WFTW Body: 

රෝම 14 සහ 15 ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි එකිනෙකා පිළිගැනීම ගැන කථා කරයි. ඇදහිළිවන්තයින් වශයෙන්, අපි සෑම කාරණයකදීම එක හා සමානව සිතන්නේ නැත. එක් දිනක ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණ අපගේ මණස පරිපූර්ණ වූ විට, අපි සෑම ධර්ම මතයකටම 100% එකඟ වන අතර සැබෑ ආත්මිකත්වය යනු කුමක්ද සහ ප්‍රාණිකත්වය සහ ලෞකිකත්වය යනු කුමක්දැයි අපි හඳුනා ගන්නෙමු. නමුත් දැන් අපි සැමටම මේ කාරණා ගැන විවිධ මත තිබේ, මන්ද අපි අවංකව සහ මුළු හදවතින්ම සිටියත්, අපේ මණස තවමත් පාපයේ බලපෑමෙන් විකෘති වී ඇත. කිසිවකුට කිසිවක් පිළිබඳ සම්පූර්ණ පැහැදිළි අවබෝධයක් නොමැත. අපි වීදුරුවකින් සියල්ල අඳුරු ලෙස දකින්නෙමු (1 කොරින්ති 13: 12). ඉතින් අපි අනිත් අය තුළ වෙනස් දෙයක් දුටුවිට, අපි හරි අනිත් අය සියල්ලෝම වැරදියි කියා සිතා ගනිමින් හිතුවක්කාර නොවිය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි බෙදීම් ඇති වන්නේ එලෙසය. ශුද්ධ ලියවිල්ලේ පැහැදිළි සහ වැදගත් සත්‍යයන් ඇත - විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ නම් පුද්ගලයා සහ උන්වහන්සේගේ ක්‍රියාවන් සම්බන්ධයෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ දෙවියන් වහන්සේ සහ සම්පූර්ණ මනුෂ්‍යයා වන අතර උන්වහන්සේ ලෝකයේ පව් උදෙසා මැරී නැවත නැඟිටුණුසේක එමෙන්ම පියාණන් වන දෙවියන් වහන්සේ වෙතට ඇති එකම මාර්ගයයි. එවැනි ධර්ම මතවලට, අපි ටිකක්වත් යටත් නොවී සිටිමු. නමුත් මූලික නොවන වෙනත් ධර්ම මත තිබේ.

දෙවියන් වහන්සේ පිළිගත් අන් අයව අප පිළි නොගන්නේ නම්, අපි උඬඟු වන අතර දෙවියන් වහන්සේට වඩා අප ආත්මික යැයි සිතන්නෙමු”.

ජල-බෞතීස්මය, ගැළවීම සඳහා අත්‍යවශ්‍ය නොවූවත්, තම-සභාවලට තවමත් වැදගත් ධර්ම මතයකි. ළදරුවන් බෞතීස්ම කිරීම විශ්වාස කරන කෙනෙකුට, ළමා බෞතීස්මය ශුද්ධ ලියවිල්ලට පටහැනි යැයි විශ්වාස කරන තවත් අයෙකු සමඟ එකම සභාවේ එකට වැඩ කිරීමට නොහැකි වනු ඇත - මන්ද ඔවුන් නිරන්තරයෙන් ගැටෙණු ඇත. නමුත් එවැනි සහෝදරයින් සමඟ එකට වැඩ කිරීමට අපට නොහැකි වුවද, ඔහු නැවත උත්පාදනයවී ඇත්නම්, දෙවියන් වහන්සේ ඔහුව පිළිගෙන ඇති බැවින්, අපි ඔහුව ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදරයෙකු ලෙස පිළිගත යුතුය. අපට එකට වැඩ කිරීමට නොහැකි වුවද අපට එකට සහභාගීකම පැවැත්විය හැකිය. අද ඛේදවාචකය නම්, බොහෝ ඇදහිළිවන්තයින් තමන්ට පුද්ගලයෙකු සමඟ එකට වැඩ කිරීමට නොහැකි නම්, ඔහු සමඟ සහභාගිත්වයද පැවැත්විය නොහැකි බව සිතීමයි. රෝම 14 සහ 15 පරිච්ඡේද ඉස්මතු වන්නේ එහිදීය.

ඇදහිල්ලේ දුර්වල සහෝදරයෙකු ඔබ දකිනවාද? ඔහුව පිළිගන්න. ඔබ ඔහුව පිළිගත යුත්තේ කෙසේද? "ක්‍රිස්තුස් වහන්සේ ඔබව පිළිගත් ලෙසම" (රෝම 15: 7). ඔබ පරිපූර්ණව සිටියදී ක්‍රිස්තුස් වහන්සේ ඔබව පිළිගත්සේක්ද? නැත. එසේනම් ඇයි ඔබ ඔබගේ සහෝදරයාව පිළිගැනීමට පෙර ඔහු සර්වසම්පූර්ණ විය යුතුයැයි බලාපොරොත්තු වෙන්නේ? නැවත ඉපදුන දවසෙ අපි හැමෝම කෙතරම් දුර්වලව සහ මෝඩව සිටියෙමුද. අපි දෙවියන් වහන්සේ ගැන කිසිවක් නොදැන සිටි අතර අප සියල්ලන්ම පාපයෙන් පරාජයට පත්ව සිටියෙමු. එහෙත් ස්වාමින් වහන්සේ අප පිළිගත්සේක. උන්වහන්සේ අප තුළ බොහෝ වැරදි දුටු නමුත් උන්වහන්සේ අපව පිළිගත්සේක. දෙවියන් වහන්සේ පිළිගත් අන් අයව අප පිළි නොගන්නේ නම්, අපි උඬඟු වන අතර දෙවියන් වහන්සේට වඩා අප ආත්මික යැයි සිතන්නෙමු! ලබ්ධීවාදීන් (කල්ලි) ගොඬනැගෙන්නේ මෙලෙසයි - වැරදි ධර්ම මත පමණක් නොව, වෙනත් දෙවියන් වහන්සේගේ දරුවන් කෙරෙහි ඇති වැරදි ආකල්ප ඇතුවය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අනෙකුත් සාමාජිකයින් පිළිගැනීම සඳහා අපගේ සුළු නීති රීති පදනම් කර නොගත යුතුය.

"ඇයි ඔබ ඔබගේ සහෝදරයාව විනිශ්චය කරන්නේ?" (රෝම 14: 10a). ඒක බාහිර ක්‍රියාවකි. “නුඹ නුඹේ සහෝදරයා හෑල්ලුවට දමන්නේ මන්ද”? (රෝම 14: 10b). එය අභ්‍යන්තර ආකල්පයකි. අප ඒ දෙකෙන්ම වැළකිය යුතුයි. දෙවියන් වහන්සේ පිළිගෙන ඇති සියල්ලන්ම ඔවුන් සිටින ලෙසම පිළිගැනීමට අපගේ හදවත් විශාල වූ විට, අප ශුභාරංචියේ පණිවිඩයේ උච්චස්ථානයට පැමිණෙන්ණෙමු. "එක්ව එකඟථාවයකින් (ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අන් අය සමඟ) සහ එකම හඬින් අපි දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්නෙමු" (රෝම 15: 6).

අවසාන පරිච්ඡේදය, රෝම 16 හි රෝමයේ විවිධ ඇදහිළිවන්තයින්ට පාවුල් තුමාගෙන් සුබ පැතුම් ඇතුළත්වේ. රෝමයේ සභාවේ ගෘහ සභා පහක් විය (5-15 පද). ඔවුන් සියල්ලෝම විශාල (මෙගා) සභාවක් ලෙස එක ශාලාවක රැස්වූයේ නැත. රෝමයේ සභාව ඉතා විශාල වූ නමුත් ඔවුන් කුඩා කණ්ඩායම් වශයෙන් විවිධ නිවාසවල හමු විය. පාවුල් කිසිදාකවත් රෝමයට ගොස් නොතිබුණත්, ඔහු එහි සභාවේ සිටි විවිධ පුද්ගලයින් දැන හඳුනා ගැනීමට උනන්දු වූ අතර ඔවුන්ට ආචාර කළේය.

අවසාන වශයෙන්: 'ඇදහිල්ලේ කීකරුකම' (රෝම 16: 26) යන ප්‍රකාශය මෙම ලිපියේ ආරම්භයේ දී මෙන්, මෙහි අවසානයේ ද දක්නට ලැබේ. මිනිසුන් ඇදහිල්ලට පමණක් නොව ඔවුන් විශ්වාස කරන දෙයට කීකරු වීමටද මිනිසුන්ව යොමු කිරීමට දෙවියන් වහන්සේ පාවුල්ට කැඳවීම ලබා දී තිබුණි. කීකරුකමේ ක්‍රියා නැති ඇදහිල්ල මළ ඇදහිල්ලකි - පණ නැති ශරීරයක් වැනිය. පැරණි ගිවිසුම යටතේ, කීකරුකම අවධාරණය විය. නව ගිවිසුම යටතේ, එය ඇදහිල්ලේ කීකරුකම මත වේ. අපි දැන් දෙවියන් වහන්සේට කීකරු වන්නේ, සෑම ආඥාවක්ම පැමිණෙන්නේ ප්‍රේමණීය පියෙකුගෙන් බවත් එය අපගේ උපරිම යහපත සඳහා නිර්මාණය කර ඇති බවත් දැනගෙනය.