මාර්ගය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති බිය වැඩි කර ගැනීමයි. දෙවියන් වහන්සේ කෙරෙහි ඇති දැනගැන්ම වැඩි කර ගැනීමේ මාර්ගය නම් ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති බිය වැඩි කර ගැනීමයි.

මෝඩයෙක් යනු කවුරෙකුද යන්නද මේ පදයෙන් අපි තේරුම් ගනිමු. බයිබලය මෝඩයෙක් ගැන කතා කරනවිට, ඒ ගණිතයෙන් සියයට පහළොවක් සහ විද්‍යාවෙන් සියයට දහයක් ලබාගත් කෙනෙක් ගැන නෙවෙයි කතා කරන්නේ. එලෙස ලකුණු ලබාගත් කෙනෙක්ට පවා දෙවියන් වහන්සේ කෙරෙහි බියක් තියෙනවා නම් ශුද්ධ ලියවිලිවලට අනුව තවමත් ඒ පුද්ගලයා ප්‍රඥාවන්ත කෙනෙකි. බයිබලය මෝඩයෙක් ගැන කතා කරනවිට, එය අධ්‍යාපන කටයුතුවල දුර්වල වූ කෙනෙක් ගැන කතා කරන්නේ නැත. එහිදී කතා කරන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බියක් නැති කෙනෙක් ගැන - කාන්තාවන් කෙරෙහි තෘෂ්ණාධික වන නමුත් ඒ ගැන වැලපෙන්නේ නැති, ඒ ගැන අඬන්නේ නැති කෙනෙක් ගැන. ගණිතයෙන් සහ විද්‍යාවෙන් සියයට අනූවක් ලබා ගත්තත් ඔහු මෝඩයෙක් වන්නේය! ඔහු නිරපේක්‍ෂ මෝඩයෙකි, හිතෝපදේශ පොතේ සලමොන් කාරණා හැටහයක් ලියා ඇත්තේ එවැන්නන් ගැන වේ. පව් කිරීම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේ කෙරෙහි බියක් නැති පුද්ගලයා මෙයාකාරය - බොරු කීමේදී හෝ බොරු ප්‍රකාශවලට අත්සන් කිරීමේදී හෝ වෙනත් සියලු ආකාරයේ පාප සිදු කිරීමේදී එවැනි දේවල් ගැන ඔහුගේ හදවතේ කැළඹීමක් නැති තැනැත්තා. එවැනි මෝඩයන් ගැන සලමොන් කාරණා හැටහයක් ලියා ඇත.

මෝඩයන් යනු ප්‍රඥාව සහ උපදෙස් හෙළා දකින අයයි. දෙවියන් වහන්සේගේ දෘෂ්ටිකෝණයෙන් දේවල් දෙස බැලීමට ඔවුන්ට අවබෝධයක් නැත. ප්‍රඥාව යනු මිනිසුන් සහ විවිධ කාරණා සහ මුළු ලෝකය දෙසම දෙවියන් වහන්සේ ඒවා දෙස බලන ආකාරයට බැලීම බව අපට පැවසිය හැකිය. මට ප්‍රඥාව වැඩි වන තරමට, දෙවියන් වහන්සේ ඔවුන් දෙස බලන ආකාරයට මම මිනිසුන් දෙස බැලිය යුතුය - මුදු මොළොක් බවින්, අනුකම්පාවෙන්, ආදරයෙන් සහ පාරිශුද්ධභාවයෙන්. මට මිනිසුන් දෙස මුදු මොළොක් බවෙන්, අනුකම්පාවෙන්, ආදරයෙන් සහ පාරිශුද්ධභාවයෙන් බැලීමට නොහැකි නම්, මම බයිබල් දැනුමෙන් කොතරම් වැඩි වුවද (කෙසේ වෙතත් යක්‍ෂයාට මට වඩා එය තිබේ) ප්‍රඥාව ලබන්නේ නැත. බයිබලයේ සඳහන් මෝඩයා දෙවියන් වහන්සේට බිය නොවන, තම ජීවිතයේ දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවයක් නොමැති, පාපයට වෛර නොකරන සහ ධර්මිෂ්ඨකමට ආදරය නොකරන මෝඩයා බව අප දැකගත යුත්තේ එතැනදීය.

ප්‍රඥාවේ පොතෙහි අවධාරණය කරන පළමු දෙය "දෙවියන් වහන්සේට බිය වීම" යන්න සුවිශේෂී කාරණයකි. ඇසීමට කන් ඇති තැනැත්තා ආත්මයාණන් වහන්සේ පවසන දේ අසාවා.

සවන් දීමට.