WFTW Body: 

ආත්මික නායකයෙකු පළමුවෙන් හා මූලිකව දෙවියන් වහන්සේ විසින්ම කැඳවීමක් ලබාගෙන සිටියි. ඔහුගේ සේවාව ඔහුට වෘත්තියක් නොව, නමුත් ඔහුගේ කැඳවීම යි.

“පාවුලුතුමා එම කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව ඔහුගේ ජීවිතයද ලබා දුන්නේය”.

කිසිවෙකුට ආත්මික නායකත්ව ධූරයට තමන්වම පත් කර ගත නොහැක. "මෙම සේවාව උදෙසා ඔහුව දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබිය යුතුය" (හෙබ්‍රෙව් 5: 4 - ජීවමාන බයිබල් පරිවර්ථනය). මෙය වෙනස් හෝ මාරු කළ නොහැකි ප්‍රතිපත්තියකි. යේසුස් වහන්සේ පවා අපගේ උත්තම පූජකයා ලෙස තමන්වම පත් නොකර ගත් බව ඊළඟ පදයේ සඳහන් වේ. පියාණන් වහන්සේම, උන්වහන්සේව පත් කළසේක. එය එසේ වී නම්, අපගේ කැඳවීමේදී මෙය අප සම්බන්ධයෙන් තව කොතරම් දුරට සත්‍ය විය යුතුද?

අද පවතින ඛේදවාචකය නම්, ඉන්දියාවේ "ක්‍රිස්තියානි සේවකයින්ගේ" අති බහුතරය ජීවනෝපායක් ලෙස සේවය කිරීමය. එය ඔවුන්ට වෘත්තියකි. ඔවුන්ව දෙවියන් වහන්සේ විසින් කැඳවා නැත.

"වෘත්තියක්" සහ "කැඳවීමක්" අතර විශාල වෙනසක් ඇත. මා මෙයින් අදහස් කරන දේ මෙසේ විස්තර කරන්නෙමි. මම අදහස් කරන දේ මම පැහැදිළි කරන්නම්. රෝහලක සිටින රෝගී දරුවෙකු හට සාත්තු සප්පායම් කරන්නාවූ පැය 8ක සේවා ධූරයක යෙදෙන හෙදියක් ඇත්තේ යැයි සිතමු. ඉන් පසු ඒ හෙදිය ගෙදර ගියවිට, ඇයට ඒ දරුවා ගැන හැමදෙයක්ම අමතක වෙන්නේ ය. එම රෝගී දරුවා ගැන ඇයගේ සැළකිළිමත්භාවය තිබුණේ පැය 8කට පමණි. දැන් ඇයට චිත්‍රපට නැරඹීම, රූපවාහිණිය නැරඹීම වැනි වෙනත් දේවල් කිරීමට ඇත. නැවත පසුදින ඇයගේ සේවා ධූරය ආරම්භ වනතුරු ඒ රෝගී දරුවා ගැන සිතන්නට නියමයක් නැත. නමුත් ඒ දරුවාගේ මව පැය 8ක සේවා ධූරයක් කරන්නේ නැත! තම දරුවා අසනීප වූ විට ඇයට චිත්‍රපට නැරඹීමට යා නොහැක. වෘත්තියක් සහ කැඳවීමක් අතර වෙනස එයයි.

ඔබ ඔබේ සභාවේ ඇදහිළිවන්තයින් රැකබලා ගන්නා ආකාරය කෙරෙහි එම උපමාව අදාළ කර ගන්නේ නම්, ඔබ හෙදියක් ද නැතහොත් මවක් ද යන්න ඔබට වැටහෙණු ඇත!

පාවුලුතුමා 1 තෙසලෝනික 2: 7 හි පැවසුවේ, “කිරි මවක් තම දරුවන් පෝෂණය කරන්නාක් මෙන්, නුඹලා අතරෙහි මොළොක් ගුණයෙන් පිවිසෙමුව. මෙසේ ඔබ කෙරෙහි ප්‍රේමණීය සෙනෙහසක් ඇතිව, ඔබ අපට ඉතා ප්‍රිය වූ බැවින්, ඔබට ශුභාරංචිය පමණක් නොව අපගේම ජීවිතද ලබා දීමට අපි ඉතා සතුටු වෙමු.”

පාවුලුතුමා එම කිතුණුවන්ට දෙවියන් වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව ඔහුගේ ජීවිතයද ලබා දුන්නේය. මේ ආකාරයෙන් සිදු නොකරන මොන යම් සේවාවක් සැබවින්ම කිතුණු සේවාවක් නොවේ. පාවුලුතුමා එසේ දෙවියන් වහන්සේට සේවය කළේ ඔහුට දේවසේවයට කැඳවීමක් තිබූ බැවිනි. ඔහු එම සේවාව වෘත්තියක් ලෙස නොසැළකුවේය.

ස්වාමීන් වහන්සේට සේවය කිරීම ආශ්චර‍්‍යයජනකය. ළොවේ ඇත්තා වූ උතුම්ම දෙය එයයි. ළොවේ ඇත්තා වූ කිසිවක් ඒ හා සැසඳිය නොහැක - නමුත් ඔබව කැඳවනු ලැබුවහොත් පමණි. එය වෘත්තියක් ලෙස හීන කළ නොහැකිය.

ඉන්දියානු නාවික හමුදාවේ නිලධාරියෙකු ලෙස මා සේවයේ නියුක්තව සිටියදී 1964 මැයි 6වැනි දින දෙවියන් වහන්සේ මා (පූර්ණ කාලීන) උන්වහන්සේගේ සේවයට කැඳවූ සේක. එවිට මාගේ ඉල්ලා අස්වීමේ ලිපිය නාවික හමුදා බලධාරීන්ට මා බාර දුනිමි. නමුත් එය මෝසස් තුමා පාරාවෝ රජු ඉදිරියේ ඉශ්‍රායෙල්වරුන්ව නිදහස් කරන්ට කළ අයැදුම ලෙස විය. ඉන්දියානු නාවික හමුදාව මාව නිදහස් කළේ නැත. වසර දෙකක් තුළ, නැවත නැවතත් අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු - දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කාල සටහන තුළ - ආශ්චර‍්‍යමත් ලෙස මා හට හමුදාවෙන් නිදහස ලැබුණි.

දෙවියන් වහන්සේ විසින් කැඳවීම මාගේ ජීවිතයේ සියලුම වෙනස්කම් ඉෂ්ඨ කළේය.

ප්‍රථම වශයෙන්, වර්තමානයේ දී මනුෂ්‍යයා මා ගැනවත් මාගේ සේවාව ගැනවත් කුමක් සිතුවත් මට තැකීමක් නැත. එසේ වන්නේ, මාගේ ස්වාමීන් ඔවුන් නොව වෙනත් තැනැත්තෙකු වන අතර මා ගණන් දිය යුත්තේ උන්වහන්සේ හටම පමණක් බැවිනි.

දෙවනුව, මාගේ සේවයේදී මට ඇතිවන ඕනෑම පරීක්ෂාවකට හෝ විරුද්ධථාවයකට මුහුණ දෙන සෑම අවස්ථාවකම මා සමඟ සිට මා හට අනුග්‍රහය ලබා දෙන බවට මට දෙවියන් වහන්සේ විශ්වාස කළ හැකිය - එය සිදුවන අවස්ථා බහුලය.

තෙවනුව, මා හට මුදල් ලැබුණත් නොලැබුණත්, අනුභවයට ආහාර ලදත් නොලදත් ඒ ගැන මට කිසිම තැකීමක් නැත. මට ආහාර සහ මුදල් ලද්දේ නම් යහපතය. එසේ මට කෑමක් හෝ මුදලක් නොලැබුණත් එයද යහපතය. දෙවියන් වහන්සේ මා කැඳවා ඇති බැවින් මට හුදෙක්ම මුදල් හෝ ආහාර නොලැබුණු පමණින්ම උන්වහන්සේගේ සේවාවේ නිරතවීම නවතාලීමට නොහැක.

මට මාගේ කැඳවීමෙන් ඉවත් වන්න බැරිය. මට වැටුප් නොගෙවා හෝ පෝෂණයක් නොලැබෙණ විට සේවාව නැවතීමට තරම් හැකි, මා වැටුප් ලබන සේවකයෙකු නොවෙමි! එය හුදෙක්ම මව හා ඇගේ දරුවා ගැන අප ඉහත උදාහරණය වැනිය. එක් මාසක වැටුප නොගෙව්වොත් හෙදියක් වැඩ නවත්වයි. නමුත් මවකට කවදාවත් ඇගේ මාතෘත්වයෙන් ඉවත් වන්න බැරිය. කෙසේ වුවත් ඇයට වැටුපක් ලැබෙන්නේ නැත! ඇයට කෑමක් හෝ මුදල් නොලැබුණත් ඇය තම දරුවා රකින්නීය! ප්‍රේරිත‍යින් ස්වාමීන් වහන්සේට සේවය කළේ එලෙස ය.

දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලැබීම මොනතරම් මහිමාන්විත දෙයක්ද!